දැහැමින් සැනහෙන දරුවෝ වෙමු – Sri News

0
13


මනුෂ්ය ලෝකයේ උපදින්නට බලවත් වූ කුසලයක් තිබෙන්නට අවශ්ය බව සැබෑවකි. එනමුත් මිනිස් ලොව උපදින පුද්ගලයාට මෙලොව රසවත් වීමට හෙවත් සුජාත වූ උපතක් ලැබීමට සහ තරමකින් හෝ නිරෝගී යහපත් දරුවෙක් වීමට දෙමව්පියන්ගේ කුසල්ද , කරුණා, මෛත්රියද අපමණ කැපකිරීම, ජීවිත පරිත්යාගය වාගේම, සිත ද බලපෑ බව කවදාවත් අමතක නොකළ මනාය.

මේ ගුණ තව කොපමණ නම් පවසන්නද?

” අම්මයි, තාත්තයි මට මොනවද කරලා තියෙන්නේ ? “ මේ වාක්යය ගත්තහම අපිට බොහෝ සෙයින් වැඩිහිටි දරුවෙකුගෙන් නිරන්තර දෙමාපියන් හා විවාදගත වන ගැටලුවක්.

ඇයි නුඹලා හදල වඩලා ඉගැන්නුවේ, ඒ ටික මදිද ?” දෙමාපියනුත් මේ විදිහට ආවේගශීලීව හුවමාරු කර ගන්නවා…

කෙලවර අවසානයක් නොපෙනෙන,සංවේගයක් උපදින ප්රශ්නයක් බවට මේ තත්වය පත් වෙනවා…

මේ සංවාදයේ දෙපැත්තෙන්ම කියවුනු දේවල් සමග විමසුවොත්, මොනවද දෙමව්පියෝ කරලා නැත්තේ ? කියලත් අපට ප්රශ්නයක් නගන්න පුලුවන්.

 

ඉඩම් කඩම්, යාන වාහන මිල මුදල් මේ ඔක්කෝම දේවල් ලෞකික ලෝකයේ තාවකාලික වස්තු පමණයි. ඒවා ඇතිවුනා වගේම විනාශ වී යනවා. ඉක්මනින්ම නැති වෙනවා.වැඩිම වුනොත් මේ ජීවත්වෙන කෙටිකාලෙට පමණයි. ඒ වුනත් අම්මා, තාත්තා අපගේ ජීවිතවලට කොපමණ නම් වටිනවාද ? මොන තරම් ආලෝකයක්ද..ඔබ මේ ගැන හිතන්නම ඕන කරන කාලයක්,

ටිකක් සිතා බලන්න. අපි මේ ලෝකයේ උපදින විට, මේ ගෙදර, මෙවැනි දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා උපදින්න කියා තේරීමක් තිබුණාද ? අපගේ පෙර කුසලාකුසල ශක්තිය අනුව අප සුදුසු රටක, ගැලපෙන පෙදෙසක,කර්මානුරූපී කුසල් අනුව සුදුසු පවුලක ඉපදුණා…. නොවේද ?

 

හොඳයි, ලෝකයේ අප වැඩි පිරිසකටම ගුණවන්ත දෙමවුපියෝ හමුවෙලා නැත්ද? ඔබම හිතන්න, හැම රටකම වගේ, කලාතුරකින් කීපදෙනෙක් හැර, අනෙකුත් සියලුම දෙමාපියෝ තම දරුවන් කොපමණ නම් දයාවෙන්, කරුණාවෙන්, මෛත්රියෙන් රකිනවාද ? හදනවාද ? පෝෂණය කරනවාද ? හොඳයි, එහෙම රකින්නේ නැතිව, අර කලාතුරකින් අහන්නට ලැබෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපිව මහමඟ දාලා ගියා නම්, මොකද වෙන්නේ? පවින් වළක්වලා, යහපතට හුරු කළේ නැතිනම් මොකද වෙන්නේ? සැබවින්ම අප මේ ලෝකයේ නොසිටින්නටත් ඉඩ තිබුණා…අඩුම තරමේ දෑත දෙපයවත් කැඩෙන්නට ඉඩ නොදී හදපු එකේ ගුණයවත් අප සතු විය යුතුයි.

 

ආදරණීය දුවේ ,පුතේ, යම්විටෙක නුඹලාට මේ ලෞකික ලෝකයේ නොතිර වස්තු නිසා දෙමව්පියන්ගේ ගුණ අමතක වුනාට, දෙමවුපියන්ගේ වස්තුව මොනවාද කියා ටිකක් වත් හිතුවාද?

” මගේ වස්තුව නුඹලායි දරුවනේ” යනුවෙන් පැවසුවා නම්, ඒ ගුණබර අම්මා කෙනෙකුයි පියාණන් කෙනෙකුයි හදවතේ ගැඹුරුම තැනින් ගෙනා ප්රකාශයක්.. ඔබව, ඇස් දෙක වගේ රැකගෙන, හදවත වගේ සිතාගෙන හදලා, වඩලා, උගන්නලා, විටෙක රැකියා සොයා දීලා, ආවාහ විවාහ කටයුතු සිදුකොට දීලා දෙමව්පියන් උපේක්ෂා ගුණයට පත්වෙනවා. උපේක්ෂා ගුණය යයි මෙහි සඳහන් කළේ සිත මධ්යස්ථ භාවයට පත් කර ගැනීමයි.

ඒ කියන්නේ “ දරුවන් හොඳින් ජීවත්වෙනවා, යම් විටෙක අපටත් වඩා ලෝකය ගැන අවබෝධයෙන් කටයුතු කරන්නට පුළුවනි. දැන් නුඹලාට නුඹලාගේ කටයුතු කරගන්නට පුළුවනි” ආදී ලෙසින් මෙනෙහි කර හදවතේ සතුට අස්වැසිල්ලක් කර ගැනීමයි.

නියමාකාරයෙන් යුතුකම් හා වකීමෙහි බැඳෙන අම්මා තාත්තා“ අපිට දැන් දරුවනේ, අපේ හිත නිදහස් කරගෙන නිවී සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නට පුළුවනි. යන වදනින් සැනහෙනවා…ඒ නියමාකාරයේ ප්රතිපත්තීන් තුලින් ජීවිතේ ජය ගත් උත්තම මා පියන්…අපි නිසා මේ ලෝකයට ආපු අපේ දරුවන්ට අපි යුතුකම් ඉටු කළා. මෙසේ සතුටු වෙනවා.රජ මාලිගාවක් හදලා දෙන්නට බැරිවුනාට, සිංහාසනයක් හදලා වාඩි කරවන්නට බැරිවුනාට, මිළ මුදල් ලක්ෂ ගණනාවක් බැංකුවේ තැන්පත් කර තියන්නට බැරිවුනාට, යහපත් වූ මනුෂ්යයෙක් වෙන්නට නුඹලා හැදුවා දරුවනේ. ලෝකයේ කොතැනක හෝ ගමන් කරලා සොරෙක්, මංකොල්ලකරුවෙක්, වංචාකාරයෙක් නොවෙන්නට නුඹලා හැදුවා දරුවනේක්…මෙසේ සිතන අවංක සාධාරන දෙමාපියන් සමාජයේ කොතෙකුත්….

අවංකව, හදවතින්ම දියුණුව ප්රාර්ථනා කළ දෙමව්පියෝ අමතක කරලා නරක ආශ්රයට වැටුනොත් ඒකේ විපාකය ගෙනියන්නම වෙනවා.

 

“ දරුවනේ, තවමත් ඔයාලට මේ විදිහට 6කටක් ඇරලා අහන්න පුලුවන්ද…. මොනවද අපට කළේ කියලා”

අද තරම් ලෝකය නොදියුණු කාලයේ, දරුවෙක් බිහි කළේ මරණ මඤ්චකය අබියස වගෙයි. ඒත්, මොනවද ගුණබර අම්මා කෙනෙක් සිතුවේ? “ මම මියදුනත් මගේ දරුවට නම් කරදරයක් වෙන්නට එපා” කියලයි.

විටෙක කුස ගින්නෙ සිටගෙනත් දරුවාට කිරිපෙව්වා නොවේද? නාවනකොට, කවනකොට, ඇඳුමින් සරසනකොට, මේ ලෝකයේ සිටින ප්රසන්නම දරුවා මගේ දරුවාම වෙන්න කියලයි ප්රාර්තනා කලේ.. සමහර දෙමාපියන් හරිහැටි ලියන්නට කියන්නට දන්නේ නැති වුනත් තම දරුවට උගන්වන්න කොයිතරම් මහන්සි වෙනවද ? දරුවන් වෙනුවෙන් දෙමව්පියන් අතර තරගයක් කියලා වර්තමානයේ ඔය තැනින් තැන අසන්නට ලැබෙනෙ ඒ නිසානෙ.

යම් දෙමව්පියන් දරුවන් ඉහළට ඔසවමින් තම සිතේ “ මානයක්” ඇති කරගන්නට හැදුවත්, තමාට නොලැබුණු ඉගෙනීම හෝ තමාටත් වඩා උගත්කම තමන්ටත් වඩා සැප සම්පත් දරුවන්ට දෙන්නට ඒ තරම් මහන්සි වෙන්නේ. දරුවන් නිසා දෙමව්පියන් පමණයි.

භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ සූත්ර දේශනාවකින් කොටසක් මෙහි උපුටා දක්වන්නම්…

ඒ ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ සඳහන් සබ්රහ්මක සූත්ර දේශනාවෙනුයි.

 

බ්රාහ්මාති භික්ඛවෙ,

මාතාපිතුන්නං ඒතං අධිවචනං

පුබ්බදේවාති භික්ඛවේ

මාතාපිතුන්නං ඒතං අධිවචනං

පුබ්බාචරියාති භික්ඛවේ

මාතාපිතුන්නං ඒතං අධිවචනං

ආහුනෙයයාති භික්ඛවේ

මාතාපිතුන්නං ඒතං අධිවචනං

 

“ මහණෙනි, බ්රහ්ම යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි. මහණෙනි, පූර්වදේව යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි. මහණෙනි, පූර්ව ආචාර්ය යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි. ආහුණෙයය ( දුර සිට ගෙනවිත් ආහාර පානාදියෙන් පිදීමට සුදුසු ) යනුවෙන් මව්පියන්ට විශේෂිත වචනයකි.

තං කිස්ස හේතු ?

ඒ කවර හේතුවක් නිසාද ? “

“ බහුපකාරා භික්ඛවේ

මාතාපිතරො පුත්තානං ආපාදකා

පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරො”

 

“ මහණෙනි, මව්පිය දෙදෙනා දරුවන්ට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙති. දරුවන්ගේ ජීවිතවල ආරක්ෂකයෝ වෙති. කයින්ද මනසින් ද පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකයේ හොඳ නරක , කුසල් අකුසල් ආකාරය පෙන්වා දෙන්නෝ වෙති.

දැන්, ඔබටම පැහැදිලී.. දෙමව්පියන් ඔබට මොනවාද නොදී ඇත්තෙ? නොකොට ඇත්තේ ?

මේගැන සිතමින් යහ සමාජක් උදෙසා අවැසිම වූ කාලීන දහම් සිත් ඔබ තුල වඩවා ගන්න ඔබට තෙරුවනේ අනන්ත බලයෙන් ආශීර්වාදය ලැබේවා!!!

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here