දහම් ගඟුල ලොව බෙදුනා සම්බුදු සිසිලෙන් – Sri News

0
21


 

සිංහල ගීත සාහිත්‍යය තරම් බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ මහිමය උත්කර්ෂයට නැංවූ දහම් ගී සාහිත්‍යයක් ලොව කවරම රටක වුව ද නැතැයි ඉඳුරාම කිය හැකි නිදසුන් ඈත අතීතයේ සිටම අප සතුව පවතී.

භාග්‍යවතුන් වහන්සේගේ උපත සිදු වූ දඹදිව පවා කවරම කලෙකවත් පහළ නොවූ ඒ මධුර දහම් ගී රසෝඝය ලක්දිව පමණක් පහළ වීමේ ආශ්චර්යය කවරේ ද? ඒ වූ කලී සම්බුද්ධ ශ්‍රී පාද ස්පර්ශයෙන් තෙවරක්ම පූජනීයත්වයට පත් වූ ද එයින් දෙසිය වසාධික කලකට පසුව මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට දහම් දෙසා පැහැදිලි කොට වදාළ සම්බුද්ධාලම්භන ගුණ මහිමයෙන් සුපෝෂිත වූ ද සිරිලක් දෙරණ වැසි ජන සංඝය පරපුරින් පරපුරට ජන්ම දායාදයක් හා අධ්‍යාත්ම උරුමයක් ලෙස ඒ දහම් රසෝඝය සුරක්ෂා කොට පවත්වා ගැනීමේ අසිරියයි.

එසේම ලක්දිව සම්බුදු සසුන සුරකින ලෙස බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුන්ට කළ නියමයත්, උන්වහන්සේගේ අදිටන පරිදි තමන් වහන්සේගේ ශාරීරික හා උද්දේසික ධාතූන් වහන්සේලා සිරිලක් පොළෝ තලය මත පිහිටා තිබීමත් ලොව වෙනත් කිසිදු දේශයක් නොලද මහා භාග්‍යයක් ම වන්නේ ය. එසේම ලොව වෙනත් කිසිදු දේශයක් හා සම්බන්ධ නොවූ ද බුදුරජාණන් වහන්සේගේ ජාත භූමියේ පහස ලද ඉන්දියන් සාගරයෙන් වට වූ ද අපගේ දේශය, දේශගුණික සමතුලිතතාව හා පාරිසරික සෞන්දර්යයේ නොහිම් ආශීර්වාදය ලද සොඳුරු දිවයිනක් වූයේ ම ය.

ඒ සියලු මහාර්ඝ භෞතික දායාදයන්ගේ ඵල වශයෙන් ලද අධ්‍යාත්ම ශක්තිය සිංහල බෞද්ධ ජනකායගේ මහඟු උරුමය වෙයි. බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙන් උපන් සෞන්දර්ය විඥානයත්, අසමසම කවි ශක්තියත් බුබුලු නඟමින් ලක්වාසීන්ගේ පරිකල්පනය තුළින් මතු වූයේ ලොව අග්‍රගණ්‍ය මහා ස්තූප, සෙල් පිළිම, සඳකඩපහණ, සෙල්කැටයම් හා සම්බුද්ධරාජ මන්දිර වෙසිනි. සෞන්දර්ය කලාවේ ලෞකික විෂයානුබද්ධ කාව්‍ය හා ගීත නිර්මාණයේ ආස්වාදයෙන් බොදු ජන හදවත් ප්‍රමුදිත වූයේ ලක් ඉතිහාසයේ පූර්ව යුගයේ ඇල්ගෙවිලියන් පවා ගැයූ බුද්ධානුස්සති කවි ගී ගායනාවන්ගෙන් ඇරඹී මෑත යුගය දක්වා පබැඳුණු, ගැයුණු ගී ගායනාවලිනි.

වරෙක
“තල්පත් අතරේ පන්හිඳ තුඩගින්
නවනළු රස ගංගා ගලලා
ගල්කටු පහරින් ගල්කුළු මතුයෙහි
කෝමල රේඛාවන් ඇඳිලා”

යනු වශයෙන් ද තවත් වරෙක

“මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ – අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා” යනුවෙන් ද ආචාර්ය ඩබ්ලියු ඒ. අබේසිංහයන් ලියුවේ බුදු දහමේ වීතරාගී සෞන්දර්යාස්වාදය විඳි පරපුරේ උරුමය නූතන නිර්මාණකරුවන් ජන්ම දායාදය කොටගත් බව පසක් කරවමිනි.

මහමෙව්නා උයන යන දෙවදන අසන බොදුනුවකුට එක්වරම සිහිපත් වන්නේ සමාධි ප්‍රතිමාවයි. මහ කළු ගලකට ශ්‍රී සම්බුද්ධ කාය ආරෝපණය කළ සිංහල ගැමි කලාකරුවා භාරතය ඇතුළු ලොව අන් සියලු රටවල බුද්ධ ප්‍රතිමා නිර්මාණයන් අතික්‍රමණය කරන්ට ආවේශය ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙනි.

“කෙලෙසුන් හා මමත්වය නැසීමෙන් සමාධියට සමවැදුණු බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ප්‍රඥාවෙහි සියුම් බව හා සමාධි ප්‍රතිමාවේ අධ්‍යාත්ම ප්‍රීතිය ද දෙඇසින්, මුහුණෙන් හා දෙතොල ආදියෙන් පළ වෙයි. මේ පිළිමය තුන් මසක් විමසා ඉගෙන හැම පැත්තෙන් බල බලා අඳින ලද සිත්තම් ගොඩක් ළඟ තබාගෙන වුව ද වර්තමාන ප්‍රතිමාකාරයකුට පවා යථෝක්ත අධ්‍යාත්ම ලක්ෂණ දැක්වෙන ප්‍රතිමාවක් තැනීමට උචිත ආවේශය ලැබිය නොහැකි යයි මම සිතමි.”

(නිවන් මුහුණුවර හා සමාධි ප්‍රතිමාව)

වර්තමාන යුගයේ කලාතුරකින් වුව ද අපට අසන්ට නොලැබෙන ගී පද කැටයමක රසභාව විමසන මෙම නිබන්ධය සඳහා අප විසින් තෝරාගනු ලැබ ඇත්තේ විසාරද මහැදුරු අමරා රණතුංග ගායන ශිල්පිනිය ගැයූ, විසාරද දයාරත්න රණතුංගයන් සංගීතය සැපයූ, සුනිල් සරත් පෙරේරා සුලවතුන් විසින් පබැඳුණු “සමාධි බුදු සිසිලේ ගලා එන දහම් අමා ගඟුලේ” නමැති ගීතය යි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රජාණන් වැඳ පුදාගෙන හිරු බැස යන සැන්දෑයාමයේ මහමෙව්නා උයනට ඇවිද යන සැදැහැවත් ශ්‍රාවකයා නෙත අභිමුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු පෙනෙයි. බුදු සිසිලෙන් ගලා එන දහම් ගඟුල දනන් සිත් සතන් පොබයමින් නිහඬ පරිසරය සිසාරා පැතිර ගලා යනු ඔහු දකියි. ගයා ශීර්ෂයේ බෝමැඩ සෙවණේ සමාධි සුව විඳින ශාන්ති නායකයාණන් වහන්සේගේ අඩවන් නෙත් සඟල ඔහු සිතේ මැවී යයි. ලෝ දනන් සැම සිත් වසඟ කළ අසමසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහමෙව්නා උයනේ වැඩ සිටින සේක. ශ්‍රාවක මුවින් පිටවෙන්නේ මහරු උදානයකි.

“සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ
නිවී නිවී මා නෙත සිත සැනහේ
සවන් සමිඳු සෙවණේ
නිසන්සල මහමෙව්නා උයනේ

මුදු බුදු හසරැල්ලේ නටා යන
පහන්සිළක කැල්මේ
නිවේ නිවේ හද සනරාමර හිමි
දෙනුවන් අග බැල්මේ
දෙනුවන් අග බැල්මේ
වැඩ හිඳ විදුරසුනේ සැඳෑ සුව
දෙන සිහිලැල් අරණේ
නිවා නිවා හද සැඟැවුණු අරුතක්
කියන්න මට සමිඳේ
කියන්න මට සමිඳේ”

මහමෙව්නා උයනේ නිදන් කළ සනාතනික බෞද්ධ උරුමයේ මූර්තිය; නොඑසේ නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ම රූපකාය වූ කලී දෙදහස් වසරක් නොසැලී සමවත් සුවයෙන් වැඩ හිඳින විලාසයෙන් නිර්මිත සමාධි බුදු පිළිමයයි. දුටු දුටු දනන් වසඟ කරවන ඒ හා සමාන වූ සම්බුද්ධ ප්‍රතිමාවක් ලොව කිසිදු රටක නොමැත්තේ ය. බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූ භාරත දේශයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයා වූ ජවහර්ලාල් නේරුතුමා බොහෝ වේලාවට ඇසිපිය නොහෙළා වසඟ වී නෙත් යොමා සිටි ඒ උතුම් සම්බුද්ධ කාය දැඩි කළුගලෙන් මතු කොට ගත් හෙළ ප්‍රතිමා ශිල්පියා බෞද්ධ ජනකායගේ සදා ගෞරවයට පාත්‍ර විය යුත්තේ ය. විශිෂ්ට බුදු ගුණ ගී රැසක් නිර්මාණය කළ සුනිල් සරත් පෙරේරා ගී පද රචකයාණන් ලියූ ඉහත ගීතයේ කිසිදු තැනෙක සමාධි පිළිමය ගැන සඳහන් නොවේ. එහෙත් එහි මුල් පද අග කියැවෙන ‘මහමෙව්නා උයනේ’ යන වදනත් සමඟම ගීතයේ ස්ථායි, අන්තර් හා සමාප්ති ගී ඛණ්ඩ සියල්ලේ හැම වදනක් තුළින් ම පිළිරැව් නඟන්නේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ශ්‍රේෂ්ඨ සමාධි බුද්ධ ප්‍රතිමාවයි. “බුදු සිසිලේ ගලා එන දහම් ගඟුල, මුදු හසරැල්ලේ සැලී යන පහන් සිළක කැල්ම, සනරාමර හිමි දෙනුවන් අග බැල්ම, සැඳෑ සුව දෙන සිහිලැල් අරණ” යන ආදී මුදු වදන් නඟන අනිර්වචනීය බුද්ධානුස්සති හැඟුම් ධාරාව ඔස්සේ සමාධි ප්‍රතිමාව මෙනෙහි කරන ශ්‍රාවක සහෘද මනස තුළ, වජ්‍රාසනයේ වැඩ හිඳින සජීව සම්බුද්ධ රූපකාය නිර්මිත වී පෙනෙයි.

මේ උතුම් විශිෂ්ට ප්‍රතිමාව නිර්මාණය කළ ගැමි ශිල්පියා එවක වැඩ විසූ රහතන් වහන්සේලා නිරතුරුව ඇසුරු කළ, උන්වහන්සේලා දේශනා කොට වදාළ සදහම් අසා බුද්ධානුස්සතිය වැඩූ ශ්‍රාවකයකු විය යුතු ය. ප්‍රතිමාව නෙළීමෙහි දී හෙතෙම සංඝයා වහන්සේගේ උවදෙස් ලබා ගන්ට ඇතැයි සිතමි. ලොවැති සෙසු සියලු බුද්ධ ප්‍රතිමා අභිභවා යන උතුම් නිර්මාණයක් බිහි කිරීමට ඔහු සමත් වී ඇත්තේ එහෙයිනි.

එක් ශ්‍රේෂ්ඨ ශිල්පියකුගේ නිර්මාණයක් පසුකාලීන දහස් සංඛාත නිර්මාණ ශිල්පීන්ගේ පරිකල්පනය පුබුදන්ට සමත්වන උතුම් නිමිත්තක් වූ අන්දම මහමෙව්නාවේ සමාධි බුදු පිළිමය අරභයා මේ දක්වා බිහි වී ඇති විශිෂ්ට ගීත සමුදායෙන් හෙළි වේ.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here