දුම්රියේ යන අයට මුහුණදෙන්නට වෙන අමතක නොවන සිදුවීම් – Sri News

0
4

දුම්රිය කියන්නේ කොළඹ දිහාවේ නම් බොහොම දෙනා වැඩට යන එන පොදු මාධ්‍යයක්. හැමදාම මීඩියා වලින් නම් ඉන්දියාවෙන්, චීනෙන්, ඇමරිකාවෙන් බඩු ඇවිල්ලා ලංකාවේ දුම්රිය සේවය සුඛිත මුදිත වෙන්නට නියමිතයි කියලා පේනවා. ඒත් ඇත්තටම ස්ටේශන් එකකට ගියොත් එන්නේ හැමදාම දකින්නට තියෙන කෝච්චි ටිකක් විතරයි. මේ කෝච්චි ගමනත් දුෂ්කර වුනාට රසවත් වගේම දුක්බර සිදුවීම් වලින් පිරිලා තියෙනවා. අපි එයින් කිහිපයක් බලමු.

 

කෝච්චියක් කියන්නේ බස් සේවාව වගේ නෙමෙයි. එකක සිය දාස් ගාණක් යනවා ජනතාව. ඉතිං කෝච්චියක් එකපාර නැතිවුනාම ඒකේ යන්න ඉන්න දහස් ගාණක් මගීන් අනාථයි. කෝච්චි ස්ට්‍රයික් කියන්නේ කාලයක සිට දුම්රියේ යන මගීන් මුහුණදෙන අත්දැකීමක්. එතකොට වටේ බස් වල ගිහින් සමහර වෙලාවට ගෙදර යද්දි රෑ බෝ වෙනවා. කලාතුරකින් දුම්රියක් ආවත් පොල් පොදියට උඩ නැගලාත් සෙනග. ඒ විදිහට දුම්රියක් ආවත් ස්ට්‍රයික් දවස්වල දුවන හදිසි සේවා දුම්රිය හැම තැනම නවත්වනවා. සමහර වෙලාවට මහජනයා කුපිත වෙලා දුම්රිය සේවකයින්ට පහර දෙනවා. දුම්රිය දේපළ වලටත් හානි කරනවා. ඇත්තටම ඒවා වැරදියි කියලා මහජනතාව දන්නවා. ඒත් ඉතිං ගෙදර යන්න හවස ස්ටේශන් එකට ආවම කෝච්චිය නැතිවුනාම ආයේ සමහර අයට පැය ගාණක කාලයක් සහ විශාල මුදලක් නාස්ති කරගෙන තමයි ගෙදර යන්න වෙන්නේ. එතකොට එන ආවේගය සුළු පටු එකක් නෙමෙයි.

 

කෝච්චිය සහ ප්ලැට්ෆෝම් එක අතර පොඩි ගැප් එකක් තියෙනවා. ඕක අස්සට ගෑණු අය තමුන්ගේ අඩි උස සපත්තු හලා ගන්නවා. පිරිමි අය තොප්පි, ෆෝන් හලාගන්නවා. තවත් වෙලාවක කඩිමුඩියේ නගින්න යන අයෙක් කකුළ හෙමත් යවාගන්නවා. කෝච්චිය නවත්වන්න කලින් පොරකද්දි කකුළක් ගියා කියන්නේ ඒක සීරියස් අනතුරක්. මග ඉස්ටේශමකදි සෙරෙප්පුවක් වැටුනා කියන්නේ ලොකු සීන් එකක්. එකපාර පැනලා ගන්න හැකි වුනත් කෝච්චිය ඇද්දොත් විනාසයි. තමුන්ගේ නැතත් ළඟපාත කෙනෙක්ගේ හරි සෙරප්පුවක් හරි මොනාහරි වැටුණු අත්දැකීමක් කෝච්චියේ යන හැමෝටම වගේ තියෙනවා.

 

දියුණු රටවල නම් පොදු තැන් වලදී කෙනෙක් තව කෙනෙක්ගේ ඇඟේ වැදීම කියන්නේ අප්‍රසන්න දෙයක් විදියට සැලකෙනවා. ඒ උදවිය එහෙම වැදුනාම ප්‍රසන්න විදියට හිනාවෙලා සොරි කියලාත් කියනවා ඇති. ඒත් අපේ කෝච්චි වල තෙරපිලා අපි යන විදියට සොරි කියලා ෂර්ට් එකේ ප්‍රින්ට් කරගෙන එන්න තමයි වෙන්නේ. ඔහොම තෙරපෙද්දි ලිංගික අයවයවත් පොඩ්ඩක් එහෙ මෙහෙ වදිනවා. ඒක සැපයක් කරගත්ත පිරිමි අය වගේම ගැහැණු අයත් ඉන්නවා. ඒක ටිකක් අප්‍රසන්නයි, කැතයි, ඔබින්නේ නැහැ. ඒත් හිරවෙන කෝච්චිවල යන අයට එකපාරක් හෝ මෙහෙම අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙනවා අකමැත්තෙන් වුනත්. ඒ වගේ අත්දැකීමක් ඉතිං කොහොමද ලේසියෙන් අමතක වෙන්නේ?

 

බෝතල් පත්තර කාරයෝ හැර අනික් හැම ජාතියෙම වගේ වෙළෙන්දෝ කෝච්චිය ඇතුලේ කාලෙන් කාලෙට ඉන්නවා. එයාල බැලුන්, දිවුල්, අන්නාසි, කජු, සෙල්ලම් බඩු, පොත් පත්, කන් හැඳි ආදී නොයෙක් දේ විකුණනවා. කෝච්චිය හොඳට පිරුණාය කියලත් මේ වඩේ කාරයෝ සහ වෙළෙන්දන්ටත් එතරම් ගාණක් නැහැ. ඔහේ කෑ ගගහා යනවා. දුම්රියේ කලාතුරකින් යන කෙනෙක්ට නම් වතුර බෝතලයක් ගන්න, වඩේ ටිකක් ගන්න, මොනාහරි ගන්න මේ වෙළෙන්දෝ සෙට් එක මාර වැදගත්. ඒත් නිතර යන අයට මෙයාලා වදයක්. ඒ අතර හොඳ රස වඩේ කාරයෙක් හමුවුනොත් එයාගෙන් වඩේ ගන්න, හොඳ පොත් බුවෙක් සෙට් වුනොත් එයාගෙන් පොතක් ගන්නත් කට්ටිය අමතක කරන්නේ නැහැ. ඔය වෙළෙන්දෝ අතරත් විවිධ ආකාරයේ ලේසියෙන් අමතක නොවන වෙළෙන්දෝ ඉන්නවා.

 

රාත්‍රී දුම්රිය වල නම් බීගත් අය ගොඩක් යනවා. අතක් පයක් පොඩ්ඩක් වැදුනත් ඉතිං සොරි කියලා වැඳලා ෂේප් වුනේ නැත්තං ඉතිං එතන එක ගෝරියක්. සමහර අය එකට බීල දෙපැත්ත බෙදිලා ගහගන්නවා කෝච්චිය ඇතුළේ. ඒ වගේම කාන්තාවන්ට අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ගුටිකන්න වෙන අංකල් බුවාලත් කෝච්චියේ ඉන්නවා. බනින්න ගත්තාම නවත්වන්නේ නැති ටැප් එක වගේ කියෝ කියෝ එන ඇන්ටිලත් එක පාරක් හෝ කෝච්චි පෙට්ටිවලදි හමුවෙනවා. විශාල වශයෙන් අත පය විසික් කර කර ගහන්න කෝච්චිය ඇතුළේ ඉඩ නැතිවුනත් කටින් යන වාචික හරඹ නම් ඉඳලා හිටලා අහන්නට ලැබෙනවා. සමහර අයට තරහ ආවම ඉන්න තැන මතක නැහැ. එයාල මේ ගෙදර කියාලා හිතාගෙන කුණුහරුප කියන වෙලාවලුත් තියෙනවා.

 

ලංකාව නේ. මග කැඩෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. සමහර වෙලාවට පාරෙන් ගොඩක් ඈතක තැනක, ස්ටේශමකුත් නැති තැනක හිටියාම කෝච්චි පාර දිගේ පයින් එන්න වෙනවා. නැත්තං ඊළඟ කෝච්චිය එනකල් ඉඳලා නගින්න වෙනවා. කෝචිචිය මග කැඩීමේදී ඉතිං තරුණයින්ට නම් නංගිලාට පිහිටවෙන්න අවස්ථාවක් එනවා. ඒ වගේම වචනයක් කතාකරගන්න ඕනි වුනත් වැඩිය ගෝ එකක් ලැබෙන්නැති අංකල්ලටත් ඇන්ටිලා ටෝක් කරන්න හොඳ වෙලාවක් කෝච්චිය මග හිටීම. කොහොම හරි ඒ වෙලාවට නම් මාර වදයක්, මාර ඇණයක් කියලා හිතුනත්, කෝච්චිය මග කැඩුන අවස්ථාවක් කියන්නෙත් හරි පුදුම අත්දැකීමක්.

 

පර්ස් එකක් අරං පනින, බෑග් එකක් අරං දුවන, නැත්තං අනුන්ගේ බෑග් හිමීට පන්නන හොරු නම් හොඳ අත්දැකීම් නෙමෙයි. ඒත් එහෙම අයත් ඉන්නවා. සමහර විට අපේ පර්ස් එක මිස් වෙලා කියලා අපි දැනගන්නකොට මිනිහා බැහැල ගිහින් ඉවරයි. නිතර යන කෝච්චි වල නම් කට්ටිය එහෙම අයව දන්නවා. ඒත් ඉතිං හොරු ගේම් දෙන්නෙත් දන්න කියන අයට නෙමෙයි. අලුතින් එන අයට. ඒ වගේ වෙලාවකට අසරණ වෙලා ඉන්න කෙනාට හිමීට වැඩිය චාටර් නොවන විදියට කතාබහ කරල මුදලකින් උදව්වක් එහෙම කරන එකත් හොඳ පුරුද්දක්. පර්ස් එක නැතිවෙලා නම් ඒක රැකගන්න තිබුණු ආකාරය ගැන හරබර වචන විනාඩි 5-10ක් කියෝනවට වඩා ඒ මනුස්සයට බස් එකේ යන්න රුපියල් 100ක් දෙන එක ගොඩක් වටිනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here