දෙව්ලොව උපන් සුමෝහිත හිමි

0
5


දෙව්ලොව උපන් සුමෝහිත හිමි

ක් කාලයක මේ මිනිස් ලොව ලස්සන ම ලස්සන යුගයක් තිබුනා. ඒ කාලෙ හැමෝගෙම පින් මතු වුනා. ඒ අපේ ගෞතම සම්මා සම්බුදු රජුන් වැඩ සිටි යුගය යි. මිනිස් ලොව බැබළී ගිය ඒ ස්වර්ණමය යුගයේ හැම තැනම රහතන් වහන්සේලා. හැම තැනම මාර්ගඵල ලාභීන්. හැම තැනම ඇසුනේ අති නිර්මල මිහිරි ශ්‍රී මුඛ බුද්ධ වචනය යි.

කාටවත් හිතාගන්නවත් බැරි වේගයකින් ඒ ලස්සන සොඳුරු යුගය අවසන් වුනා. හැම දෙයක් ම වේගයෙන් වෙනස් වුනා. ඒ සුන්දර බුදු සසුනේ සිව්වණක් පිරිසට ගෞතම බුදු සසුනත් අමතක වුනා. ඔවුන් අමුතුම සිව්වනක් පිරිසක්. බොහෝ දෙනෙක් බුදු බව පැතුවා. සමහරු මෙතේ බුදුන් පැතුවා. තවත් අය හිටියා. ඔවුන් පරලොවක් ගැනවත් විශ්වාස කළේ නෑ. හිරු මඬල බැස ගිය කලක් වගේ, මහා උල්පතක් සිඳුනා වගේ අමුතු වෙලා ගියා. ඔහොම කලක් යන විට බුදු සසුන සම්ප‍්‍රදායක් පමණක් වුනා. ඉන් එහාට මොකෝවත් ම තිබුනේ නෑ.

ඔය අතරේ පිළිවෙත් පුරන්න ආසා කළ සඟ පිරිසකුත් හිටියා. ඒ පිරිස ටික දෙනයි. උන්වහන්සේලා ධර්මය ඉගෙන ගන්න ගොඩාක් කැප වුනා. සිල්වත්ව වාසය කරන්නත් මහන්සි ගත්තා. ගෞතම බුදු සසුනේ තවම පිහිට තියෙනවා කියල දැඩි ලෙස අදහා ගත්තා. ඒ සඟ පිරිස ගෞතම බුදු රජුන් සරණ ගියා. උන්වහන්සේ ගේ ශ‍්‍රාවකයන් බවට පත්වුනා. ඒ ධර්මයේ තියෙන මෙලොව පරලොව විස්තර ඒ අයුරින් ම විශ්වාස කළා. පින් පව් විශ්වාස කළා. බුදු සසුන සම්ප‍්‍රදායක් වශයෙන් සැලකුවේ නෑ. මහානුභාව සම්පන්න විමුක්ති මගක් වශයෙන් සැලකුවා. ඒ දහම් මගෙහි පිළිවෙත් පුරමින් ඉතා අහිංසකව ජීවත් වුනා.

ඒ සඟ පිරිස අතර ගුරුහිමිනමක් සිටියා. ගොඩාක් වයෝවෘද්ධයි. ගොඩාක් අහිංසකයි. ගොඩාක් නිහතමානීයි. ඉතින් මේ ගුරුහිමියන් ගෞතම බුදු සසුනේ පිහිට තියෙන බව හඬ නගා කිව්වා. එය ඇසූ බොහෝ දෙනෙක් මුළු හදවතින් ම බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා. සඟුන් සරණ ගියා. මිසදිටු ඇදහිලි අත්හැරියා.

එකම පවුලක දරු දෙදෙනෙක් හිටියා. ඔවුනුත් නිතර ධර්මය ඇසුවා. ඔවුන්ටත් ගෞතම බුදු සසුනේ මහණදම් පුරන්න ආසා හිතුනා. දෙමාපියන් ගෙන් අවසර ගෙන මේ දරු දෙදෙනා ඉතා ශ‍්‍රද්ධාවෙන් මහණ වුනා. උපසම්පදාත් වුනා. වැඩිමහල් භික්ෂුවට මෝහිත යන නම ලැබුනා. බාල භික්ෂුවට සුමෝහිත යන නම ලැබුනා. මේ දෙනම ඉතා සතුටින් වත් පිළිවෙත් කරනවා. ධර්මය ඉගෙන ගන්නවා. හොඳින් සිල් රකිනවා. ටික කලක් ගත වෙද්දී සුමෝහිත පොඩිනම අසනීප වෙන්න පටන් ගත්තා. ඇඟපත දුර්වල වෙන්න පටන් ගත්තා. මොනතරම් ප‍්‍රතිකාර කලත් සුව අතට හැරෙන බවක් පෙනුනේ නෑ. එතකොට ගුරු හිමියන් සුමෝහිත පොඩිනමට ධර්මය මෙනෙහි කරන හැටි නිතර කියල දුන්නා.

“සුමෝහිත…. ඔය මේ ශරීරයේ හැටි ආයුෂ්මතුන්. ආදීනව ම යි වැඩි. අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සිරුර රෝගයන් පැටව් ගසන කැදැල්ලක් වගේ කියලයි. ඉතින්…. බුද්ධ වචනයක් වෙනස් වේවි යැ…..? ඒ නිසා උන්වහන්සේ අපට යොවුන් බවින් මත් වෙන්න එපා කිව්වා. නිරෝග බවින් මත් වෙන්නත් එපා කිව්වා. ජීවිතය නොමැරී තිබීම ගැනත් මත් වෙන්න එපා කිව්වා….. ඇයි ඒ…..? ඒ හැම දෙයක් ම තාවකාලික නිසා. ඒ බව නොදැන එයට මත් වීමෙන් ගොඩාක් දෙනෙක් පව් කරගන්න නිසා. පිනට ප‍්‍රමාද වෙන නිසා……. සුමෝහිත…… සංසාරේ ආපු පිළිවෙළට අපි යාවි…… දැන් බලන්න ආයුෂ්මතුන්, ඔය අසනීපෙට බෙහෙත් කරනවා කරනවා. කෝ….. තාම ගුණයක් නෑනේ. එන්න එන්න ම අසනීපෙ වැඩි වෙනවා….. අනික ආයුෂ්මතුන් අපි මේ සංසාරේ මොනතරම් වාර ගණන් අඩු වයසින් මැරිලා ඇද්ද……. ඒ නිසා පව් වලට විතරක් බය වෙන්න. අකුසල් වලට විතරක් බය වෙන්න. ලෙඩ දුක්, ජරා මරණ වලට බය වෙලා වැඩක් නෑ. බෙහෙත් කරන ගමන් ගුණධර්ම දියුණු කරගනිමු….. එහෙම හොඳයි නේද ආයුෂ්මතුන්…..?”

එතකොට සුමෝහිත පොඩි නම තම ගුරුහිමියන් ගේ වචන වලට හොඳින් සවන් දී ගෙන සිටියා. විදුලි පංකාවෙන් හැමූ සුළඟින් බුදු පහන නිවී යද්දී සුළඟට අමුතු සුවඳක් ආවා. පොඩිනම සිහින් හඬින් කතා කළා.

“අනේ…. ස්වාමීනී…. මං ඉස්සර ඉඳන් මෛත‍්‍රී භාවනාව වඩනවා. නමුත් මේ අසනීපය නිසා මොකෝවත් පිළිවෙළකට කරගන්න අමාරුයි. සිත විසිරෙනවා. සමාධියක් ඇති වෙන්නේ නෑ. මට ඒ ගැන තමයි ටිකාක් සිතට අමාරු…. අසනීපෙ ගැන නම් මං එච්චර හිතන්නෙ නෑ”

“බොහෝම හොඳයි පොඩිනම….. සිත වට්ටගන්න ඕන නෑ. අනික සමාධිය ඇති කරගන්න බැරි වුනා කියල ඒ ගැන දුක් වෙන්න ඕනත් නෑ. දුක් වුනා කියල සිත සමාධිමත් වෙන්නෙ නෑනේ…… කෙනෙක් ගුණවතෙක් වෙන්නෙ සමාධියෙන් ම නොවෙයි. සමාධිය නැති සත්පුරුෂයන් මොනතරම් ලෝකෙ ඉඳලා තියෙනවා ද…… ඒ නිසා ආයුෂ්මතුන් ගුණවත් කෙනෙක් වෙන්න. අහිංසක වෙන්න. උපස්ථාන කරන අයට සෙත් පතන්න. නොඇලුනු සිතින් ඉන්න. භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදුනු සිතින් ඉන්න….. එතකොට වරදින්නෙ නෑ”
“ස්වාමීනී…. මේ අසනීපෙ වැඩිවෙලා මං අපවත් වෙයිද දන්නෑ”

සුමෝහිත පොඩිනම ගේ ඒ වචනයෙන් ගුරුහිමියන් ඉතා අසරණ පෙනුමකින් පොඩිනම දෙස බලා සිටියා. පොඩිනම ගේ හිස අතගෑවා. පොඩිනමට සෙත් පැතුවා.

“හ්… ම්… ඒක අපි කාටත් සිදුවෙන දෙයක් නේ…. අපි කැමති වුනත් අකමැති වුනත් අපට වෙලාව ආ විට යන්නම වෙනවා. නමුත් ආයුෂ්මතුන්… දැන් මනුස්ස ලෝකෙ හැටි ආයුෂ්මතුන්ට තේරෙනවා ඇති….. ගුණධර්ම දියුණු කරගන්න හරි අමාරුයි… ඒ නිසා ආයෙමත් මේ මනුස්ස ලෝකෙ උපදින්න නම් හිතන්න එපා. තුසිත දෙව්ලොව හොඳයි…. අන්න එහෙ උපදින්න අධිෂ්ඨාන කරගන්න. අඩුගණනේ තව්තිසාවේ හරි යන්න..! දැන් ආයුෂ්මතුන් ධර්මය දන්නවා නේ…. ආයුෂ්මතුන්ට ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, ත්‍යාග, ප‍්‍රඥා කියන මේ සේඛ බල ටික ටික හරි තියෙනවා නේ…. මේ ටික කාලෙටත් ආයුෂ්මතුන් රැස් කරගත් පින් තියෙනවා. ඒ පින ගැන විශ්වාස කරන්නකෝ…..”

එතකොට සුමෝහිත හිමි ගේ මුහුණ දීප්තිමත් වුනා. අසනීප වේදනා මැඩගෙන අහිංසක සිනහවක් මතුවුනා. තම සහෝදර මෝහිත හිමියන්ට කතා කළා. විදුලි පංකාව නිවන්න කිව්වා. නිවී ගිය බුදු පහන දල්වන්න කිව්වා. එතකොට ගුරුහිමියන් වහා විදුලි පංකාව නිව්වා. බුදුපහනත් දැල්වුවා.

මෝහිත හිමි තම බාල සොයුරු සුමෝහිත හිමියන්ට ආදරයෙන් උපස්ථාන කළා. වෙලාවට බෙහෙත් දුන්නා. දානෙ ගෙනත් දුන්නා. සිව්රු පිරිකර සෝදලා දුන්නා. ගුරුහිමියන් ගේ අවවාදත් නිතර නිතර සිහිපත් කෙරෙව්වා. ඉඩකඩ ඇති වෙලාවට ත‍්‍රිපිටක පොත් වහන්සේලා අතට ගෙන සහෝදර හිිමියන්ට ඇහෙන්න ලස්සනට කිව්වා.

“සුමෝහිත ස්වාමීන් වහන්ස,…. අපේ ගුරු ස්වාමීන් වහන්සේ කියන දේ ඇත්ත නේද….! අපි ඔහේ මැරි මැරී ඉපදි ඉපදී යනවා. මේක බිහිසුනු දෙයක් කියල පේන්නෙ නැහැනේ…. මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න නොලැබුනා නම් අපිට කිසි පිහිටක් නෑ නේද….! අපි හොඳ වෙලාවට පැවිදි වුනේ. අපි ගෙදර හිටියා නම් මහා විකාර ලෝකයක් නෙ තියෙන්නේ”

එතකොට සුමෝහිත හිමි දෑස් වසාගත්තා. අමාරුවෙන් හිස සොලොවා එය අනුමත කළා. බුදුපහනින් දැල්වෙන සිනිඳු එළියෙන් කුටියට අමුතු ලස්සනක් එකතු වුනා.

පසුවදා සුමෝහිත හිමියන්ව ක්ලිනික් එකට ගෙන ගියා. මෙතෙක් කළ ප‍්‍රතිකාර වලින් ලෙඬේ සුව නැති නිසා වෛද්‍යවරුන් ගේ සිතේ සතුටක් තිබුනේ නෑ. ඔවුන් ප‍්‍රධාන වෛද්‍යවරයාට රෝගියා ගේ වාර්තා යොමු කළා. ඔහු ඒ සියලු වාර්තා හොඳින් පිරික්සුවා. උපැස් යුවල ගලවා අතට ගත්තා.

“හාමුදුරුවනේ… ඔබවහන්සේ මේ හාමුදුරුවන් ගේ කව්ද….?”

“ඩොක්ටර්…. මේ මගේ මල්ලි…. මං තමයි දිගට ම උපස්ථාන කරන්නේ. ඇයි…. ඩොක්ටර්…. ලෙඩා ගේ තත්වෙ දැන් කොහොමද…?”

“ඒක තමයි…. හාමුදුරුවනේ… මං මේ කල්පනා කළේ… අපට කරන්න ඇහැක් හැම ප‍්‍රතිකාරයක් ම කළා….. ලෙඬේ හැම තැනම පැතිරිලා තියෙනවා….. දැන් ඉතින් ආගම ධර්මයෙන් ඇහැක් දෙයක් කරලා බලන්න කෝ…. පොඩි හාමුදුරුවන්ට මේවා දැනගන්න තියන්න ඕන නෑ. උන්වහන්සේ ගෙ සිත කලබල වේවි”

එතකොට මෝහිත හිමි ගේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. වෛද්‍ය ප‍්‍රතිකාර වලින් පිහිටක් නැත්නම් දැන් මක්කරන්න ද…! ලෙඩාව ඉතා අපහසුවෙන් එක්කරගෙන ආවා. ආයෙමත් ඇඳේ හාන්සි කෙරෙව්වා. මෝහිත හිමි නාන කාමරයට ගිහින් දොර වසාගත්තා. වතුර කරාමය සද්දයට ඇරියා. හයියෙන් හඬන්න ගත්තා. දුක අඩු වෙන තුරු හැඬුවා. මුහුණ සෝදාගෙන එළියට ආවා.
සුමෝහිත හිමි දැන් සිත හදාගෙන අවසන්. නමුත් මෝහිත හිමි මහත් දුකෙන් පසුවෙනවා. ගුරුහිමියන් ගොඩාක් මහන්සි වුනේ මෝහිත හිමියන් ගේ සිත හදන්නයි.

“මෝහිත ආයුෂ්මතුන්…. දෙමව්පියන්ට ලෙඩාගෙ තත්වෙ පැහැදිලි කළා නේද….? මාත් ඊයේ ? ආයුෂ්මතුන්ලාගේ ගෙදරට කෝල් කළා. ආයුෂ්මතුන්ලාගේ අම්මා හරීම වීරියවන්තයි නේ. මට තේරෙන්නේ ඒ අම්මා ධර්ම කරුණු හොඳින් මෙනෙහි කරනවා කියලයි. කිසි කම්පාවක් නෑනේ. මා එක්කත් ධර්මය ම යි කතා කළේ…. සසරේ ස්වභාවය ගැන තේරුම් අරන් තියෙනවා…. මට නම් ඒ ගැන හරි සතුටුයි ආයුෂ්මතුන්…. අන්න එහෙම තමයි ඉන්න ඕනා. ධර්මය ම පිහිට කරගන්න ඕනා. අපි හිතාමතාම උත්සාහයෙන් ම ධර්මයට ආවොත් මිසක් එහෙම නැතිව මේ දුක් කන්දරාව ඉබේ අවසන් වෙන්නේ නෑ”

මෝහිත හිමි බිමට නෙතු යොමාගෙන හොඳින් අසාගෙන හිටියා. ඉතා යටහත් ලෙස ගුරුහිමියන් ගෙන් මෙහෙම ඇහැව්වා.

“එහෙමයි… ස්වාමීනී…. නමුත් ස්වාමීනී මට තේරෙන්නෙ නෑ… මං දැන් කොහොමද මේ අවස්ථාවෙ දී පිළිපදින්න ඕන”

“අනේ ආයුෂ්මතුන්… පිළිපදින්න අමුතු දෙයක් නෑ. දිගට ම ධර්මයේ හැසිරෙන එකම යි කරන්න තියෙන්නේ. කව්රුත් මැරෙන බව දන්නව නේ. හොඳ…ට මරණසතිය සිහිකරන්න. හටගත්ත හැම දෙයක් ම අනිත්‍ය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියල හොඳින් තේරුම් ගන්න…. මෙත් සිතින් කල් යවන්න”

බුදු වදන යනු පරම සත්‍යයක්. හටගත් හැම දෙයක් ම නැසී යනවා. ගහේ හැදෙන ගෙඩි ඉදී වැටෙනවා. සුළං තදේට හැමුවොත් ගැටත් වැටෙනවා. පිපෙන මල් පරවෙනවා. මල් පොහොට්ටුත් වැටෙනවා. මේ ලෝ දහමෙන් පිටතට පැනගත්තේ රහතන් වහන්සේලා විතරයි. සුමෝහිත හිමි ලෝදහමට යටත් වුනා. අපවත් වුනා.

තදින් ම පාළුව දැනුනේ මෝහිත හිමිට යි. ගෙදර දී සෙල්ලම් කළේ දෙන්නාම එකට. බණ අහන්න ආවෙත් එකට. ගෙදරින් ආවෙත් එකට. මහණ වුනෙත් එකට. වත් පිළිවෙත් කළෙත් එකට. නමුත් දැන් එක් කෙනෙක් නෑ. ගුරුහිමියන් මෝහිත හිමිට ධර්මය ම පිහිට කරගන්න කිව්වා. අප‍්‍රමාදී වෙන්න කිව්වා. ගොඩාක් ධෛර්යමත් කළා. එතකොට මෝහිත හිමිත් සිත දැඩි කරගත්තා. දිගට ම උත්සාහ කළා. නිදි කිරා වැටි වැටී උත්සාහයෙන් භාවනා කළා. මෝහිත හිමිගේ සිත ටිකෙන් ටික දමනය වුනා. සමාධිමත් වුනා. ධ්‍යානගත වුනා. සතර වෙනි ධ්‍යානය දක්වා ම හොඳින් සමාධිය පුරුදු කරගන්න පුළුවන් වුනා.

දිනක් මෝහිත හිමි ගුරුහිමියන් ගේ කුටියට පැමිණියා. එදා මෝහිත හිමිගේ මුහුණෙන් අමුතු ශාන්ත බවක් දිස් වුනා. අපූරු සිනහවකුත් තිබුනා. පත්කඩය එළා ගුරුහිමියන්ට වන්දනා කොට ඉතා සංසුන්ව වාඩි වුනා. ළා සුළඟක් හමා ඇවිත් සිසිලස ගෙන දුන්නා. කුටියට සෙවන දුන් තුරුලතා තාලයකට සෙමින් සෙමින් සෙලවුනා. ලස්සන සමනලයෙක් කුටියේ මිදුලේ සතුටින් එහෙට මෙහෙට ඉගිල ගියා. ගුරුහිමියන් සුමෝහිත හිමි දෙස දයානුකම්පාවෙන් බලා සිටියා.

“කොහොමද… ආයුෂ්මතුන්…. දැන් සුවසේ පිළිවෙත් පුරනවා නේද….?”

“එහෙමයි… ස්වාමීනී…. මං මේ වැඩියේ…. අද මට…. හරි පුදුම අද්දැකීමක් ලැබුනානේ”

“ම්…. ඒ මොකක් ද….?”

“මට ඒ ගැන හරි පුදුමයි ස්වාමීනී…. මේ ධර්මය පුදුමාකාර සත්‍යයකින් යුක්තයි…. ඉතින් ස්වාමීනී…. මං අදත් පාන්දර භාවනා කළා. වෙනදා වගේ ම ධ්‍යාන සතරත් පුරුදු කළා…. නමුත් අද මං භාවනා කරද්දී රුවන්වැලි මහාසෑය වන්දනා කරන්නට ආසා හිතුනා…. ඉතින් ස්වාමීනී… මං මනෝකයින් යන්න ඕන කියල බලවත් සිතක් උපදවා ගත්තා…. හරි පුදුමයි ස්වාමීනී…. තණ ගසකින් ගොබයක් ගැලවුනා වගෙයි. මේ ගොරෝසු කයින් මනෝකය නිකම්ම ගැලවිලා ගියා…. ඊට පස්සේ ස්වාමීනී… මං හිටියේ අහසේ….!”

එතකොට ගුරුහිමියන් ගේ දෑස් ලොකු වුනා. අමුතු ප‍්‍රීතියකට පත් වුනා. මෝහිත ගේ මේ අලුත් අද්දැකීම ගැන තව දැනගන්න කැමති වුනා.

“ඉතින්…. ඉතින්…. ඉතින් මොකද වුනේ….?”

“ඉතින් ස්වාමීනී…. මං අහසින් ගියා. අනේ ස්වාමීනී…. උඩ ඉන්න කෙනෙක් බිම බලද්දී පේනවා වගේ හැම දෙයක් ම පේනවා. ඉතින් ස්වාමීනී…. මං ගියා. රුවන්වැලි සෑය ළඟට ම ගියා….! අනේ ස්වාමීනී…. අහසින් බලද්දී රුවන්වැලි මහාසෑය හරීම ලස්සනයි…. හරි පුදුමයි ස්වාමීනී…. දෙවිවරු රුවන්වැලි මහාසෑය වටකරගෙන වඳිනවා”

“ඒ කියන්නෙ ආයුෂ්මතුන්… ගොඩාක් දෙවිවරු ඇවිත් හිටියද….? ආයුෂ්මතුන් මහාසෑයේ ඇතුලත් දැක්කද?”

“මට ස්වාමීනී… මහාසෑයේ සම්පූර්ණ ඇතුලත පෙනුනේ නෑ. රත්තරන් පාටට විසාල එළියක් විහිදුනා වගේ මතකයි. හැබැයි දෙවිවරු නම් ගොඩාක් හිටියා….. ස්වාමීනී පුදුම වැඬේ කියන්නෙ එක දෙවියෙක් මං දිහා ම බලාගෙන මගේ ළඟට ආවා නේ. ඇවිත් මෙහෙම කිව්වා.

“ආ… මෝහිත ස්වාමීන් වහන්ස…. ඔයත් මහාසෑය වඳින්න ආවා නේ….?”

“අනේ දෙවිය…. ඔයා කව්ද….? මං ඔයාව හඳුනාගන්න හරි ආසයි”

“හානේ… ඔයාට මාව මතක නැද්ද…. මං සුමෝහිත….!”

“එතකොට ස්වාමීනී…. මට නිකං මොකක්දෝ වුනා. ඇයි…. එකපාරට ම අදහාගන්න බැරි දෙයක් නේ මේ වුනේ. ස්වාමීනී… ඒ අපේ මල්ලි…. ඒ අපේ සුමෝහිත ස්වාමීන් වහන්සේ තමයි. දැන් ස්වාමීනී…. එයා හරී ලස්සනයි. හරිම තරුණයි. දිව්‍ය පුත‍්‍රයෙක්. එයා මට මෙහෙම කිව්වා.

‘මෝහිත හිමියනේ… මං තව්තිසාවේ උපන්නෙ. මං නිතර නිතර මෙහෙ එනවා. රුවන්වැලි මහාසෑය වඳින්න මං හරි ආසයි. මහාබෝධියත් වඳිනවා….. ඒ වගේ ම හිමියනේ…. අපේ ගුරු ස්වාමීන් වහන්සේටත් වඳිනවා….. ඇයි මට මේ අවස්ථාව උදාවුනේ උන්වහන්සේ අපට දැක්වූ කරුණාව නිසා නේ’

ඉතින් ස්වාමීනී…. ඒ දිව්‍ය පුත‍්‍රයා මගේ භාවනාව ගැනත් ගොඩාක් සතුටු වුනා….. දිව්‍ය සභාවේ කතාවෙන දේවල් මට කියන්නම් කියලත් කිව්වා. දැන් මනුස්ස ලෝකෙ තත්වය ගැන ගුරුහිමියන් කියන දේවල් ඔක්කෝම ඇත්තයි කියලත් කිව්වා….. ඒ දිව්‍ය පුත‍්‍රයා කිව්වෙත් මනුස්ස ලෝකෙ ගුණධර්ම වඩන්න තියෙන්නෙ තව ටික කාලයක් කියල”

එතකොට ගුරුහිමියන් නිශ්ශබ්දව ඈත බලාගෙන සිටියා. දිග සුසුමක් හෙලුවා. උගුර පෑදුවා. ආයෙමත් ඈත බලාගෙන ම කතා කළා.

“ඒකනේ ආයුෂ්මතුන්…. මං මොනතරම් කියනවා ද…. කෝ…. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ…. දැන් මේ ලෝකයට කාලවිපත්තියක් සිදුවෙලා තියෙන්නේ…. ඒක පිටින් බැලුවට පේන්නෙ නෑ. ගුණධර්ම දියුණු කරගැනීමේ හැකියාව මිනිසුන් තුළින් වේගයෙන් නැති වේගෙන යනවා…. මෙයින් බේරෙන්න නම් මේ අනතුර වටහා ගන්න ම ඕනා….. එතකොට යි තම තමන් තුළ ගුණධර්ම ඇති කරගැනීමට උත්සාහවත් වෙන්නේ. මට වුනත් එක පාරට මේ භයානක තත්වය තේරුනේ නෑ…. ටිකෙන් ටික පැහැදිලි වුනේ…. ගුණධර්ම දියුණු කිරීම ලේසි නෑ. කෝ…. පොඩි දෙයක් ලැබුනත් පුහු මාන්නෙට ම යි එන්නෙ. හිතින් මවාගත් මහා තරඟයකට වැදිලා නිකම් අමාරුවේ වැටෙනවා….. ආයුෂ්මතුන්ටත් මං සිහි උපදවන්න කැමතියි…. දැන් ආයුෂ්මතුන්ට ඔය මනෝකයින් යාමේ හැකියාව ලැබී ඇත්තේ අතීත භව පුරුද්දකට වෙන්න ඇති….. ඒ නිසා ඒ ගැන ආඩම්බර වෙන්න හොඳ නෑ. තව තවත් නිහතමානී වෙන්න ම යි ඕනා….. නැත්නම් ටික දවසක් යද්දී ගුරුවරයාගේත් ගුරුවරයා වෙන්න හිතේවි….. හා…..! මාත් දැන් විශේෂ කෙනෙක් නොවැ….. මාත් දෙවියන් එක්ක කතා කරනවා කියල පුහු මාන්නයක් ඇති කරගන්න එපා….! ආයුෂ්මතුන් ගේ මල්ලි ඔපමණකින්වත් බේරුනේ නිහතමානීව අහිංසකව ගුණධර්ම ඇති කරගත් නිසයි. ගුරුබසට අවනතව ගුරුවරයා කෙරෙහි පීතෘ ස්නේහයෙන් සිටි නිසයි…… ඒ ආයුෂ්මතුන් මේ වතාවෙත් සතර අපායෙන් ගැලවුනානේ…. දැන් ඉතින් ආයෙමත් එයාට මාර්ගඵල ලබන්න අවස්ථාව තියෙනවා…. ඒක නෙමේ ආයුෂ්මතුන් දැන් අපේ සුමෝහිත ගේ නම මොකක්ද දන්නෑ නේ…..”

“ස්වාමීනී…. එයා ගේ දැන් නම මට කිව්වා. දැන් දෙව්ලොව එයාට කියන්නේ ‘සුනීර’ කියල ලු”

“සුනීර… ඒකත් හරි අගේ ඇති නමක් නොවැ”

ගුරුහිමියන් පුටුවෙන් නැගිට ඇතුලට වැඩියා. මෝහිත හිමියන් නිශ්ශබ්දව ඒ දෙස බලාගෙන හිටියා. ටික වේලාවකින් ත‍්‍රිපිටක පොත් වහන්සේ නමක් අතැතිව නැවතත් එළියට වැඩියා. ගුරුහිමියන් ත‍්‍රිපිටක පොත් වහන්සේලා කියවද්දි උන්වහන්සේ ගේ දෑස සතුටින් දිලිසෙනවා. නිධානයක් ලැබුන දිළින්දෙක් වගේ මහත් ප‍්‍රීතියකට පත් වෙනවා.

“ම්…. මේ තියෙන්නේ…. ෂා….! ….. මේ….. සෝතානුධත සූත‍්‍රය. මේ අංගුත්තර නිකායේ හතර වෙනි නිපාතේ….. සේඛ බල ඇති කරගත්තා. ඒ නිසයි දෙවියන් අතර උපන්නේ….”

“ඉතින් ස්වාමීනී…. මං…. තව විස්තර ටිකක් කියන්න ද….?”

එතකොට ගුරුහිමියන් මෝහිත හිමි දෙස බලා සිනාසුනා. උපැස් යුවලට උඩින් බලා ‘හොඳා’ කියල හිස වැනුවා.

“ඉතින් ස්වාමීනී…. ඊට පස්සෙ සුනීර දිව්‍ය පුත‍්‍රයා මට කිව්වෙ ලබන පුන්පොහෝ දවසේත් දිව්‍ය සභාව රැස්වෙනවාලු. සක්දෙවිඳුත් එදාට විශේෂ ප‍්‍රකාශයක් කරනවාලු…. මට ඒ ගැනත් කියන්නම් කිව්වා….. ඒ පෝය පහුවෙලා ඊ ළඟ අව අටවකදා මට රුවන්වැලි මහාසෑය ළඟට මනෝකයින් එන්න කිව්වා”

එදා ගුරුහිමියන්ට ගොඩාක් සතුටුයි. උන්වහන්සේ ත‍්‍රිපිටක පොත් වහන්සේලා ආදරයෙන් අතගානවා. සතුට වැඩිවුනාම ඒ පොත්වහන්සේලා සිඹිනවා. වන්දනා කරනවා. හිස උඩ තියාගෙන ඉන්නවා. පුහු වාද කර කර ඉන්නවාට වඩා තමන්ට තේරෙන පමණින් අහිංසකව ගුණධර්මයක් පුරන එක කොයිතරම් දෙයක් ද කියල උන්වහන්සේට සිතුනා. බුද්ධ වචනයෙන් විස්තර වෙන ඒ උතුම් සත්‍යය තමන් ගේ දෑස් ඉදිරිපිට ම ඔප්පුවෙන නිසාම යි උන්වහන්සේ ගේ සතුට වැඩි.

එදා අවඅටවක් පොහෝ දවස. රුවන්වැලි සෑ මලුවෙ සැදැහැවත් පිරිස් කණ්ඩායම් වශයෙන් ඇවිත් මිහිරට කවි කියනවා. මහාසෑයට ආදරයෙන් වන්දනා කරනවා. වන්දනා කවි කිය කියා මහාසෑය පැදකුණු කරනවා. මහාසෑ මලුව පුරා අමුතු ලොව්තුරු සුවඳක් විහිදෙනවා. මල් ආසන වල මල් පිරිලා. මහාසෑය දෙස බලද්දී මහාමේරු පර්වත රාජයා පොළොවෙන් මතුවුනා වගෙයි. අනෝතත්ත විල මැද්දෙන් කෛලාසකූටය මතුවුනා වගෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතූන් සැතපෙන ඉරියව්වෙන් වැඩ සිටින තැන නොවැ. ඉතා මිහිරි ලෙස බුදුගුණ කියමින් භික්ෂූන් දෙනමක් මල් පූජා කරනවා. ඒ වෙන කව්රුවත් නොවේ. ගුරුහිමියනුත්…. මෝහිත හිමියනුත් මහාසෑ වඳින්න වැඩලා. ඒ දෙනම මහත් ශ‍්‍රද්ධාවෙන් ගෞතම අප මුනිඳුට මල් පිදුවා. පැන් පාත‍්‍රයක් පිදුවා. පසෙකින් වාඩි වී ලස්සනට වන්දනා කළා. පිරිත් කිව්වා. නිශ්ශබ්ද වුනා. භාවනා කරන්න පටන් ගත්තා.

එදා මෝහිත හිමි ගුරුහිමියන් සමග මහාසෑ වඳින්න ආ නිසා ගොඩාක් සතුටින් සිටියේ. සිත සැනෙකින් සමාධිමත් වුනා. පිළිවෙළින් සතරවෙනි ධ්‍යානය දක්වා සමාධිය වැඞී ගියා……… කලින් කරගත් අදිටන පරිදි ගොරෝසු කයින් මනෝමය කය වෙන් වී ගියා. දැන් මෝහිත හිමි ඉන්නේ අහසේ. මහාසෑය වටේ වන්දනා කරමින් පැදකුණු කළා. තවමත් සුනීර දිව්‍ය පුත‍්‍රයා නාවේ මන්දැයි වටපිට බලමින් සිටිද්දී ඈතින් ආලෝකයක් එනවා පෙනුනා. ඒ ආලෝකය ළං වෙද්දී ලස්සන දිව්‍ය රූපයක් මැවී ගියා. ඒ සුනීර දිව්‍ය පුත‍්‍රයා….! මේ වතාවේ ඔහු ගේ අතේ ලස්සන මල් කළඹකුත් තියෙනවා. සුනීර දිව්‍ය පුත‍්‍රයා මෝහිත දෙස බලා සතුටින් හිනැහුනා. මහාසෑය වටා තුන් වතාවක් පැදකුණු කළා. මහාසෑයට ඒ මල් කළඹ පූජා කළා. ඊට පස්සේ කෙලින් ම ගුරුහිමියන් දෙසට ගියා. ගුරුහිමියන් දෑස් පියාගෙන භාවනා කරමින් සිටියේ. සුනීර දෙව්පුතු ගුරුහිමියන්ට මහත් බැතියෙන් වන්දනා කළා. ඊ ළඟට මෝහිත හිමියන් ළඟට පැමිණියා.

“හිමියනේ…. මට අද ගොඩාක් ම සතුටුයි. මං අද මෙතැන් ඉන්නේ අපේ ගුරුහිමියන් නිසයි. උන්වහන්සේ අපට හරි මග පෙන්නුවා….. ඇත්ත පහදා දුන්නා…… බුද්ධ වචනය පෙන්නා දුන්නා…. අපටත් කුමක්දෝ වාසනාවක් තිබ්බා. ඒ නිසා නේ අපට අපේ ගුරු හිමියන් ළඟ මහණ වෙන්න ලැබුනේ….. උන්වහන්සේ නිතරම අපට කිව්වේ අහිංසකව පිළිවෙත් පුරන්න කියලයි. සිව්පස ලාභයට මත්වෙන්න එපා කියලයි. මෝහිත ස්වාමීන් වහන්ස…. මං දැන් මගේ ජීවිතේ කලින් හිටපු ආත්ම ගැනත් විස්තර ටිකක් දන්නවා”

“අනේ… දිව්‍යපුත‍්‍රය…. මං හරි ආසයි ඔයාගේ විස්තරත් දැනගන්න. මනුස්ස ලෝකෙ දි ඔයා ඉතින් මගේ මල්ලි වෙලා හිටිය නේ”

“ඇත්තෙන් ම හිමියනේ…. මං මිනිස් ලොවට එන්න කලින් වෘක්ෂ දේවතාවෙක්. මං හිටියේ ආරණ්‍යයක. එහේ විශාල නුග වෘක්ෂයක් තිබුනා. මං හිටියේ එතැන. ඒ ආරණ්‍යයේ පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලා හතර නමක් සිටියා. උන්වහන්සේලා ගේ ඇවතුම් පැවතුම් හරි ශාන්තයි. මං එයට ගොඩාක් කැමති වුනා. මටත් මහණදම් පුරන්න ආසාවක් ඇති වුනා. එහෙම තමයි මං මනුස්ස ලෝකෙට ආවෙ”

“එහෙම නම් දිව්‍යපුත‍්‍රය….. ඇයි ඔයා මිනිස් ලොවේ අඩු ආයුෂයෙන් අපවත් වුනේ…..”

“ඒකනේ හිමියනේ…. ඒක මේ සසරේ හැටි. ඒක මගේ අතින් වෙච්ච වැරැද්දක්. මීට ආත්ම දහසයකට කලින් මං ප‍්‍රාණඝාතය කරලා. මං අපායෙ ඉපදිලා ගොඩාක් දුක් විඳලා තියෙනවා. ඒ ප‍්‍රාණඝාත අකුසලයේ ඉතිරි විපාක තමයි මට ගිය ආත්මෙ ලැබුනෙ. මං අසනීප වෙලා ගොඩාක් දුක් වින්ඳානේ. දැන් ඒ අකුසල විපාකය ඉවරයි”

“ඉතින් දිව්‍ය පුත‍්‍රය…. ඔයා මට කිව්ව නේද දිව්‍ය සභාවේ විස්තර කියනවා කියල”

“එහෙමයි හිමියනේ…. අන්න…. අන්න හිමියනේ…. ඔයාට පේනවාද අර අර පැත්ත බලන්න…. අර ඈතින් කලූපාටට මහා පිරිසක්, මහා සේනාවක් එක දිගට යනවා පේනවාද!…. අර…. ඔවුන් මේ පැත්තවත් බලන්නේ නෑ….. ඔවුන් පිනට විරුද්ධ යි….. අර….. හොඳට බලන්න…. මූණ අනිත් පැත්තට හරවාගෙන යන හැටි….. පේනවා ද?”

“ඇත්තට දිව්‍යපුත‍්‍රය…. කව්ද එයාලා….?”

“හිමියනේ…. ඔය තමයි මාරසේනාව. ඔවුන් මිනිස්සුන් ගේ රාග ද්වේෂාදී කෙලෙස් අවුස්සනවා. ඒ කෙලෙස් වලින් තමයි ජීවත් වෙන්නේ. ඔවුත් කැමැති නෑ මිනිසුන් සිල්වත් වෙනවාට. ඔවුන් හරි වංචනිකයි. මේ කාලෙ මිනිස් ලොවින් චුතවෙන බොහෝ දෙනෙක් උපදින්නේ ඔවුන් ගේ සේනාවේ…. ඔවුන් හරි මායාකාරියි….. එක රොත්තට කඩා පනිනවා”

“ඉතින් දිව්‍ය පුත‍්‍රය…. දිව්‍ය සභාවේ මොවුන් ගැන කථා කරන්නේ නැද්ද….?”

“මොකද නැත්තේ….. ගිය පොහෝ දවසේත් දිව්‍ය සභාව රැස්වුනා. එදාත් මේ ගැන කතා වුනා. හිමියනේ ඔයා අහලා තියෙනවා නේ සක්දෙවිඳුන් ගැන”

“ඔව්…. මං ටිකක් අහලා තියෙනවා”

“අනේ හිමියනේ…. උන්නාන්සේ තමයි හැබෑම දිව්‍යරජු. ඒ තමයි අපේ මහරජු. උන්නාන්සේ ගැන දැන් මනුලොව මිනිසුන් දන්නෙ නැති ගානයි. උන්නාන්සේ සැබෑම ගුණස්කන්ධයක්. මහා ගුණකඳක්. දයා මෛත‍්‍රී කරුණා ගුණයෙන් පිරී ගිය අසාමාන්‍ය රජෙක්. මහා නුවණැති නිහතමානී රජෙක්. ගුණදම් ආකරයක්. දෙව් පිරිස සතුටු කරවන රජෙක්. ඒ මහෝත්තමයා පවා දැන් මනුස්ස ලෝකෙට අත්වෙමින් තියෙන කලදසාව ගැන මහත් සංවේගයෙන් මෙහෙමයි කතා කළේ.

“නිදුක්වරුනේ,….. අප ගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේමයි ලෝකයට සිදුවෙන්නේ…. දැන් මිනිස්ලොව වේගයෙන් පිරිහෙමින් යනවා. මහා කලු දුමාරයකින් මහපොළොව වැසීගෙන යනවා. මාර සේනාව තව තවත් බලසම්පන්න වෙනවා….. දැන් මහපොළොවේ බොහෝ ප‍්‍රදේශ සම්පූර්ණයෙන් ම මාර සේනාවේ ග‍්‍රහණයට හසු වෙලා අවසානයි. ඒ කිසි ප‍්‍රදේශයක් දැන් අපට පෙනෙන්නේ නෑ. මහා කලු දුමාරයකින් වැහිලා….. ලංකාද්වීපය වගේ ඉතා ස්වල්ප ඉඩකඩකුයි ඉතිරි වෙලා තියෙන්නෙ….. දැන් තියෙන්නෙ මාර සේනාව මිනිසුන්ට වැහෙන එක විතරයි…. මාරසේනාව විසින් මිනිස් සිත ග‍්‍රහණයට ගත්තේ ඔවුන්ට හුරුපුරුදු ක‍්‍රමයට ම යි. ඔවුන්ට තියෙන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරණ න්‍යාය යි.

නිදුක්වරුනේ…. දැන් මිනිසුන්ට ගුණධර්ම දියුණු කරගැනීම ලෙහෙසි නෑ. ඒ ගුණධර්ම නැති වෙන විදිහේ කුමක් හෝ කරදරයක් වෙනවා. ඊට පස්සේ ඒ මිනිසා ඒ කරදරයේ පැටලෙනවා. ගුණධර්ම ටිකෙන් ටික නැති වෙලා හිටපු තැනට ම වැටෙනවා…… එය මොනතරම් සංවේගජනකයි ද…..! දැන් මිනිස් ලොවින් දෙව්ලොවට එන අය නැති තරම්. බුදු සසුන බබළන කාලේ මොනතරම් පිරිසක් දෙව්ලොව උපන්නාද….! දැන් කෝ…..? දැන් බලවත් වෙලා තියෙන්නේ ම අකුසල්. ඊර්ෂ්‍යාව…. දැඩි බලකාමය… අධිපතිබවට ඇති අධික ලොල්බව….. පළිගැනීම…. යටිකූට්ටු වැඩ…. දෙපිටකාට්ටු වැඩ…. ගැරහීම…. පිරිස් නොමග යැවීම…. තමා හුවා දැක්වීම… නින්දා අපහාස… මායාකාරී බව… විකෘති රාගය…. විකෘති ද්වේෂය…. විකෘති මෝහය… මේවා තමයි වේගයෙන් මිනිස් සිත වෙලාගෙන යන්නේ. මනුලොව ඇති මේ බිහිසුනු ස්වභාවය දකිව් නිදුක්වරුනේ…..”

එතකොට මුළු දිව්‍ය සභාව ම සංවේගයට පත්වුනා. එක් පැහැර හඬ නැගූ ශෝකාකූල වචනයෙන් මුළු සභාගැබ ගිගුම් දුන්නා.

“අහෝ….! තිසරණය අත්හළ මිනිසුන්ට වෙන දේ….!
අහෝ….! මිසදිටු සරණගිය මිනිසුන්ට වෙන දේ…..!
අහෝ….! මාන්නක්කාර මිනිසුන්ට වෙන දේ….!
අහෝ….අසුර ග‍්‍රහණයට හසු වූ මිනිසුන්ට වෙන දේ…..!
අහෝ….! මාර සේනාව මනුලොව වෙලාගන්න අයුරු….!
අහෝ….! සංවේගජනකයි… සංවේගජනකයි…”

මොහොතක් නිහඬ වූ සක්දෙවිඳු ආයෙමත් දෙව්පිරිස ඇමතුවා.

“නිදුක්වරුනේ…. අප ගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ හැම වචනයක් ම සත්‍යය යි. ඒකාන්ත සත්‍යය යි! නිදුක්වරුනේ…. දැන් බලන්න… මිනිසුන් ගුණධර්ම වලින් පිරිහී යද්දී ඔවුන් ගේ ආයුෂයත් පිරිහෙනවා. පෘථිවි රසයත් අතුරුදහන් වෙනවා…. දැන් මිනිසුන් කුරහන් මිශ‍්‍ර රළු බොජුන් වලට කැමැති වෙමින් ඉන්නවා….. ඔවුන් එකිනෙකා කෙරෙහි මහා සැකයකින් ඉන්නවා. අති බිහිසුනු අවිආයුධ තනමින් ඉන්නවා….. නුදුරු අනාගතයේ දී ඔවුන් භයානක ලෙස යුද්ධ කරන්න පටන් ගනීවි….. නිදුක්වරුනේ….. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ කාලයේ අපි මිනිස් ලොවට කිව්වේ ස්වර්ගය කියලයි…. අහෝ…… දැන් ඒ ස්වර්ගය නෑ…. දැන් මිනිස්ලොව ඊට හාත්පසින් ම වෙනස්…… සත්පුරුෂයන් ගේ වාසස්ථානයට තවදුරටත් මනුලොව සුදුසු නැති වෙමින් තියෙනවා. දුෂ්ට… අන්ධබාල…. කෙලෙහිගුණ රහිත අසත්පුරුෂයන් ගේ තෝතැන්නක් බවට පත්වෙමින් තියෙනවා…… නිදුක්වරුනේ….. ඔබ සියලු දෙනා මනුලොව දී රැකි ගුණදම් බලෙන් මෙහි උපන් පිරිස යි. ඔබේ ම පුණ්‍ය බලයෙන් ඔබ ලද ඔය දිව්‍ය ආයුෂයෙන් මත්වෙන්න එපා….! දිව්‍ය වර්ණයෙන් මත් වෙන්නත් එපා….! දිව්‍ය සැපයට මත්වෙන්නත් එපා….! දිව්‍ය අධිපති භාවයට මත්වෙන්නත් එපා…..! භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාද ම සිහිකරන්න. සතර සතිපට්ඨානයේ ම සිත පිහිටුවා ගැනීමට උත්සාහවත් වෙන්න……. සෝවාන් ඵලයට පත් වීමට මහන්සි ගන්න…. මෙතැනින් පහළ උපතකට නම් වැටෙන්න එපා…… එහෙම වුනොත් හැමදෙයක් ම නැතිවෙලා යාවි……”

“අනේ පින්වත් දිව්‍යපුත‍්‍රය…. තව්තිසාවේ ධර්මයේ හැසිරෙන දෙවිවරු ගොඩාක් ඉන්නවා ද….?”

“එහෙමයි හිමියනේ….. හැබැයි මිනිස් ලොව වගේ මහණදම් පුරන්න අවස්ථාවක් නම් නෑ. නමුත් බඹසර සිල් රකින දෙවිවරු ඉන්නවා. මගඵල ලාභී දෙවිවරු ගොඩාක් ඉන්නවා. ඒ නිසා අප ගේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තමයි මෙහෙ තියෙන්නෙ”
”ඇත්තෙන් ම දිව්‍යපුත‍්‍රය….. මිනිස් ලොව බුදු සසුන ගොඩාක් කල් පවතින එකක් නැද්ද…?”

 

“අහෝ…. දිව්‍ය පුත‍්‍රය….. මේ බිහිසුනු ඉරණමින් මිනිසුන්ව බේරාගන්න ක‍්‍රමයක් නැද්ද….?”

“හිමියනේ…. ඒක මෙහෙම යි. අවංකව ම තෙරුවන් සරණ ගිය ටික දෙනෙක් මිනිසුන් අතර ඉන්නවා නේ. ඒ නිසා ම ඔවුන් තුළ පවට ලැජ්ජා භය තියෙනවා. පින් රැස් කරනවා. ගුණදම් වඩනවා. අපේ දෙවිවරු අතරත් ඉන්නේ මනුලොව දී තිසරණ පන්සිල් රැකගෙන ගුණදහම් වැඩූ අයනේ. අන්න ඒ දෙවිවරු මිනිසුන්ව මේ බිහිසුනු ඉරණමින් බේරාගන්න මහන්සි ගන්නවා.

දැන් අපි මෙහෙම හිතමු. ඔන්න භයානක ගං වතුරක් එනවා. මහා වේගයෙන් දියකඳ ගලනවා. ගම් නියම්ගම් නගර යට කරගෙන යනවා. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මේ ගං වතුරට කොටු වෙනවා. ඔවුන් ගං වතුරට ගහගෙන යනවා. එතකොට ආරක්ෂක භට පිරිසක් එනවා. ඔවුන් ඒ මිනිසුන්ව හැකිතාක් බේරාගන්න මහන්සි ගන්නවා. හැබැයි ඒ භයානක ගං වතුරෙන් හැමෝම බේරෙන්නෙ නෑ. බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා. ටික දෙනෙක් බේරෙනවා…… දැන් මනුලොව මහා භයානක ගංවතුරක් ගලනවා. ඒ කාමය නමැති මහා ගංවතුර. මෙයට අතිවිශාල පිරිසක් ගසාගෙන යනවා. මිසදිටුවටත් ගසාගෙන යනවා. දේශපාලන බලපෙරලි වලටත් ගසාගෙන යනවා….. මෙය හොඳින් තේරුම් නොගත්තොත් එයට ගොදුරු වීම වළක්වන්න අමාරුයි…. හිමියනේ…. අපගේ සක්දෙව් මහරජු අපට මෙහෙමයි කිව්වෙ.

“නිදුක්වරුනේ….. ඔබ හැකිතාක් මිනිස්ලොවට පින් කරගැනීම පිණිස උපකාරී වෙන්න. අපට මිනිස් ලොවට උපකාර කරන්න ලැබෙන්නේ තව ටික කාලය යි. දැනට වුනත් මිනිසුන්ට පින් කරගැනීම ගැන ලොකු අවබෝධයක් නෑ. මෛත‍්‍රී භාවනාව කියන්නේ මහා බලසම්පන්න පිනක් බව මිනිසුන් දන්නේ නෑ…… හරි විදිහට මෙත් සිත දියුණු කරගත්තොත් ඒ තුළින් ම ඔහු සත්පුරුෂයෙක් වෙනවා. බොහෝ ගුණධර්ම දියුණුවට මග පාදා ගන්නවා. හොඳ ඉවසීමකින් යුක්ත වෙනවා. ඕනෑම දෙයක් විඳ දරා ගැනීමට දක්ෂයෙක් වෙනවා. ගැල් සියයක බර උසුලන යෝධ වෘෂභ රාජයෙක් වගේ වගකීම් දරන්න දක්ෂ වෙනවා….. නමුත් නිදුක්වරුනේ…. මිනිසුන්ට නිතර මාර සේනාව වැහෙන නිසා එක දිගට පිනක් වුනත් කරගන්න ඉඩ දෙන්නේ නෑ….. පිනටත් ගරහනවා….. පින් කිරීමෙන් සසර දික් වෙනවාලු….. දෙව්ලොව ඉපදෙනවාලු….. එතකොට නිවන් මගට බාධාවක්ලු…. අහෝ….. ප‍්‍රඥාහීන මිනිසුන් මේ මාරපාක්ෂික අදහස් වලට රැවටෙනවා. රැස් කරගන්න තියෙන පිනත් අස් කරගන්නවා….. අහෝ….!”

“දිව්‍යපුත‍්‍රය…. මං තව කරුණක් අහන්න කැමැතියි. මේ කාලයේ මිනිසුන්ට විදර්ශනා භාවනාව කරගන්න අමාරුයි ද?”

“හිමියනේ…. විදර්ශනා භාවනාව කියන්නේ ප‍්‍රඥාව වැඞීමට යි. ඉතින් ඒ විදර්ශනා භාවනාව දියුණු වීමට නම් මිනිසුන් තුළ හොඳින් මෝරා ගිය කුසල් බලයක් තියෙන්න ඕනා. එහෙම නැති වුනත් කෙනෙක් මහත් ශ‍්‍රද්ධාවෙන් යුක්තව පටිච්ච සමුප්පාදය, ආයතන භාවනාව, ස්කන්ධ භාවනාව ආදිය කටපාඩම් කරගෙන, ශ‍්‍රද්ධාවෙන් මෙනෙහි කිරීමෙන් ධර්ම ගෞරවය දියුණු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචන එසේම දරාගැනීමේ පින රැස්වෙනවා. ළඟම ආත්මභාවයක වහාවැටහෙන නුවණ ඇතිවීමට උපකාරී වෙනවා. මේ ජීවිතයේ නොඇලීම පුරුදු කරන්නත් උපකාරී වෙනවා….. දෙවියන් අතරත් විදර්ශනා භාවනාව තමයි බහුලව තියෙන්නේ….. නමුත් හිමියනේ අවබෝධය ඇතිවීමට නම් යෝනිසෝ මනසිකාරය ම යි අවශ්‍ය. ප‍්‍රඥාව වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ම යි. අනේ හිමියනේ…. මේ කාලේ මිනිසුන් අතර යෝනිසෝ මනසිකාරය ඇත්තේ ම නැති තරම්. ඔවුන් යෝනිසෝ මනසිකාරය කියල හිතාගෙන ඉන්නේ තර්කානුකූලව ගලපමින් කරුණු විග‍්‍රහ කිරීමට යි. එය යෝනිසෝ මනසිකාරය නොවෙයි. ඒ තර්ක විග‍්‍රහ තුළින් විදර්ශනා ප‍්‍රඥාව වැඩෙන්නේ නෑ. ඒ නිසා අකුසල් ප‍්‍රහාණය වෙන්නේ නෑ. කුසල් වැඩෙන්නෙත් නෑ. ඔවුන් කරන්නේ දිගට ම තර්ක ගොඩනගමින් සිටින එක. සියුම් විදිහට තර්ක කරනවා. තර්ක කරමින් සිතන දේවල් අවබෝධය හැටියට හුවා දක්වනවා. ධර්ම ගෞරවයටත් හානි කරගන්නවා. ඔවුන් ම ප‍්‍රහේලිකා හදාගන්නවා. ඔවුන් ම විසඳගන්නවා. ඒක තමයි ඔවුන් ගේ ධර්මය. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ඒ අයුරින් ම පිළිගන්න දැන් කාලෙ මිනිසුන් කැමැති නෑ….. අන්තිමේ දී බලද්දී…. යෝනිසෝ මනසිකාරයත් නෑ. ධර්ම ගෞරවයත් නෑ. තිසරණයත් නෑ. තමා විසින් හදාගත් පුහු මතයක් විතරක් තියෙනවා….. හිමියනේ…. අද බොහෝ මිනිසුන්ට වෙලා තියෙන්නේ ඔච්චරයි….!”

මෝහිත හිමියන් පුදුමයට පත්වුනා. තමන් ගේ සහෝදර සුමෝහිත හිමි ඒ කාලෙ මෙතරම් දක්ෂ විදිහට ධර්මය කතා කළේ නෑ. දෙවියන් අතර උපන්නේ පින් බලයකින් නේ. කල්පනා කිරීමේ හැකියාව මෙතරම් තියුණු වෙලා ඇත්තේ ඒ නිසා වෙන්න ඇති කියල හිතුවා. මෝහිත හිමියන්ට දිව්‍ය පුත‍්‍රයා ගෙන් තවත් ප‍්‍රශ්න අහන්න ආසා හිතුනා.

“අනේ….. දිව්‍ය පුත‍්‍රය, මම මේ ගැනත් දැනගන්න කැමතියි. දැන් කාලේ ඇතැම් මිනිසුන් බොහෝ මහන්සියෙන් අභිධර්මය ඉගෙන ගන්නවා. ඒ තුළින් අකුසල් නැති කොට කුසල් වඩන්නත්, ගුණදහම් දියුණු කරගන්නත් ඔවුන්ට පුුළුවන් වේවිද?”

“මෝහිත හිමියනේ,……. දෙව්ලොවේ දී නම් පුළුවනි…. ඒකට හේතුවක් තියෙනවා…. දෙවියන් ගේ නාමරූප ස්වභාවය ඉතාමත් සියුම්. එනිසා ම දෙවියන්ට චිත්ත චෛතසික ධර්මයන් හොඳින් දකින්න පුළුවනි. චිත්ත වීථියක ජවන් සිත් හටගන්නා ආකාරය හොඳින් දකින්න පුළුවනි. එය වර්තමාන මිනිසුන්ට විෂය වෙන්නේ නෑ. ඔවුන් කරන්නේ ගණිත ක‍්‍රමයකට චිත්ත විභාගය මතක තබාගැනීම පමණයි. ඒ අනුව තර්ක කරන්නත් පුළුවන් වේවි. නමුත් ගුණධර්ම දියුණුවක් නම් ඇතිවෙන්නේ නෑ…… හිමියනේ, මිනිස්ලොව මිනිසුන්ට උපකාරී වෙන්නේ සතිපට්ඨාන දේශනාවේ ඇති චිත්තානුපස්සනාව යි. ඒ ගැන ගොඩාක් විස්තර සූත‍්‍ර දේශනා වල සඳහන් වෙනවා. මිනිසුන් එයට උත්සාහ කරන්නේ නෑ. දෙවියන් ගේ විෂයට අයත් දෙයක් තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඒ තුළින් බොහෝ දෙනෙක්ට ඇතිවෙන්නේ පුහු මාන්නය විතරයි. නිහතමානී ගුණය අහිමි කරගන්නවා. තමා අභිධර්මය දන්නා බවට හුවා දක්වමින් අන් අයට ගරහනවා. බොහෝ පව් රැස් කරගන්නවා. මරණින් මතු මාර සේනාවට එකතු වෙනවා”

“අහෝ….. දිව්‍යපුත‍්‍රය…. බැලූ බැලූ අත මිනිසුන්ට ලැබෙන්නේ අවාසියක් ම යි. වාසියක් නම් නොවෙයි. බුදුදහම නැති වී ගිය කාලෙක මිනිසුන්ට මක් වේවිද…..?”

“හිමියනේ…… තිසරණේ පිහිටා ඉන්න පිරිස විතරක් බේරිලා යාවි. ඒ අය දෙව්ලොව උපදීවි….. අනිත් අය ගැන මොනවා කරන්නද…. සසරේ හැටි ඔහොම තමයි…. මිනිස්ලෝකේ අතිවිශාල ජනගහණයක් ඉන්නේ ප‍්‍රමාදය තුළයි. ඔවුන් මාර ග‍්‍රහණයට හසුවෙලයි ඉන්නේ…. දැන් හිමියනේ…… ඒකදේවවාදය තමයි මිනිස් ලොව ගොඩාක් ම බලවත්. ඒකදේවවාදය කියන්නේ එකම මැවුම්කාර දෙවියෙකු පමණක් විස්වාස කිරීමයි. ඒක අති බිහිසුනු අන්ධ විශ්වාසයක්. බුදුදහම නැති වුනාට පස්සේ කාටත් තියෙන්නේ ඒ බිහිසුනු අන්ධ විශ්වාසයට යටත් වීම විතරයි…. එතකොට සකල මිනිස් වර්ගයා ම මාරයා ගේ තනි අණසකට යටත් වෙනවා. ආයෙ ඉතිං ගුණධර්ම වඩන්න අවස්ථාවක් කොහොම ලැබෙන්න ද…? පිරිහිලා ම යනවා.

ඇයි හිමියනේ…. මතක නැද්ද…. අපගේ භාග්‍යවතුන් වහන්සේ චක්කවත්ති සීහනාද සූත‍්‍රයේ වදාළේ ඕක නේ. මිනිස් ලොවට සිදුවෙමින් යන්නේ එදා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ නේ. මිනිස් ගුණදහම් දිගට ම පිරිහෙනවා. තව පිරිහෙනවා…… ආයුෂත් අවුරුදු දහය දක්වා ම අඩු වෙනවා….. එතකොට තිරිසන් ලෝකෙයි මිනිස් ලෝකෙයි අතර ඒ හැටි වෙනසක් නෑ. එතකොට තමයි මෘග සංඥාව ඇති වෙලා මිනිස්සු මරාගන්නේ…… ඉතින් හිමියනේ…. එහෙම යුගයකට යන මිනිස් ලොව පිරිහෙමින් තිබීම පුදුමයක් යැ”

“ඒ කියන්නෙ දිව්‍යපුත‍්‍රය, මිනිසුන්ට ගුණධර්ම හඳුනාගන්න අමාරුකමක් ද තියෙන්නෙ?”

“ඒක හරි…. හිමියනේ…. ගුණධර්ම ගැන කවුරුත් කථා කළාට ඒවා තමන් තුළින් හඳුනාගන්නේ නෑ. අමාරුවෙන් හරි ගුණධර්ම හඳුනාගෙන දියුණු කරගන්න මහන්සි ගත්තොත් එයාට නම් යහපත උදාවේවි. තමන් තුල ම යි ගුණධර්ම උපදවා ගන්න ඕනා…. අනුන් ගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකිරීම ගුණයක්. අනුන් ගේ ලාභසත්කාරය දැක සතුටු වීම ගුණයක්. අනුන් ලස්සනට ජීවත් වෙනවා දකින්න කැමති වීම ගුණයක්. අනුන්ට වන කරදර විපත් දැක හදවත හඬා වැටීම ගුණයක්. අනුන්ට වෛර නොකිරීම ගුණයක්. තමන්ට පහර දෙන කෙනාට පෙරළා පහර නොදීම ගුණයක්. යහපත් අවවාදයට කීකරු වීම ගුණයක්. ඉවසීම ගුණයක්. වැඩිහිටි ගෞරවය ගුණයක්. ගුරු ගෞරවය ගුණයක්. මා පිය ගෞරවය ගුණයක්. නිහතමානී බව ගුණයක්. ජයපරාජය සමසේ පිළිගැනීම ගුණයක්. පොදු යහපතට උදව් කිරීම ගුණයක්. මෙවැනි ගුණධර්ම ඇති කරගන්න මහන්සි ගත්තොත් ඒ අයට මරණින් මතු ඉතා යහපත් ප‍්‍රතිඵල උදාවෙනවා ම යි”

“අනේ පින්වත් දිව්‍යපුත‍්‍රය……. දැන් ඔයා දෙව්ලොව උපන් නිසා ඔයාට ලැබී ඇති වාසි මොනවාද?”

එතකොට සුනීර දිව්‍යපුත‍්‍රයා සතුටින් රවුමක් කැරකුනා. හිනැහෙන්න පටන් ගත්තා. සුනීර දෙව්පුතු හිනැහෙද්දී සුදුපාට, නිල්පාට, කහපාට, රතුපාට ආලෝක විහිදෙනවා.

“මෝහිත හිමියනේ….. දැන් බලන්න….. මං දෙවියන් අතර උපන් නිසා මහාසෑය වඳින්න මෙහෙම එන්නත් පුළුවන්. දැන් ඔබවහන්සේත් එක්ක කතා කරන්නත් පුළුවන්. අනික මේ දවස්වල මං විදර්ශනා වඩනවා. මිනිස් ලොව ඉන්න කාලෙ මට සමාධිය ඇති කරගන්න අමාරු වුනා. මං ඒ කාලෙ ගොඩාක් මහන්සි ගත්තා. සමාධිය නැති වුනා කියල පසුබට උනේ නෑ…. දැන් මගේ සිත පහසුවෙන් එකඟ වෙනවා. විදර්ශනාවත් ටිකෙන් ටික වැටහෙනවා. මං සක්මන් භාවනාව කරද්දි චිත්ත වීථි වෙනස් වෙවී යන හැටි හරි අගේට පේනවා. මේ සියුම් දිව්‍ය රූපයත් වෙනස් වෙමින් පවතින හැටි පේනවා……. ඇත්තම කියනවා නම් හිමියනේ….. මට මේ කිසිම දෙයක් මනුස්ස ලෝකෙ දී මෙතරම් පැහැදිලිව වැටහුනේ නෑ. මනුස්ස ලෝකෙ ධර්මය පුරුදු කරපු එකේ වටිනාකම මට දැනුයි තේරෙන්නේ”

“පින්වත් දිව්‍යපුත‍්‍රය…. සිල් රකින දෙවිවරු ගොඩාක් ඉන්නවාද….?”

“ඇයි හිමියනේ එහෙම අහන්නේ….? ඒ අය දෙවිවරු වෙලා උපන්නේ ම මනුලොව සිල් රැකපු නිසා නේ. ශ‍්‍රද්ධාව තිබුන නිසානේ. ලෝභකම දුරු කොට දන් දුන් නිසා නේ. ධර්මය ඉගෙන ගත් නිසා නේ. නුවණ ඇති කරගන්න ආසා කළ නිසා නේ….. මෙත් සිත වැඩූ නිසා නේ. ඉතින් දෙව්ලොව උපන්නාට පස්සේ තමන්ට දෙව්සැප ලබා දුන් ඒ උතුම් ගුණධර්ම දෙවිවරු අත්හරීවි ද?….. නෑ….. ඒවා තව තවත් දියුණු කරගන්න මහන්සි ගන්නවා”

“අනේ දිව්‍යපුත‍්‍රය……. අපි පින් රැස් කොට දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. දෙවියන් ගෙන් ආරක්ෂාව පතනවා. ඉතින් අපේ ඒ පින් අනුමෝදන් වන දෙවිවරු අපිව රකිනවාද?”

“ඒක හිමියනේ…. මෙහෙමයි වෙන්නේ….. මහත් ශ‍්‍රද්ධාවෙන් තුනුරුවන්ට පූජාවන් පවත්වද්දී…… දෙවිවරු ගොඩාක් සතුටු වෙනවා. ඒ පින් සතුටින් අනුමෝදන් වෙනවා. දෙවිවරු කියන්නේ මනුලොව සිටිද්දී පින් කරපු අයනේ. ඒ පින් බලයෙන් ම දිව්‍යසැප ලැබූ අයනේ. දෙවිවරු පින් අනුමෝදන් වෙනවා. නමුත් මේ කාලයේ මිනිස්ලොව බරපතල දුර්වලකමක් තියෙනවා. මිනිසුන් ගේ චිත්තසම්පත්තිය බලසම්පන්න නෑ. ඒක තමයි දුර්වලකම. එතකොට තම සිතේ උපදින පින් බලය දුර්වල වෙනවා. ඒ නිසා මේ කාලේ මිනිසුන්ට පිනක් උපදවා ගැනීමට ගොඩාක් මහන්සි වෙන්න ඕනා.

මේ කාලයේ මිනිසුන්ට ත් දෙවියන් ගෙන් යම් තරමක ආරක්ෂාවක් තියෙනවා. නමුත් බුද්ධකාලේ වගේ නෑ. ආටානාටිය සූත‍්‍රයේ මේ ගැන හොඳින් සඳහන් වෙනවා. සතරවරම් දෙවිවරු භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ගිජුකුළු පව්වට ආවා නේ. ඇවිදින් සිව්වනක් පිරිසට ආරක්ෂාව සලසන බවට උන්නාන්සේලා පොරොන්දු වුනා. ඒ කාලේ භික්ෂු – භික්ෂුණී – උපාසක – උපාසිකා සිව්වනක් පිරිස ගෞතම බුදු සසුනේ පිළිසරණ පතාගෙන මුළු හදවතින් ම තෙරුවන් සරණ ගිහින් හිටියේ. දැන් එහෙම නැහැනේ. බොහෝ දෙනෙකුට තිසරණය නැහැනේ. නාම මාත‍්‍රික සිව්වනක් පිරිසක් නේ ඉන්නේ…… ඒ නිසා අවංකව තිසරණයේ පිහිටි ටික දෙනාට නිතර ආටානාටිය කිව්වොත් ආරක්ෂාව ලැබේවි. ඒත් බරපතල කර්ම විපාක නැත්නම් තමයි…… අනාගත මිනිස් ලොව දැඩි කලු දුමාරයකින් වැසී යමින් තියෙන නිසා මිනිස් ලොවට ලං වෙන එක ලෙහෙසි නෑ…… බුද්ධකාලෙ නම් දෙවිවරු මිනිසුන් එක්ක සිටියේ යාළුවෝ වගේ….. දැන් මිනිසුන් එක්ක එකට ඉන්නේ අසුරයෝ නේ.

අනේ මෝහිත හිමියනේ….. මට දැන් යන්න වේලාව ඇවිල්ල වගෙයි…. අනේ මගේ ගුරුදේවයන් වහන්සේට මං නිතර වන්දනා කරන බව කියන්න. උන්වහන්සේ කියපු හැම දෙයක් ම හරි කියල කියන්න. උන්වහන්සේට මං ණය ගැතියි කියලත් කියන්න. ගුරුබසට අවනතව ගුණධර්ම දියුණු කරගත් අයට යහපත වෙනවාමයි කියල කියන්න…… තව විශේෂ දෙයක් තියෙනවා….. ලෝකය ඒකාලෝක කළ ශ්‍රී ගෞතම සම්මා සම්බුදු සසුන නම් වූ මහා විස්මිත ප‍්‍රදීපස්ථම්භයේ අවසාන පහන් ආලෝකයත් මෙය බව කියන්න….. අනේ හිමියනේ තව කරුණක් තියෙනවා…. මං වගේ ම දෙවියන් අතරට එන්න කියල අපේ අම්මාටත් තාත්තාටත් කියන්න….. අනේ එහෙනම්…. දන්න හැමෝට ම මේ අවසාන අවස්ථාව අහිමි කරගන්න එපා කියන්න හොඳේ…. එහෙමනම්…. මං යන්නම් හිමියනේ…. නමෝ බුද්ධාය” කියල ඒ සුනීර දෙව්පුතු මහාසෑය දෙස බලාගෙන සිටියා. ටික වේලාවකින් නොපෙනී ගියා.

මෝහිත හිමි සෙමින් සෙමින් තමන් ගේ දෑස් විවර කළා. භාවනාවෙන් නැගිට්ටා. මහාසෑයට වන්දනා කළා. ගුරුහිමියන්ටත් වන්දනා කළා. තම සිසු දරුවා ගේ මේ හුරුබුහුටි වික‍්‍රමය ගැන තොරතුරු දැන ගැනීමේ මහත් ඕනෑකමිනුයි ගුරුහිමියන් සිටියේ. මහාසෑය පුරා හමන සිසිල් සුළඟින් අමුතු සිසිලසක් ලැබුනා. හැම තැනම මල් සුවඳ විහිදෙනවා. සැදැහැවතුන් පිරිසක් සුවඳ දුම් දල්වාගෙන බුදු ගුණ කියමින් මහාසෑය පැදකුණු කරනවා. ගෙවී ගෙන යන සඳ ඈත අහසේ පායලා තිබුනා. තරු වැල් නිවී නිවී දිලුනා. අහසේ කලුවරට තරු එළියෙන් අපූරු ලස්සනක් එක් කළා.

“මෝහිත ආයුෂ්මතුන්… අද මොකද වුනේ… අපේ සුමෝහිත පොඩිනම මුණ ගැසුනා ද….?”

එතකොට මෝහිත හිමිගේ දෑස් කිසියම් ප‍්‍රීතියකින් බැබලුනා. ඉතා සැහැල්ලුවෙන් ඉන්න බවක් දිස් වුනා. මුහුණ පුරා පැතිරී ගිය මිහිරි සිනහවක් තිබුනා.

“එහෙමයි ස්වාමීනී….. ඒ දිව්‍ය ස්වභාවය අපට හිතාගන්න අමාරුයි ස්වාමීනී…. සුනීර දිව්‍ය පුත‍්‍රයාට පුදුමාකාර වැටහීමක් නෙ තියෙන්නෙ. ඒ කාලෙ අපේ මල්ලි දක්ෂ තමයි. නමුත් මෙතරම් දක්ෂ කමක් තිබුනෙ නෑ…… දිව්‍ය ජීවිත මෙතරම් අසිරිමත් නම් මාර්ගඵලලාභී ආර්ය ශ‍්‍රාවකයන් ගේ ජීවිත මොනතරම් අසිරිමත් වෙන්න ඇද්ද….. ඉතින් ස්වාමීනී…. සුනීර දිව්‍ය පුත‍්‍රයා මේන්න මෙහෙමයි විස්තර කළේ…..”

මෝහිත හිමි ගුරුහිමියන්ට සියලු විස්තර කිව්වා. සුනීර දිව්‍යපුත‍්‍රයා කියූ හැම දෙයක් ම කිව්වා. ගුරුහිමියන් ඇස්පිය නොහෙලා මෝහිත හිමි දෙස බලාගෙන ඒ කතාව අසාගෙන සිටියා. කතාව අවසන් වුනාම ගුරුහිමියන් හිස ඔසවා මහාසෑය දෙස බැලුවා. මහාසෑයේ මුදුනේ කොත් වහන්සේ ගේ සිට පහළ පේසා වළලු දක්වා මහත් ආදර භක්තියෙන් බලා සිටියා. මිනිසුන්ට සුගති රැකවරණ සලසන මග දෙසූ, සසරින් එතෙර කරවන මග දෙසූ, ගෞතම අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ බුදු බඳ දැවූ පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් ම මේ මහාසෑයේ වැඩ සිටිනවා නේද කියලා උන්වහන්සේට සිතුනා. උන්වහන්සේ ආයෙමත් මහත් ආදරයෙන් මහාසෑයට වන්දනා කළා. වාඩි වුනා. දෑස පියාගත්තා. දොහොත් නගා වන්දනා කරගත්තා. ඉතා මිහිරි හඬින් මේ ගාථාව පැවසුවා.

.reading-box-container-3 .element-bottomshadow:before,.reading-box-container-3 .element-bottomshadow:after{opacity:0.7;}

“යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායා පරිපූරෙස්සන්තී’ති”

‘යම් කෙනෙක් ගියෝ නම්
සම්බුදුන් සරණ සැදැහෙන්
මරණින් මතු ඔවුහූ
නූපදිත් සිව් අපායන් තුළ
අත්හළ විට දි මනුකය
පිරී යත් ම ය දෙව් ලෝ….!’

සාදු…! සාදු….! සාදු….!

 

රචනා කළේ  – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post දෙව්ලොව උපන් සුමෝහිත හිමි appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here