දෙපා අහිමිව තිබිය දීත් මහ මෙර තරණය කළ යුද සෙබලා | Sri News

0
14


මහ මෙර, මහා මේරු පර්වතය යන නම නොඇසූ අයකු අප සමාජයේ වෙත් නම් ඒ කුඩා දරුවන් පමණක්ම විය යුතු ය.එහෙත්,දැනට භූගෝලීය වශයෙන් හඳුනාගෙන ඇති මහා මේරු පර්වතයට නැඟි මිනිසකු පිළිබඳ කතාවකි; මේ.නමුත් මෙහි වඩාත් විස්මය ජනක පුවත වනුයේ දැනට හතලිස් තුන් වියේ පසුවන මේ මිනිසා දනහිස් වලට ඉහළින් දෙපා යුගල කපා ඉවත් කළ යුද සෙබලකු වීම ය.

අපි ඒ කතා ප්‍රවෘත්තියට කලින් මෙම මහ මෙර පිළිබඳව යම් වැටහීමක් ලබා ගනිමු. භූගෝලීය, සමාජ හා මානව විද්‍යාත්මක වශයෙන් එතරම් අගැයුමක් නොලැබුණ ද ආධ්‍යාත්මික වශයෙන් මෙම මහ මෙර හෙවත් මහා මේරු පර්වතයට හිමි වනුයේ අතිශය වැදගත් තැනකි. ඊට හේතුව හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායන් තුළ පෘථිවියේ හරි මැද සේම මිහිතලය අනන්ත අපරිමාන විශ්වය හා සම්බන්ධ කරන ස්ථානය ද මෙම මහ මෙර වශයෙන් ජන සම්මත වී තිබීම ය.

අනුරාධපුර යුගයේ ලියැවුණු “පූජාවලිය” වැනි ග්‍රන්ථයන් ගේ සිට වර්තමාන ලේඛනයන් හි සේම ගීත රචනාවන් හි ද මෙම මහ මෙර යන වදන එක් ව තිබේ.මෙම මහ මෙර පිළිබඳව අපගේ සිංහල සාහිත්‍ය වංශයේ තවත් තැන්වල සඳහන් වන අතර කෝට්ටේ යුගයේ ලියැවුණු ගිරා සංදේශයේ එකසිය හතලිස් තුන් වන පද්‍යය වන ‘මෙර මහ වැද අබල වෙරළ ගල සිඳු දිය කඳු’ කවිය ඒ සඳහා වන කදිම නිදසුනකි. මේ සියළු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විශ්ලේෂණය කිරීමේ දී පෙනී යනුයේ මහ මෙර, ගිරි රාජ, පබ්බත රාජ, සිනෙරු, සුනෙර, සක්වල ගල ආදී අනේක විධ නම් වලින් හඳුන්වන මෙම පර්වතය හුදෙක් ආගමික සාහිත්‍යයේ හා සබැඳි මනඃකල්පිත භෞමික ලක්ෂණයක් බව ය සුවිසල් බව, අප්‍රමාණ බව හැඟවීම පිණිස එම වදන් යෙදී ඇති අතර අචල, ස්ථිර සාර බව හැඟවීම පිණිස ද ‘මහමෙර වගේ’ ‘මහ මෙර සේ’ යන වදන් සිංහල බසෙහි යෙදෙයි.

විෂ්ණු පුරාණය නම් භාරතීය දේව පුරාණෝක්ති සංග්‍රහයේ එන විෂ්ණු දෙවිඳුන් කිරි මුහුද කැළඹීමේ සිද්ධිය හා සම්බන්ධ මන්දර ගිරි හෙවත් මන්දර පර්වතය මෙම මහ මෙර යනුවෙන් ද මතයක් තිබේ. නමුදු අද වන විට මන්දර ගිරි යනුවෙන් ප්‍රකට ජෛන පුදබිමක් ද ඉන්දියාවේ බැංගලෝරයේ සිට කිලෝ මීටර් හැටක පමණ දුරින් පිහිටා තිබේ.එහෙත් පියගැට හාරසිය පනහක් පමණ නැඟීමෙන් මුදුනට පිවිසිය හැකි එය අප මේ කියන මහ මෙර විය නොහැක.

ඒ කෙසේ හෝ මෙම මහ මෙර හිමාලය අඩවියේ පිහිටා ඇති බවත් එහි වෙසෙන මහා සෘද්ධිමත් සෘෂිවරුන් විශ්වයේ තොරතුරු ලබා ගන්නා සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙසත් ඔවුන් විශ්වය වෙත පිවිසෙන පෘථිවි තලයේ ‘එළිපත්ත‘ ලෙසත් බොහෝ දෙනෙක් විශ්වාස කරති.
බෞද්ධ සාහිත්‍යයේ ද බොහෝ තැන්වල මෙම මහ මෙර පිළිබඳව සඳහන් වෙයි. පාලි භාෂාවෙන් ‘සිනෙරු‘ ලෙස හැඳින්වෙන මෙය සිංහලයෙන් සුනෙර ලෙස දක්වා තිබේ. සුනෙර සූත්‍රය, පබ්බකූට සූත්‍රය, සිනෙරු සන්ඛරෝපම සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් හි සඳහන් වන මෙම පර්වතය බුද්ධ දේශනා සඳහා විවිධාකාරයෙන් යොදා ගෙන ඇති අන්දම බෞද්ධ සූත්‍ර පිටකය හැදෑරීමේ දී පෙනී යයි. එහි එන සිනෙරු සූත්‍රයේ “මහ මෙර ඉදිරියේ මුං ඇට ප්‍රමාණයේ ගල් කැට පහක් තැබුවා සේ” යන රමණීය උපමාව ඉදිරිපත් කරන බුදුන් වහන්සේ රජ්ජ සූත්‍ර දේශනාවේ දී මුලු මහ මෙරම ඝන රන් වූවන් එය තනි පුද්ගලයකුගේ තෘෂ්ණාව සංතෘප්ත කිරීමට ප්‍රමාණවත් නොවන බව දැක්වීමෙන් මිනිසා ගේ තෘෂ්ණාවේ
අප්‍රමාණ බව කදිමට හුවා දක්වා තිබේ.

එමෙන්ම අප ජන සමාජයේ අතිශය ප්‍රචලිත ආටානාටිය සූත්‍ර දේශනාවේ මහ මෙර පිළිබඳව දක්වා ඇති අතර සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ එහි දිග පළල ද දක්වා තිබේ. එම සූත්‍රයට අනුව එහි දිග යොදුන් අසූ හාර දහසකි. පළල යොදුන් හාර දහසකි. එමෙන්ම තවත් යොදුන් අසූ හාර දහසක් සමුද්‍රය තුළ ගිලී තිබේ.

බෞද්ධ වෙහෙර විහාර හා සම්බන්ධ කඨින පූජෝත්සව වල දී නොවැරදීම කියැවෙන ‘අට මහ කුසල්’ මූලික බුදුසමයේ කිසිදු තැනක දක්නට නොමැති පසු කාලීනව බුදු සසුනට පිවිසි විස්තරයකි. භික්ෂුන් වහන්සේ ලා ගේ පැවැත්ම උදෙසා ඒවා පසුකාලීන බුදු සසුනට එක් කර ගත් බව පෙනේ.. එම අටමහ කුසල් වලට අයත් කඨින ප්‍රජාවේ අනුහස් ප්‍රකාශ කිරීමේ දී එය සුළඟට නොසෙල්වෙන මහ මෙර වැනි පින්කමක් බව අවධාරණය කොට තිබේ.

එම කඨින පූජාව පිළිබඳව පැවසෙන ‘ගිරි රාජ සමාරාසිං’ යන ගාථා පාඨයෙන් පැවසෙනුයේ මහ මෙර තරම් උසට චීවර පූජා කිරීමෙන් ලැබෙන අනුහස් වලට වඩා එක් කඨින චීවර පූජාවකින් හිමි වන අනුහස් බලවත් බවකි.

එහෙත්, අප මහ මෙර නමින් හඳුන්වන මෙම පර්වතයේ ස්ථානීය පිහිටීමට අනුකූල එනමින් යුතු පර්වතයක් සැබැවින්ම මේ මිහිතලයේ පිහිටා ඇති බවක් ඔබ දන්නවාද?

හිමාල කඳුවැටියට අයත් “මේර‘’ නමින් හැඳින්වෙන එම පර්වතය පිහිටියේ නේපාල දේශ සීමාවේ සගර්මතා හි සන්කුවසභ ප්‍රදේශයේ ය. කඳු මුදුන් තුනකින් යුතු එම මේර කඳු මුදුන්වල උස අඩි 21,247, 21,198 සහ 19,848 වශයෙනි. ආසන්න වශයෙන් ගතහොත් ලෝකයේ උස්ම කඳු මුදුන් අතරට ගැනෙන මේවායේ උස ප්‍රමාණයේ මුහුදු මට්ටමේ සිට ශ්‍රීපාද කන්දේ උස මෙන් තුන් ගුණයකි.

ලොව උසම කඳු ශිඛරය වූ අඩි 29,028ක් උසැති හිමාලයේ එවරස්ට් තරණය කළ නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි 1953 මැයි 29 දා තැබූ වාර්තාව පිළිබඳ ලේඛනයන් හි ද මෙම මේර කඳු වැටි පිළිබඳව සඳහන් වෙයි. නමුදු ඉන්පසු මෙම මේර කඳු වැටි තරණය පිළිබඳව සඳහන් වෙතත් ඒ සම්බන්ධ ලොව අසම සම වාර්තාවක් පිහිටුවා ඇත්තේ හරි බුධ මාගර් නම් නේපාල ජාතික යුද සෙබලාය. 2017 මෙම මේර පර්වතය තරණය කිරීම සම්බන්ධ ඔහුගේ ක්‍රියාන්විතය ලෝක පුදුමයක් වනුයේ ඔහු දෙපා යුගල දනහිසටත් ඉහළින් අහිමි කර ගත් ආබාධිත සෙබලකු වීම නිසාය.

කුඩා කල සිට අතිශය දුක්ඛදායක දිවි පෙවෙතක් ගත කළ ඔහු ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි මානසිකත්වයකින් යුතු අයකු බව පැවසෙයි. 2010 වසරේ ඇෆ්ගනිස්ථානයේ දී බිම් බෝම්බයකට හසුවීමෙන් දෙපා දනහිසටත් ඉහළින් අහිමි කර ගත් ඔහු ඉන් පසුව මහ මෙර තරණය කළ පුවත අදටත් මහ මෙර ගැන “මහ මෙරක් තරමට” සිතන ශ්‍රී ලාංකිකයෝ නොදනිති. නමුදු අපගේ ආගමික සාහිත්‍යයන් හි පැවසෙන මහ මෙර මෙය වීමට සේම නොවීමටත් පුළුවන.නමුදු මෙය හැරුණු කොට භෞතික වශයෙන් වෙනත් මහ මෙරක් නම් මෙලොව නැත.

තිලක් සේනාසිංහ





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here