දිවි මගෙහි මග කියන සසර පුරුදු – Sri News

0
4


සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වී දුක් වි ඳින අපට ඒ දුකෙන් මිදෙන මාර්ගය දේශනා කොට වදාළා. ඒ දහම් මඟේ ගමන් කරන පුද්ගලයාට මුල මැද අග වශයෙන් පිරිසිදු වූ දහම් මඟක වූ නිජබිම මුණගැසෙන බව උන්වහන්සේ වදාළා.

ඒ සඳහා ගෙතුණු පුංචි බණ කථාවක් අපි දැන් විග්රහ කරමු.

දවසක් එක්තරා දායකයෙක් බුදුන් වහන්සේට දානයට ආරාධනා කළා. එවිට උන්වහන්සේ වදාලේ,එදිනට උන් වහන්සේ වෙනත් දානයක් භාරගෙන තිබෙන බවයි. පිනක් කරන්න ඇති අවශ්යතාව වෙනුවෙන් එයට සුදුසු ස්වාමින් වහන්සේ නමක් ලබා දෙන්නම් යයිද වදාලා.

 

දායකයා ඊට කැමැති වුණා. නිසි දින දානමය පුණ්ය ක්රියාව සඳහා දායකයා අර ස්වාමින් වහන්සේ වඩම්මවාගෙන ගම් ප්රදේශයට ගමන් කරන අතරේ, ගස්, ගල් පර්වත, ඇළ දොළ ගංඟා පසු කරගෙනයි මේ ගමන ගියේ. ස්වාමින් වහන්සේ බොහෝම සංසුන් ගමනින් හා දායකයා පිටුපසින් පරිද්දෙන් ගමන් කරනවා. මෙසේ යනවිට මේ ස්වාමින් වහන්සේට හමුවුණා මහා යෝධ ගංඟාවක්. මේ හිමියන් මොහොතක් ගඟ ලෙස බලාගෙන හිටියා. පෙරදා හොඳට වැහැල නිසා ගගේ වතුර වැඩිවෙලා. ඒදණ්ඩ යට වෙලා.

මෙතෙක් වෙලා බිම බලාගෙන ශාන්ත ගමනින් ආ හිමියන් හොඳ ගැම්මක් අරගෙන කිසිදු සංවරකමකින් තොරව,ගඟෙන් එහා පැත්තට පැන්නා. “අනේ ඇයි මේ හිමියන් සංවරයක් නැතිව මෙසේ පැන්නේ” කියා දායකයාගේ සිත බිඳී ගියා. ස්වාමින් වහන්සේ ගඟේ එහා කෙළවරේ ඉඳන් නැවත ශාන්තව ගමන් කරනවා. දායකයා කල්පනා කරනවා කිසිම සංවරයක් නැතිව ගඟෙන් පැන්නා. දැන් නැවත සංවරව ගමන් කරනවා.

 

දායකයා ඒදණ්ඩෙන් අමාරුවෙන් එහා පැත්තට ගිහින් උන්වහන්සේ පසු පස්සේ ගමන් කරනවා. යන ගමන් විවිධ විතර්ක සිතිවිලි වලින් සිත පිරිලා. මේ හිමියන්ගේ කිසිදු සංවරකමක් නැහැනේ. මම දන් දෙනවාද? නැද්ද? මේ දන් දෙන එකෙන් මට පිනක් රැස්වෙයිද? අවසානයේ තීරණය කළා ගෙදර හොඳට පිළිවෙල කළ දානය සියල්ල පූජා කරනවා. නමුත් මම පිරිකර පූජා කරන්නේ නැහැ කියා .

තව ටිකක් දුර වඩින විට පුංචි දිය පහරක් හමුවුණා. දායකයා නැවත විමසිලිමත් වුණා. ගඟෙන් පැනපු කෙනෙකුට මේ දොළ පහර මොකක්ද? මෙයිනුත් පනියි සිතමින් දායකයා සිතෙන් ලත වෙමින් ගමන් කලා.

ස්වාමින් වහන්සේ ඒ පාර කලබල නැතිව හෙමින් දොළ කඩිත්තට බැහැලා පා දෙක දෝවනය කරගෙන සංවර බවින් යුතුව දොළෙන් එතෙර වුණා. දායකයා පුදුම වුණා. ඔහුගේ සිතේ ප්රශ්න ගොඩයි. පනින්න බැරි මහා ගඟෙන් අසංවරව පැන්නා. දැන් පනින්න පුළුවන් දොළ කඩිත්තෙන් නොපැන, සංවර උනා. ගැටළු ගොඩක් හිතේ තෙරපුණා.

දායකයා මෙසේ සිතමින් කියනවා ස්වාමිනි, මට ගැටලුවක් තිබෙනවා දැනගන්න. ඔබවහන්සේ දානයට වඩිද්දී අර මහ ගඟෙන් කිසිම සංවරයක් නැතිව පැන්නා. නමුත් මේ දොළ උඩින් සංවරව ගමන් කලා. ඒකෙනුත් පනින්න තිබුණානේ. ඇයි පැන්නේ නැත්තේ? යයි පැවසුවා.

ස්වාමින් වහන්සේ මෙසේ පිළිතුරු එක් කළා…..පින්වත එකකින් පැනලා පූජා කරන්න සිටි පිරිකර ටික නැතිකර ගත්තා….

මේකෙනුත් පැන්නානම් අද දානයත් නැති වෙනවා… ඒකයි පැන්නේ නැත්තේ කිව්වා.

දායකයා පුදුම වුණා. මගේ සිත ස්වාමින් වහන්සේ දැනගෙන නේ. මගේ සිත කියවලානේ කියා ඔහු කලබල වුණා.

මේ දානයට වඩින ස්වාමින් වහන්සේ තුළ බලගතු ඤාණයක් වන අනුන්ගේ සිත් දකින ඤාණයක් තිබුණා. උන් වහන්සේ රහතන් වහන්සේ නමක්නේ යැයි සිතමින් සිදු වූ දෙයට ලතවෙමින් දෙදෙනාම ගමන් කළා.

දායකයා ගෙදර ගිහින් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් දානයත් පිරිකරත් සියල්ල පූජා කළා.

නැවත වඩම්මවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. සිදු වූ සියල්ල විස්තර කළා.

පසුව දායකයා ඇසුවා…. ස්වාමිනි, ඒත් මට ඇති ගැටලුව…. උන්වහන්සේ ඇයි අර ගඟෙන් අසංවරව පැන්නේ?

බුදු නුවණින් අර හිමිගේ සංසාර ගමන ගැන බැලුවා.

පින්වත….. ඒ ස්වාමින් වහන්සේ මේ දීර්ඝ ගමනක් ආ සංසාරේදී භව ආත්ම පන්සියයක්ම වඳුරු ආත්ම භාවයන් ලබාගෙන තිබුණේ. ඒ නිසා යි එහෙම කළේ. ගහෙන් ගහට පැනපු ආකාරය ජන්ම පුරුද්දක් ලෙස සිතට ආවා. නමුත් ඔබේ සිත කැළඹුන බව දැක්කා. ඒකයි දොළ පාරේදී පැන්නේ නැත්තේ කියා වදාළා.

එහෙනම් මෙතැනදී අප තේරුම් ගත යුතු ගත යුතු ප්රධාන කාරණාව නම් පෙර පුරුදු රහත් වූ භවයට පවා මනස හරහා ගමන් කරන බවයි.

 

උන් වහන්සේ තවත් විග්රහා කරනවා…..එකම ගෙදර ඉන්න දරුවෝ දෙදෙනෙක් ගැන හිතන්න. නිවසේ සියලු දේ දෙදෙනාට සමාන වුවත් කෙනෙක් ධර්මයට කැමැතියි. හරිම ගුණවන්තයි. සීලවන්තයි. ප්රඥාවන්තයි. අනෙක් දරුවා එහෙම නැහැ. සැරපරුෂයි.

සංවර නැහැ. ධර්මයට කැමැති නැහැ. හේතුව දැන් එක ගෙදරක ඉපදුනාට සංසාරික වශයෙන් මේ දෙන්නාගේ මනස අහසයි පොළොව වගේ. දීර්ඝ සසර පුරා අප කරගසාගෙන යන කර්ම කිහිපයක් තිබෙනවා. ඒ කර්ම බීජ, ක්ලේශ බීජ, ස්මෘති බීජ (පෙර සසරේ මතක සටහන්) මේවා කර ගසාගෙන යන බැරි බර….

තථාගතයන් වහන්සේ වදාළේ…. මේ සසර බර පැත්තකින් තැබුවානම් ( සෝවාන් වුණානම්) ඔහු බිම තැබු බර හිමාල පර්වතයට සමාන බවයි.

 

තව ඉදිරියට ගෙනයන්න තිබෙන බර හරියට අබ ඇට හතකට සමානයි කියාත් වදාළා තිබෙනවා.

සමාජයේ සිටින පිරිසෙන් කෙනෙක් ධර්මයට කැමැතියි, කෙනෙක් අකැමැතියි, කෙනෙක් ගුණයෙන් පිරිපුන්. අනෙකා එහෙම නැහැ. එහෙමම වෙන්නේ සංසාරේ පෙර පුරුදු නිසා.

යක්ෂ, පේරත, භූත ආදියේ ඉපදුන අයට ධර්මය හුරු නැහැ. හොඳ වචන හුරු නැහැ. ඒ වගේම ගුණවත්කම හුරු නැහැ. නමුත් සංසාරේ මනස හොඳ දෙයට හුරු කළ කෙනාට අමුතුවෙන් හොඳ දේ කියා දෙන්න ඕන නැහැ. තමා අඳින ඇඳුම කිලුටු වුණාම එය ඉවත් කර වෙන එකක් අඳිනවා වගෙයි හරියට මියයනවා කියන එකත්. ඇඳුම වෙනස් කළාට පුද්ගලයා එකයි. ඒ වගේ අප මේ ජීවිතයේදී මරණයට පත්වුණාට අපේ කර්මය වෙනස් වන්නේ නැහැ.

 

සමහර දරුවන් ඉන්නවා දෙයක් කියනකොටම අවබෝධ වෙනවා. මේවා සංසාරයේ අපගේ මනස යම් තැනක තැබුවාද ඒ තැනින් තමා නැවත පටන් අරගෙන තිබෙන්නේ. සංසාරයේ මනස පහළට දැමුවානම් අප බාලයන් වගේ කටයුතු කරන්නේ.

අපට පුළුවන්නම් අපේ නොදන්නාකම, තේරුම්ගන්න. එයින් පණ්ඩිතබව ස්පර්ශ කරන්න හැකියාව ලැබෙනවා.

ධර්මය අහන්න අහන්න, අපේ ජීවිතය උත්තමභාවය කරා යනවා.

තථාගතයන් වහන්සේ මේ ජීවිතය උත්තමභාවයට යන්න ඕන කරුණු කිහිපයක් සහිතව පෙන්වා වදාළා.

අපේ ඇස, කන, නාසය, දිව, කය, හරහා විවිධ අරමුණු එනවා. ඒ අරමුණු වලින් කුසල අරමුණු පමණක් ඉතිරිකරගෙන අකුසල අරමුණු ප්රහාණය කරන්න යයි උපදෙස් වදාලා.

 

 

ධර්මයේ අරමුණු ගැන හොඳින් දකින්න කියාදෙනවා. ඒවා කුසලද? අකුසලද? කියා පහදනවා…

අකුසල සිතිවිලි තර්ක විතර්ක අයින් කරමින්, වැඩිය යුතු මනස හොඳින් වඩමින්, ඒ තුළින් අපේ මේ නිස්සාර ගමන සරුසාර ගමනක් කරගෙන නිවන පසක් කරන්න පුළුවන් බව උන් වහන්සේ දේශනා කළ සේක.

මේ නිසා මම,අප… ඔබ… ඉතා දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් ලෙස සරුසාර කරගෙන සසර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න සැමට ශක්තිය ලැබේවා…..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here