නිකිණි පුර සඳ සුදිලෙනා…වස්සාන කාලය ඇරඹුනා… – Sri News

0
4


වස්සානයේ ඇරඹුම නිකිණි පොහොයයි. මෙතැන් සිට මාස 4 ක කාලයක් වස් වසන්නට භික්ෂූන් වහන්සේ වෙත ප්‍රඥප්තියක් පැනවී තිබෙනවා.

හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේත් මේ කාලය තුළදීයි. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසාම ගස්මුල් අසල  වාඩි වී බණ භාවනා කිරීමට මේ සමයේ උචිත වන්නේ නැහැ .

බුද්ධ කාලයේ දී විසූ පැවිදි පිරිස් වස් කාලය ඇතුළත චාරිකාවෙන් තොරව ආවරණ සහිත තැනක හිඳගෙන මහණදම් පිරීම සිදුකළා. තුන් මාසයක් තිස්සේ වස් වසා අවසානයේ දී චීවර මාසය උදා වෙනවා.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ කාලයේ නිකිණි මාසය හෙවත් අගෝස්තු මාසය කියන්නේ වස්සාන සෘතුවේ දෙවන මාසය.වෙසක් පොසොන් වැනි මාස වල තද වැසි නොලැබුනත් ,ඇසළ නිකිණි මාස වැසි ලැබෙන මාස බවට පත්වුණා .

තද වැසි ලැබී මහපොළොව මොළොක් වෙන අතරම ඉදිරියේ එන බිනර වප් මාස වල සිට පටන් ගන්නා ගොවිතැනට මහපොළොව සූදානමක් මේ කාලයේ සිද්ධ කරනවා.

කෘෂි ජීවිතය හා බැඳුණු නිකිණි මාසයේ ස්වභාවය එය වුණත්, බෞද්ධ ශාසන ඉතිහාසය හා බැඳුණු නිකිණි මාසය  පිළිබඳව අප දැනගත යුතු තවත් බොහෝ දේ තිබෙනවා. මේ කාලයේ සූර්යයා සිංහ රාශියේ ගමන් කරන බව ජ්‍යෝතිෂ්‍ය මතය බවට පත්වෙනවා.

මිනිසා ගහ කොළට ආදරය නොකිරීම නිසා ම, පරිසරය පෝෂණය නොකල නිසාම, පසු කාලයේ සුන්දර “කිණි” හෙවත් වැස්ස “නි”හෙවත් නැති මාසය බවට පත්වුණා.

ගංගා වැව් පොකුණු ඇළ දොළ බොහෝවිට සිඳී ගියා .වැව් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වැව අලුත්වැඩියා කිරීම වැව් මාළු අල්ලා වේළා ගැනීම ආදියට මේ මාසය එනිසාම යොදා ගත්තා.

බුද්ධ ධර්මයේ මූලික අනුශාසනාවක් වූ අනුන්ට කරදරයක් නොකර ජීවත් වීම මේ කාලයේ සිදු කිරීමට නොහැකි තත්වයකට පත් වුණා.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී වැඩි වශයෙන් පිණ්ඩපාතයෙන් යැපුන භික්ෂූන් වහන්සේලා වැසි කාලයේ දොරින් දොර පිඬු සිගා යාම මහජනයාට කරදරයක් බවට පත්වුණා. තම ශ්‍රාවක සංඝයා ගේ පිණ්ඩපාත ගමන ජනයාට කරදරයක් වන්නේ යැයි ඇසූ බුදුරජාණන් වහන්සේ වැසි කාලය තුළ විහාරාරාම තුළ රැඳී සිටින ලෙස ධර්ම ප්‍රචාරය සඳහා හෝ ගෙයින් ගෙට ගමින් ගමට නොයන ලෙස භික්ෂූන් වහන්සේලාට බොහෝ ලෙස අවවාද කිරීමට පෙළඹුණා.

ඒ අනුව භික්ෂූන් වහන්සේ කෙනෙකුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස සපයමින් එක ස්ථානයක රඳවාගෙන උපස්ථාන කිරීමේ චාරිත්‍රය ඇතිවීම මෙකල ආරම්භ වුණා. එය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම බොහෝ විට ඇසළ පෝය දවසේ සිදුවුණා. ඇසළ පෝය දවසේ වස් විසීවිසීම පෙර වස් විසීම වූයේ එම පොහොයට වස් සිටිය නොහැකි වූ භික්ෂූන් වහන්සේලා නිකිණි පෝ දා පසු වස් සිටීමට පුරුදු වූ නිසයි.නිකිණි පෝය පසුවස් සිටින පෝ දිනය සේ නම් කෙරුණා.

බෞද්ධ ශාසන ඉතිහාසයේ නිකිණි පෝ දිනයේ වැදගත් සිදුවීම් දෙස අප මදක් විමසමු.

🌼ධර්ම භාණ්ඩාගාරික වූ බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයා ව සිටියා වූ ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවය ලැබුවේ අද වන් වූ නිකිණි පෝදා කයි.

🌼අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය සහිතව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් …ආනන්ද, අනුරුද්ධ, උපාලි, යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහා ද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයකදී….ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම නිකිණි පෝ දිනයේ ආරම්භ වුණා

🌼වස් විසූ භික්ෂූන් වහන්සේ කෙනෙකුට වස් සමය අවසන් වනතුරු පිටත යා නොහැකි නමුත්, වස් ස්ථානයෙන් පිට වී සතියක් ඇතුලත ආපසු පැමිණිය හැකි නම් එවැනි ගමන්වලට අනුමැතිය ලබාදීම ද බුදුන් වහන්සේ අනුමත කළ දිනය, මෙදින බවට පත්වුණා

🌼බුදුරජාණන් වහන්සේ දාහතර වන වස් කාලය ශ්‍රාවස්තිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කරමින් සිටි අතර,එම සූත්‍රයට දැඩි උවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරණුවන් රහත් භාවයට පැමිණියේ අදවන් වූ නිකිණි පොහොය දිනයක දීයි.

🌼වස්සාන කාලය ලෙස නිකිණි පොහොය ට පසුව උදාවන සමය හඳුන්වන්නට පුළුවන් අතර බුදුරදුන්ගේ ලලාට ධාතු නිදන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමත් අද වන් වූ  උතුම් නිකිණි පොහොය කදී සිදුවුණා සේරුවාවිල පෙරහර පවත්වන්නේ ද නිකිණි පොහොය සමග බව ඊට හොඳම නිදර්ශනයක්.

බෞද්ධ ජනතාව දොළොස් පොහොය ම පින්දහම් කිරීම සඳහා කැපවී, පුණ්‍ය චේතනා පෙරදැරි කරමින් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල  උක්තබ්සඳහන් කරන ලද,බොහෝ වැදගත් සිදුවීම් සිහිපත් කරමින් පින්කම් පැවැත්වීමට පුරුදුව සිටිනවා…

නිකිණි පෝදා පෑයූ සඳ එලියේ ආලෝකයෙන් සහෘද  බොදු හද සඳහා ලන…පහන් සිත් උපදවා ලන…පරෝපකාරී චේතනාවෙන් හද සනසන උතුම් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක් වේවා!!!

ඔබ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!   

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here