තවතවත් වරප්‍රසාද ගන්න දේශපාලකයන්ට අයිතියක් නැත්තේ ඇයි? – Why politicians should deny benefits – Sri News

0
3

ලංකාවේ පක්ෂ දේශපාලනය කියන දේ තියෙන්නෙ අන්ත පිළිකුල් සහගත තැනක. තමුන්‌ට බඩ වියත රැකගන්න අනිත් මිනිස්සුන්ව රවට්ටන්න, හොරාකන්න උත්සාහ කරන මිනිස්සුන්ව පිළිකෙව් කරන අපි, බඩවියත පුරවාගෙන නතර නොවෙන, බල්ලන්ටත් ස්විමිංපූල් හදාගන්න හිතන මිනිස්සු ටිකකට ඒ වෙනුවෙන් ඉඩ හදා දෙනවා. මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කළාම පින් සිද්ධ වෙනවානං, මේ රටේ ඡන්දය දීපු මිනිස්සු මේ වෙද්දි ඒ කරගෙන තියෙන පිනෙන් නිවන් දකින්න ඕන. දැනටත් ජීවත් වෙමින් ඡන්දය දෙන මිනිස්සුන්ට මේ ආත්මයේම ඒ පින පඩිසන් දී සියළු සැප සම්පත් ලැබෙන්න ඕන. එහෙවු පිළිකුල් මඩ ගොහොරුවට රටේ ඉන්න කට වාචාල, නාස්තිකාර, කුහක, දූෂිත, බලලෝභීන් තෝරලා සෞභාග්‍යය උදාවෙනකං බලං ඉන්න අපේ මොළ මෙහෙම දේවල් ලිවුව කියල වෙනස් වෙන්නෙ නෑ. ඒ වුනත් තියෙන මෝඩකමට මේ ලියන්නෙ ලංකාවෙ දේශපාලකයන්ට වරප්‍රසාද අහිමි විය යුත්තේ ඇයි කියලයි.

 

අපි ඡන්දය දෙන පින බලපාන්නෙ 225කට විතරක් නෙමෙයි කියන එක අපි හැමෝම දන්න රහසක්. ගෑණි, දරුවො, අම්ම අප්පගෙන් නොනැවතී බාප්පා පුංචි අම්මලාටත් නූපන් පරම්පරාවන්ටත් සැප දෙන්න ඒ ඡන්දය හේතු වාසනා වෙනවා. එතකිනුත් නොනැවතී පුංචි ඡන්ද වලිනුත් ටෙන්ඩර් ගොයියලා ටිකක් සභාවට තෝරන නිසා අපේ පින නවතින්නෙ නැතුව රතු කට්ට පනිනකම්ම රෝල් වෙනවා ඇති. ලංකාවෙ හිටපු කතානායකයෙකුගේ පුතාගෙ බිරින්දෑගෙ සහෝදරියකට ගමන් බිමන් යන්න ආණ්ඩුවෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් දීපු රටක් මේක. තමුන්ගෙ අම්මගේ මල්ලි වුනු, හිටපු ඇමති කෙනෙක්ගේ නීතිවිරෝධී ලයිසන් නැති තුවක්කුව අරගෙන නිවෙස්වලට ගිහින් තර්ජනය කරලා එන්න තරං බලය උන් උන් අතරෙම බෙදිලා ගිය තත්ත්වෙකදි තවත් මුන්ට ආරක්ෂාවක් මොකටද කියන එක මිනිස්සුන්ට දැනෙන්න ඕන. මේ අප්‍රකට කතා අතරට, ඉහළින් ඔබ දන්නා ප්‍රකට කතන්දරත් ලියාගන්න.

 

කන්න නැතුව පිටි පැකට් එකක් ගන්න ඇරිලා තියෙන හෑන්ඩ් බෑග් එකකින් සල්ලි හොරකං කරන මිනිස්සු හිරේ දාද්දි, වහල තියෙන එකවුන්ට් ‌වලින් බිලියන් ගණං ඇදපු නාසරාණින්ට සර් කියන්න වෙන රටක් මේක. අන්ත අසරණ වුනු, සියල්ල අහිමිව ඇඳි වතත් හුස්මත් පමණක් ඉතිරිවුනු මිනිස්සුන්ට බෙදාදෙන්නට එන දේ ඔවුන් ගිලදමන්නේ සර්කස්වල කඩු ගිලදමනවා වැනි පුදුමයක් රටවැසියන්ගේ සිතේ ඉතුරු කරමින්. ඒ පුදුමය සමගින්ම යළිත් තමන් පත්කරවා, ඉපදෙන සෑම හිසක්ම ණයකාර හිසක් කරවන මෙහෙයුමට රට වැසියාගේ හිත හැරවීම ආශ්චර්යයක් මැයි. කැපුවත් තමුන්ගේ පක්ෂය මේ යැයි කියනා පාක්ෂිකයන් සිටියදී දේශපාලකයාට එය දැනෙන්නේ, උදෑසන අවදි වුනු විට දෑස ඇරෙන්නට පෙර තම මවුගේ උණුහුම දැනුනු බිළින්දෙකුට දැනෙන ආරක්ෂාකාරී හැඟීමයි. එහෙවු උන් තවතවත් හොරකම් කරත්දී, උන්ට ප්‍රතිපූරක ඇස්තමේන්තු සම්මත කර කෝටි හතක කාර් ගෙනත් දීම සිදු නොවිය යුත්තක් නොවන්නේද?

 

සාමාන්‍යයෙන් අපිට කොමසාරිස්වරුන් දකින්න ලැබෙනවා. ඒ බොහෝ කොමසාරිස්වරුනුත් දේශපාලකයන්ට ගැතියි. කලකදී එක්වනම ඉහළ එන වීර ප්‍රකාශ කරන කොමසාරිස්වරුන් පවා තම ධූර කාලයෙන් පස්සෙ රැඳී ඉන්නට ‌දේශපාලකයන් වෙනුවෙන් කත් අදිනවා. කොහොමවුනත් මේ කියන්නෙ ‌කොමසාරිස්වරුන් ගැන නෙමෙයි. මේ කියන්නෙ කොමිසාරිස්වරුන් හෙවත් කෙහෙල් වෙළෙන්දාගෙනුත් කොමිස් එකක් බලාපොරොත්තු වෙන පිරිස ගැනයි. ටෙන්ඩර් සම්මත විය යුත්තේ රජයට අවම වියදමක් ලැබෙන පරිද්දෙන්. නමුත් මේ කොමිසාරිස්වරුන් නිසා ටෙන්ඩර් සම්මත වෙන්නෙ තමන්ට උපරිම කොමිස් මුදල ලැබෙන පරිද්දෙන්. කලින් කලට පත්වෙන අවංක නිළධාරීන් පවා තමුන්ගේ මේ ක්‍රියාදාමයටම ඈඳාගන්නේ ඒ අභිප්‍රායන් වෙනුවෙන්මයි. එනිසා ධූරාවලියේ දේශපාලකයාගේ සිට පහළින්ම සිටින රාජ්‍ය නිළධාරියා දක්වා දූෂිත අයෙක් වන්නේ නොදැනුවත්වමයි. එතැනින් පසු මෙම ධූරාවලියට ඉහළින් පහළින් හෝ මැදින් සම්බන්ධ වෙන ඕනෑම අයෙකු ඒ සිස්ටම් එකේම ජරාජීර්ණව පැවතීම හෝ හැරයාම යන ඔප්ෂන්ස් දෙක සහිතව ජීවත් විය යුතුය. එනිසා මහජනතා‌වගේ ප්‍රවාහනයට ගෙනෙන්නේ සැපපහසු මාධ්‍යයක් නොව වැඩිම මුදලක් කොමිස් ලෙස ලැබෙන නිෂ්පාදනයයි. එනිසා අපහසු ගමන්බිමන්, අනාරක්ෂිත ගමන්බිමන් ඔබට මට උරුමය. නමුත් ඔවුන් යුද්ධය නිමවී යැයි උදම් අනන රටේ වෙඩි නොවදින රථවල ගමන්බිමන් යයි. ආරක්ෂාවටද සෙනග ගෙනයයි.

 

පුරවැසියා සිදුකරන බලවත් වැරදි සහගත ප්‍රකාශයක් වන්නේ, අනේ අපිටනං ඔය දේශපාලනෙං වැඩක් නැහැ යන වෘෂභමය ප්‍රකාශයයි. අප ආහාරයට ගන්නා පරිප්පු ඇටයක පවා ඇත්තේ දේශපාලනයයි. ඔබට පක්ෂයකින් මිදෙන්නට හැකි වුවත් ඔබට දේශපාලනයෙන් මිදිය නොහැකියි. මන්දයත්, ඔ‌බ ඔබේ ජීවිතය වඩා සැපවත් කිරීමට, අනාගතය සුරක්ෂිත කිරීමට පරිප්පු ඇටයකින් පවා බදු ගෙවයි. රටට තවත් බද්දක් ගෙනෙන්නේ කෙලෙසින්ද යන්න ආණ්ඩුව සෑම මොහොතකම සිතමින් පවතින කාරණයයි. රටේ ජනගහණයේ අන් ආගමිකයින් වැඩි වශයෙන් බුද්ධාගම වැළඳගන්නවා නම් අන් ආගමිකයින් බුද්ධාගම වැළඳන්නා විට අය කරන බද්ද යනුවෙන් බද්දක් බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා අය කරන්නට ඔවුන් නොපෙළඹෙතැයි සිතිය නොහැකිය. රටක මිනිස්සු වැඩිවැඩියෙන් පොත් කියවන විට පොතට බදු ගසන, රටේ පරිසරයට විස වායු එකතුවීම වැළකෙන ‌ඉලෙක්ට්‍රික් මෝටර් රථයට බදු ගසන ඔලුවලට බදු සරණ යෑම මිස අන් පිළිවෙලක් සිහිපත් නොවේ. ඒ බදුත් උන්ගේම මඩියට තරවෙද්දී තවත් වරප්‍රසාද උන්ට කුමකට?

 

දේශපාලනයේදී ලංකාව ගැන කතා කරද්දි ලංකාවෙ මේ මොහොතෙ තියෙන්නෙ අවිවාදයෙන්ම දේශපාලන කඳවුරු දෙකක් පමණයි. එකක් රාජපක්ෂ කඳවුර. අනික රාජපක්ෂ විරෝධී කඳවුර. ශ්‍රීලනිප, එජාප, ජවිපෙ, පොජපෙ, ජානිපෙ යනාදී වූ කිසිඳු ජනතාවාදී කමකින් නොයුතු පක්ෂ තුළ එම බල කඳවුරු දෙකටම අයිති අයවළුන් සැඟවී වෙසෙයි. එනිසා ඔවුන් තුළ ඇත්තේ ජනතාවාදී අරමුණක් නොව බලකාමී අරමුණකි. එනිසාම ආණ්ඩු පක්ෂය වුවද විපක්ෂය වුවද ඔවුන් එකඟවන්නේ තමන්ට සුභසිද්ධිය සැලසෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී‌න්ගේ වැටුප් වැඩිවෙන, රට සවාරි ලැබෙන, දිරි දීමනා ලැබෙන යෝජනාවන්ට පමණි. අනෙකුත් ජනතාවාදී යෝජනා වලට ඔවුන් ඉබාගාතේ මරාගනී. නැතිනම් නිදාගනී.

 

රටේ සියළු දේ වෙනුවෙන් මිත්‍යාව වපුරන දේශපාලකයින් තමන් අසීමාන්තිකව ජනයාගෙන් සූරාකන මුදල්, දෙවියන්ගෙන් ඉල්ලීම සිදුනොකරයි. තමන්ගේ නක්ෂත්‍රවේදීන් රටේ ඉහළ තනතුරුවලට පත්කරන, උපදේශකයන් බවට පත්කරන, හති වැටුනත් ඉන්දියාවේ දුවන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ පවා නැකතට විවෘත කරන දේශපාලකයන්ට අමතර වරප්‍රසාදත් දෙවියන්ගෙන් ඉල්ලාගන්නට කියා ජනතාව නොකියයි.

මෙවන් දූෂිත රටක සැබෑ කලාකරුවකු කිසිඳු මොහොතක පක්ෂ දේශපාලනයට බද්ධ විය යුතු නැත. එය තරම් විහිළු සහගත මොහොතක් කලාකරුවාගෙන් දක්නට තරම් අප පවු කර ඇත. ආණ්ඩු විරෝධී ගායකයෙකු නම් ඔහු කළ යුත්තේ විරුද්ධපක්ෂ වේදිකාවට ගොස් කතාවක් පැවැත්වීම නොවන වග අලුතෙන් එන පරපුරු වටහා ගත යුතුය. ඔවුන් සිය මාධ්‍යය ඔස්සේ පවතින දේශපාලන ගොහො‌රුව විවේචනය කළ යුතුය. සුනාමි ආ පසු සින්දු කීවාම, සිංහල මුස්ලිම් මරාගත් විට සංහිඳියා ගී ගැයුවාම, ඒ අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැත. කලාකරුවා ආණ්ඩුවේ කෙක්කක් වීම තරම් අරාජික බවක් මහජනයාට නැත. කලාකරුවා යනු පුරවැසියාගේ මොළයට ආමන්ත්‍රණය කරන, විඥාණය ඇති කරන්නාය. ඔවුන් එසේ නොවුනු විට, ඔවුන්ට ආණ්ඩුවේ ආයතනවලින් ඔවුන්ට නොදැනී පඩි ලැබෙයි. ඔවුන් ඒවායින් චිත්‍රපට හදා කලා මෙහෙවර කරයි. අපට ඒවාට කුණුහරුප කියාද කිව හැක.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here