නිලමේ ඡන්දය ඇවිලෙයි.. ප‍්‍රාදේශීය ලේකම්ලාට හදිසි ස්ථාන මාරු..

0
4

බලංගොඩ, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත්කර ගැනීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දිනෙක පැවති නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුට පක්ෂව ඡන්දය දුන් ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනෙකු කිසිදු හේතුවක් නොදන්වා දිස්ත්‍රික්කයෙන් පිටතට මාරුකර යවා තිබෙන බවට චෝදනා එල්ල වෙයි.

නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස වසර 37ක් සිටි ගැමුණු ටී.බී. වලිසුන්දර මෙම නිලවරණයට ඉදිරිපත්ව තිබෙන අතර ඔහු බොල්තුඹේ බස්නායක නිලමේවරයා ලෙස පත්කර ගැනීමට ඡන්දය ලබාදුන් ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනෙකුට මෙසේ ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පැවසේ.

තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරාපත් කර ගන්නා නිලවරණයට අදාළව බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දය පවත්වා ඇත.

ඒ අනුව වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සිටි අනුරාධ ජයකොඩි සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස සිටි ධම්මික සතරසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරි සංචිතයට මාරුකර තිබෙන අතර ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි චම්පික ධර්මදාස ක්‍රීඩා අමාත්‍යාංශයට මාරුකර තිබේ.

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරා පත්කර ගන්නා නිලවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් බොල්තුඹේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී. වලිසුන්දර ද ඉදිරිපත්වීමට සූදානමින් සිටී.

එම නිලවරණයට ඉදිරිපත්වීමට සිටින සබරගමුව මහ සමන් දේවාලයේ වත්මන් නිලමේවරයාට බොල්තුඹේ බස්නායක නිලමේවරයා අභියෝගයක් වී තිබෙන බවත්, සබරගමුව මහ සමන් දේවාලයේ වත්මන් නිලමේවරයාට පක්ෂපාත නොවීම මත ප්‍රාදේශීය ලේකම්වරුන් මෙසේ දිස්ත්‍රික්කයෙන් පිටතට මාරුකර තිබෙන බවත් ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරයාව සිට පසුගිය 7 වන දා මාරුකර යවා තිබෙන ධම්මික සතරසිංහ පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18න් පසුගිය 6 වන දා වන විට ඇඹිලිපිටිය, කිරිඇල්ල, කොළොන්න හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුරප්පාඩු පවතින පසුබිමෙක මෙසේ දිස්ත්‍රික්කයෙන් පිටතට යවා තිබෙන බව ද ඔහු කීවේ ය.

ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කොට්ඨාසයක වසර හයක් සේවය කළ හැකි නමුත් තමා ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස වසර දෙකහමාරක් පමණක් රාජකාරි කරමින් සිටියදී මෙම මාරුවීම ලබා දී තිබෙන බව ද හිටපු ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ සඳහන් කළේ ය.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩුව පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කරන මෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ඉවත දමා අසාධාරණ අයුරින් දිස්ත්‍රික්කයෙන් පිටතට යවා ඇතැයි ද හෙතෙම කීය.

දැනට පුරප්පාඩු රහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14න් නවයක ප්‍රාදේශීය ලේකම්වරියන් සිටින බවත්, බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණයේදී කාන්තාවන්ට ඡන්දය භාවිත කළ නොහැකි බවත් සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

රත්නපුර මහ සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයාට අභියෝගයක්ව පවතින වැලිගෙපොළ හා ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලේකම්වරියන් පත්කිරීමේ සූදානමක් තිබෙන බව ද ඔහු පැවසීය.

මේ අතර, ඕපනායක හා වැලිගෙපොළ ඇතුළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරි සංචිතයට යොමුකර සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් විසිදෙනෙකුට කඩිනමින් සුදුසු ස්ථානයක් ලබා දෙන්නැයි පසුගිය සිකුරාදා (පෙබ. 9) එම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් අසංක රත්නායක පැවසීය.

ප්‍රාදේශීය ලේකම් තනතුරේ සිටින රාජ්‍ය පරිපාලන දෙවන ශ්‍රේණියේ නිලධාරීන් ඉවත් කර ඒ සඳහා පළමු ශ්‍රේණියේ නිලධාරීන් පත්කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය යටතේ මොවුන් නිලධාරි සංචිතයට යොමුකර තිබෙන බව ද හෙතෙම කීවේය.

ඔවුන්ගේ සුදුසුකම් අනුව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සුදුසු ස්ථානයක රාජකාරි සිදුකිරීමට අවස්ථාව තිබෙන බවත්, ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රමාද නොකර කඩිනමින් ඊට විසඳුමක් ලබාදිය යුතු බවත් රත්නායක මහතා සඳහන් කළේ ය.

අමිත් මධුරංග ගමගේ, කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක
– Mawbima



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here