දකුණු ආසියාව සසල වන ඉන්දු පාකිස්ථාන යුද බලය – Sri News

0
3

ඉන්දියාව සහ පාකිස්ථානය යනු 1947ට පෙර එකම රටකි. පසුව එය රටවල් දෙකක් ලෙස කැඩී ගියේ මිලියනයකට අධික ජනතාවකට මරු කැඳවූ ලොව විශාලතම සරණාගත හුවමාරුවද සමගිනි. ඉන් පසුව පසුගිය වසර හැත්තෑවට අවස්ථා හතරකදී පාකිස්ථානය සහ ඉන්දියාව සුළු සුළු යුධ ගැටුම් වල යෙදුණි. එයින් බොහොමයක් විවාදාපන්න කාශ්මීරය සම්බන්ධ ගැටළුවකටය. දෙරටටම කාශ්මීරය වැදගත්ය. මන්ද ඉන්දියානු පන්ජාබයටත් පාකිස්ථානයේ විශාල කොටසකටත් වගාවට අවශ්‍ය ජලය ලබාදෙන්නේ කඳුකර කාශ්මීර භූමිය වන බැවිනි.

 

හෙට අනිද්දා දෙරට අතර යුද පසුබිමක් ඇතිවන කාලයේ ඒ තොරතුරු ගලන්නේ අන්තර්ජාලය හරහාය. එහෙත් දෙරට සතුව තිබෙන යුධ උපකරණ අන්තර්ජාලයටත් වඩා බොහෝ පැරණි ඒවාය. කොටින්ම අවසාන වශයෙන් ඉන්දියාව සහ පාකිස්ථාන ගැටුමට මුල් වූ මිග් 21 ඉන්දියානු යානාව පවා පැරණි මාදිලියෙක එකකි. ඉන්දියානු හමුදාව සතුව තිබෙන උපකරණ වලින් බහුතරයක් බොහෝ කල් ගිය පැරණි ඒවා බව පසුගිය දිනෙක නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවා වාර්තා කොට තිබුණි.

 

ඉන්දියානු හමුදාව මිලියන 2.1ක තරම් විශාල ප්‍රමාණයක සොල්දාදුවන් ප්‍රමාණයකින් සමන්විතය. එයින් මිලියන 1.2ක් දැනට සක්‍රිය සේවයේ යෙදී සිටී. ඉතිරි මිලියනයකට ආසන්න පිරිසක් අවශ්‍ය විටක යොදවාගැනීමට හැකිය. යාබද චීනය සහ දේශ සීමා ආසන්න සටන්කාමින් සමග ඉන්දියානු හමුදාව නිරන්තර අරගල වල නිරත වී සිටිති. කඳුකර පරිසරයට සරිලන ලෙස යුධ කටයුතු වලට යෙදීමට ඉන්දියානු හමුදා විශේෂයෙන් පුරුදු පුහුණු කර තිබේ.

ඉන්දියාව තරම් විශාල ජනකායක් සහ දේශ සීමා බෝඩරයක් නැතත් පාකිස්ථානයට ලක්ෂ 6.5ක සක්‍රිය හමුදාවක් සිටී. අවශ්‍ය විටක සේවයේ යෙදවීමට සිටින හමුදාවද සමග හමුදාවේ පිරිස් බලය මිලියන 1.15ක් පමණ වේ. ඇෆ්ඝනිස්තානයේ තලෙයිබාන් යුද්ධය නිසා සිය රට තුළම ත්‍රස්තවාදී කළබල වලට පාකිස්ථාන හමුදාව මුහුණ දුනි. ඊට අමතරව ඉන්දියානු හමුදාව සමග නිදහසින් පසු ගැටුම් ඇතිවූ සෑම අවස්ථාවකම පාකිස්ථාන හමුදාව සැලකිය යුතු ලෙසින් යුද්ධයට දායක විය.

 

සන්නාහ සන්නද්ධ බලකා 97ක් ඇති ඉන්දියාවේ යුධ ටැංකි 4,000කට වඩා සේවයේ යොදවා තිබේ. එයින් 2400ක් පැරණි ටී 72 කාණ්ඩයේය. 1600ක් පමණ ටී 90 කාණ්ඩයේය. 360ක් නවීන අර්ජුන් 1 සහ 2 මාදිලියේය.

පාකිස්ථාන හමුදාවේ යුධ උපකරණ තුර්කිය, චීනය සහ අමෙරිකාවෙන් ආනයනය කරන ලද ඒවාය. පෙරමුණට යැවිය හැකි යුධ ටැංකි හත්සීයකින් පමණ පාකිස්ථානය සවිමත්ය. ඊට අමතරව ඉන්දියානු හමුදාවට වඩා නවීන යුධ රථ වලින් පාකිස්ථාන හමුදාවෝ සවිමත් වෙති.

 

රුසියාවෙන් ගෙන්වන ලද කාලතුවක්කු 4,000ක් පමණ ඉන්දියාව සතුය. ඒ අතර ලංකාවේ යුද්ධයටද භාවිතා වූ මල්ටිපල් රොකට් ලෝන්චර්ද ඇතුළත්ය. ඒ අතර ගුවන් යානා නාශක රොකට් සහ මිසයිලද ඉන්දියාව සතුය.

පාකිස්ථානය සතුව කාලතුවක්කු සහ රොකට් විදින 2,000ක් පමණ ඇතැයි සැලකේ. ඒවා බොහොමයක් චීනයෙන් සහ ඇමරිකාවෙන් ඇනවුම් කළ ඒවාය.

 

පරමාණුක බලය මේ දෙරටම සතුවීම ලොවම මේ යුද්ධය කෙරේ ඇස් ඇර සිටීමට එක් හේතුවකි. දිගු දුර මිසයිල දෙරටම සතුය. දෙරටම සතුව මෙම පරමාණුක බලය සහිත මිසයිල එකසිය පනහක් බැගින් වත් ඇතැයි යුධ විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති. රොකට් අතින් කිලෝමීටර තුන්දාහකට එහා තැනක් ඉලක්ක කළ හැකි අග්නි මිසයිල ඉන්දියාව සතු වන අතර පාකිස්ථානය සතුව කිලෝමීටර දෙදාහක් එහා ඉලක්ක කළ හැකි ශෂීන් මිසයිල තිබේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here