තමන්ට හොඳින්ම ගැලපෙන ෆිට්නස් ට්‍රැකර් එකක් තෝරාගන්නේ මෙහෙමයි! – Sri News

0
7


ලස්සනට හදාගත්තු ඇඟක් එක්ක ෆිට් කොල්ලෙක්, ෆිට් කෙල්ලෙක් වගේ ඉන්න කවුද ආස නැත්තේ? හැබැයි ඉතින් ඒකට පොඩ්ඩක් කැප කිරීමක් එහෙම කරන්න වෙනවා. විශේෂයෙන්ම ශරීර සුවතාවය වෙනුවෙන් ව්‍යායාම එහෙම කරන්න වුවමනායි. ඔය ව්‍යායාම කරන වැඩේ වඩාත් සාර්ථකව කරගන්න නවීන තාක්ෂණය එහෙමත් උපයෝගී කරගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි ෆිට්නස් ට්‍රැකර්ස්. ඒ කියන්නේ ඔය එක්සයිස් කරන ඈයෝ අතේ බැඳගෙන යන එකක්. හැබැයි මේ ගැජමැටික් එකට පුළුවන් අපේ ශරීරයේ ජෛව ක්‍රියාකාරකම් ගැන එහෙම හොඳ අධීක්ෂණයකින් ඉඳලා ඒ ගැන දත්ත එකතු කරන්න. කොටින්ම කිව්වොත් අපිට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන විදියට ව්‍යායාම කරලා, ඇඟට හරියට ව්‍යායාම ලබාගන්න මේ ගැජමැටික් එක බොහොම ප්‍රයෝජනයි. දැන් ඔය ඔක්කොම කරන්න කලින් ෆිට්නස් ට්‍රැකර් එකක් ගන්න ඕනනේ. තමන්ට ගැලපෙන ෆිට්නස් ට්‍රැකර් එකක් තෝරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් උපදෙස් කීපයක් තමයි මේ ලබාදෙන්න යන්නේ.

 

1. ෆිට්නස් ට්‍රැකර් එකක්ද? ස්මාට්වොච් එකක්ද?

Image Source – business2community.com

ෆිට්නස් ට්‍රැකර් වලට සාපේක්ෂව ස්මාට්වොච් එකක් ගණන් වැඩියි. හැබැයි අනෙක් අතට ෆිට්නස් ට්‍රැකර් එකෙන් කෙරෙන වැඩකටයුතු වලට එහා ගියපු ස්මාට් වැඩ කටයුතු ස්මාට්වොච් එකකින් කරගන්න පුළුවන්. ආන්න ඒ නිසා හිතලා බලන්න වෙනවා තමන්ට ඇත්තටම මොනවද කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. එදිනෙදා ශාරීරික ව්‍යායාම වලට සහ පොදුවේ ශරීර සුවතාවය ගැන අවධානයෙන් ඉන්න නම් ෆිට්නස් ට්‍රැකර් එකක් හොඳටම ඇති.

ඒ එක්කම ෆිට්නස් ට්‍රැකර් වුනත් දැන් කාලේ මාරම හයි ටෙක් එව්වා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් දවස ගාණේ ඇවිදින්න හරි දුවන්න හරි යන, එහෙම නැතිනම් දවසකට පැයක් දෙකක් ජිම් එකේ ඉන්න මනුස්සයෙක්ට ඔය හයිටෙක් ෆිට්නස් ට්‍රැකර්ස් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි ක්‍රීඩකයෙක්ට එහෙම නම් වඩාත් හැකියාවන් වැඩි ෆිට්නස් ට්‍රැකර් එකක් ප්‍රයෝජනවත්.

 

2. වෝටර් පෲෆ්, ඩස්ට් පෲෆ්

Image Source – walmart.com

මේ කාරණයත් වැදගත් වෙන්නේ තමන්ගේ ජීවන රටාවත් එක්ක තමයි. උදාහරණයක් විදියට ගත්තොත් සාමාන්‍යයෙන් ඕනම ෆිට්නස් ට්‍රැකර් එකක් මේ කාලේ හදලා තියෙන්නේ ස්ප්ලෑෂ් රෙසිස්ටන්ස් -ඒ කියන්නේ ඔය ජලය එහෙම ඉහිරුනාට අවුලක් නැති විදියට, දූවිලි වලට සාමාන්‍යයෙන් ඔරොත්තු දෙන විදියට තමයි. ඒක ප්‍රමාණවත් සාමාන්‍යයෙන් ජිම් එකකට යන, ග්‍රවුන්ඩ් එකට ගිහින් උදේට දුවන මනුස්සයෙක්ට.

හැබැයි දවසේ වැඩි වෙලාවක් කාලගුණික තත්ත්වයන්ට නිරාවරණය වෙන විදියේ කෙනෙක්ට ඊට වඩා වැඩි ආරක්ෂාවක් තියෙන ගැජට් එකක් තමයි හරියන්නේ. විශේෂයෙන්ම ඔය ස්විමින්ග් එහෙම කරන හාදයෙක්ට නිකම්ම වෝටර් පෲෆ් ෆිට්නස් ට්‍රැකර් එකක් හරියන්නෙ නෑ. ඊට වඩා වතුරේ ගැඹුරට ඔරොත්තු දෙන එකක් තමයි ගැලපෙන්නේ.

 

3. මොනවද වෙන ඕන ෆීචර්ස්?

Image Source – gadgetsin.com

ෆීචර්ස් කිව්වහම සාමාන්‍යයෙන් හැටහුටහමාරක් විතර තියෙනවා. අපි ඇවිදින පියවර අනුව ගමන් කරන දුර හොයන හැකියාව, හෘදය වස්තුවේ ස්පන්දනය මනින හැකියාව. නින්දේ ක්‍රමවත් භාවය සහ වෙලාව මනින හැකියාව මූලිකවම තියෙන්න ඕන දේවල්. ඔය කැලරි දහනය වෙන ප්‍රමාණය අනං මනං ඔක්කොම එන්නෙත් ඔය හැකියාවන් එක්ක තමයි. ඒකට ජීපීඑස් තියෙනවා නම් තවත් වටිනවා. මීට අමතරව වෙලාවත් බලන්න පුළුවන් නම් හොඳයි. එලාම් එකකුත් තිබ්බොත් වඩාත් හොඳයි. ඒ වගේම ඉතින් ස්මාට්ෆෝන් එකත් එක්ක සම්බන්ධ වෙන්න රැහැන් රහිත සම්බන්ධතා හැකියාවත් තියෙන්නම ඕන. නැත්නම් වැඩක් නෑ.

ඒත් එක්කම හොඳ බැටරි බලයක් තියෙනවද කියලත් අනිවා බලන්න ඕන. ෆිට්නස් ට්‍රැකර් කියන්නේ ස්මාට්ෆෝන් වගේ දවස් දෙකෙන් දෙකට චාර්ජ් කරන්න වෙන ගැජට් එකක් නම් වැඩක් නෑ. සතියකට සැරයක් චාර්ජ් කරන්න වුනත් ඒත් වැඩක් නෑ. මතක තියාගන්න, අද කාලේ ෆිට්නස් ට්‍රැකර් එකක් මාසයක්වත් එක පාරක් චාර්ජ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. වඩාත් සුපිරි ඒවල ඊටත් වඩා බැටරි ලයිෆ් වැඩියි.

 

4. ස්මාට්ෆෝන් එකත් එක්ක මැච් වෙනවද?

Image Source – androidcentral.com

මේ කාරණය නොවරදවාම හොයලා බලන්න ඕන. සාමාන්‍යයෙන් දැන් වෙළෙඳපොළට එන හොඳ ෆිට්නස් ට්‍රැකර් එකක් නම් ඕනම ෆෝන් එකකට මැච් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අයිෆෝන් එකක් වුනත්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වුනත් සාමාන්‍යයෙන් අලුත් ඔපරේටින් සිස්ටම් එකක් තියෙන ෆෝන් එකක් නම් ෆිට්නස් ට්‍රැකර් එකට අදාළ ඇප් එක ගන්න තියෙනවා. හැබැයි ඒක එහෙමමද කියලා ඩබල් චෙක් කරන්න ඕන. කෝකටත් හොඳයිනේ.

 

5. කැලරිත් කවුන්ට් කරමු

Image Source – dietdoctor.com

මේක කෙලින්ම ෆිට්නස් ට්‍රැකර් එකට අදාළ වෙන්නෙ නෑ. දැන් අපි දන්න දෙයක් තමයි, සාමාන්‍යයෙන් ඇඟක් අඩු කරගන්න, ෂේප් අප් කරගන්න ව්‍යායාම විතරක් මදිය කියන එක. ඩයට් එකත් තියෙන්න ඕන. මේ ඩයට් කතන්දරේදී ජනප්‍රියම දෙයක් තමයි කැලරි කවුන්ට් කරන එක. ඒ කියන්නේ තමන් ගන්න කෑම වල තියෙන කැලරි ප්‍රමාණය ගණන් කර කර තමයි කන්නේ. ඔන්න ඔය වැඩේ පහසුවෙන් කරගන්න මයිෆිට්නස්පැල් වගේ ඇප් එකකින් පුළුවන්. ඒ කියන්නේ තමන් කන්නේ මොනවද, කොච්චර ප්‍රමාණයකින්ද කියන එක ඇප් එකට ඇතුළත් කරන්න ඕන. එතකොට කැලරි කවුන්ට් එක හැදිලා එනවා. කන්න කලින් වැඩේ කළොත් හරි ගාණට කන්න පුළුවන්.

දැන් නවීන තාලේ ෆිට්නස් ට්‍රැකර් එකේ ඇප් එකේම මේ පහසුකම තියෙනවා. අන්න ඒකත් පොඩ්ඩක් බැලුවට කමක් නෑ. මොකද එක ඇප් එකකින් ඔය වැඩ දෙකම වෙන එක වඩාත් කාර්‍යක්ෂමයි.

 

6. ස්ටයිල් එක කොහොමද?

Image Source – androidauthority.com

මේකත් දැවෙන ප්‍රශ්නයක් තමයි. සාමාන්‍යයෙන් ෆිට්නස් ට්‍රැකර් එකක් තමන්ගේ සම්පූර්ණ දවස පුරාම දාගෙන ඉන්න එකෙන් තමයි වැඩි ඵලයක් අත්වෙන්නේ. හැබැයි ඉතින් අර පිටකොටුවෙන් ගත්තු චීප් ඩිජිටල් ඔරලෝසුවක් වගේ පේන ෆිට්නස් ට්‍රැකර් එකක් බිස්නස් මීටින් එකකට දාගෙන යන්න පුලුවන්ද? අන්න ඒ නිසා හිතලා බලන්න තමන්ට ඕන ෆිට්නස් ට්‍රැකර් එකේ ස්ටයිල් එක. දැන් කාලේ එක්කෝ අර හයි ටෙක් බෑන්ඩ් එකක් විදියට පේන ෆිට්නස් ට්‍රැකර්ස් ගන්න තියෙනවා. එහෙම නැතිනම් පෙනුමෙන් සහ නිමාවෙන් හොඳ ඔරලෝසුවක් වගේ පේන ෆිට්නස් ට්‍රැකර්ස් එහෙමත් ගන්න තියෙනවා. මේ වලින් කැමති එකක් තෝරගන්න පුළුවන්.

 

7. ලංකාවේ තියෙන ෆිට්නස් ට්‍රැකර්ස් කීපයක්!

Image Source – takas.lk

අන්තිමටම අපි කියන්නේ ලංකාවේ ගන්න තියෙන ෆිට්නස් ට්‍රැකර්ස් කීපයක්. මේවල මිල ගණන් එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි නවීනත්වයත් එකිනෙකට වෙනස්. හැකියාවන් එහෙමත් එකිනෙකට වෙනස්. ආන්න ඒ නිසා මේ ආටිකල් එක උඩ ඉඳලා යටට කියවගෙන ඇවිත් ලබාගත්තු දැනුම භාවිතා කරලා මෙයින් හොඳ එකක් තෝරගන්නයි තියෙන්නේ!

 

දැන් එතකොට බජට් එක සලකලා බලන්න ඕන කාරණයක් නෙවෙයිද? අනිවාර්‍යයෙන්ම ඔව්. හැබැයි ඉතින් ඒක ගැන අපි වෙනමම කියන්න ඕන නැහැනේ. ඔය උඩින් තියන කාරණා සලකන්න කලින්ම හිතන්න ඕන තමන්ට ෆිට්නස් ට්‍රැකර් එකකට ප්‍රායෝගිකව වියදම් කරන්න පුළුවන් මුදල කීයක්ද කියලා. ඊට පස්සෙ තමයි එතනින් පහලට හැමදේම සලකා බලන්න වෙන්නේ!

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here