තාක්ෂණික ලෝකයට පෙර කාලේ ලාංකික පෙම්වතුන්ගෙ ආලේ පැවතුණ හැටි – Sri News

0
5

ෆෝන්, ඉන්ටනෙට්, ස්කූටර්, බයික්, යාන වාහන ජනප්‍රිය නොවූ කාලයේ ද මිනිසුන් ප්‍රේම කළෝය. ආදරයට කාලයක්, දීපයක්, දේශයක් බලපාන්නේ නැත. පැරණි හින්දි චිත්‍රපටයක ආදර ජවනිකාවක් අදද නැවත බලන විට අපිට තදින්ම දැනෙන්නේ ආදරේ ඇති ඒ අකාලික බව නිසාය. දැන් මෙන් තාක්ෂණය අතින් නොදියුණු ඒ කාලයේ ප්‍රේම කතා සහ ප්‍රේමය සමාජගත වූ ආකාරය දැනට වඩා ස්වල්පයක් වෙනස්ය. අපි ඒ අතීතයේ ආදර ජවනිකා ගැන මදක් දැනකියාගමු.

 

චරිත තුනක් නවකතාවේ එන පරිදි ඉසාට මුලින්ම ප්‍රේම ආරාධනාවක් ලැබෙන්නේ කුඹුරේ ගොයම් එකතු කරමින් සිටියදී ලලිතාගෙනි. ගොයම් මිටිය ඔසවන ලලිතා ළැම මදක් ඉසාගේ සිරුරේ වැතිරෙන පරිද්දෙන් ඉසා සමග ගොයම් එකතු කරන්නීය. එකල ගොවිතැන මූලික වූ සමාජයේ ගොවිතැනට අදාළ ඇතැම් තැන්වලදී ස්ත්‍රීන්ට පුරුෂයින්ට හමුවන්නට හැකි විය. යාගහෝම බලිතොවිල් ආදී ශාන්තිකර්මද නාඹර ගැටිස්සියන් සහ ඉලන්දාරින්ට පෙම් රැඟුම් ආරම්භ කිරීමට හොඳ පිටියක් නිර්මාණය කරවීය. නිවස තුළ සිට ගෙදර වැඩපල කරන ඇතැම් යුවතියෝ දැකගන්නට ලැබෙන්නේ පංසලේදී, පිංකම් ගෙදරකදී පමණි. එබැවින් එවැනි අවස්ථාද කෙල්ලන් සොයමින් ලතවෙන ඉලන්දාරින් විසින් ලේසියෙන් මගහැරියේ නැත.

 

ඉලන්දාරියකුට කෙල්ලක පිළිබඳ සිතක් පහල වී නම් ඒ අදහස පැවසීමට මෙකල නම් යුවතියගේ නම සොයා ෆේස්බුක් සැරිසැරීමම ප්‍රමාණවත්ය. එහෙත් එකල යුවතියකගේ විස්තර සෙවීම තරමක් අමාරු කාරියකි. කොල්ලන් කණ්ඩායමක් යම් චාරිකාවක් යන්නේ නම් ඔවුහු සිය ලිපිනය ලියාගත් කොළ කැබලි රැසක් රැගෙන ගියෝය. ඔවුහු ඒවා තමන් දෙස ආදරණීය බැලුම් හෙලන සහ හමුවන යුවතියන්ට විසික් කරමින් යති. ඒ පරපුර නියෝජනය කරමින් අද ෆේස්බුක් ට්විටර් ආදියේ දකින දකින ගෑණු ළමයාට රික්වෙස්ට් යවන මැසේජ් යවන තරුණ පිරිස් තවමත් සිටිති. තාක්ෂණයෙන් අපි වෙනස් වී නොමැති අතර අප ඒවා කරන ආකාරය පමණක් මදක් වෙනස්වී ඇත.

 

රේඩියෝව ලෙස ගුවන් විදුලිය පැවති කාලයේ මෙන්ම පසුකාලීනව සිරස ආදී නාලිකා පැමිණි කාලයේද ප්‍රසිද්ධියේ පෙම්වතාට පෙම්වතියට පණිවුඩ යැවීමට, ඇය වෙනුවෙන් ගීත ඉල්ලීමට රේඩියෝව භාවිතා විය. ප්‍රේමය වියෝදුක කරා පෙරළුන කල්හි ඒ දුක කීමටද ඇතැමෙක් රේඩියෝව භාවිතා කළෝය. අද මෙන් සෝශල් මීඩියා ජනප්‍රිය නොවූ එකල ඒ පෙම්වතුන්ට වෙන්වූ වැඩසටහන් තරුණ පිරිස් අතර ජනප්‍රිය විය. යූටියුබයේ සොයා බලා ඕනෑම ගීතයක් රස විදින්නට හැකි මෙකල මෙන් නොව එදා පෙම්වතා හෝ පෙම්වතියද එකතු කරගෙන ගීතයක් ඇසීම විශාල වැදගත්කමක් ලැබෙන කාරණාවක් විය.

 

පෙම්වතියක් පෙම්වතෙක් සොයාගන්න අපහසු අයට ඒ සඳහා පිහිට වීමට එකල මල් පුවත්පත් ලෙස හැඳින්වූ කුමරි, බිරිඳ ආදී පුවත්පත් වල වෙනමම තීරුවක් විය. ඒවායේ පිංතූරය සමග පුද්ගලයා ගැන ස්වල්ප විස්තරයක් පළ විය. මෙයම රේඩියෝවටද පැමිණි අතර ඒ හරහා මිතුරන් නිර්මාණය කරදීම සිදුවිය. ඒ තුළින් මුලින් සාමාන්‍ය ලියුම් හරහා ගනුදෙනු ආරම්භ වූ සම්බන්ධතාවයන් පසුව පෙම් හසුන් දක්වා වර්ධනය විය.

 

“තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත

ඔබ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත“

ලෙස වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතයෙන් පෙම් පත් වලට එදා තිබූ වටිනාකම මොනවට විදහා පෙන්වන්නේය. අද මෙන් හායි කිව් සැනින් ‘මොකද අනේ’ යැයි රිප්ලයි ඒමට එදා මාධ්‍යයක් නොවීය. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ සිටි තරුණයා ඊළඟ බංකුවේ සිටින යුවතියට ආදරය පවසන්නේ පෙම්පතක් මගිනි. ඈත දුරක රැකියාවට ගොස් සිටින පෙම්වතා සතියකට වරක් පෙම්වතියට සමීප වූයේ පෙම්පත් ඔස්සේය. රහසේ කරන ලද ප්‍රේම ජවනිකා වලදී නොපෙනෙන්නට අකුරු ලිවීම, විවිධ කේත ක්‍රම වලින් ලිවීම වැනි ක්‍රමද පෙම්පත් වල භාවිතා විය. කොට මැසේජ් වලට වඩා දිග පෙම්පත් එදා පෙම්වතුනගේ සාහිත්‍ය හැකියාව වර්ධනය කරවන්නක් විය. යෞවන වයසේ පසුවන අයත් වැඩිහිටියෝත් වරදක් වුවත් ඉඳහිට මේ අනුන්ගේ පෙම්පත් හොරෙන් කියවා අමුතු විනෝදයක්ද ලබාගන්නට විය.

 

නූතනයේ නම් පෙම්වතිය සහ මිතුරන් එකතුව චාරිකා යෑම මහත් විශාල දෙයක් නොවේ. ඒ චාරිකාවන් හරහා එකිනෙකා අතර ඇති බැඳීම් වඩාත් ශක්තිමත් වේ. එකල ගමේ උදවියට දැන් මෙන් යාන වාහන බහුල නොවීය. වර්ෂයකට වරක් දෙකක් යන වන්දනා ගමනට ගමෙන් විශාල පිරිසක් සහභාගී විය. එසේ යන ගමනට පෙම්වතුන්ද එකතු විය. එහෙත් විශාල හමුදාවක් මැද යන සිරකරුවන් පරිද්දෙන් දෙමාපිය වැඩිහිටි රෑනක් මැද යන පෙම්වතුන්ට එකිනෙකා දෙස බලා ඇස් ඉඟිමැරීම වැනි දෙයක් හැර වෙන පෙම් ජවනිකාවක් රඟදැක්වීමට එදා එම වන්දනා ගමන් වලදී නොහැකි විය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here