නිර්වාණයට සදහම් අමා මග… – Sri News

0
5


බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයට වැඩම කර තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඇතුළත් ධම්ම චක්කප්පවත්වන සූත්‍රය හෙවත් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා.දම්සක් යනු (ධර්ම චක්‍රය) පෙරළා හැරීමක් බවත් එම පෙරළීම ආපසු හැරවිය හැකි (අප්පවත්තියං ) කිසිම මහණ බමුණකු ලොව නැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා .

බුද්ධ ධර්මයේ හරය එනම් චතුරාර්ය සත්‍ය බව එම ප්‍රථම ධර්ම දේශනාවෙන් හෙළිවෙනවා. චතුරාර්ය සත්‍යයෙන් ඉගැන්වෙන ධර්මය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි කිසිවිටෙකත් වෙනස් නොවන පරම සත්‍යයක් .මෙම සිව් සස් සදහම් නැමැති එහි පෙරළීම කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි බව වදාළේ ඒ නිසයි .

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පස්වන සතියේ අජපාල නුගරුක මුල වැඩ හිඳිමින් මෙලෙස සිතුවා ..

“ගුරු ඇසුරක් නැතුව ජීවත් වීම නුසුදුසුයි. කවරකු ගුරු තැන්හි තබාගෙන ජීවත්වෙන්නද.. තිලෝගුරු උන්වහන්සේට ගුරු තැන්හි තබා ගැනීමට යෝග්‍ය පුද්ගලයෙක් නොපෙනිණි. එනිසා මම ධර්මයට සත්කාර කරමින් ගරු බුහුමන් දක්වමින් ධර්මයම ගුරුතන්හි තබා ගනිමි යි සිතා ගත්තා.”

බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේගේ ශාස්තෘ වරයා වශයෙන් පත් කර ගත යුත්තේ කවරෙක්දැයි ආනන්ද හාමුදුරුවෝ විචාළ කල්හි, එවිට උන් වහන්සේ
“ආනන්ද මා විසින් දේශනා කරන ලද හා පනවන ලද ධර්ම විනය දෙක මාගේ ඇවෑමෙන් ශාස්තෘවරයා වන්නේයැයි වදාළසේක” මෙයින් ධර්ම රත්නයෙහි ශ්‍රේෂ්ඨත්වය මනා ලෙස වටහා ගත හැකිය .

ධර්මය දායාද කොටගෙන වාසය කරන්න. ආමිසය දායාද කර නොගන්න. ලෙසින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට වදාළ සේක .ඒ අනුව බෞද්ධයෙකුට ඇති උතුම්ම දායාදය ධර්ම ය බව වැටහෙනවා ඇත.

ධර්මය ජීවිතයට සම්බන්ධ කර නොගෙන අනුන්ට කියා දීමෙහි යෙදෙන පුද්ගලයාට ධර්මයෙන් ප්‍රයෝජන ලැබිය නොහැකිය. ඔහු අනුන්ගේ ගවයින් බලාගන්නා ගොපල්ලකු ට සමාන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ගොපල්ලා කොයිතරම් වෙහෙසී ගවයන් බලා ගැනීම සිදු කලත් ගවයාගෙන් ලැබෙන පස්ගෝ රස ඔහුට නොලැබී යනවා .ඒවා ලැබෙන්නේ ගවයින්ගේ අයිතිකරුට.

පිළිවෙත් පුරන තැනැත්තාට ධර්මය පිළිබඳ සම්පූර්ණ අවබෝධය ලැබෙනවා. ධර්මයෙන් ලැබිය හැකි ඉහළම ඵලය මෙයයි. නිවන අවසන් කොට ඇති ධර්ම නවයක් ප්‍රතිවේධය හි අන්තර්ගත වෙනවා. එනම් සෝවාන් මග හා ඵලය, සෙදගැමි මග හා ඵලය, අනගැමි මග හා ඵලය, රහත් මග හා ඵලය, නිවන යන නවයයි නව ලෝකෝත්තර ධර්ම ලෙස මෙම ධර්ම 9 හැඳින්වෙනවා .

බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දෙසූ මෙම සදහම් අමා වටම අයත් වූ සුවිශේෂ ලක්ෂණ ඇති බව උන්වහන්සේ දක්වනවා .අප වන්දනා කරන අවස්ථාවන්හිදී දහම් ගුණ සිහි කරන පාඨයෙහි එම ගුණ හය අන්තර්ගත වෙනවා .

ස්වාක්කාතෝ භගවතා
ධම්මෝ සන්දිට්ඨිකෝ
අකාලිකෝ ඒහිපස්සිකෝ
ඕපනයිකෝ පච්චත්තං
වේදිතබ්බෝ විඤ්ඤූහී ති….

බෞද්ධයා මෙම දහම් ගුණ සිහිකර ධර්ම රත්නය වන්දනා කරනවා. ඒවාට සිත යොමුකරමින් ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා. ධජග්ග සූත්‍රය හි උපදෙස් දී ඇති පරිදි විපත් කරදර දුරුකර ගැනීම සඳහා දහම් ගුණ සිහි කරනවා. ධර්මයෙහි ශ්‍රේෂ්ඨත්වය වටහා ගැනීම සඳහා එම ගුණ හය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයයි.

බුදුන් වහන්සේ විසින් දෙසූ ධර්මයෙහි ඌනතා කිසිවක් නැත හැම දේශනාවක්ම මුල මැද අග යන තුන් තැනම අර්ථවත් චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු දහම් ධර්ම තර්කානුකූලව ක්‍රමවත් ව දේශනා කොට තිබෙනවා කෙනෙක් විචාරපූර්වකව විමර්ශනය කළත් එහි ඌනතාවක් හෝ දොසක් දැක්වීමට නොපිළිවන් . මෙය ධර්මයේ ඇති ස්වාක්ඛාත ගුණයයි

ධර්මය තමා විසින්ම දැකිය යුත්තක් හොඳ දෘෂ්ටියකින් දැකිය යුත්තක් වැරදි දෘෂ්ටියකින් ධර්මය දෙස බැලුවොත් ධර්මයෙහි ඇති තතු වටහාගත නොහැකියි පාට කණ්නාඩියක් පැළඳ ගෙන බලන තැනැත්තාට එම පාට නිසා යමක නියම පැහැය හඳුනාගත නොහැකි මෙන් ධර්මය දකින්නා මා දකින්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙම සන්දිට්ඨික ගුණයේ තියෙන අගය පහදන්න ටයි

ධර්මය පිළිපැදීමේ ප්‍රතිඵලය කල් නොයවාම ලබාගත හැකියි.කුසල ධර්මයෙ හි යෙදෙමින් ධර්මචාරී වී කටයුතු කරන්නාට එහි ඵල ප්‍රයෝජන මෙලොවදීම ලැබෙනවා තමා තුළ ඇතිවන මානසික සුවය අනුන්ගෙන් ලැබෙන කිත් පැසසුම් නිදසුන් වශයෙන් දැක්විය හැකියි ධර්මය සනාථයනයි කාලානුරූපීව වෙනස් කළ යුත්තක් එහි නැහැ. ධර්මය පිළිපැදීමෙන් හැමදාම හොඳ විපාක ලැබෙනවා මෙය ධර්මයේ අකාලික ගුණය බවට පත්වෙනවා

ධර්මය කෙනෙකුට පෙන්විය හැකි සාරවත් පිවිතුරු පවත්නා දෙයක් .කිනම් අයකුට වුවත් ධර්මය දෙස බලා සිය නුවණේ පමණින් නිරීක්ෂණය කිරීමෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් සිත පහදවා ගන්නට පුළුවන්. ජීවිතයට සම්බන්ධ කරගත හැකි එන්න ධර්මය දෙස බලන්න යනුවෙන් කාහට වුවද අමතා එය පෙන්විය හැකි ධර්මයේ මේ ගුණය ඒහිපස්සික ගුණයයි

ධර්මය හිතට අරමුණු කරගෙන සිත වැඩිය හැකි ය.එසේ ප්‍රගුණ කළ ධර්මය සෝවාන් ආදී මහා ඵල වලටත් නිවන ටත් සෘජුවම බලපානවා මෙය ධර්මයේ ඇති ඕපනයික ගුණය යි

නිවන් ලැබීමේ දී එක් එක් පුද්ගලයා තම තමන් විසින් ධර්මය අවබෝධ කරගත යුතුයි දෙමාපියන් අවබෝධ කරගත් ධර්මයෙන් දූදරුවන්ට නිවන් දැකිය නොහැකිය දූ දරුවන් අවබෝධ කරගත් ධර්මය තුලින් දෙමාපියන් නිවන් යැවිය නොහැකිය මෙය ධර්මයේ ඇති පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයයි

අප විසින් දහම් අමා රසය පානය කළ යුතුයි. පහන් සිතින් දහම් රස ගුණ තැනැත්තා සුවසේ කල් ගෙවන්නේ යයි බුදුරජාණන් වහන්සේ වදාළා. එම රසය පානය කළ යුතු ක්‍රමය ද උන්වහන්සේ දැක්වූවා.

සුනාථ.. ධාරේත.. චරාථ… ධම්මේ …

ධර්මය අසන්න.. ධර්මය සිත්හි දරාගන්න… ධර්මය පිළිපදින්න…. යනුවෙන් උන්වහන්සේ දේශනා කළේ එබැවින්…

සැමට තෙරුවන් සරණයි …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here