දකිනකන් පුතාගෙ කපාපු පළුව නැන්දම්මලත් කන්නෙම ලේලිගේ ඔලුව

0
15


දරුවා බඩට ආපු දවසේ ඉඳලම මගේ වයිෆ් නාඩගම් නටනවා.”

සමන්ත කතාව පටන්ගත්තේ එහෙම. ළමයි හම්බෙන්න ඉන්දැද්දි ගෑනු නාඩගම් නටනවාය කියලා මාත් එක්ක කිව්ව එකම පිරිමියා සමන්ත නෙමෙයි. අනික මේ කාරණාව ගැන චෝදනා කරන නැන්දම්මලාත් අනන්තයි. මේ කතාව ඔබත් එක්ක බෙදාගන්න හිතුවේ ඒකයි.

සමන්ත සහ ඔහුගේ බිරිඳ වාසනා සුපිරි නිවාස සංකීර්ණයක ජීවත්වෙන බොහොම ධනවත් යුවළක්. විවාහ වෙලා අවුරුද්දක් යද්දි වාසනාට දරුවා ලැබෙන්න ඇවිත්. මුල් කාලෙදි සමන්ත වාසනා ගැන නිතරම හොයලා බැලුවලු.

කාලය ගෙවිලා යද්දි වාසනා සමන්තව සැක කරන්න පටන් අරන්. තමන් වරදක් නොකරන නිසා අහේතුකව සැක කරන එක ගැන සමන්තටත් ලොකු තරහක් ඇතිවෙලා. ඒ නිසා ඔහු බිරිඳ ගැන හොයා බලන එක අඩු කරලා. ඉන් පස්සේ වාසනාගේ සැකය තවත් වැඩිවෙලා. ඉතින් සැමියගෙන් පලිගන්න හිතාගෙන කන්න දෙන කෑම විසි කරන්නත්, නිතරම ගෙදර බඩුමුට්ටු පොඩි කරන්නත් මේ බිරිඳ පටන් අරන්. මේ ගැන දෙන්නා වාදයක් ඇති කරගත්තු වෙලාවක වාසනා පිහියක් අරගෙන සමන්තට අනින්න හදලා.

ඇගෙන් බේරෙන්න හිතාගෙන සමන්ත නිවසින් එළියට පැන්නලු. ඒ පාර බිරිඳත් පිහිය අරන් ඔහු පස්සෙ පන්නලා. නිවාස සංකීර්ණයේ අසල්වැසියන් පවා මේ සිදුවීම දැකලා තියෙනවා. ඒ සිදුවීම වුණු දවසෙම සමන්ත ඔහුගේ මහගෙදර ගිහින්. අම්මා නම් සමන්තට කිව්වේ දරුවා ලැබුණම වාසනා දික්කසාද කරන්න කියලලු. හැබැයි ඔහුගේ අක්කා කරලා තියෙන්නේ සිදුවීම වෙච්චි දවසට පහුවෙනිදම සමන්තව මගේ ගාවට එක්කරගෙන ආපු එක.

වාසනාට මාව මුණගැහෙන්න එන්න කියන එක ප්‍රායෝගික නැහැ කියලා හිතුණු නිසා ඒ වෙලාවෙම මම සමන්තයි ඔහුගේ අක්කයි එක්ක ඇය මුණගැහෙන්න සමන්තගේ නිවසට ගියා. අපි එතැනට යනකොටත් වාසනා හිටියේ අඬ අඬ. පස්සේ මම ඇයත් එක්ක තනියම කතා කළා.

බබා ලැබෙන්න ආවට පස්සේ මගේ මුළු ඇඟම කළුවෙලා. ඉදිමිලා. ඒ නිසා සමන්ත මගේ ගැන දැන් උනන්දු නෑ. එයා දැන් මට ආදරෙත් නෑ. ෂුවර් එකටම එයාට වෙන ගෑනු කෙනෙක් ඇති.”

වාසනා ඉන්නේ විශාද තත්ත්වයක කියලා ඈ කතා කරපු තාලෙන්ම මට තේරුණා. ඒ නිසා ඇයව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න මම කටයුතු කළා.

දරුවෙක් පිළිසිඳගත්තහම ශරීරයේ ලොකු හෝර්මෝන ප්‍රතික්‍රියාවක් සිද්ධවෙනවා. ඒත් එක්කම කාන්තාව ශාරීරිකව වගේම මානසිකවත් වෙනස් වෙනවා. සමේ පැහැය වෙනස්වෙලා මූණ අතපය ඉදිමෙනවා. කෑමක් කන්න බෑ වමනේ යනවා. මුළු ශරීරයම වේදනා දෙනවා. ගර්භණී මවකට ඇතිවෙන කායික අමාරුකම් මෙහෙමයි කියලා වචනයෙන් විස්තර කරන්න බැහැ. මොකද මමත් අම්මා කෙනෙක් නිසා ඒ දුක විඳලා තියෙනවා.

අනික මේ කාලෙදි ලිංගික එක්වීම් අපහසු නිසා සැමියා වෙනත් සම්බන්ධතා ඇති කරගනී කියලාත් අම්මලා හිත කලබල කරගන්නවා. මේ දේවල් නිසා නිතරම කේන්ති යන එක, විකාරරූපී වැඩ කරන්න පෙළඹෙන එක සාමාන්‍යයි. ඒක ඉතින් එයාට විතරක් වෙන එකක්යැ කියලත් සමහරු කියනවනේ. ඒක එයාට විතරක් නොවුණට එයාට දැනෙන්නේ එයාට වෙන දේ විතරයි කියන එක අනිත් අය තේරුම්ගන්න ඕනේ.

බිම්බිසාර රජ්ජුරුවෝ තමන්ගේ ගැබිනි බිසවගේ දොළදුක සංසිඳවන්න ඔහුගේ උර පළලා ලේ බොන්න දුන්නය කියනවනේ. ඒ කෙසේ වෙතත් දරුවා හදන්න ශුක්‍රාණු පමණක් දීලා පැත්තකට වුණාම යුතුකම් සම්පූර්ණයි කියලා හිතන සැමියන් තමයි දැන් කාලේ සුලබ. පීතෘත්වය කියන්නේ බිරිඳ දරුවා වදනකල් ඉඳලා පස්සේ තමන්ගේ නම දාලා අයිතිවාසිකම් කියන එකට නෙමෙයි. සමහරවෙලාවට ගෙදරට අවශ්‍ය කෑමබීම ටික ගෙනත් දැම්මාම, අනිත් වියපැහැදම් ටික කළාම තමන්ගෙ යුතුකම ඉෂ්ට කළා කියලා සැමියෙකුට හිතෙන්න පුළුවන්. බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියත්, නැතත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න නම් ඒ ටික විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. විවාහ වෙලා අවුරුදු ගාණක් ගියත් සමහර කාන්තාවන් කැමතියි තමන්ගේ පුරුෂයා ළඟ ඉස්සර වගේම හුරතල් වෙන්න. විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න ඉන්න බිරිඳක් මේ අවධානය වැඩිපුර බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය දෙයක්. භාවිතයේ පවතින වහරින්ම කිව්වොත් මේ කාලෙට පිරිමි පිට යනවා වැඩියි කියලත් මතයක් තියනවනේ. ඉතින් දරුවා දරා සිටීම නිසා තමන්ගේ රූපය අවලස්සන වෙද්දී, සැමියා තමා ගැන විශේෂ අවධානයක් දක්වන්නේ නෑ කියලා දැනෙද්දී ගර්භනී බිරිඳකට එවැනි සිතිවිලි ඇතිවීම සාමාන්‍යයි.

අනිත් අතට දරුවා බඩේ ඉද්දි ලේලි දිහා ඇහැක් ඇරලා බැලුවේ නැති වුණාට බබා ලැබුණයින් පස්සේ දරුවා අපේ පුතා  වගේමයි කියන නැන්දම්මලාත් කොච්චර ඉන්නවාද.

ඒ නිසා සැමියා විතරක් නෙවෙයි සැමියාගේ පවුලේ අයත් මේ කාලෙදි  නිතරම ඇගේ ළඟින් ඉන්න. ඇයට තමාගේ ඥාතීන් එක්ක සමීප සබඳතා පවත්වන්න බැරිතරමේ දුරකනම් ඉන්නේ, විශේෂයෙන්ම ඇයට ඒ අඩුව දැනෙන්න දෙන්න එපා කියන එකයි මගේ ඉල්ලීම. බිරිඳ වමනේ කරනවා නම් අනිත් පැත්ත හැරිලා නිදාගන්න එපා. කෑම කන්න බෑ කියනවා නම් ආදරෙන් බත් කටක් දෙකක් හරි කවාගන්න බලන්න. මොකද ඇය ඒ සියලු කායික, මානසික වේදනා දරාගෙන පෝෂණය කරන්නේ ඔබේ දරුවව. ඒ නිසා හැකි සෑමවිටම ඇගේ කුස අතගාන්න, කතා කරන්න. ඇය කියන කරන දේට තරහා නොගෙන ඉන්න උත්සාහ කරන්න. ඇය වෙනස් හැසිරීමක් පෙන්වනවානම් එහෙම කරන්නේ හොර්මෝන වෙනස්වීම නිසා බව තේරුම්ගන්න.

ගර්භණී කාලයේදී තමන්ට මේ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා කියන එක කාන්තාවොත් තේරුම්ගන්න ඕනේ. එතකොට ඔවුන්ට ඒ සඳහා සූදානම් වෙන්න පහසුයි. දරුවෙක් බලාපොරොත්තු වෙන යුවළක් මුලින්ම කරන්න ඕනේ පූර්ව ප්‍රසව සැසිවලට සහභාගී වෙන එක. එහිදි මේ කරුණු කාරණා සේරම පැහැදිලි කරනවා.

ඉතින් මම මේ කරුණු කිව්වම බිරිඳ ගැන සංවේදී වුණු සමන්ත අඬන්න ගත්තා. දරුවෙක් කියන්නේ සම්පතක්. ඉතින් දරුවෙක් දරාගෙන ඉන්න අම්මා කෙනෙක්ට විශේෂ සැලකීමක් කරන එක සැමියාගේ, පවුලේ අනිත් උදවියගේ විතරක් නෙමේ මුළු සමාජයේම වගකීමක්.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here