Home හරිත යාය දේශගුණ විපර්යාසයට මුහුණ දෙමු පරාජිත මානසිකත්වයෙන් අත්මිදෙමු – Sri News

දේශගුණ විපර්යාසයට මුහුණ දෙමු පරාජිත මානසිකත්වයෙන් අත්මිදෙමු – Sri News

0
13


මේ දිනවල ජාතික සහ ජාත්‍යන්තර තලයේ සාකච්ඡා කරනු ලබන උණුසුම් මාතෘකාවක් නම් ගෝලීය උණුසුම් වීම තුළ ඇති වූ දේශගුණ විපර්යාස සහ එයට අප මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ය. නවීන විද්‍යාවේ ම නිර්මාණයක් වන මෙම ගැටලූවට විසඳීම් දීමට මහා පරිමාණයේ සාකච්ඡා සම්මන්ත‍්‍රණ පැවැත්වීම මේ වන විට නවීන විද්‍යාඥයන්ට ම පැවරුන කාර්යයක් බවට පත් වී ඇත.

ගෝලීය උණුසුම් වීම නුතන කෘෂිකාර්මික සහ කාර්මික සංවර්ධනයේ ඍජු ප‍්‍රතිඵලයකි. ගෝලීය උණුසුම් වීම යනුවෙන් හඳුන්වන්නේ ශත වර්ෂාධික කාලයක් තුළ දී මහ පොළවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමකි. වනාන්තර විනාශය, යාන්ත‍්‍රික සහ රසායනික කෘෂිකර්මය, ඛනිජ තෙල් දහනය මුල්කර ගත් කර්මාන්ත සහ ප‍්‍රවාහනය තුළින් වා තලයට කාබන් ඩයොක්සයිඞ් මුදා හැරීම ගෝලීය උණුසුම ඉහළ යාමට දැඩි ලෙස උපකාරයක් වී ඇත.

ගෝලීය උණුසුම වැඩි වීම සහ එමගින් ඇති වූ දේශගුණ විපර්යාසයන්ට හේතු කාරණා සොයා බලා ඒවාවලට පිළියම් යොදනවාට වඩා දැන් දැන් වැඩිපුර කතා කරනු ලබන්නේ ඇති කරන ලද විපර්යාස තත්ත්වයනට අප මුහුණ දිය යුතු අන්දම සම්බන්ධයෙනි. අප රටේ පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශන ආරම්භ කරනුයේ ද ‘‘අවිනිශ්චිත දේශගුණ විපර්යාසයන්ට අනුගතව ජීවත්වනු හැර අපට වෙනත් විකල්පයක් නො පෙනේ” යනුවෙනි. විපත් වළක්වා ගැනීම ගැන වැඩපිළිවෙළක් යොදනවා වෙනුවට ආපදා කළමනාකරණය ගැන වැඩි අවධානය යොමු වී ඇති බව පෙනේ.

දේශගුණ විපර්යාසය අපට දැන් දින දින ම අත්විඳින්නට ලැබී ඇත. දිගුකාලීන නියඟයකට මුහුණ දී සිටිද්දී අපි ‘‘අනේ වැස්සක් ලැබෙනවා නම් කොපමණ සහනයක් දැයි” අහස දෙස බලාගෙන කන්නලව් කරමින් සිටියෙමු. දැන් වසින්නට පටන් ගෙන ඇත.

කලට වැසි වසින්නේ නැත. නියඟය එන්න එන්න ම දීර්ඝ වී ඇත. අකලට වසිනවා පමණක් නොව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වසී. ක්ෂණිකව ගංවතුර ගලන මට්ටමට අධිකව වසී. ඉඩම් නාය යන්නට තරමට වසී. ජලය රඳා පැවැත්මක් නැත. යළි කෙටි කලකට පසු නියඟයක් පැමිණෙන විට භාවිත කිරීමට රැස් කර ගත් ජලය ප‍්‍රමාණවත් නො වේ. කලකට පෙර අප අත් විඳි වසර පුරා පැතිර ගිය වර්ෂාපතන රටාව අද නැත.

කෘෂිකර්මය යනු දේශගුණය, කාලගුණය සහ භූමිය අතර ඇති සහ සම්බන්ධය මත තීරණය වන කර්මාන්තයකි. ඕනෑම බෝගයක පැළවීමේ සිට අස්වනු නෙළා ගන්නා අවස්ථාව දක්වා වර්ෂාව (ජලය) සහ අව් රශ්මිය ප‍්‍රශස්ත තත්ත්වයක තිබීම අත්‍යවශ්‍ය සාධක වේ.

කල්යල් බලා වගා කිරීම සම්ප‍්‍රදායික ගොවිතැනෙහි වැදගත් ම ලක්ෂණය විය. කල්යල් බැලූවේ වැස්ස ගැන සහ පායන කාලය ගැන ය. චන්ද්‍රයාගේ ගමන මුල් කොට තනාගත් චන්ද්‍ර මාස ක‍්‍රමය තුළ වාර්ෂික වර්ෂාපතනයේ රටාවක් ඇති බව හෙළ ගොවියා දැන සිටියේ ය. ඒ අනුව බෝගයක් භුමියේ පිහිටන්නට සුදුසු කාලය ඔහු දැන සිටියේ ය. එසේ පිහිටුවන බෝගයට නිසි කල වැසි ලැබීම ගැන ඔවුනට දැඩි විශ්වාසයක් තිබිණ. වර්ෂා රටාව අනුව වවන ලද බෝගවලට කෘමි හානි අවම විය. අස්වනු ප‍්‍රශස්ත මට්ටමේ තිබිණ.

දැන් උදා වී තිබෙන තත්ත්වය අනුව කල්යල් බලන්නට නො හැක. වැස්ස නිසි කලට නැත. දීර්ඝ නියඟයන් සහ කෙටි, එමෙන් ම අධික වැසි සමයන් අත්දකින්නට ලැබේ. සමස්තයක් ලෙස ගත් කල වාර්ෂික වර්ෂාපතනය අඩු ය. දේශගුණ විපර්යාසය ගොවිතැනට කරන හානිය සුළුපටු නො වේ.

කාබනික ගොවිතැනෙහි වැදගත් ම ලක්ෂණය නම් පොළවේ කාබනික ද්‍රව්‍ය ඉහළ මට්ටමක රඳවා ගනිමින් පසේ සෞඛ්‍යය රැක ගැනීම ය. එසේ කිරීමේ දී කාබනික ගොවිතැනට අවට පරිසරයේ කාබන් ඩයොක්සයිඞ් සෑහෙන ප‍්‍රමාණයක් පොළව තුළ රඳවා තබා ගත හැකි ය. කරන ලද අධ්‍යයනයන් අනුව පෙනී යන දෙයක් නම් කාබනික වගා ක‍්‍රමයන් අධික දේශගුණ හා කාලගුණ වෙනස්කම්වලට ඔරොත්තු දෙන බව ය. මෙම වෙනස්කම් තත්ත්වයන් තුළ වුව ද, පසෙහි ජලය කාර්යක්ෂම ලෙස යොදා ගැනීම නිසා නවීන කෘෂිකර්ම ක‍්‍රමවලට වඩා කාබනික වගාවේ අස්වැන්න ඉහළ මට්ටමක පවතී.

මෑතක දී කරන ලද විවිධ පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ දේශගුණ විපර්යාසයේ අහිතකර ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට කාබනික ගොවිතැන් ක‍්‍රමවලට වැඩි හැකියාවක් ඇති බව ය.

කාබනික වගා ක‍්‍රමවලින් හරිතාගාර වායු නිපදවීම අවම මට්ටමක පවතී. හරිතාගාර වායුවලින්, දේශගුණ විපර්යාසවලට දැඩි බලපෑමක් ඇති කරන්නේ කාබන් ඩයොක්සයිඞ් ය. කාබනික වගා ක‍්‍රම මගින් සෑම විට ම අවධානය යොමු කර ඇත්තේ කාබනික ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය තුළින් පාංශු තුළ කාබන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ය.

1947 වසර පමණ සිට කාබනික වගාව සම්බන්ධව කටයුතු කරන ඇමරිකාවේ රොඩේල් ආයතනය (Rodale Institute – http://rodaleinstitute.org) විසින් 1980 ගණන්වල සිට කෘෂිකර්ම ක‍්‍රමවේද පිළිබඳව වසර 30ක් පුරා පැතිර ගිය දීර්ඝ අධ්‍යයනයක් කරන ලදි. හෙක්ටයාර 12ක් තුළ රසායනික ගොවිතැනෙහි සිට කාබනික ගොවිතැන දක්වා කෘෂිකර්ම ක‍්‍රමවේද හයක් අත්හදා බැලූ අතර එයින් ලද විද්‍යාත්මක තොරතුරු කාබනික වගාව සම්බන්ධව මෙතෙක් කරන ලද ඉතා අගනා අධ්‍යයනයක් ලෙස පිළිගනු ලබයි. අධ්‍යයනයේ ප‍්‍රධාන නිගමනයන් වශයෙන් කරුණු හතරක් පෙන්වා දෙනු ලැබ ඇත. කාබනික වගා ක‍්‍රමයේ වාසි මේවා ය.

* රසායනික වගාවට වඩා ඉහළ අස්වැන්නක් කාබනික වගාවෙන් ලැබීම
* පසේ සහ ජලයේ ගුණාත්මක බව ඉහළ දැමීම
* නියඟය අධික වර්ෂවල දී වුව ද අස්වනු හානිය අඩු වීම
* පස තුළ කාබන් රඳවා ගැනීම

එම අධ්‍යයනයේ දී පෙනී ගිය දෙයක් නම් කාබනික වගා ක‍්‍රමවල දී වසරකට හෙක්ටයාරයක් තුළ කාබන් කිලෝ 2000ක් පස තුළ රඳවා ගන්නා බව ය. එමෙන් ම රසායනික ක‍්‍රමවලින් වගා කරන ලද ඉඩමකින් වසරක දී හෙක්ටයාරයක් තුළ කාබන් කිලෝ 300ක් ඉවත් වන බව ය.

හෙක්ටයාරයක පස තුළ වසරකට කාබන් කිලෝ 2000ක් රඳවා ගැනීම යනු වාතයේ ඇති කාබන් ඩයොක්සයිඞ් කිලෝ 7000ක් පස තුළට ගෙන රඳවා ගැනීම හා සමාන බව එම අධ්‍යයනය නිගමනය කර ඇත. මෙම ප‍්‍රමාණය වසරකට කි. මී. 15000ක් දුවා වාතයට කාබන් ඩයොක්සයිඞ් මුදා හරින මෝටර් රථ 05ක් මාර්ග ධාවනයෙන් ඉවත් කර තැබීම හා සමාන ය.

වැළැක්විය නො හැකි දේශගුණ විපර්යාසයට අනුගතව ජීවත් වනු හැර වෙනත් විකල්පයක් නොමැති බවට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන අයට මෙය සිතා බැලිය යුතු අවස්ථාවක් නො වේ ද?

සියලූ ම රටවල් අපගේ මහ පොළව දූෂණය කිරීම අද දින සිට නැවැත්වීමට තීරණය කළා යයි සිතමු. පෙර තිබි තත්ත්වයට මහ පොළවට ඒමට අවම වශයෙන් වසර 50ක් වත් ගත වනු ඇතැයි ගණනය කර ඇත. එහෙත් කිසිදු රටක් මහ පොළව දූෂණය කිරීම වැළැක්වීමට ඉදිරිපත්ව නැත. මෙයින් කියවෙන්නේ අප ගොවි මහතුන්ට ඉදිරියේ දී දිර්ඝ නියඟ වැනි දරුණු කාලගුණ තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීම නො වැළැක්විය හැකි බව ය. දේශගුණ විපර්යාස නිසා වත්මනෙහි අත් දකින ප‍්‍රතිවිපාක එන්න එන්න ම උග‍්‍ර වන බව ය.

විද්‍යාත්මක අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ පසෙහි කාබන් මට්ටම ඉහළ නැංවීම තුළින්, විශේෂයෙන් ම හියුමස් තත්ත්වයන් ඇතිවීම තුළ පසෙහි සරුබව, තෙතමනය රඳා පවත්වා ගැනීම, වාතාශ‍්‍රය රඳවා ගැනීම, නයිට‍්‍රජන් ඉහළ නැංවීම, ඛනිජ ද්‍රව්‍ය පවත්වා ගැනීම තුළ ඉහළ කෘෂි නිෂ්පාදන මට්ටමක් පවත්වා ගත හැකි බව ය.

ඉහත සඳහන් කළ රොඩේල් අධ්‍යයනය පෙන්වා දෙන්නේ දැඩි නියඟ තත්ත්වයන් තුළ වුව ද, රසායනික වගා ක‍්‍රමවලට වඩා කාබනික වගාවේ දී බඩ ඉරිඟු අස්වැන්න 30%ක ඉහළ මට්ටමක තිබූ බව ය. මෙයින් කියවෙන්නේ දැඩි නියඟයක දී වූව ද පසෙහි කාබන් ඉහළ මට්ටමක ඇති නිසා වැඩි ජල ප‍්‍රමාණයක් බෝගයට ලබා දෙන බවයි. පර්යේෂණ මගින් පෙන්වා දෙනු ලබන්නේ පසෙහි ප‍්‍රශස්ත ව්‍යූහය, හියුමස් සහ වෙනත් කාබනික ද්‍රව්‍ය නිසා වැඩි ජල ප‍්‍රමාණයක් රඳවා ගැනීමට කාබනික වගා ක‍්‍රමයන්ට හැකි බව ය. පසෙහි ඇති ලිහිල් ව්‍යුහය නිසා වර්ෂාපතනයේ දී කාබනික වගා බිමක රඳවා ගනු ලබන ජල ප‍්‍රමාණය රසායනික වගා බිමක රඳවා ගනු ලබන ජලයට වඩා බෙහෙවින් ම වැඩි බව අධ්‍යයන වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

එන්න එන්න ම කාබන් ඩයොක්සයිඞ් අධික ලෙස වා තලයට මුදාහරින රසායනික කෘෂිකර්මය සෑම අතින් ම විනාශකාරී බවට මෙයින් පැහැදිලි විය යුතු ය. රසායනික කෘෂිකර්මය පස දූෂණය කරනවා පමණක් නොව අපට වස විස සහිත ආහාර ද සපයයි. එම ආහාර පරිභෝජනයේ විපාක වශයෙන් අපට වැළඳෙන අටානූවක් රෝග ගැන අප දැනටමත් දැනුම්වත් ය.

අප වාසය කරන මෙම පොළව අපට අයිති වස්තුවක් නො වේ. එහි අයිතිය අනාගත පරපුරට ය. ඉදින් ඔවුනට ජීවත් වීමට ඉඩක් නැති තත්ත්වයක් ඇති කර අප මෙලොව හැර යනවා ද? විනාශයට මුහුණ දෙන පරාජිත මානසිකත්වයෙන් මිදී, ක‍්‍රියාකාරීව, එය යම් පමණකට හෝ වළක්වා ගැනීමට යමක් කරනවා ද?

මේ ඔබට සිතන්නට කාලයයි.

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here