නරබිල්ල

0
10


ඒයි රඹා…! මෙහෙ වර යකෝ…! අරූ පැනලා යන්ඩ හදාවි. බැරිවෙලාවත් ඌ පැනලා ගියොත් මතක තියාගං…. තෝවයි මං බිලි දෙන්නේ….”

රඹා ගැස්සිලා ගියා. ඇස් ලොකු කරගත්තා. මහා භය පක්ෂපාතීකමක් ඇති කරගෙන පිළිතුරු දුන්නා.

“න්…. නෑ… නායකතුමනි…, අපි ඒකගෙ කකුල් දෙකයි, අත් දෙකයි කිටි කිටියේ බැඳලා තියෙන්නේ…. හෙලවෙන්ඩ බැරි වෙන්න බිම පතබාවලයි තියෙන්නේ… ආයෙ ඉතින් ඌ පූජාවට මිසක්කා වෙන දේකට ලේස්ති නෑ…”

නායකතුමා ආයෙමත් බෙරිහන් දුන්නා.

“ඒයි කන්කොටා…. තෝ වර මෙහෙට! කෝ අමුඩයා…?”

“මෙ…. මෙහෙ එනවෝ…. නායකතුමනි… මං මේ… අද පූජාවට වදමල් ලේස්ති කොරනවා… මල්මාලා හතක්ම හදන්ඩ එපායැ…”

“හ්ම්… හොඳා…. හැබැයි යකෝ…. මතක තියාගං… හරීම ලස්සනේට මාල හත තියෙන්ඩ ඕනෑ… තෝ දන්නවානේ… මයෙ හැටි!”

අමුඩයා ඔළුව බිමට පාත් කරගත්තා. දකුණු අත ඔසොවා කෙස් වැටිය කසන්න පටන් ගත්තා. ආයෙමත් වදමල් ළඟට ගිහින් බිම ඇණ තියාගත්තා. කන්කොටා තැටියක වී දමලා පුළුස්සනවා. දේවාතාවුන්නාන්සෙට මිනිස් බිල්ල දෙන දවසට වී පොරි තියෙන්ඩම එපායැ.

රඹා නුගරුක දිහා බැලුවේ මහත් ගෞරවයකින්. ඉහළ ඉඳලා පහළට බලා සිටිද්දී නුග රුක් උන්නාන්සේ මහා තේජවන්තව පේනවා. මූකලානේ මැද්දෙන් හිටගෙන ඉන්න යෝධයෙක් වගේ. ගව්වක් විතර උස ඇති. වටේට තඩි මුල් පහළට වැක්කෙරිලා. ඇඹරි ඇඹරි ගිහින්. මහ පොළොව හිල් කොරගෙන යටට බැහැලයි තියෙන්නේ. බිලි පූජාව කෙරෙද්දී ගලා ගෙන යන ලේ උරාගන්නේ ඒ මුල්වලින් වෙන්ඩ ඇති.

රඹා තනියම කල්පනා කළා.

‘ඔව්! අද මේ නාකියාගේ දුක් දොම්නස් ඉවර වේවි… හප්පේ…! අපි දැන් කීයක් නම් බිලි නුගරුක් උන්නාන්සේට දුන්නාද? පොළොවේ ලේ ගලාන යනවා. බලාන ඉන්නැද්දි හිඳෙනවා. මේ දේවතාවුන්නාන්සේ මහා බලසම්පන්න ඇති.’

නායකතුමා අද පූජාවට ජයටම ලේස්ති වෙනවා. නායකතුමාගේ බැල්මට සලිත නොවෙන්නෙ කවුද? ඇස් දෙක ලොකු කරනවා. හොඳට අඹරෝලා බලනවා. හොරු රෑනම ‘මීක්’ කියන්නෙ නෑ. නිකම්ම මුළුගැහෙනවා. නායකතුමා ඉදිරියේ කෙලින් ඉන්ඩ පුළුවන් එකෙක් මේ මූකලානෙ නෑ. මහා තේජස් ඇති සද්දන්තයා නෙව. කලු නූලට කොටි දත අමුනලා බෙල්ල අලංකාර කොරලා තියෙනවා. විසාල රතු ඇස්… බොකුටු කොණ්ඩෙ… හැඩි දැඩි මස් පිඩු.. ගොරෝසු හඬ… නායකතුමාගේ වචනයෙන් කෙස් ගහක් වත් පිටපනින්ඩ දහිරිය තියෙන එකෙක් වත් මේ හොර මුලේ නෑ.

නායකතුමා උගුරෙ රැල් බුරුල් හැරියා.

“රත්තා… බලාපිය තෝ කඩුව මුවහත් කොරනවා… කොරනවා… ඇයි යකෝ ඕකෙ මුවහත නැද්ද…? මොකෝ තොට පරානකූඩු සීයක් හමාරක් හම්බවුණාද? මේ නාකි ලොන්තානෙ ඉන්නේ…

කෝ වළහා….? ඌ කොහෙද ගියේ…? පහන් හතකට තෙල් ඕනේ…. අර… අර… ඉන්නේ… එ්යි! තඩියා… මෙහෙ වර වළහෝ…. විලක්කු ටික වෙලාවට ලේස්ති කොරපං….”

අතපය බැඳලා උන්නු නාකියා එක්වරම මූකලාන දෙවනත් කොරාන මොරදෙන්න පටන් ගත්තා.

“ඉහි… ඉහි…. ඉහි…. අයියෝ….! මයෙ දෙයියෝ….! දේවතාවුන්නාන්සේට පේන් නැද්දෝ….? මං මේ අනුන්නේ ඉඳුල් කකා හිටපු කාලකණ්ණියා…. අයියෝ…! මං වගේ පව්කාරයෙක්ව බිල්ලට ගන්ඩ තමුන්නන්සේට ලැජ්ජා නැද්දෝ….?”

නායකතුමා පොළොවේ අඩි හැප්පුවා.

“ඒයි නාකියා….! කටවහාන හිටපිය අවලමා… හහ්…. හහ්… හා….! අපට සොරකම සරු කොරන දේවතාවුන්නාන්සේට අද ජයට පූජාව කොරනවා….. හහ්… හහ්… හා….!”

නාකියා ජීවිතාශාව අත්හැරියා. මැරෙන බව හොඳටෝම දන්නවා. කාට නම් භය වෙන්නද? කෑ ගහලා නායකතුමාට උත්තර දුන්නා.

“නෑ… මයෙ අප්පෝ….! උඹලාට වැරදිලා….! මං නිකම්ම නිකං දංකුඩයෙක්. ඉඳුල් පප්පෙක්… උඹලාට හොරකං සරුවෙයි බලාන හිටපං! දේවතාවුන්නාන්සේ කිපෙයි… මහ තැන්වලට උඹලාව අහුකොරලා දෙයි. පූජාවක් කොරනවා නම් දේවතාවුන්නාන්සේ සතුටුවෙන විදිහට කොරහං…. ඉස්තරම්ම ඉස්තරම් ඉස්පිරිත්තු වගේ පිං පුරෝගත්තු මහා පින්වන්ත මිනිස්සු ඉන්න තැන් මං දන්නවා. ආන්… උන්දැලාගෙන් එකෙක් ඇන්න ඇවිත් පූජාව කොරාපිය….! දේවතාවුන්නාන්සේ දෙකක් නෑ සතුටුවෙනවා….”

නායකතුමා මූකලානේ දෙවනත් වෙන්න හිනහවුණා.

“හහ්….. හහ්…. හා…. ඈ! බොල නාකියෝ….. ආයෙත් කියාපිය අවලමා… කොහෙද යකෝ… ඉස්තරම්ම ඉස්තරම් ඉස්පිරිත්තු වගේ මිනිස්සු ඉන්නේ….?”

“අයියෝ…..! මේං ඕන්න…. මං වැන්දා… මං දන්නවා උන්දැලා ඉන්න තැන….. මෙතන ඉඳලා දෙගව්වක් මූකලානෙන් යන්ඩ ඕනේ. දකුණු පැත්තේ ඇති චිත‍්‍රවතී ගංගාවෙන් එතෙර වෙන්ඩ ඕනේ. ඊ… ඊට පස්සේ එගොඩ වෙලා ආයෙ දෙගව්වක් ගොහින් වමට හැරුනාම උණ වනේ. එතනත් නුගරුකක් තියෙනවා. ඒකෙ ලීයෙන් කොරාපු ගෙඩියක් එල්ලලා තියෙන්නේ. උඹලා ගොහින් ආං ඒ ගෙඩිය ගහපන්…. එතකොට උන්නාන්සේලා එළියට වඩිනවා… හප්පා…! බලන්ඩ එපායැ… උන්දැලාගේ සිරියාව….! නේත්තරා දෙක වටපිටට වීසි කොරන්නෙ නෑ. බිමටමයි නැඹුරු…. හක්මං කොරද්දි හප්පේ…. මහපොළොවට වත් දැනෙන්නෙ නෑ. කිව්වට මොකෝ බ‍්‍රහ්මචාරී සීලෙ යොදුන් ගණන් සුවඳ විහිදෙනවා….”

“හහ්… හහ්… අඩා… බොල අවලං නාකියෝ… තෝ පූජාවට භය වුණා නේ…. තෝ හිතාන ඉන්නේ මං දොඹ ගහෙන් වැටිච්චි උණහපුළුවෙක් කියලද? දැන ගිය උලමා…. තෝ කාටද ඔය නාස් ලණු අඹරන්නේ….?”

“අනෙ අප්පේ….! ඕං කිව්වා…. සත්තමයි… දෙයියම්පා… අම්මපා…. උඹලපා…. මං මේ නුගරුකේ වැඩඉන්න දේවතාවුන්නාන්සේට ඇහෙන්ඩ මයි කෑගහලා කිව්වේ…”

එතකොට නායකතුමා එහාට මෙහාට ඇවිද්දා. ඔළුව බිමට පාත් කරගත්තා. දෑත බැඳගත්තා. ආයෙමත් දෑත පහතට දෑවා. නළලෙන් දහඩිය වැක්කෙරෙනවා. අත හැකිළුවා. දඹර ඇඟිල්ල වකුටු කළා. නළලට තියලා තද කළා. ගලා වැටුණු දහඩිය බිඳු ‘සිරිස්’ ගාලා ඇදලා වීසි කළා. කල්පනාවට වැටුණා.

‘හ්ම්… කලින් වතාවෙත් හොරකම සරුවුණේ නෑ… මේ නාකියා කියන කතාවෙත් ඇත්තක් ඇති. හැබෑටම ඒ වගේ මහා ඉස්තරම් ඉස්පිරිත්තු වගේ මිනිහෙක්ව පූජා කොරගන්ඩ ඇත්නම්… ආයෙ දෙකක් නෑ උන්නාන්සේ සතුටු වේවි!’

“රඹා…! වර යකෝ. මේ නාකියා ලෙහාපිය…. ඒයි නාකියා! දැන් තෝව ලෙහනවා… තෝ පාර පෙන්නන්ඩ ඕනේ. හැබැයි පැනල යන්ඩ බෑ! තෝ කියන ජාතියේ එවුන් මුරිච්චි නොවුණොත් තෝ පූජාවට ගන්නේ ගැරඬියෙක් පෙති ගහන්නැහේ… මැල්ලුම වගේ ලියලා දාලා…”

නාකියා ගැහි ගැහී නැගිට්ටා. නායකතුමාට වන්දනා කොළා. සොරමුල දැන් ආරණ්‍යයට ගමන පටන්ගත්තා. ගඟෙන් එතෙර වුණා. නුගරුක ළඟට ගියා. ගෙඩිය ගැහුවා. සසර දුකින් මිදීම පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය පින්වත් කුලපුත‍්‍රයන් වහන්සේලා එකිනෙකා වනයෙන් එළියට වැඩියා. නාකියා හිටගෙන ගැහි ගැහී බලාන හිටියා. වැඩිමහළු තෙරුන් වහන්සේ වැඩිය ගමන් උන්නාන්සේගේ දෙපා ළඟ හඬා වැටුණා. තමන්ව බේරගන්න කියලා වනය දෙවනත් කරමින් විලාප දුන්නා.

නායකතුමා තර්ජනය කළා. එක භික්ෂූන් වහන්සේ නමක් රැගෙන යාමේ අවශ්‍යතාවය කියා හිටියා. පිරිස අතරින් සත් හැවිරිදි කුඩා භික්ෂුවක් ඉදිරිපත් වුණා. ඒ භික්ෂුව ඉතා චතුර විදිහට සඟ පිරිස හසුරුවනවා. වේගයෙන් කතා කරනවා. ඒ භික්ෂුවගේ වාග් චාතුර්යයට සියලුම සඟ පිරිස අවනත වුණා. නාකියාව නායකතුමා නිදහස් කළා. සත් හැවිරිදි කුඩා සඟ දරුවා සිනහවෙවී පෙරට වඩිනවා.

“හැබැයි පොඩි එකෝ…. උඹ හරීම ලස්සනයි. නාකියා කියාපු සියලු අංග ලක්ෂණ උඹට තියෙනවා. අද දෙයියන්නාන්සේ සතුටු වෙයි. ඉතින් යමං…”

කිසි කතාවක් නැතුව මේ කුඩා සඟ දරුවාණන් වහන්සේ මහ පොළොවට නොතේරෙන්ඩ සාන්ත ඉරියව්වෙන් වේගයෙන් වඩිනවා. සොර මුල මස් කැටියක් වට කරගත් උකුස්සන් රැලක් සේ පොඩිනම පිරිවරාගෙන ගමනේ යෙදෙනවා.

“හරි…! රඹා… මේකව ගැටගහන්ඩ දෙයක් නෑ. මේකා කැමැත්තෙන් නෙව ආවේ… මේකා ඔහේ හිටීවි. කෝ… නොන්ඩියා….? හනේ… හනේ…. මොකෝ තෝ අද…. මතුරන්නේ නැද්ද…?”

නොන්ඩියා භය වුණා. හනික මැතිරිල්ල පටන්ගත්තා. දැන් පහන් එක දෙක දැල්වෙනවා. විලක්කුවට ටිකෙන් ටික තෙල් එක්වෙනවා. කෙහෙල් කොළයක දැමූ මල් මාලා රැගත් අමුඩයා නායකතුමා ළඟට පැමිණියා. කිසි හාවක් හූවක් නැති පොඩිනම සිනහ වෙවී ඉන්නවා. නොන්ඩියා වේගෙන් මතුරනවා. වන මූකලානය අමුතු අඳුරකට පත්වුණා. සුළඟ නැවතුණා. ගස්කොළංවල දල්ලක්වත් සෙළවුණේ නෑ. නුගරුකේ කොළ පහතට නැමී තිබෙන්නේ පූජාව දෙස බලා සිටිනවා වගේ.

“හහ්… හහ්… හා…! ඒයි පොඩි එකෝ…. හැබෑටම තොට භය නෑ එහෙනම්….?”

නායකතුමා මල් මාලය අතට ගත්තා. වාඩි වී සිටින පොඩිනමගේ බෙල්ලට මල් මාලය දැම්මා. කඩුව අතට ගත්තා. ආයෙමත් ගලේ මුවහත් කොළා. සිනහමුසු මුහුණින් පොඩිනම නායකතුමා දෙස බලා සිටියා. පොඩිනමගේ නිල්පාට ලස්සන ඇස් දෙක අමුතු ශාන්තියකින් දිළිසෙනවා. චූටි ඇඟිලි ශාන්තව තැන්පත් වෙලා තියෙනවා. චූටි ඇඟ රන්වන් පාටින් දිළිසෙනවා.

මෙතුවක් කාලයකට කිසිසේත් නොදුටු මේ අපූරු දර්ශනය සියල්ලන් තුළම අද්භූත හැඟීමක් ඇතිකළා. හැමෝම පොඩිනම වටකරගත්තා. නායකතුමා තව මල් මාලයක් ගත්තා. හිනා වෙවී පොඩි නමගේ බෙල්ලට දැම්මා. නොන්ඩියා වේගයෙන් මතුරනවා. කඩුවෙහි මුවහත දිළිසෙනවා. කෙමෙන් කෙමෙන් අඳුර හාත්පස වටකරනවා. රඹා පොඩිනම දෙස පුදුමයෙන් බලාසිටිනවා. හැමෝගෙම අතරේ කසු කුසුවක් ඇතිවුණා. නායකතුමා එය පැහැදිලිව දැක්කා. එකිනෙක මල් මාලා පොඩිනමගේ ගෙලෙහි වැටෙද්දී තව තවත් ලස්සන වුණා.

නායකතුමා කඩුව අතට ගත්තා. දකුණු අතින් කඩුව ගෙන දෑත දෙපසට විහිදා හිස ඔසොවා නුගරුක දෙස බලා බියකරු ලෙස හිනැහෙන්නට පටන්ගත්තා. සැණෙකින් නායකතුමාගේ ශරීරයට මහා වේගයක් ආවා. එක හුස්මට ගත් කඩුව ඔසොවා පොඩිනමගේ ගෙල දෙසට වේගයෙන් පහර දුන්නා.

“ආහ්! මොකද මේ…..? වැදුනෙ නෑනේ….? මේක වෙන්ඩ බැරි වැඩක්! මෙතෙක් කාලයකට මේ කඩුපාර වැරදිලා නෑ!”

නායකතුමා ආයෙමත් හයියෙන් හිනාවුණා. කඩුව ඔසොවාගෙන වේගයෙන් පහර දුන්නා. කෙහෙල් දල්ලක් ඇඹරී වැටෙනා ලෙසින් කඩුව ඇඹරී වැටුණා. නායකතුමා ගත් වේගය කොතරම්ද යත්, කඩුව අතින් ගිලිහෙද්දී ඔහු වැටී පොඩිනම ඉදිරියෙහිදී දණ ගැස්සුණා. පොඩි නම සිනහ වෙමින් දිළිසෙන ඇස් වලින් නායකතුමා දෙස බලා සිටිනවා.

“අයියෝ….! අදහාගන්ඩ බෑ… මට අද මේ මොකද වුණේ? කොහොමද මං කැරකිලා බිම වැටුණේ….? මෙච්චර තදින් මුවහත තියාපු මේ කඩුව මට සීයට සීයක්ම විස්වාසයි. අයියෝ….! අද මේ මොකද වුණේ….? මේ හැම දෙයක්ම මට හරි පුදුමයි…. අනේ පුංචි එකෝ…. ලස්සනම ලස්සන පොඩි එකෝ…. කවුද උඹ….? රත්තරං පාටින් බබලනවා…. මගෙ පැටියෝ…. හනේ කියාපං…. මෙතුවක් කාලෙකට විලාප නොදෙන එකෙක් මුලිච්චි වුණාමයි. වෙනදට රට රාජ්ජවල් දෙන්ඩ හදනවා. රන් රිදී කහවණු පුරවන්ඩ හදනවා. පණ ඉල්ලා මාළුවෙක් වගේ දඟලමින් වැළපෙනවා… මගේ පොඩි එකෝ… කවුද උඹ….? කියාපං……”

පොඩිනමගේ හඬ හරිම මිහිරියි. පුංචි කුඩා දරුවෙකුගේ හඬක්. එනමුදු පොඩිනම ලස්සනට කතා කළා.

“පින්වත් මාමණ්ඩි…. මං මොනවටද හඬන්නේ…..? මං මොනවටද භය වෙන්නේ….? ප‍්‍රශ්න තියෙන්නෙ ඔයාලට මිසක් මට නොවෙයි…. කඳුළු තියෙන්නෙ ඔයාලට මිසක් මට නොවෙයි…. බිය තැතිගැනීම තියෙන්නෙ ඔයාලට මිසක් මට නොවෙයි… බලාපොරොත්තු තියෙන්න ඔයාලට මිසක් මට නොවෙයි….. මගේ ලෝකයට ඔයාලගේ ලෝකයේ අයිති කිසි දෙයක් අදාළ නෑ… එනිසා සතුට මිසක් මට වෙන දෙයක් කුමකටද?”

හොරමුලේ එක එකා බැගින් පොඩිනම වටකරගත්තා. බිම වාඩිවුණා.

“අනේ මගේ පුංචි එකෝ…. ආයෙමත් කියාපං…. උඹේ වචන හරීම ලස්සනයි… උඹ හරීම ලස්සනට කතා කොරන්ඩ දන්නවා… අනේ රත්තරං පැටියෝ…. උඹට කවුද මෙහෙම ලස්සනට කතා කොරන හැටි ඉගැන්නුවේ?”

“පින්වත් මාමණ්ඩියේ….. මං අවබෝධ කළා ලෝකයෙහි ඇති එකම සත්‍යය…. සනාතන සත්‍යය…. ආර්ය සත්‍යය… එතකොට මං නිදහස් වුණා. ඔව්! භය තැති ගැනීම උපදින හැම ආසාවකින්ම මං නිදහස් වුණා….

මරණය ඉදිරියේ මට භය වෙන්න කිසි දෙයක් නෑ. මරණ බිය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක්. දැන් බලන්න…. ඔයාලා ආස්වාදයක් නේද මේ හොයන්නේ? ඔයාලට කවදද ඒ ආස්වාදය ලැබිලා පූර්ණ අස්වැසිල්ලක් ලැබුණේ? එහෙම දෙයක් නැතිබව මට අවබෝධ වුණා. ඒ නිසයි බීපු විසක් වමනෙ දැම්මා වගේ මරණය මං අත්හැරියේ….

මට මරණය අයිති නෑ. කෙලෙස් සහිත කෙනාගේ දංගෙඩිය මරණයයි. මං එයින් නිදහස් වුණා. ජීවිතේ අවසන් මොහොත මට එන්නේ මේ විදිහට නම් මා එයට සූදානම්! ගිනිගත්තු ගෙදරකින් එළියට පැනගත්තු කෙනෙක් වගේ මං සතුටින් ඉන්නේ. කෙලෙස් සහිත කෙනාට මරණය යනු ගින්නක්මයි.

අතීතය ගැන මට හැඟීමක් නෑ. අනාගතයේ සිහින මැවීමකුත් නෑ. වෙනස්වන හැම ලෝකයම වෙනස්වෙන බව මට වැටහෙනවා. ඒ නිසා මං එයට නොඇලී ඉන්නවා. එබඳු මං වෙනස්වන දේකට වැළපෙන්නෙ මොකටද?

මාමණ්ඩියේ…. දැන් ඔයාලා මාව මෙහාට එක්කගෙන ආවෙ මරන්න නේද? ඔයාලට ඒකෙන් ප‍්‍රයෝජනයක් තියෙනවාලු නේද? මට ඒ ගැන තරහක් නෑ. අමුතු ආදරයකුත් නෑ. ඔයාලා මාව මැරුවට එය මට අදාළත් නෑ.”

පොඩිනමගේ සෑම වචනයකින්ම නායකතුමා සළිත වෙලා ගියා. සොරුන්ගේ සිරුරු වලින් දහඩිය වැගිරුණා. පොඩිනම පැවසූ වදන් ඔවුන්ගේ සිත්වල රැව්දුන්නා. ඇඟේ මවිල් කෙලින් වුණා. එකවරම නායකතුමා නැගිට්ටා.

“මේ අහපල්ලා….. කෝ…… කඩු කිණිසි…..? මෙහාට ඇන්න වරෙව්…. මෙතන දමාපියව්… ඔව්! මතක තියාගනිල්ලා…. ආයෙ කවදාවත් ආයුධයකට අත තියනවා නොවෙයි.”

නායකතුමා ඒ සියලෙු දේ අරගෙන ඈතට වීසි කළා. පොඩිනමගේ ගෙලෙහි පැළඳූ මල් මාලා අරගෙන ඈතට වීසි කළා. විලක්කු වීසි කළා. පූජා භාණ්ඩ වීසි කළා. පොඩි නම ඉදිරියේ බිම දිගා වුණා. පොඩිනමගේ සිඟිති පාද නායකතුමාගේ හිස මත තබාගත්තා. කුඩා දරුවෙක් වගේ හඬන්න පටන් ගත්තා. වැළපෙන්න පටන් ගත්තා.

“ඉහි… ඉහි…. අනේ මගේ රත්තරං පුංචි ඉසිවරයන් වහන්ස…. නුඹවහන්සේගේ මේ චූටි සිරිපතුල් පුළුන් වගේ මගේ හිසට සුවය දනවනවා. අනේ මගේ රත්තරං කිරිකැටියන් වහන්ස… නුඹවහන්සේගේ ගුරුවරයා කවුද? මටත් ඕන ඔය වගේම ජීවිතයක්. ඔය විදිහටම භය, තැතිගැනීම්, සෝක, වැළපීම් නැති ජීවිතයක්. ඔව්! මගෙ පුංචි දරුවන් වහන්ස, කවුද ඇත්තටම ඒ විස්මිත ගුරුන්නාන්සේ….?”

“පින්වත් මාමණ්ඩියේ… මගේ ගුරුදේවයන් වහන්සේ ලොව දිනූ කෙනෙක්. හැමදේම දන්නවා. මුළු ලෝකෙටම හැබෑවටම ආදරෙයි. උන්වහන්සේ ඉන්නේ ගොඩක් ඈත… උන්වහන්සේට පුළුවන් ඔයාලටත් මං වගේම වෙන්න කියාදෙන්න. ඔයාලා දැන් තවදුරටත් හොරු නොවෙයිනේ…. ඔව්! පින්වත් මාමණ්ඩියේ…. ඔයාලා දැන් තමයි හරි මාර්ගය තෝරගත්තේ. ඔයවිදිහට නුවණ සිතිය හැකි ඔයාලා අපි වගේ අයට පිහිට වෙන්න තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වුණේ….”

(ථේර ගාථාවල සඳහන් අධිමුත්ත තෙරුන්ගේ ගාථා ඇසුරෙනි)

රචනය – පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post නරබිල්ල appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here