දහම් ඇසින් ලොව දකිමු – Sri News

0
6


වෙසක් සඳ උතුම් තෙමඟුල සිහිකරවන්නාක් මෙන් පොසොන් සඳ අනුබුදු මිහිඳු පුරාවත සිහි කැඳවන්නාක් මෙන් ඇසළ සඳ අහසේ නැඟ එන විට සත්යයෙහි විමුක්තිගාමී සත්ත්වයනට සදා නිදහස උදාකර දුන් තිසරණය ලොව ප්රාතිහාර්ය පෑ ඓතිහාසික නිමේෂය අපගේ සිහියට නැඟෙයි.

 

සම්බුදු රන් හිරුමඬල උදාවී අඳුරු දන මන එකලු වීම, සද්ධර්ම රතනාකරය මතු වී බෝධිපාක්ෂික ධර්ම නමැති මිනිරුවන් පහළවීම, සම්බුදු මුව මඬලින් ඉපිද පැතිරුණ සදහම් සිහිල් වැසි දහරින් සංසාර ගීරෂ්මය නිවී යාම, බුද්ධ රශ්මි මාලාවන්ගෙන් ඉසිපතන මුව වනය ඒකාලෝක වන විට දෙවි බඹුන්ගේ සාධු නදින් දිගන්තය ඇළලී යාම, බඹසර සුවඳ කැවුණ කසාවත් දරණ මග ඵල ලාභීන්ගේ පහළ වීම ඇතුලු සසුන් පදනම ස්ථාපනය වූ දහම් මිහිර විඳිනු කැමති සැදැහැති දෙවි මිනිසුන්ගේ පූජනීය උපෝසථ දිනයන් මේභා කතාවේ ඇත.

විවිධ නිසරු මතවාදයන් හි පැටලී කාමසුඛල්ලිකානුයෝගය හෝ අත්තකිලමතානුයෝගය නමැති වර පටින් ගැට ගැසුණ අසරණ සත්වගට මධ්යම ප්රතිපදාව නමැති නිරුපද්රිත ජීවන ගමන් මඟ හඳුන්වා දුන් බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම හා චතුරාර්ය සත්යය නමැති සනාතන ලෝ දහම තත්ත්වාකාරයෙන් ම දේශනා කළහ.

ඊට සවන් දුන් දෙවි මිනිසුන්ගේ සිත් යථාභූත ඤාණ දර්ශනයෙන් පැහැසර වී ශාස්වත හා උච්ඡේද දෘෂ්ටි නමැති කාලුසියන් සේදී ගියේ ය.

 

සත්ත්ව සමූහයෙහි උත්පාදයත් භංගයත් පිළිබඳව හට ගත් එකිනෙකට පරස්පර දෘෂ්ටි වාදයන්ගේ කෙළි බිමක් වූ පුරාණ භාරතය නොයෙක් ලබ්ධි ධාරීන්ගෙන් පිරී පැවතුණි. ඔවුන් ආධ්යාත්මික ජයග්රහණයක් වෙනුවෙන් විශාල පරිශ්රමයක් දැරුවත් ලද ප්රතිඵලයෙන් මෙලොව ජීවිතයවත් සාර්ථක කරගත නො හැකි විය.

දහස් ගණන් අනුගාමික ශ්රාවකයන් ඇතිව සිටි පූර්ණකස්සප, මක්ඛලීගෝසාල ආදීන්ගේ ඉගැන්වීම් තත්කාලීන සමාජයේ ප්රචළිත ව පැවතුණ ද ඒවා ශාස්වත හා උච්ඡේද දෘෂ්ටීන්ගේ ම විකාශයක් බැවින් නුවණින් විමසන ප්රඥාවන්තයින්ගේ ගර්හාවට බඳුන් විය.

දෘෂ්ටි කාන්තාරයක් වූ දඹදිව් වැසි මිනිසාගේ චින්තන පාරිශුද්ධිය හා සමෘද්ධිය උදෙසා හේතුවන තථ්ය වූ දර්ශනයක අවශ්යතාව ඉහළින්ම පැණනැඟුණ යුගයක පහළ වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අසද් දර්ශනවාදීන්ගේ පාපී ඉගැන්වීම්වලින් පීඩිත ජනතාව වෙත පරම සත්ය කුමක්දැයි පහදා දුන්හ.

 

සත්ත්ව, සංඛාර, අවකාශ වශයෙන් තෙවැදෑරුම් වූ ලෝකය සර්ව බලධරයකු විසින් හෝ ඊශ්වරයකු විසින් හෝ නිර්මාණය නො කරන ලද්දක් බවත් හේතූන්ගෙන් සකස් වූ බවත් ඒ හේතූන් හා ඵලයන් අතර ඇති සම්බන්ධය සහේතුක ව ඔප්පු කරමින් පෙන්වා වදාළහ.

අඳුරෙන් අඳුරට ඇදී ගිය ඉන්දීය සමාජයට ප්රථම ධර්ම දේශනාව වූ ධර්ම චක්ර සූත්රය වදාරමින් මධ්යම ප්රතිපදාව නමැති බුද්ධි ප්රබෝධික වැඩපිළිවෙළ හඳුන්වා දුන්හ.

ඒ වන විට භාරතයේ මුල්බැස පැවැති විවිධ සංස්කෘතීන් මකා දමමින් බුදුදහම හා බැඳුණ චාරිත්ර, වාරිත්ර වත් පිළිවෙත් ආදියෙන් නව්ය වූ බෞද්ධ සංස්කෘතියක් ආරම්භ විය. ධනය, නිලය, කුලය, බලය, ජාතිය, ගෝත්රය වැනි කාරණාවන්ගෙන් භේද වී සිටි සමාජය බුදුරජාණන් වහන්සේ නම් වූ උත්තරීතම මානුෂීය ගුණ පූර්ණය කළ උතුමන් වහන්සේ විසින් එකම පවුලක් සේ කල්යාණ ධර්ම සමාවේශයෙන් යුක්ත කරන ලදුව ප්රබුද්ධ විය.

ඉසිපතනාරාම මිගදාය ජය භූමියෙන් ආරම්භ වූ එකී සමාජ, දේශපාලන, ආර්ථික හා චින්තන විප්ලවයට මුල පිරූ නිසාම ,අදවන විට සමාජ සහනශීලී ප්රතිපදාවක් බවට පත්ව ඇත.

 

“තමාගේ විමුක්තිය තමා විසින් ම සොයා ගත යුතු ය, ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන සේක” යන ඉගැන්වීම බෞද්ධ දර්ශනයේ සඳහන් ශ්රේෂ්ඨ මඟ පෙන්වීමකි.

ඒ උදෙසා කටයුතු කරන ශ්රාවකයා විසින් කාමයන් හි මුසපත් වෙමින් ඉඳුරන් පිනවීමේ අසීමාන්තික වුවමනාව නතර කළ යුතු ය. නොහොත් කාමසුඛල්ලිකානුයෝගය බැහැර කළ යුතු ය. කාමච්ඡන්දය යනු මෝක්ෂ මාර්ගය අවුරාලන ධර්මයකි. කායිකව කටුක වේදනා විඳීම හා එමඟින් ශරීර ක්ලමථයට පත්කිරීමද චිත්තවික්ෂේපයට හේතු වන්නකි. නොහොත් අත්තකිලමතානුයෝගය අනර්ථ සහිත වූ අනාර්ය ගවේෂණයකි. ඒ මඟින් ලැබෙන විමුක්තියක් නොමැත.

“උද්ධච්චය” හෙවත් සිතේ විසිරීම ද නීවරණයකි. මෙකී උභයාන්තයෙන් වෙන් වූ මධ්යම ප්රතිපදාව හෙවත් ආර්ය මාර්ගය පමණක් ම විමුක්ති මාවත වේ.

 

බුදුසරණ ලැබූ ශ්රවකයාට සම්මාදිට්ඨි ආදී අංග අටකින් යුතු මධ්යම ප්රතිපදා මාර්ගය ප්රගුණ කිරීම තුළින් දුක – දුකට හේතුව – දුකේ නැතිවීම (නිර්වාණය) ඒ සඳහා මාර්ගය යන මේ ආර්ය සත්ය සතර අවබෝධ වේ.

හේතුඵලය, සංසාරය, නිර්වාණය, පුනර්භවය වැනි ගැඹුරු ධර්මයන් තමා තුළින්ම උපදවාගත් ඤාණයකින් ප්රත්යක්ෂ වී දුක්බර සසර සරණිය නිමාවට පත් වේ.

 

එකී මූලික අරමුණු සාක්ෂාත් කරනු වස් ඉසිපතන මුව වනයෙන් පටන්ගෙන අද දක්වා සහශ්ර දෙක හමාරකට වැඩි කාලයක් ඇද වැටුණ සදහම් අම දහරින් ලෝ සතුන්ට සිදු වූ උදාර සේවය අති විශිෂ්ට ය.

භක්ති මාර්ගය වෙනුවට ඤාණ මාර්ගයක් විවර වීම, අන්ධ විශ්වාසය වෙනුවට විමසීමේ නිදහස හිමිවීම, තර්කය වෙනුවට ප්රත්යක්ෂයට මඟ පෑදීම නිසා දර්ශන ඉතිහාසයම අලුතින් ලියැවෙන්නට පටන් ගත්තේ දිනෙක බුදුරදුන්ගේ අනුත්තර දහම් සක ප්රවර්තනය වීම හේතුවෙනි.

ඉඳුරන්, පිනවීමෙන් ලැබෙන සීමාන්තික සතුටත්, ඉඳුරන් හික්මවීමෙන් ලැබෙන අසීමාන්තික තෘප්තියත් එකිනෙක සෘජු පච්චනීක වන සැටි පහදා දුන් ධර්මරාජයාණෝ අමාරුවෙන් නමුත් ඇස, කන ආදී ඉඳුරන් හික්මවීම තමන්ටත් අනුන්ටත්, මෙලොවටත් පරලොවටත් වැඩදායක වන බව අවධාරණය කළහ.

 

පුද්ගල විමුක්තියත් සමාජ විමුක්තියත් ලබා ගැනීම පිණිස බෞද්ධ දර්ශනය තුළ හැඟීම් පාලනය, ගුණ ධර්ම වැඩීම, සමඟිය, සමාදානයය, අන්යොන්ය විශ්වාසය, ගුණ ගෞරවය ඇතිකර ගැනීම වැනි කාරණාවන් පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇත. ආගම පෞද්ගලික බූදලයක් කොට සැලකු යුගයක ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේ ඒ අමා ධර්ම සත්ත්ව වර්ගයාට ම සාධාරණ ශාන්ති උරුමයක් බවට පත් කළහ. දුප්පත්, පොහොසත්, උසස්, පහත්, කුලීන කුලහීන කාටත් සාධාරණ ලෙස විඳිය හැකි එකම රසය තථාගත දහම් රසය පමණක් ය. යන්න ශාසන ඉතිහාසය විමසීමෙන් මනාව තහවුරු වෙයි.

බුදුරැස් දහරා මැද මිගදායෙන් මතු වූ මධ්යම ප්රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා සිදු වූ ලෝකෝපකාරයෙහි ඉමහත් භාවය ගැන හරිහැටි දන්නේ බුදුරජාණෝ ම පමණි.

 

දුස්සීලයන් සිල්වතුන් වීම, අපරාධකරුවන් තවුසන් බවට පත්වීම, සියදිවි නසා ගැනීමට තැත් කළවුන් මිනිසත් භවයේ දුර්ලභත්වය හඳුනා ගැනීම, දරාගත නො හැකි වියෝවීම් මැද උමතු වූවන් ශාන්ත සිත් ඇත්තවුන් වීම, දුප්පතුන් ධනවතුන් වීම, තද මසුරන් දානපතියන් වීම, නිරයට නියම වූවන් සුගතිගාමී වීම, මරණයට නියම වූවන් මගඵල නිවන් ලැබීම, බල කාමයෙන් මත් වූවන් නිහතමානී උපාසකයන් වීම, අභිසාරිකාවන් පතිනියන් වීම, දැසිදස්සන් පැවිදි සුව ලැබීම, අසත්පුරුෂයන් සත්පුරුෂයන් වීම, මිසදිටුවන් සම්දිටුවන්වීම ආදීය එකී ලෝකෝපකාරයෙන් අංශු මාත්රයකි.

බුද්ධාදී ආර්යයන් විසින් අවබෝධ කළ නිසා ‘අරිය’ නම් වූ ද කිසිවිටෙකත් කිසිවකුටත් වෙනස් කළ නො හැකි නිසා “සත්ය” නම් වූ ද චතුරාර්ය සත්යය ධර්මය සත්යඤාණ, කෘත්යඤාණ, කෘතඤාණ යන පරිවර්ත තුනකින් හා ආකාර දොළසකින් යුක්තව දෙසා වදාළ දම්සක් සුතුර අනුරාවය නංවමින් සක්වලින් සක්වලට පැතිර ගිය අසිරිය සිහිකරන අදවන් දිනෙක අපි සියලු දෙන බැති සිතින් බුදුගුණ සිහිකරමු.

 

සදහම් ගුණ, මහසඟ ගුණ සිහිකරමු. සව් සතුනට මෙත් වඩමු. සංස්කාර ධර්මයන් අනිත්යාදී වශයෙන් මෙනෙහි කරමින් දහම් ඇසින් ලොව බලන්නට අවිද්යා කඩතුරාව විවර කරමු.

සියලු සත්වයෝ බුදුගුණ මිහිරෙන් සුවපත් වෙත්වා.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

 

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here