දොස්තරට බැරිවුණු වැඩේ ලැවරියා කළා

0
4


චමරිගෙයි නදීශගෙයි විවාහයට අවුරුදු දෙකයි. ටික දවසක ඉඳලාමගේ ඔලුව රිදෙනවාපපුව රිදෙනවා…” කියලා චමරි ගමටම ඇහෙන්න කෑගහනවලු. ඒ නිසා සැමියා නදීශ ඇයව කායික රෝග වෛද්‍යවරයෙක්ට පෙන්නලා. වෛද්‍ය පරීක්ෂණවලින් චමරිගේ ගතේ ලෙඩක් නැහැයි කියලා පැහැදිලි වෙච්චි නිසයි වෛද්‍යවරයා ඇයව මගේ ළඟට යොමු කරලා තිබුණේ.

පපුවයි ඔලුවයි රිදෙනවා ඩොක්ටර් ඉන්නම බැහැ.”

මමත් කායික රෝග වෛද්‍යවරයෙක් කියලා හිතපු නිසාදෝ මාව දැකපු හැටියේ චමරි කතාව පටන්ගත්තේ එහෙම. පෞද්ගලික කාරණා කතා කරන්න මුලදි මැලි වුණත් ටික වෙලාවකින් චමරි මාත් එක්ක සුහද වුණා.

මම ලැවරියා කන්න හරි කැමතියි. ඉස්සර අම්මා මට හැමදාම ලැවරියා හදලා දෙනවා.”

ඉතින් දැනුත් අම්මට කියලා ලැවරියා හදාගන්න පුළුවන්නේ කියලා මම කිව්වට පස්සේ චමරි ඇගේ කතාව කියන්න ගත්තා.

නදීශ පුංචි කාලෙදිම ඔහුගේ මව මියගිහින්. ඔහුගේ පියා අසනීපෙන් ලෙඩ ඇඳේලු ඉන්නේ. මේ හේතු නිසා චමරිගේ පවුලේ උදවිය නදීශට කැමති වෙලා නැහැ. ඒ නිසාම ඇය හිතුවක්කාරෙට නදීශත් එක්ක විවාහවෙලා.

නදීශ වැඩ කරන්නේ ගම් පළාතේ පොඩි ෆැක්ටරි එකක. ඔවුන් ජීවත්වෙන්නේ කුලී නිවසක. ඉතින් මාසේ පඩියෙන් කුලී ගෙවලා ඉතිරි වෙන මුදලින් සතියක්වත් ජීවත්වෙන්න බැරිලු. කන්න නැති වුණොත් අමු ගස්ලබු කඩලා තම්බලා කන වෙලාවල් පවා තියෙනවා කියලා ඇය කිව්වා.

හැබැයි චමරිට තිබුණු ප්‍රශ්නේ කන්න නැති එක නෙමේ.

මට බඩගින්නේ ඉන්නත් පුළුවන්. ඒත් මගේ මිනිහා මාව ගනන් ගන්නේ නැති එකයි මට ඉවසන්නම බැරි.”

චමරි ඇයට සැමියගෙන් නොලැබුණු අවධානය ලබාගන්න ඔලුව රිදෙනවා, පපුව රිදෙනවා කියලා රඟපාන්න පටන් අරන්. කාලයත් එක්ක මේ අදහස ඇගේ යටිහිතේ තැම්පත් වෙලා ඒ අමාරුකම් ඇත්තටම දැනෙන්න අරන්.

පස්සේ මම මේ සැමියා එක්කත් පෞද්ගලිකව කතා කළා.

ජීවිතේ හරි අමාරුයි මහත්තයෝ. උදේ හතරට ෆැක්ටරියට ගිහින් කැන්ටිමේ තියෙන පොඩි දෙයක් බඩට දාගෙන දවසම වැඩ කරලා ගෙදර යනකොට රෑ දහය එකොළහ වෙනවා.”

නදීශටත් කියන්න සාධාරණ කතාවක් තිබුණා.

ඔයාලගේ කැන්ටිමේ ලැවරියා නැද්ද?”

තියෙනවා.”

පුළුවන්නම් හෙට ගෙදර යනකොට ලැවරියා දෙකක් අරන් යන්න.” ඒත් මම නදීශට කිව්වේ එච්චරයි. පහුවෙනිදා ඔහු කිව්ව විදියටම වැඩේ කරලා තිබුණා.

ටික දවසකින් මේ යුවළ ආයේ මාව මුණගැහෙන්න ආවා. එදා ලැවරියා අරගෙන ගියහම චමරි හරියට සතුටු වුණාලු. ඒ නිසා නදීශ පුළුවන් විදියට ඉඳලා හිටලා ඇයට පුංචි පුංචි දේ අරන් යන්න පටන්ගෙන. ඔය අතරේ සැමියා ගැන චමරිගේ තිබුණු සැලකිල්ලත් වැඩිවෙලා. මේ දෙන්නගේ පවුල සමගි කරන්න මහා ලොකු උපදේශන අවශ්‍ය වුණේ නැහැ. පුංචි ලැවරියා එකක් හොඳටම ප්‍රමාණවත් වුණා.

පස්සේ චමරි ගෙදර ඇඳුම් මහන්න පටන්ගත්තා. කඩවලට ඇඳුම් විකුණලා ඒ දෙන්නා දැන් හොඳ මුදලක් හොයනවා. ගෙදර දෙන්නට දෙන්නගේ ආදරේ, අවධානයත් එක්ක ලැබෙන ශක්තිය ඉස්සරහා මොන ආර්ථික අර්බුදයත් යටයි කියන එකයි මට මේ කතාවෙන් කියන්න ඕනේ.

දැන් අපේ රටේ තියෙන ආර්ථික අර්බුදය බොහොම සංකීර්ණයි. ගොඩක් අයට එක වේලක් කෑවොත් අනිත් වේල කන්න නැහැ. රැකියා ගැන විශ්වාසයක් නැහැ. දරුවන්ට හරියට ඉගෙනගන්න නැහැ. ඉතින් පවුලක සැමියා, බිරිඳ, දරුවන් මේ හැමදෙනාම ඉන්නේ පීඩනයෙන්.

වෙනදා වැඩ ඇරිලා හිනාවෙන් ගෙදර එන සැමියා දැන් දොරින් ඇතුළු වෙන්නෙම කේන්තිය අතේ තියාගෙන වෙන්න පුළුවන්. සමහරවිට පැය ගාණක් ඔහු තෙල් පෝලිමක ඉන්න ඇති, නැත්තම් ප්‍රවාහන පහසුකම් අඩු නිසා තෙරපිලා හිරවෙලා ගෙදර එන්න ඇති. මේ දේවල් තේරුම් අරගන්න බිරිඳත් බුද්ධිමත් වෙන්න ඕනේ. මේ වගේ තත්ත්වයකින් ගෙදර එන මනුස්සයා එක්ක ගෙට ආපු හැටියේ මොකක් හරි හේතුවක් අල්ලන් රණ්ඩු කරනවානම්, සැක කරනවානම් වෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ දෙන්නා ඇවිලෙන එක. ඒ වෙනුවට සැමියාව වචනෙකින් හරි අගය කරන එකයි මේ වෙලාවේ බිරිඳකගේ වගකීම.

තමන්ට දැනෙන පීඩනය ගෙදර බිරිඳගේ, දරුවන්ගේ පිටින් යවන එක අසාධාරණයි කියන එක සැමියාත් තේරුම්ගන්න ඕනේ. ගෙදර ආර්ථික ප්‍රශ්නයි දරුවන්ගේ ප්‍රශ්නයි නිසා ගොඩක්ම තැලෙන්නේ ගෙදර කාන්තාව. ඉතින් වෙනදට වඩා ඇයට ආදරය, කරුණාව, අවධානය ලබාදෙන්න. ඉස්සරහට මේ ප්‍රශ්න තවත් සංකීර්ණ වෙන්න වුණත් පුළුවන්. ඒ මොන දේ වුණත් දෙන්නට දෙන්නා ශක්තිමත්ව ඉන්න බලන්න. කිසිම වෙලවක එකිනෙකාව තනි කරන්න එපා.

මෙතුවක්කල් අනවශ්‍ය දේට මුදල් වියදම් කළානම් ටික කාලයක් යනතුරු ඒ දේවල් නතර කරන්න. මේ කාලෙදි පුළුවන් තරම් ආදායමට වඩා වියදම අවම කරගන්න උත්සාහ කරන්න ඕනේ.

ඒ වගේම ගෙදර පීඩනය දරුවන්ට දැනෙන්න දෙන්න එපා. යමක්කමක් තේරෙන දරුවෙක් නම් ‘මේ කාලේ අපිට ටිකක් අමාරුයි පුතේ’ කියලා කරුණු තේරුම් කරලා දෙන්න. මුල් ළමාවිය කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ වැදගත්ම කාලේ. මේ කාලේ දරුවෙක්ගේ හිතට වැරදි දෙයක් වැටුණොත් ආයේ ගලේ කෙටූ අකුරු වගේ මකන්න බැහැ. ඒ නිසා අම්මාගේ තාත්තාගේ ආර්ථික පීඩන දරුවන් පිටින් යවන්න එපා. දරුවන්ව නිතරම සතුටින් තියන්න බලන්න.

දරුවන්ගේ වැඩ වගයකට ගෙදර තිබුණු ලී බඩු විකුණපු යුවළක් මට මේ ළඟදි මුණගැහුණා. ලී බඩු විකුණපු එක ගැන සැමියට ලොකු ගානක් තිබුණේ නෑ. හැබැයි බිරිඳ හිටියේ අමනාපෙන්. කාලයත් එක්ක මේ ප්‍රශ්න විසඳුණු දවසක ඒ විකුණුව දෙවල් අපිට ආයේ ගන්න පුළුවන්. හැබැයි අපිට අපේ ආදරණීයයන්ව ආයේ සල්ලි දීලා ගන්න බැහැ කියන එක මම ඇයට තේරුම් කළා.

අපි වැටිලා ඉන්නේ කියලා නිතරම හිතන්න එපා. වැටුණත් නැගිටින්න පුළුවන් විදි ගැනම හිතන්න. පවුලක් විදියට නිතරම සතුටු වෙන්න පුළුවන් පුංචි පුංචි දේවල් කරන්න. එතකොට චමරි වගේ ශක්තිමත්ව ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න ඕනම කෙනෙක්ට පුළුවන් වෙයි.

කවුමාල් ද සිල්වා

මනෝචිකිත්සක, මනෝවිද්‍යා පුහුණු උපදේශක

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here