තරුණ වියට දහම් මග – Sri News

0
4


ජීවිතයේ තරුණවිය කවුරුත් ප්‍රියකරන කාලයක්.

ඒ නිසාම තරුණ වියෙහි රැඳී සිටීමට කවුරුත් ප්‍රිය කරති. එහෙත් අප කාටත් තරුණ වියෙහි සැමදා රැඳී සිටීමට නොහැක. ඊට හේතුව වෙනස්වන ලෝකයේ තරුණකම ද එලෙසින් සැමදා නොපවතින බැවිනි. එබැවින් අප සියලු දෙනාම ලෝක ස්වභාවයට එකඟවිය යුතුය. තරුණවියත් සමඟ එළෙඹෙන්නේ මහලු විය බව අප මතක තබාගත යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තරුණ විය ලෙස සලකන්නේ වයස අවුරුදු 15 සිට 24 දක්වා කාලයයි. සමහර විශ්ලේෂකයන් තරුණ විය ලෙස සලකන්නේ වයස අවුරුදු 18 සිට 24 දක්වා කාලයයි. ඇතැම් අය වයස අවුරුදු 20 සිට 40 දක්වා කාලය තරුණ විය ලෙස සලකති. මෙසේ යොවුන් විය වයස් මට්ටම්වලට බෙදා වෙන් කළ ද එය රඳා පවතිනුයේ වයස මට්ටමට වඩා කයේ හා සිතේ ක්‍රියාකාරිත්වය මත යන්න අප සිත්හි තබාගත යුතුය.

තරුණ විය පිළිබඳ වෛදික දර්ශනයේ ද බොහෝ ඉගැන්වීම් ඇත. ඒ අතර තාරුණ්‍ය පිළිබඳ හිතෝපදේශයේ සඳහන් වන්නේ මෙසේය.

“යෞවනං ධනසම්පත්තිඞ
ප්‍රභුත්වමවිවේකිතා
එකෛකමප්‍යනර්ථාය
                         කිමු යත්‍ර චතුෂ්ඨයම්”     හිතෝපදේශය )

විචාර බුද්ධියෙන් තොර යෞවනය, සීමාවෙන් තොර ධන සම්පත්තිය, බුද්ධියෙන් තොර ප්‍රභූත්වය, පාලනයෙන් තොර අවිවේකය යන මේ කාරනා හතරෙන් එකක් යම් පුද්ගලයෙකු සතු වුවද එය ඔහුගේ විනාශයට හේතුවන බවයි.

තරුණවියෙහි සිතේ ඇතිවන කැළඹීම් ස්වභාවයත් සමඟ පුද්ගලයා ඉතා ඉක්මනින් වරදෙහි යොමුවිය හැකිය. එබැවින් විශේෂයෙන් තරුණ වියට හොඳ – නරක තෝරා ගැනීමේ විචාර බුද්ධිය මෙන්ම ඉවසීම ද අත්‍යවශ්‍ය වේ.
තවද වෛදික දර්ශනය තුළ මිනිස් ජීවිතය කොටස් හතරකට හෙවත් කාල හතරකට බෙදා ඇත.

එනම්,

“ ශෛෂවේ භ්‍යස්තවිද්‍යානං
යෞවනේ විෂයෛෂිණාම්
වාර්ධකේ මුනි වෘත්තීනාං
යොගේනාන්තේ තනුත්‍යජාම්”
(රඝුවංශ මහාකාව්‍ය)

1. බාල කාලය – අධ්‍යයන කටයුතු කළ යුතුය.
2. තරුණ කාලය – ධනය රැස් කිරීම, විවාහවීම ආදී කටයුතු කළ යුතුය.
3. වැඩිහිටි කාලය – මුනි ව්‍රතයන් අනුගමනය කළ යුතුය.
4. අවසන් කාලය – සියලු බැඳීම්වලින් වෙන් වී වනගත විය යුතුය.
මෙයින් පැහැදිලි වන්නේ තරුණ කාලයේ ධනය රැස්කිරීම, ආවාහවිවාහ කටයුතු සිදුකර ගැනීම හා දරුවන් හැදීම කළ යුතු බවයි.

අවසන් කාලය සියලු බැඳීම්වලින් වෙන්විය යුතු බව පෙන්වා දෙයි. එහෙත් බුදුදහම අවධාරණය කරන්නේ මහලු වූ පසු හෙවත් තම කටයුතු සිදු කර ගැනීමට නොහැකි අවස්ථාවන්හි බැඳීම්වලින් වෙන්වීම නොව දැනුම් තේරුම් ඇති අවස්ථාවන්හි දීම කාම විෂයන්ගෙන් හා බැඳීම්වලින් වෙන්වීම වඩාත් සුදුසු බවයි.

යුවා බ්‍රහ්ම චරේ” යනුවෙන් ‘තරුණ වියෙහි බඹසර විසුම උතුම්’ යනුවෙන් සඳහන් වන්නේ එයයි.

තරුණ විය බුදුදහමින් කතා කලොත්,බුදුදහම තුළ පුද්ගල ජීවිතයේ පරමායුෂ සියයකට ආසන්න වශයෙන් තබා දශක දහයකට බෙදා ඇත.

තරුණ වියෙහි බඹසර විසීම උතුම් බව අවධාරණය කළෙමු. යමෙක් එසේ නොකරන්නේ නම් ධනෝපායනය හා විවාහවීම් ආදී කටයුතු කළ යුතුය. බුදුදහම හුදෙක් ලෝකෝත්තර දහමක් පමණක් නොවන බව මින් පැහැදිලි වෙයි.
ලෞකික දිවිය සාර්ථක කර ගැනීම සඳහා ද බුදුදහමින් නිතැතින්ම මාර්ගෝපදේශනය ලබා දෙයි. ධනය ඉපයීමේ දී ධාර්මික ක්‍රමවේදයන් අනුගමනය කළයුතු බව බුදුදහම අවධාරණය කරන බව අප මතක තබා ගත යුතුය

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය පිළිබඳව කතා කලද, අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

තරුණ යන වචනය වෛදික දහම තුළ අර්ථකථනය වී ඇති අයුරු හා බුදුදහමේ තරුණවිය අර්ථකථනය වන අයුරු පිළිබඳ සාකච්ඡා කළ යුතුය. බුදුසසුනේ චිරස්තිථිය වෙනුවෙන් සිදුකළ තාරුණ්‍යයේ දායකත්වය විමසා බැලීමේදී
තම පියරජු විසින් දුක යන වචනය පවා ඇසීමට අවස්ථාව නොදෙමින් අපිරිමිත සැප සම්පත් වලින් ආඪ්‍ය වු දිවියක් ගත කිරීමට සැලැස් වූ සිදුහත් කුමරු අවසානයේ සියලු සැපසම්පත් කෙරෙහි කළකිරී ගිහිගෙය අතහැර ගියේ අවුරුදු 29 දී බව අපි කවුරුත් දනිමු.

සිද්ධාර්ථ තාපසතුමා උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ අවුරුදු 35 දීයි.මේ කාල දෙකම සුත්‍ර ධර්මයන්හි හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවනවිය ලෙසය. බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි පැහැදී පැවිදි බව ලබා ගත් බොහෝ දෙනෙක් යොවුන් වියේ පසුවූවන් ය. එයිනුත් බොහෝ දෙනෙක් භද්‍ර යෞවන වියේ පසුවූහ.

විශේෂයෙන් පළමු රහත් හැට නමට එකතු වූ යස කුළ පුත්‍රයා ඇතුළු පිරිස අතිශය යොවුන් වියේ පසු වූවන් ය. යසකුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපිරිමිත සැප සම්පත් කෙරෙහි කළ කිරී මානසික සහනය සොයමින් මහමඟට බට අයෙකි.

දිනක් බුදුරජාණන් වහන්සේ අතිශය යොවුන් වියෙහි පැවිදි දිවියට එළැඹි අනුරුද්ධ, භද්දිය,භගු, කිම්භිල කුණ්ඩධාන, රේවත හා ආනන්ද යන තරුණ හිමිවරුන් මුල්කොට ගෙන තාරුණ්‍ය පිළිබඳ කළ වැදගත් දම් දෙසුමක් මැඳුම් සඟියෙහි ඇතුළත් නළකපාන සූත්‍රයෙන් අපට හමුවෙයි. මේ තරුණ හිමිවරු සත් නම එකට පැවිදිව එකට මහණදම්පිරූ සබ්බ්‍රහ්මචාරිහූය. එම දම්දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නළකපාන ගමෙහි මහවන මැද සසුන්බඹරෙහි වෙසෙන මේ යෞවනයන්ගේ දිවිය පිළිබඳ වූ අතිශය කාරුණික හැඟීමෙනි.

මේ තරුණ හිමිවරු ඇමතූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මහණ දම් පුරන්නේ කැමැත්තෙන් ද එසේ නැතිනම් අකැමැත්තෙන්ද යනුවෙන් විචාළහ. උන්වහන්සේලා නිශ්ශබ්දව හුන්හ. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත්, තෙවැනි වරටත් එසේ විමසුව ද මේ තරුණ හිමිවරු නිශ්ශබ්දවම හුන්හ. නමකින් නොවිචාල හොත් කිසිසේත් පිළිතුරු නොලැබෙන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් අමතා ඒ පිළිබඳ විචාළහ. එවිට උන්වහන්සේගේ පිළිතුරු වූයේ “ස්වාමිනි අපි ඒකාන්තයෙන් අපි මේ බඹසර දිවියෙහි ඇළෙමින් කැමැත්තෙන්ම මහණදම් පුරන්නෙමු” යනුවෙනි.

ඒ පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මේ භද්‍ර යොවුන් වියෙහි ගත කරන බඹසර දිවියෙහි වටිනාකම පෙන්වා දෙයි.
යෙන තුම්හෙ අනුරුද්ධා, භද්‍රෙනා යොබ්බනෙන සමන්නාගතා, පඨමෙන එයසා සුසුකාළකෙසා කාමේ පරිභුඤ්ජෙය්‍යාථ තෙන තුම් හේ. අනුරුද්ධා, භද්‍රෙනපි යොබ්බනෙන සමන්නාගතා පඨමෙන එයසා සුසුකාළකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා තෙ ච ඛො පන තුම්හෙ,අනුරුද්ධා නෙව රාජාභීනිතා අගාරස්මා අනගාරියං පබ්ජිතා න වොරාහිනිතා අහාරස්මා අනගාරියං පබ්බජිතා න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා න හයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා , නාජිවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා අපි එ ඛොම්හි ඔතිණ්නො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සයෙහි උපයාසෙත. දුක්ඛොතිස්ණෙ, දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කොවස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති.

අනුරුද්ධයෙනි,

ඔබලා මේ භද්‍ර යෞවන වියෙහි මුල් කාලයේම කාලවර්ණලංකෘත වූ කේශ ඇති කාමයෙහි, ලොල්වන කාලසීමාවෙහිම ඒ සියල්ලම ඔබලාට මනාව තිබිය දී කාමයන්ගෙන් වෙන්ව පැවිදිව උතුම්වු ශාසන බ්‍රහ්මචරියාවෙහි වසන්නාහ.

අනුරුද්ධයනි,ඔබලාගේ ඒ පැවිදිවීම රජුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. සොරුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. ණයෙන් මිදීම පිණිස හෝ රාජචොරාදීන්ගේ භයෙන් මිදීම පිණිස නොවූවකි. යැපීම පිණිස පැවිදි වූවෝ නොවෙති. හුදෙක් ජාති, ජරා , මරණ ශෝකාදියෙන් යුක්ත වූ මේ දුක්ඛ දෝමනස්ස උපායාසයෙන්ගෙන් මිදීම පිණිසම පැවිදි වූවෝ වෙති. ඒ උදෙසාම බඹසර වසන්නෝ වෙති. එබැවින් පැවිදිවීමත් බඹසර විසීමත් උතුම්ය. ඔබලාගේ අරමුණ විය යුත්තේ භාවනාභීරතව ප්‍රථමජ්ඣාන, ද්වීතියජ්ඣාන , තෘතීයජක්‍ධානාදිය ලැබී අභිද්‍යා, ව්‍යාපාද,කාමච්ඡන්ද , ථීනමිද්ධ උද්දච්චකුක්කුච්චාදී වූ පඤ්ච නීවරණයන්ගෙන් සිත නිදහස්කොට පී‍්‍රතිය හා සුවය ඇති නිවන ළඟාකර ගැනීම බවයි.

මෙය පිය කෙනෙක් තරුණවියේ පසුවන පුත්‍රයන්ට ලබාදෙන උපදෙස් මාලාවක් හා සමානය.බුදුරදුන් සිය ඖරස පුත්‍ර වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙස බලා ඇත්තේ අසහාය කරුණාවකිනි.
අනුකම්පාවකිනි. එයට හේතුව තමාගේ මේ භද්‍ර යෞවන වූ තරුණ කාලය ශාසන බ්‍රහ්මචර්යාව වෙනුවෙන් යොදවා කළ අසහාය කැපකිරීම නිසාමය.

මෙය සුළුපටු කැපකිරීමක් නොව උතුම්ම කැප කිරීමක් බව බුදුරජාණන් වහන්සේ ද දත් නිසාය.
බුදුදහම කෙරෙහි මුල් යුගයේ පැහැදී උතුම් පැවිදි භාවය ලැබූ බොහෝ පිරිස තරුණවියේ මෙන්ම භද්‍ර යෞවන වියේ වූ පිරිසක් බවයි. තෙරවරු පමණක් නොව තෙරණියන්ද තම යොවුන් දිවිය බුදු සසුන වෙනුවෙන් කැපකළ අයුරු ථේරගාථා හා ථේරීගාථාවන්ගෙන් පැහැදිලි වෙයි.

බොහෝ දෙනෙක් සිතන්නේ තරුණවිය යනු ස්වාභිමතයට අනුව දිවි ගෙවමින් කාමභෝගි දිවියක් ගතකළ යුතුය යන්නයි. ධාර්මික ජීවිතය යනු මහලුවියේ ප්‍රායෝගිකව අත්විඳිය යුත්තක්ය යන්න ඔවුන්ගේ මතයයි. මෙය අද මිනිසුන් අතර පවතින මතයක් පමණක් නොව එදා දෙවියන් අතරද පැවැති මතයක් බව සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ එන සමිද්ධී සුත්‍රයෙන් පැහැදිළි වෙයි. එනම් එක්තරා දෙවඟනක් තරුණ වියෙහි පැවිදිව ශාසනාභීරතව බවුන් වඩන භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණ කළ මෙම ප්‍රකාශයයි.

ශ්‍රමණය, ඔබ තරුණ පැවිද්දෙකි.කළු කෙස් ඇත්තේය. භද්‍ර යෞවන වියෙහි සිටින කෙනෙකි. තාරුණ්‍යයේ ප්‍රථම වයසෙහි සිටියි. එහෙත් ඔබ තරුණවියෙහි විඳීය යුතු කම්සැප නොවිඳීන කෙනෙකි. එය නොසුදුස්සකි. මානුසික වූ විඳිය යුතු කම් සැප විඳීන්න. පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න.

මෙම ප්‍රකාශය හුදෙක් සාමාන්‍ය ජනයා සමාජය දෙස බලන අයුරින් කළ ප්‍රකාශයකි.එයින් කියවෙන්නේ තරුණ කල අනිවාර්යයෙන්ම කම්සැප විඳීයයුතු යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහළුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය,අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

තාරුණ්‍යයේ වටිනාකම අගය මනාව වටහාගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව හැකියාවන්ද මනාලෙස හඳුනාගෙන අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා දී ඔවුන් සමාජ විශෝධන ක්‍රියාවලියෙහි යෙදවු ආකාරය මුළු මහත් සූත්‍ර දේශනාවන් පුරාවට පැහැදිළිව පෙනෙයි. ඇතැමෙක් සැනසීම සොයා බුදුරදුන් වෙත පැමිණියේ දුක පිළිබඳ පමණක් නොව සැප පිළිබඳවද කළ කිරුණු මනසින් යුක්තව ය. ඇතමෙක් ජීවිතයේ තමා ලත් අපමණ දුක් ගැහැට නිසා ජීවිතය පිළිබඳ කළකිරී පැමිණියහ. තවත් සමහරෙක් විවිධ ප්‍රශ්න නිසා ජීවිතය ව්‍යාකූල කරගනිමින් බුදුරදුන්වෙත පැමිණියහ. මේ සියල්ලන්ගේම අරමුණ හා අවබෝධයේ මට්ටම් තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ සියල්ලන්ට එම යථාර්ථය අවබෝධ කොට දී ඇත්තේ අසහාය ශාස්තෘවරයෙකු ලෙසය. අසහාය සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. අසහාය මනෝවිද්‍යාඥයෙකු ලෙසය. ඇත්තෙන්ම බුදුසසුනට මේ තරුණ භික්‍ෂූන් ගෙන් ලැබුණූ පිටුබලය අති මහත්විය. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශීඝ්‍රයෙන් සන්නිවේදනය වීමට මෙන්ම ජනපි‍්‍රය වීමට ද මහත් ශක්තියක් වී ඇත.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here