දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය

0
7


Spreme Buddha

දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 6

“අපේ පත පොතවල බුද්ධිය, බෝධිය කියා වචන දෙකක් තිබෙනවා. බෝධිය කියා කියන්නේ විශේෂ වශයෙන් සත්‍ය සොයා ගැනීමේ ඥානයටයි. නමුත් මේ දෙකම ඇතිවන්නේ පිටස්තරව නොව තමාගේ අභ්‍යන්තරයේ විය යුතුයි. පිටස්තරයෙන් ලබා ගන්නා ශාස්ත්‍ර ඥානයකින් නොවෙයි, මේක ඇති වෙන්නේ. තමා තුළ අභ්‍යන්තරයෙන් ඇතිවන ඥානයකින්.

බෝධිය කොහොමද ලැබෙන්නේ කියා බණ පොත්වල විස්තර කරන විට දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබුණු විට කියන්නා වාගේ. “ඤාණං උදපාදි චක්ඛුං උදපාදි” නුවණක් උපන්නා, ඇසක් උපන්නා, යනු එහි තේරුමයි. කොහෙන්ද? ඇතුළෙන්, අභ්‍යන්තරයෙන් උල්පතකින් දිය උනන්නා වාගේ තමාගේ අභ්‍යන්තරයෙන් ඥානය ලැබුනා. තමාගේ අභ්‍යන්තරයෙහි ඇසක් පෑදුණා. මේකට තමයි, බෝධිය කියන්නේ, මේකට තමයි, බුද්ධිය කියාත් කියන්නේ. ඒ වනාහි පිබිදීමක්, ආලෝකය පැතිරවීමක්. ආලෝකයක් පහළ වී ඒ ආලෝකය පැතිරෙනවා. මේ ආලෝකය පුළුවනි ‘සර්ච්ලයිට්‘ කියන දුරදීපකයක් වශයෙන් පාවිච්චි කරන්නට. ඕනෑම දෙයක් පිළිබඳව සත්‍ය සොයා ගැනීමට.

‘සර්ච්ලයිට්‘ කියන දුරදීපකයකින් බලාපොරොත්තු වන්නේ යම්කිසි තැනක, දුර සැඟවී තිබෙන දෙයක් කෙරෙහි මේ දුරදීපකය එල්ල කළ විට එහි තිබෙන තත්ත්වය අවබෝධ කරගැනීමයි. ඇතුළෙන් පැන නඟින ඥානයත්, මේ බෝධියත්, මේ බුද්ධියත්, මේ පිබිදීමත් දුරදීපකයක් මෙන් පාවිච්චි කොට ලෝකය පිළිබඳව, ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්ට පුළුවනි.”

මේ කොටස උපුටා ගනු ලැබුවේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් විසින් 1967 සැප්තැම්බර් 11 වැනි දින සාහිත්‍ය උත්සවයේදී කරනු ලැබූ දේශනය ඇසුරෙනි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජාතිය උදෙසා ලබා දෙන මෙම ඔවා ලිපි සරණිය වෙන්වන්නේ තමන් තුළින් තිසරණය කෙරෙහි උපදින ශ්‍රද්ධාවෙන් ජාතිය බල ගැන් වීම උදෙසාය. එක් අතකින් බලන විට එය තමා තුළ බෝධිය පහළ කර ගැනීම සඳහා දරන උත්සාහයට පිටුබලයකි. දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන සිටීමේ ජාතික පුරුද්ද වෙනුවට තමන්ගේ සීල, දාන, භාවනා බලයෙන් ඔදවත් තෙදවත් ජාතියක් ගොඩනැංවීම සඳහා පුද්ගලයා වහ වහා යොමු කිරීම උදෙසා උන්වහන්සේ සිය ධර්ම ඤාණය අප උදෙසා ලබා දී තිබේ.

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපට මහාවංශය ගැනත්, එයින් ජාතියට ලබා ගත හැකි ආදර්ශ පිළිබදවත් දැනුවත් කිරීමක් කළා. නමුත් සමහර උගතුන් තර්ක කරන්නේ, මහාවංශය ධර්ම විරෝධී ග්‍රන්ථයක් ලෙසයි. මේ සිංහල දේශයේ හෙවත් ලංකාවේ තමන්ගේ ධර්මය පිහිටන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන බව මහාවංශය විස්තර කර තිබුණත්, උන්වහන්සේ එසේ ප්‍රකාශ කරන ලද බවක් ත්‍රිපිටකයේ කිසිදු තැනක විස්තර කර නැහැ.

ඔය ප්‍රකාශනය ලෙහෙසියෙන් ම ත්‍රිපිටකයට ඇතුල් කරන්න සිංහල සංඝයා වහන්සේලාට තිබුණා. කට පාඩමින් ධර්මය රැගෙන එන පරපුරකට ඒක අසීරු කාරණයක් නෙවෙයි. එහෙම කළේ නැහැනේ. ඒක ඇතුළත් විය යුතු තැනයි ඇතුල් වී තිබෙන්නේ. බොහෝ විට පසුකාලීනව හිටපු මහ රහතන් වහන්සේලා මේවා, ජාතියට හෙළි කරන්න ඇති. සමහර විට බුද්ධ කාලයේ පටන් කටින් කට මේ දේවල් එන්න ඇති. එතැනනේ අවංකභාවය තියෙන්නේ. ත්‍රිපිටකය ඒ ලෙස තබාගෙන වංශ කතාව ඒ ලෙස තබා ගත්තා. බුදුරජාණන් වහන්සේ එදා සක් දෙවිඳුට දේශනා කරන ලද එම ප්‍රකාශය සත්‍යයක් බවට පත්වෙලා තිබෙනවා, උන්වහන්සේගේ ධර්මය සුරක්ෂිත වී තිබෙන්නේ මේ දේශයේ කියන එක, එදා කියූ ලෙසම සනාථ වී තිබෙනවා. ඉතිං ඒ ගැන තව කවර කතාද…?

මහාවංශය ධර්ම විරෝධී බව සමහර උගතුන් පවසන්නේ දුටුගැමුණු මහ රජතුමාගේ හෘද සාක්ෂිය සම්බන්ධ කාරණය මතු කරමින්. පර සතුරු ආක්‍රමණය පරාජය කිරීමෙන් පසුව, තමන් විසින් මරා දමන ලද මිනිසුන් සම්බන්ධව දුටුගැමුණු රජතුමාට ප්‍රශ්නයක් පැන නඟිනවා.

තමන් මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරා දමා පාපයක් සිදු කර ගත් බවට එතුමා කල්පනා කළා. මේ මොහොතේ එතුමාගේ සිත සැහැල්ලු කරගැනීම සඳහා අනුශාසනා ලබා දීමට, පුවඟු දිවයිනේ සිට මහරහතන් වහන්සේලා වැඩම කරනවා. උන්වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, යුද්ධයෙන් මිය ගියේ, මිනිසුන් එකහමාරක් පමණක් බවයි. තිසරණයේ පිහිටි එක් අයෙක් සහ, තිසරණ පන්සිල් පිහිටි තව කෙනෙක් පමණක් එහිදී මිනිසුන් ලෙස මියගිය බව උන්වහන්සේලා දේශනා කරනවා. සමහර පිරිස් මහාවංශය ප්‍රශ්න කරන්නේ මෙම කොටස පමණක් විශාලනය කර දැක්වීම මගිනුයි. අපේ හාමුදුරුවනේ, මහාවංශයේ මෙම ගණන් හැදීම ධර්මානුකූලද…?

දුටුගැමුණු රජතුමා මහා සෑයවල් බඳින්න ඉස්සර වෙලා තමයි, එතුමාට මේ ප්‍රශ්නය පැන නගින්නේ. රහතන් වහන්සේලා ලබාදෙන මෙම අනුශාසනාව, රජතුමාගේ පසුතැවීම සන්සිඳුවීම සඳහා උපකාරී වුණා. එම සංසිඳුවීමත් සමඟ තමයි, එතුමා මහසෑය බඳිමින් තමන්ගේ ආගමික සේවාව පටන් ගන්නේ. ඉවර වුණු කාරණයක් සඳහා පසුතැවිලි වීමට රුකුල් දීම, කිසිම දර්ශනයකින් අනුමත කරලා නැහැ. ඒක බුද්ධාගමට පමණක් අදාළ කාරණයක් නෙමෙයි. යුද්දේ ඉවර වෙන්න ඉස්සර වෙලා, මේ දේ වුණා නම් එතැනදී, මේක වැරැද්දක් කියලා කියන්න පුළුවන්.

අතීතයට ගිය කාරණයක් ගැන විග්‍රහ කෙරෙන සූත්‍රයක් තියෙනවා, සංයුක්ත නිකායේ සංඛධම කියලා. එතැනදී නිගණ්ඨ ශ්‍රාවකයෙකුගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබගේ ශාස්තෘවරයා ධර්මය හැටියට කියා තිබෙන්නේ කුමක්ද කියලා. “යමෙක් ප්‍රාණඝාතය කරනවා ද, ඒ සියලුදෙනා නිරයේ යනවා” යනුවෙන් එම ධර්මයේ සඳහන් වෙන බව ඔහු කියා සිටිනවා. එවිට බුදුරජාණන් වහන්සේ අහනවා “යමෙක් හැම තිස්සේ ම ප්‍රාණඝාතය ද කරන්නේ…?” කියලා. යමෙක් හැම තිස්සේම ප්‍රාණඝාතය කරන්නේ නැති බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දවසකට එක මදුරුවෙක් මැරුවොත් ඔහු නිතර නිතර ප්‍රාණඝාතය කරන්නේ නැහැනේ… ඒ එක්ක ඔහු කියනවා “යමෙක් නිතර නිතර යමක් කරයි ද එයින් ඔහු නිරයේ යයි” කියලා. එවිට බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙනවා, යමෙක් ඒ දෙය නිතර නිතර නොකරන බව. මෙතැනදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, යමෙක් යම් අකුසලයක් නිතර නිතර නොකරන බවයි. දවසේ හෝ ජීවිත කාලය පුරා පුද්ගලයෙකු එම අකුසලය සිදු කරන්නේ නැහැ. මේ පෙන්වා දීමෙන් අනතුරුව නිගණ්ඨ ශ්‍රාවකයා විසින් “ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද…?” කියලා අහනවා. ප්‍රාණඝාතය කරන්න එපා… කියලා. ප්‍රාණඝාතය කරපු කෙනෙක් තථාගතයන් වහන්සේ සරණ යනවා. ඔහු කරන ලද ප්‍රාණඝාතය ඔහුට මතක් වෙනවා. එය අතීතයට ගිය කර්මයක්. මේ වෙලාවෙත් ඔහු ඒ ගැන පසු තැවෙනවා නම්, ඒ ක්‍රියාව ඔහු සම්මාදම් වෙලා ඉන්නේ කියලා දේශනා කරනවා. එය ක්‍රියාවෙන් බැහැර වෙච්ච අතීතයට ගිය කර්මයක්. පසුව ඔහු හක්ගෙඩියක් පිඹිනවා වගේ දස දිශාවට මෙත් සිත වඩනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙතැනදි පුවඟු දිවයින් වැසි රහතන් වහන්සේලා දුටුගැමුණු රජතුමාට දේශනා කරපු කාරණය, සීයට සියයක් ම ධර්මානුකූලයි. මෙතැනදී රහතන් වහන්සේලා විසින් රජතුමාට පසුතැවීම නැති කිරීම සඳහා උපායක් මෙනෙහි කළා. එතැනදී පසුතැවීම සඳහා කරුණු කිව්වා නම් ඒක මහා කර්මයක් බවට පත් වෙනවා.

පසු කාලයකදී මේ වගේ ප්‍රශ්නයකට වැරදි උත්තරයක් දීලා වෙච්ච හානියක් මම කියන්නම්. සීතාවක රාජ්‍යය කරපු රාජසිංහ රජතුමාටත් මෙවැනි කුකුසක් හිතේ ඇති වුණා. රජතුමාගේ අතින් පියා ඝාතනය වුණා. “මේකෙන් මට බේරෙන්න තියෙන ක්‍රමය කුමක්ද…?” කියලා සංඝයාගෙන් ඇහැව්වා. “මේකෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ… නියත වශයෙන් ම නිරයේ කියලා සංඝයා පිළිතුරු දුන්නා. ඒ සමඟ රජතුමා කුපිත වුණා. සංඝයා ඝාතනය කරන්න පටන් ගත්තා. අවසානයේදී රජතුමා මේ ගැන අරිට්ඨකී වෙණ්ඩුගෙන් ඇහැව්වා. “මේකට අශ්වමේද යාගය කරමු” කියලා ඔහු උපදෙස් දුන්නා. අශ්වමේද යාගය කළා. ශ්‍රී පාදය අරිට්ඨකී වෙණ්ඩුට දුන්නා. ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ලම විනාශ කළා. ආවේගයකට පත්වෙලා හිටපු, ශෝකයකට පත්වෙලා හිටපු, රාජ බලෙන් යුක්ත කෙනෙක් කෝප කෙරෙව්වේ. අජාසත්ත රජතුමාට පියා මරපු කාරණය ඍර්ධියෙන් බුදුරජාණන් වහන්සේ විසින් අමතක කෙරෙව්වා. ඊට පස්සේ ධර්ම කතාවට එතුමා යොමු කර ගත්තා. එතුමා පළවැනි ධර්ම සංගායනාව කළේ, ඒක නිසයි. එදා බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට “තෝ පියා මරපු කෙනෙක්, දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. නිරයට යන්න ලැහැස්ති වෙලා ඉන්න” කියලා, වදාළා නම් මොකද වෙන්නේ. එතැනයි බුද්ධිමත්කම තියෙන්නේ.

අද යම් කෙනෙක් ඉන්නවා නම්, පවෙන් තැවී තැවී ඉන්න කෙනෙක්, ඔහුට ඒ පව අමතක කරවලා, ධර්ම මාර්ගයට යොමු කරන එක තමයි භික්ෂූන්ගේ යුතුකම. අකුසලයට පසුතැවීම කියන එක නෙමෙයි ශාසන කාර්යය. ඒ පසුතැවීමෙන් මුදවාගෙන ධර්ම මාර්ගයට යොමු කරවීමයි ධර්මානුකූලව කළ යුතු වන්නේ.

පවෙන් නොතැවී අනාගතය සඳහා කුසල් දහම්හි යෙදීම බුද්ධ දේශනාව බවයි ඔබවහන්සේ සඳහන් කරන්නේ. මේ සඳහා හොඳම ආරම්භය බුද්ධ බලය දැන ගැනීමයි. අපි බොහෝ දෙනා බුදුහාමුදුරුවෝ ගැන දැන සිටියත් බුද්ධ බලය ගැන නිසි වැටහීමක් නැහැ. මොකක්ද අපේ හාමුදුරුවනේ මේ බුද්ධ බලය?

රතන සූත්‍රයේ සඳහන් වෙන හැටි බලන්න “යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා” ඒ කියන්නේ මෙලොව හෝ පරලොව හෝ යම් කිසි වස්තුවක් ඇද්ද “සග්ගේසු වායං රතනං පණීතං” ස්වර්ගයේ හෝ යම් කිසි වස්තුවක් ඇද්ද, ඒ වගේ දෙයක් වැඳුම් පිදුම් කළා කියලා, මනුෂ්‍ය ජීවිතයට කිසිම විශේෂත්වයක් ඇතිවෙන්නේ නැහැ. වාලම්පූරි වඳින්න අද සමහරු පුරුදු වෙලා තියෙනවා. ඒත් භෞතික දෙයක් විතරයි. ඒ වස්තුවට අදාළව සමහර විට අමනුෂ්‍ය බලවේග ඉන්නවා. ඒ බලවේග වඳින කෙනා ගැන පැහැදුණොත් තමයි එතැනදී යම් හෝ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. කුමන හෝ විශාල කන්දක් වැනි වස්තුවක් තිබෙනවා. මහා කන්දක් තිබෙනවා, ඒක සම්පූර්ණයෙන්ම නිල් මැණිකක් කියලා අපි හිතමු. ඒක වැන්දා කියලා, මනුෂ්‍යයන්ගේ ජීවිතයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එවැනි දේවල් වැන්දා කියලා කිසිම දියුණුවක් මනුෂ්‍යයාගේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. “න නෝ සමං අත්ථි තථාගතේන” මේ සියලු වස්තු එකතු කරත් ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණයට, වටිනාකමට සම කරන්න බැහැ කියන ඒකයි එහි අර්ථය. සම කරන්න බැරි තරමේ වටිනාකමක්, පූජනීයත්වයක් උන්වහන්සේ තුළ බිහි කළේ, සම්මා සම්බුද්ධත්වය. උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වුණාට පස්සේ, උන්වහන්සේගේ සිවුර, නිය පොතු, කෙස්, උන්වහන්සේ පිරිනිවන් පා වදාළාට පසු උන්වහන්සේගේ ධාතු, පූජනීයත්වයට පත් වුණේ උන්වහන්සේ වදාළ ධර්මය නිසා. ඒ ධර්මය තවත් ප්‍රවාදයක් නෙමෙයි. මිථ්‍යා කතාවක් නෙමෙයි. එහෙම නැත්නම් ඒක හුදෙක් නිබන්ධනයක් නෙමෙයි. ඒක සත්‍යය කියන දෙයට අයිති දෙයක්. ඒ සත්‍යය අදහස් කරගෙන යම් කෙනෙක් ඒක වැඳුම් පිදුම් කරනවා නම්, එකේ සරණ ඒ විදිහට ලැබෙනවා. සරණ සමාදන් වුණාට පිහිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය පමණින් සරණ පිහිටනවා කියලා, තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. සරණ ගියාට පස්සේ, එයාට තමන් සරණ ගිය ශාස්තෘවරයාණන් වහන්සේ කියන දේවල් මතක් වෙන්න ඕනේ. ශාස්තෘවරයාණන් වහන්සේ ජීවිතය ගැන කියපු දේවල් මතක් වෙන්න ඕනේ. මහාවංශයේ සඳහන් වෙන දේ සත්‍යයි. ඒ නිසා තමයි අපි මෙතරම් මහාවංශයට ආදර ගෞරව කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කරපු දේවල් මහාවංශයේ සඳහන් වෙනවා. ඒ කරුණු මේ වන තෙක් සත්‍යය බවට පත්වෙලා තිබෙනවා. ඒවා බොරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මහිමය තුළ, අපට පිළිසරණ උපකාරය ලබා ගන්න පුළුවන්. දෙවියන් බඹුන් ආදී සියලු දෙනාම වැඳුම් පිදුම් කරගෙන ඉන්නේ බුදු රජාණන් වහන්සේට. ස්වර්ණමාලි මහ සෑයේ වැඩ හිඳින්නේ, බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා. ඒ ධාතූන් වහන්සේලා වැඩ හිඳින කරඬුව පූජා කළේ සක් දෙවිඳු. මහා සෑයේ බලය පවතින්නේ ඍර්ධි කිහිපයක් එකතුවෙලා. බුදුරජාණන් වහන්සේගේ ඉර්ධිය, උන්වහන්සේගේ අධිෂ්ඨාන බලය. රහතන් වහන්සේලාගේ ඉර්ධිය, බ්‍රහ්ම ඉර්ධිය, දේව ඉර්ධිය, රාජ ඉර්ධිය යන සියල්ල එකතු වෙච්ච් තැන එතැන. තෙරුවන් සරණ ගිය කෙනාට මහා සම්භාවනීය තැනක් ඒක. තෙරුවන් සරණ ගොස් තමන් ඒ සරණේ මනාකොට පිහිටා සිටින්න ඕනේ. ඒ පිහිටා සිටීම තුළ සරණ යන්නාගේ සිත එම සරණත් සමඟ බද්ධ වෙනවා. තමන්ගේ ශීල, ගුණ ප්‍රතිපදාවට යම් හානියක් වෙන්න යනකොට ඒ තිසරණය මතක් වෙන්න ඕනේ. මේක අපිට පුංචි දරුවෙකුට සමාන කරන්න පුළුවන්. පුංචි දරුවෙක් හැදෙන්නේ මවුපිය සෙනෙහස තුළ. ඒ දරුවා දුකක් දැනුණත්, සතුටක් දැනුණත් දුවගෙන එන්නේ අම්මා තාත්තා ගාවට. ඒ ඇසුරෙන් තමයි දරුවා වැඩෙන්නේ. මේ බුද්ධ ශාසනය අපට දෙමාපියන් වගේ, ස්වාමියෙක් වගේ.

සක් දෙවිඳු පවා වැඳ නමස්කාර කරන අපේ ශාස්තෘවරයාණන් වහන්සේ තමයි, අපිට එකම පිහිට. එක්තරා අවස්ථාවක බුදු රජාණන් වහන්සේ රජගහනුවරට වඩින කොට, සක් දෙවිඳු අලංකාර මානව වේශයක් ගෙන, උන්වහන්සේ වඩින මග ඉදිරියෙන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් අලංකාර නර්තනයක් ඉදිරිපත් කරමින් ගමන් කළා. ඒ නර්තනය දැකපු ජනතාව සක් දෙවිඳුගෙන් අසනවා “ඔබ කවරෙක්ද…? දිව්‍ය ලෝකයෙන් ආපු දිව්‍යරාජයෙක්ද…? බ්‍රහ්ම ලෝකයෙන් ආපු බ්‍රහ්මරාජයෙක්ද…? වේපචිත්ති කියන අසුරයාවත් ද…? සූර්ය දිව්‍යරාජයා ද…? චන්ද්‍ර දිව්‍යරාජයා ද…?” කියලා. එතකොට සක් දෙවිඳු ඊට උත්තර දෙන්නේ “මම එහෙම කෙනෙක් නෙමෙයි… මම බුදුරජාණන් වහන්සේගේ දාසයෙක්…” කියලා. දෙවිවරු හිටියෙත් බුදුරජාණන් වහන්සේට දාස චිත්තයෙන්. අපට මේ සරණ යන්න ලැබිලා තියෙන්නේ, උතුම් මනුෂ්‍යයෙක් විතරක් නෙමෙයි. මේ තුන් ලොවේ උත්තමයා. මේ සරණ තුළ අපිට ලැබෙන රැකවරණය වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒක මෙලොව සහ පරලොව දෙක ම සුරක්ෂිත කරනවා.

දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ, දිව්‍ය සභාවේ විස්තරයක් තිබෙනවා. දෙවිවරු එකතු වෙලා, අලුතින් ඉපදුණු දෙවිවරු ගැන බොහෝ ප්‍රශංසා කරනවා. “මේ දෙවිවරු පරණ දෙවිවරුන්ට වඩා මහානුභාව සම්පන්නයි. ප්‍රභා සම්පන්නයි. බලවත්. මක් නිසාද, මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේව සරණ ගිය අය” කියලා ඒ පැරණි දෙවිවරු කතා කරනවා. එතකොට එතැනට සක් දෙවිඳු පැමිණෙනවා. එතුමා එතැනදී බුදුරජාණන් වහන්සේගේ ගුණ අටක් කියනවා. මෙබඳු දයාවක් අනුකම්පාවක් ලෝක සත්ත්වයා ගැන තිබෙන ශාස්තෘවරයෙක් මේ ලෝක ධාතුවේ නැහැ. දෙවැනි ගුණය ලෙස, නිර්මල ධර්මයේ ඇති ආනුභාවය ගැන කියනවා. තුන්වැනි ගුණය උන්වහන්සේගේ ප්‍රඥා මහිමය. උන්වහන්සේ වදාළ නිවන තමයි හතරවැනි ගුණය, උන්වහන්සේ බුද්ධ කෘත්‍යය සඳහා රහතන් වහන්සේලා සමඟ කටයුතු කළත් උන්වහන්සේ නිතරම සිටින්නේ හුදෙකලාව. එම ගුණය ගැනත් සක් දෙවිඳු කියනවා. ලෝක සත්ත්වයා කෙරෙහි මෙතරම් දයානුකම්පාවකින් යුක්ත ශාස්තෘවරයෙක් මේ ලෝක ධාතුවේ නැහැ කියලා, සක් දෙවිඳු උන්වහන්සේගේ හය වැනි ගුණය විස්තර කරනවා. ඊටපස්සේ කියන්නේ උන්වහන්සේ ලාභ සත්කාර කිර්ති ප්‍රශංසාවලට මිශ්‍ර නොවී සිටීමේ ගුණය ගැන. රජවරු, මහා සිටුවරු ලාභ ප්‍රයෝජන ලබා දුන්නා කියලා, උන්වහන්සේ තමන්ගේ ආරම්භක ප්‍රතිපදාව වෙනස් කළේ නැහැ. උන්වහන්සේගේ යථාවාදී තථාකාරී ගුණය හෙවත් උන්වහන්සේ ක්‍රියාවෙන් යමක් පවසනවාද, එක වචනයෙනුත් එහෙමයි. වචනයෙන් යමක් දේශනා කරනවාද, ඒක ක්‍රියාවෙනුත් එහෙමයි කියලා සක් දෙවිඳු ප්‍රකාශ කරනවා. අටවැනි ගුණය ලෙස විස්තර කරන්නේ, උන්වහන්සේ සැක රහිත වූ ශාස්තෘවරයෙක් කියලා. උන්වහන්සේට කිසිම දෙයක් ගැන සැක නැතුව දැනගන්න පුළුවන්.

මේ තමයි සරණ ගිය කෙනෙකුගේ ලක්ෂණ. සරණ මනාකොට හඳුනා ගැනීම. සාගරයට වැටුණු කෙනෙක් සාගරයේ අතරමංව සිටියදී පහුරක් හමුවුවහොත් එය මනාකොට හඳුනා ගන්නවා. ඒ වගේ තමයි. සරණ ගිය කෙනා, සරණ මනාකොට හඳුනා ගන්නේ. හඳුනාගෙන ඒ පහුරට ගොඩ වෙනවා. එතැන සිට තමයි දූපතක් හොයන්න වීර්යය කරන්නේ. අපේ සිංහල ජාතියේ වාසනාවට මිහිඳු මහරහතන් වහන්සේ මේ දායාදය අපිට ලබා දුන්නා. මේ දායාදය අපේ ජීවිත ආලෝක කරගන්න අපිට ලබාගන්න පුළුවන්. තිසරණයේ මනාකොට පිහිටීම අපේ ජීවිත එලොව මෙලොව දෙකේදී ම යහපත් කරනවා. අපේ ජීවිත වෙනස් කරගන්න පටන් ගත යුත්තේ ඒ තිසරණය මත පිහිටීමෙන්.

තව කොටසක් ලබන සතියේ…

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

The post දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here