නිවෙසක වාසනාව සොයා දෙන උමා ඡ්‍යොතිෂය

0
17


වර්තමානයෙහි බොහෝ දෙනෙක් හැමදේටම විද්‍යාත්මක හේතු සොයති. එහි වරදක් නොවේ. එහෙත් පවතින විද්‍යාව තුළින් පමණක් සියල්ල විමසිය හැකි දැයි සැක පහළ වේ. මේ අවධානය වාස්තු විද්‍යා කරුණු කිහිපයකටය. “දොරට උඩින් කුරුපා හොඳ නැත” දොර කුහරයක් නිසා බර දරාගත නොහැකිව කඩා වැටිය හැකිය. ඒ ප්‍රශ්නය සහ පිළිතුරයි. බිත්ති මුල්ලකට හසුවන්න ළිඳ හොඳ නැතිය”.

බිත්ති කොන්වලට යෙදෙන බර නිසා නිවස බැසයාමට හැකිය.අත්තිවාරම් ශක්තිමත් නම් අවුලක් නැත. ඒ ප්‍රශ්නයට වර්තමාන විද්‍යාව ගළපා දෙන පිළිතුර එය වේ. ‘‘බස්නාහිරට දොර අසුබය’ යන ගැටලුවට දෙන පිළිතුර ‘බස්නාහිර හිරු රශ්මිය අධිකය. එබැවින් දොර ඉක්මනින් විනාශ වී යා හැකිය’ යන්නයි. මේ ආදි වශයෙන් එදා මිනිස්සු කළ කී දේ සඳහා වර්තමාන දැනුමින් හේතු ඉදිරිපත් කිරීමට මේ විෂයෙහි නියැළෙන්නෝ ද උත්සහ කරමින් සිටිති.

එහි වරදක් නැත. එහෙත් වාස්තු විද්‍යා ග්‍රන්ථයන්හි ඒවා සඳහන් වනුයේ ඒ අර්ථයෙන්ම ද යන්න සිතා බැලිය යුතුය. ‘ද්වාරකරණය’ මාතෘකා පමණක් ගතහොත් වාස්තු විද්‍යාවේදී එය පුළුල් මාතෘකාවකි. ද්වාර තැබිය යුතු දිශා අනුව ෂෝඩෂ විධ නිවාස වර්ග කිරීමකි. ස්වාර ස්ථානගත කිරීම පිළිබඳ වෙනමම න්‍යායකි. ඒ ඒ මාස සඳහා ද්වාර ස්ථාපනය තව එකකි. මේ ආදි වශයෙන් ද්වාර කරණය පිළිබඳ බොහෝ ඉගැන්වීම් වාස්තු විද්‍යාවෙහි පැමිණේ. උළුවස්ස ලී දඬුවලින් සකස් වූයේ නම් පමණක් උළුවස්සක් වේය. කොන්ක්‍රීට් නම් එසේ නොවේය ආදි මත ද ඉදිරිපත් වේ. වාස්තු විද්‍යාවෙහි ද්වාර නම් ‘මුඛ වේ. ඇතුළු වීමට පිටවීමට ඇති එකකි. ‘මුඛ ඇත්තේ එකක් පමණි. එය ඔත්තේ සංඛ්‍යා නියෝජනය කෙරේ. එබැවින් ද්වාර ඔත්තේ සංඛ්‍යාවකින් තැබිය යුතු බව වක්‍රාකාරව කියැවෙයි. පුරාණ ඉගැන්වීම් එසේය.

වාස්තු විද්‍යාවට අනුව ඉගැන්වෙන නියමයන් සත්‍ය දැයි විමසීමට නිවසක්ම සාදා බැලිය යුතු නොවේ. ඒ වෙනුවෙන් නිවසේ මල්පාත්තියක් වුව සෑහෙනු ඇත. එක් උදාහරණයක් පවසමි. වාස්තු විද්‍යාත්මක නියමයන්ට අනුව වර්ගකොට එම දිග, පළල ගෙන සකස් කරන ලද මල් පාත්තියක් වටේ වැටක් ගසා ‘ද්වාර’ වෙන් කළ හැකිය. වාස්තු විද්‍යාව අනුව සහ ඊට විරුද්ධව ද කටයුතු කර බැලිය හැකිය. මල්පාත්තියේ වෙනස්කම් බැලීමට හැකිය. පාලක පරීක්ෂණයක් මේ සඳහා වඩාත් සුදුසුය.

වාස්තු විද්‍යාව පමණක් නොව ගුප්තවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ හෝ සමහර විට සියල්ලෙහි යම් කරුණක ප්‍රතිඵල ගෙන ඒමට එක් කරුණක් නොසෑහේ. එබැවින් සියල්ල ඒක හේතුක නොවේ. නමුත් සමහර විටක එක් කරුණක් නිසාම යම් කිසිවක සුබ හෝ අසුබ ගෙන දිය හැකිය. එය එක හේතුකය. එහෙයින් සියල්ල දෙස මධ්‍යස්ථව විමසිය යුතුය. නිදසුනක් ගනිමු. කිසිවෙකු නැඟෙනහිර දිසාව සුබ යැයි පවසයි. ද්වාර සඳහා තනි දිසාවක් වශයෙන් ද එය ගැළපේ. නැඟෙනහිර –බටහිර වශයෙන් ද ගැළපේ. ඉදින් ප්‍රධාන දොර නැඟෙනහිරටත් සෙසු ද්වාරය බටහිරටත් තබා ඇති නිවස ‘කාන්ත’ වර්ගයට අයත් එකකි. වාසනාව ගෙන දෙයි. ඉදින් එය එසේම සිදුවේද?

මල් පාත්තියෙහි නැඟෙනහිරිහ් හෝ බටහිරින් ද්වාර දෙකක් තබනු ලැබේ. නැඟෙනහිර ද්වාරය නිතින් විවෘත කර තබයි. මල් පාත්තියෙහි දිග, පළල අනුව එනම් ක්ෂේත්‍රඵලය අනුව සමහර විටක නැඟෙනහිර දොරටුව නිසා මල් වගාව අසාර්ථක විය හැකිය. වර්ගඵලය එක් සාධකයක් පමණි. මල් වර්ගයේ ස්වභාවය, අයිතිකරුගේ නම ඊට ප්‍රධාන වනු ඇත. මල් වර්ග කීපයක් එකම පාත්තියක තබා විමසන විට අහවල් වර්ගයේ මල් හට ගන්නා බවත් අහවල් වර්ගයේ පැළවල මල් හට නොගන්නා බවත් පූර්වයෙදීම ප්‍රකාශ කිරීමට වාස්තු ශාස්ත්‍රඥයාට හැකියාව ඇත.

එහෙත් ඒ සඳහා හොඳ ඡ්‍යොතිෂ දැනුමක් අවශ්‍යවන අතරම, එය ඉන්ද්‍ර ගුරුළුව පිළිබඳ දැනුමක් විය යුතුය. එම දැනුමින් පෝෂණය වේ නම් වාස්තු විද්‍යාවේ ඕනෑම න්‍යායක් ප්‍රායෝගිකව දින පැය ගණන් තබා ඔප්පු කළ හැකිය. එසේ නොදන්නා අයට වුවත් සැලකිය යුතු මට්ටමකින් ඔවුනොවුන්ගේ දැනුමේ සීමාවන් අනුව ඒවා ඔප්පු කළ හැකි වේ.

ගෘහ හිමියාගේ නාම යෝනිය කිසියම් විටක “නාග“ වී නම් නැඟෙනහිර ද්වාරය ඔහුට අයහපත් වේ. සෙසු සාමාජිකයන්ට ගැළපීම අදාළ නොවේ. නිවසේ සියලු දෙනාටම නිවස ගැළපිය යුතු යැයි සිතීමද ශෘස්ත්‍රීය විරෝධි අදහසකි. පවත්නා ප්‍රකට ඡ්‍යොතිර් විද්‍යාත්මක කෝණයෙන් විමසන විට පවා එය ස්ඵුට වේ. මෙය රහසකි. මල් පාත්තියක පර්යේෂණයට වුවද එය යොදාගත හැකිය. රෝස මල් පාත්තියක දොරටුව දකුණේ වී නම් රෝසමල් හොඳින් වැවෙනු ඇත. එය ආවරණය කොට දොරටුව උතුරේ තබත් නම් මල් වගාව අසාර්ථක වනු ඇත. මේ සරල එක් නිගමනයකි. මේවා ප්‍රායෝගිකව පෙන්වාදිය හැකිය. විමසිය හැකිය.

එහෙත් මෙහි ප්‍රතිඵලය තීව්‍ර ලෙසම ලැබීමට නම් තවත් සාධක කිහිපයක් විමසිය යුතුය. ඒ සියල්ල එකට එක්වනුයේ නම් ප්‍රතිඵලය විදුලිය හා සමානය. මේ උමා ඡ්‍යොතිෂය සහ වාස්තු විදාවේ සබඳතාවයයි. ඉදින් නිවසක වාස්තු දෝෂයක් පැවතුණු නිසාවෙන්ම එම දෝෂය ක්‍රියාකාරි නොවනු ඇත. වාස්තු දෝෂ රහිත වු පමණින්ම එම නිවස සෞභාග්‍ය සම්පන්න නොවනු ඇත. කෙසේ වෙතත් දෝෂ සහිත නිවසකට වඩා දෝෂ රහිත නිවසක් වාසනාව යම් තරමකින් හෝ ගෙන දෙනු ඇත.

නිවස යනු මණ්ඩලයකි. මේ මණ්ඩලය තුළ බොහෝ දේ ඇත. වාසනාව අවාසනාව ලියැවී ඇති තැන්වේ. හරියට හඳුනාගත හැකිය. හදන ලද නිවසක වාස්තු දෝෂ තිබුණත් ඒවා ක්‍රියාකාරි නොවිය හැකිය. සමහර විටක ක්‍රියාකාරි විය හැකිය. එය හඳුනාගත හැක්කේ වාස්තු පුුරුෂ චක්‍රයෙහි ක්‍රියාකාරි බලය විමසීමෙන් පමණකි. එය ගණිතමය ක්‍රමයකි. ගණිතමය හැඩතල, ගණිතමය සංකල්ප තරම් නිවැරැදි මිණුම් දණ්ඩක් මෙතෙක් මාහට හමුවී නොමැත.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here