න්‍යෂ්ඨික පිපුරුමක් සිදුවන ආකාරය සහ එය අපිට බලපාන හැටි

0
4

 

මේ දවස්වල උතුරු කොරියාව ඇමරිකාවත් එක්ක ගේමට වගේ න්‍යෂ්ඨික අවි: බැලැස්ටික මිසයිල අත්හදා බලන බව නිරන්තරයෙන් දැනගන්නට ලැබෙනවා. උතුරු කොරියාව මිසයිලයක් මුහුදට අතහැරපු ගමන් ඇමරිකානු ජනපති ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’නුත් ට්විටර් එකට ලොව කළඹන ට්වීට් එකක් අතහරිනවා. චීනයත් ඒ අතරේ දෙපැත්තට ම නැතුව මැද මාවතේ ඉන්නා එකත් ඉතින් වාසි අතට හෝයියා කියන්නවත් ද කියලා සැක යි. ඒ කොහොම නමුත් න්‍යෂ්ඨික අවි වල ක්‍රියාකාරීත්වය සහ එවන් තත්ත්වයක දී පරිස්සම් වෙන්නේ කොහොමද කියලා ටිකක් හොයා බැලුවා නම් හොඳයි කියලා අපි හිතුවා.

 

අපි වැඩිපුර ම අහලා තිබෙන න්‍යෂ්ඨික බෝම්බ හඳුන්වන්නේ විඛණ්ඩන (fission) බෝම්බ ලෙස යි. න්‍යෂ්ඨික පිපිරුමකදී සරලව සිදුවන්නේ බෝම්බයේ මධ්‍යය සැකසී ඇති ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයේ න්‍යෂ්ඨිය ක්ෂණිකව එහි ශක්තිය මුදා හැරීම යි. ඊට අමතර ව තාප-න්‍යෂ්ඨික බෝම්බ, ක්ෂාර බෝම්බ ලෙස තවත් වර්ග තිබෙනවා.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමරිකාව විඛණ්ඩන බෝම්බ දෙකක් නිපදවූවා. එකක් කුඩා කොළුවා (Little Boy) ලෙස හැඳින්වුණු අතර එය යුරේනියම් යෙදූ තුවක්කු ආකාරයේ බෝම්බයක්. හිරෝෂිමාවට දැම්මේ ඒ බෝම්බය යි. අනෙක් අවිය මහත මිනිසා (Fat Man) නම්වූ අභ්‍යන්තර පිපිරුම් ආකාරයේ ප්ලූටෝනියම් හරයක් සහිත බෝම්බයක් වූ අතර එය නාගසාකි වෙත පතිත කෙරුණා. ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වයක් දරන යුරේනියම්-235 සහ ප්ලූටෝනියම්-239 සමස්ථානික මේවායේ භාවිතයට තෝරා ගැනුණා.

විඛණ්ඩනය ඇතිවෙන්නේ නියුට්‍රෝනයක් ඉතා වේගයෙන් මෙම සමස්ථානිකයක න්‍යෂ්ඨියක ගැටීමෙනුයි. එහිදී න්‍යෂ්ඨිය කැඩී බිඳී ගොස් ඉතා විශාල ශක්තියක් මුදා හරිනවා. මෙය දිගින් දිගට ම න්‍යෂ්ඨි අතර සිදුවීමෙන් දාම ප්‍රතික්‍රියාවක් (chain reaction) බවට පත්වී න්‍යෂ්ඨික පිපිරුම සිදු වෙනවා.

 

මේවා අතරේ අඩු තාක්ෂණික හැකියාවන් සහිත ත්‍රස්ත සංවිධාන විසින් ද න්‍යෂ්ඨික බෝම්බ හදනවා. ඒවායේ මෙතරම් ප්‍රබලතාවක් නැති අතර ඒවා නීච බෝම්බ (dirty bombs) ලෙසයි හඳුන්වන්නේ. ඔවුන් කරන්නේ සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය ටිකක් විකිරණශීලී මූලද්‍රව්‍යයක් අසලින් තබා එකට බැඳ පුපුරවා හැරීම යි. එකවර සිදුවන මරණ සංඛ්‍යාව අවම නමුත් මේවායෙන් වැඩි ප්‍රදේශයක විකිරණශීලීත්වය මුදාහැරෙන නිසා බොහෝ කාලයක් යනතෙක් පුපුරුවාලූ ප්‍රදේශය තුළ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා.

 

න්‍යෂ්ඨික පිපිරුමක බලපෑම එය ස්ඵෝටනයවූ දිනයේ කාලගුණ තත්ත්වය, වේලාව සහ භූගෝලීය පිහිටුම්, පොළොවේ සිට පිපිරීම සිදුවූ උස අනුව වෙනස් වෙනවා.

 

පිපිරීම සිදුවීමේදී අවට වාතය එකවර ම ඉතා ඈතට විහිදී යනවා. එවිට ඇතිවන පීඩන වෙනස නිසා අවට ඇති වස්තූන් ක්ෂණිකව බිඳී යාමට, රථ වාහන ආදිය හැකිලී යාමට සහ ගොඩනැගිලි පුපුරා යාමට ලක් වෙනවා. මෙය මිනිසෙක්ට දරාගත හැකි ප්‍රමාණයක් වුවත් ගොඩනැගිලි වැනි බාහිර දේවල්වල ගැටීම නිසා සහ උෂ්ණත්වය නිසා මරණය ඇති වෙනවා. මෙගාටොන් 1ක බෝම්බයක් සැලකුවොත් (එනම් හිරෝෂිමාවට වැටුණු බෝම්බය මෙන් 80 ගුණයක් විශාල නමුත් අද තිබෙන න්‍යෂ්ටික අවිවලට වඩා ඉතා ම කුඩා ප්‍රමාණයේ එකක්) එමගින් කි.මී. 6ක අරයක් දක්වා පිපිරුම බලපවත්වන අතර බලපෑම සහ තරංග මගින් ටොන් 180ක බලයක් ඇති කරනවා. සුළඟේ වේගය පැයට කි.මී. 255ක් බවට පැමිණෙනවා.

න්‍යෂ්ඨික පිපිරුමක දී 35%ක් තරම් ම ශක්තිය මුදා හැරෙන්නේ තාප විකිරණ ලෙස යි. හිරෝෂිමාවේ සිදුවුණු ප්‍රහාරයේදී ඇතිවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 300,000ක් ලෙස සැලකුණා. එම උෂ්ණත්වය ආදාහනාගාරයක ඇති උෂ්ණත්වය මෙන් 300 ගුණයක් විතර වෙනවා. ඉතින් එවන් තත්ත්වයකට ශරීරය නතු වෙනවා කියන්නේ කෙලින් ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී මානව දේහයේ තැනුම් ඒකක මූලද්‍රව්‍ය වලට ම අපි පත් වෙන බවයි.

 

මෙම තාප විකිරණ ආලෝකයේ වේගයෙන් තරම් ඈතට විහිදී යන අතර ඔබට ප්‍රථමයෙන් අත් දකින්නට සිදු වෙන්නේ දෑස් නිලංකාර කරවන තරම් සුදු පැහැති ආලෝකයක් සහ උණුසුම යි. මෙගාටොන් 1ක බෝම්බයක බලපෑම කි.මී. 21ක් තරම් දුරට ඇති විය හැකියි. දහවලක මෙය සිදුවුණොත් එම කලාපයේ සිටින අයට දෑස් නිලංකාර වීම සිදුවන අතර රාත්‍රියේ සිදු වුවහොත් කි.මී. 85ක් දුර සිටින අයට ද එසේ තාවකාලික අන්ධතාවය ඇති වෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here