තම පියාටම වකුගඩුව දන් දී මෙලොව හැරගිය පුංචි සමාරියා.. – Sri News

0
11

ඇමෙරිකාවේ වෙස්ට් පාම් බීච් වල ජීවත් වුන පුංචි සමාරියා ග්ලේන් අවුරුදු 13 ක් වුන හරිම ලස්සන, හුරුබුහුටි ගැහැණු ළමයෙක්. 

ඇයට රංගනය ගැන තිබුණේ පුදුමාකාර ඇල්මක් සහ ආදරයක්. 

ඒ විතරක් නෙමෙයි ඇයට ඒ සඳහා උපතින්ම ලැබුණු තිළිණයක් වගේ හැකියාවක්, දක්ෂතාවයක් තිබුණ බව ඇයව දන්න හඳුනන බොහෝදෙනෙක් ප්‍රකාශ කරපු කාරණාවක්. 

නර්තනයට විතරක් නෙමෙයි සමාරියා කියන්නෙ ඉගෙනීම ගැනත් පුදුම විදිහට වද වුන අධ්‍යාපනයටත් ඉතාම දක්ෂ සිසුවියක්. 

අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරන ගමන්ම දවසක රංගන ශිල්පිනියක් වෙන්න ඇය හීන දැක්ක. පුංචි වුනත් ඒ වෙනුවෙන් තමන්ට හැකි ඉහළම ප්‍රමාණයෙන් කැපවුණා. 

හැමවෙලේම සිනහවෙන් සහ උද්‍යෝගයෙන් පිරිල හිටිය මේ පුංචි ගැහැණු ළමයගේ ජීවිතේ එක දවසක් වුණ පුංචි සිදුවීමකින් කවුරුත් බලාපොරොත්තු නොවුන තරම් ඉක්මණින් වෙනස් වුණා. 

දවසක් පාසල් අවසන් වෙලා නිවසට ගිහින් ටික වෙලාවකට පස්සෙ තමන්ට දරාගන්න අපහසු හිසරදරක් තියෙන බව සමාරියා ඇගේ මව වුණ ඩීමාට කියල තිබුණා. 

සමාරියා කියන්නෙ රංගනය, ඉගෙනීම විතරක් නෙමෙයි බාස්කට් බෝල් ක්‍රීඩාවටත් දක්ෂකම් දක්වපු හරිම ක්‍රියාශීලි ගැහැණු ළමයෙක්. ඒ වගේම ඇය කිසිම දිනක නිදහසට කරුණු නොපවසා තමන්ට පාසලෙන් ලබාදෙන ගෙදර වැඩ හරියටම සම්පූර්ණ කරන්නත් දැඩි උවමනාවක් තිබුණ කෙනෙක්. 

ක්‍රීඩාවට, රංගනයට වගේම අධ්‍යාපනයත් ඇය වැඩිපුර මහන්සි වෙන බව දන්න ඩීමා හිතුවේ හැමදේම හරියට කරගන්න තියෙන උවමනාව නිසා ඇතිවුණ පීඩනය වගේම මහන්සිය නිසා ඇයට මේ හිසරදය ඇතිවෙන්න ඇති කියලයි. 

ඇයගේ වැඩ කටයුතු අවසන් වෙලා සමාරියාව රෝහලට රැගෙන යන බව පවසපු ඩීමා එතෙක් කෙටි නින්දක් ලබාගෙන විවේක ගන්න කියල සමාරියාව ඇගේ කාමරයට පිටත් කර යවා තිබුණා. 

හැබැයි, එදා ඒ වෛද්‍ය හමුවෙන් පස්සෙ තවදුරටත් ඔවුන්ගේ ජීවිත පුරුදු පහසුවෙන් ගෙවුනේ නෑ. එකකට පසු එකක් කරපු විවිධ වෛද්‍ය පරීක්ෂණ වලින් පස්සෙ වෛද්‍යවරු සමාරියා මොළයේ පිළිකා තත්වයකින් පෙළෙන බව නිළ වශයෙන් ඇගේ පවුලේ උදවියට දැනුම් දුන්න. 

සිය සුපුරුදු උද්‍යෝගිමත්, හිනාවෙන් පිරුණු ජීවිතේ වෙනුවට රෝහලේ සයනයක් මත විවිධ ප්‍රතිකාර ක්‍රම, ඖෂධ සමඟ ශරීරයේ ඇතිවෙන දැඩි වේදනාව සමඟ සටන් කරපු සමාරියා ඊට කෙටි කාලයකට පසුව මොළය මියගිය තත්වයට පත්වුණේ සිය ජීවිත සටන අවසන් කරමිනුයි. 

යන්ත්‍ර වලින් ඇයව ඉවත් කරන්න කලින් ඇගේ ශරීර අවයව තවත් මිනිසුන්ගේ ජීවිත පණගැන්වීමේ බලාපොරොත්තුවෙන් පරිත්‍යාග කරන්න සමාරියාගෙ අම්ම තීරණය කරා.  

ඒ විදිහට සමාරියගෙ සිරුරෙන් ඉවත් කෙරුණු අවයව හයක් රෝගීන් පස් දෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කර තිබුණා. 

සාමාන්‍යයෙන් අවයව පරිත්‍යාග ලබන රෝගීන් තමන්ගේ අවයව දායකයා නොදැන සිටියත් සමාරියාගේ වකුගඩුලාභියා තමන්ට හිමිවූයේ කාගේ අවයව දැයි හොඳින්ම දැන සිටියා. 

ඔව්!

සමාරියාගේ වකුගඩු පරිත්‍යාග කෙරුණේ ඇගේම පියා වුණ ශෝන් ග්ලේන්ටයි. 

ශෝන්ට ඉතාම දුර්වල වකුගඩු තිබුණු බව ශෝන් සහ ඩීමා, සමාරියා සහ ඔවුන්ගේ අනෙක් දරුවන්ගෙන් වසර ගණනක් තිස්සේ සඟවාගෙන ඉඳල තිබුණා. ශෝන් වකුගඩු වල ලේ මාරු කිරීමේ ප්‍රතිකාර ලබමින් ඉන්නව වගේම ඒ වෙද්දි ශෝන් එක්සත් ජනපදයේ වකුගඩු බද්ධයක් කිරීම සඳහා වකුගඩු බලාපොරොත්තු වන්නන් ඇතුළත් දස දහස් ගණනක ලැයිස්තුවකට පවා ඇතුළත්ව සිටියා. 

වෙනත් කෙනෙක්ගෙන් ලැබෙන වකුගඩුවක් ශෝන්ගේ ශරීරය පිළිගැනීමේ ප්‍රතිශතය 99% ක් පමණ ඉහළ අගයක් වෙනු ඇතැයි ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කරල තිබුණ නිසා වෙනත් කෙනෙක්ගෙන් වකුගඩුවක් ලැබුණත් සිය නීරෝගී බව ගැන ශෝන්ට තිබුණේ ඉතාම අඩු බලාපොරොත්තුවක් පමණයි. 

“ඔහු නිසයි මට ඇයව ලැබුණේ. ඇය තුළ ඔහු සිටිය වගේම අද වෙද්දි ඔහු තුළ ඇය ඉන්නව. ඇය හැමදාම අපේ මතකයේ රැඳී තිබෙනව වගේම ඔහු තුළ ඇගේ කොටසක් හැමදාම ජීවත් වේවි.” ඒ ගැන මාධ්‍ය හමුවේ ඩීමා ප්‍රකාශ කලේ ඒ විදිහටයි. 

ශෝන්ට තමන්ගේ දියණියගේ වකුගඩු බද්ධ කිරීමේ ශෛල්‍යකර්මය කරේ වෛද්‍ය ලින්ඩා චෙන් විසිනුයි. 

“මන් මේ වගේ ශෛල්‍යකර්ම දෙදහසකට වැඩි ප්‍රමාණයක් කරල තියෙනව. ඒත් මේ සැත්කම විශේෂයි. මගෙ හදවතට දැනෙන වචන වලින් කියන්න බැරි හැඟීමක් මේ සැත්කම ගැන මට දැනුණා. මට කවදාවත් එහෙම දැනිල නැහැ.” ඇය ඉතාම හැඟීම්බරව ශෛල්‍යකර්මය ගැන අදහස් ප්‍රකාශ කරල තිබුණා. 

“මට මහ වරදකාරී හැඟීමක් දැනෙනව. මට සතුටක් නැහැ. මම සතුටු වීම වරදක් බව මට හැමවෙලේම හිතෙනව” ශෝන් නොනවත්වා ගලන තමන්ගෙ කඳුළු සඟවා ගන්න උත්සහ නොකරම කියන්නෙ එහෙමයි. 

“මේ හැමදේටම පස්සෙ මම ප්‍රාතිහාරයන් විශ්වාස කරනවා. ඇයයි ඒ ප්‍රාතිහාර්‍ය. මම විශ්වාස කරන්නේ, අපි මේ ලෝකෙට එන්න කලින්ම ඇපේ ජීවිත කතාව කොහේ හෝ ලියවිලා අවසන් කරල තියෙනව කියලයි. 

අපේ කතාව මේ වගේ වෙයි කියල අපි කවදාවත් හිතුවේ නෑ. මේ හැමදේටම හේතුවක් ඇති. ඒත්, ඇය නැතුව සමාරියා නැතුව අපිට කියාගන්න බැරි තරම් දුකයි, ඇයත් එක්ක තව කාලයක් ගත කරන්න අපිට තිබුණ නම්, අපිට ඇය නැතුව පාළුයි.” අවසාන වතාවට ඩීමා කීවේ එහෙමයි. 

“රෝහලේදි මට ගොඩක් අය සුභ පැතුව. අවසානයේදී ඔබට වකුගඩුවක් ලැබුණා. ඔබේ ශෛල්‍යකර්මය සාර්ථක වුණා කියල. ඒත්, ඒත් මේ වකුගඩු වල වටිනාකම මට දරාගන්න බෑ.” නොනවත්වා ගලාගෙන එන කඳුළු එක්ක අමාරුවෙන් තමන්ගෙ සිතුවිලි වචන වලට හරවන්න උත්සහ කරපු ශෝන් කීවේ එහෙමයි. 

ඉතිං, සමාරියාගෙ මතක සමාරියාගේ පවුලේ සාමාජිකයො එක්ක හැමදාම ජීවත් වෙනව වගේම ශෝන් මියයනකන් සමාරියා ශෝන්ගෙම කොටසක් වෙලා ශෝන්ව ජීවත් කරාවි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here