තමන්ගේ දරු පවුලේ සතුට වෙනුවෙන් ගෘහණියකට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් – Sri News

0
4

පොඩි දුවගේ සිනා වැලයි – පොඩි පුතුගේ කතා පෙළයි

ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ විලයි – මගේ නිවන මගේ පැල්පතයි

තමන්ගේ ආදරණීය පවුල තුළ බොහෝම සොම්නසින් ජීවත්වෙන සැමියෙකුගේ හදවතක් තමයි ඒ ගීතයෙන් විවර වුනේ. ඇත්තෙන්ම ජීවිතයේ සතුට කියන්නේ ගොඩාක් දුර තියෙන දෙයක් නෙමෙයි. ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි ළඟම තියෙන සතුට අපිට නොපෙනෙන එක. පවුල් ඒකකයක් ගත්තාම බිරිඳ එහෙම නැත්නම් ගෘහණිය කියන්නේ පවුලේම සතුට දරාගෙන ඉන්න මහා වෘක්ෂයක් වගේ. මේ සෙවනේ තමයි නිවසේ සියළු දෙනාම වැඩෙන්නේ. ස්වාමියා, බිරිඳ, දරුවන් ජීවත් වෙන නිවසක බිරිඳ, නැත්නම් දරුවන්ගේ මව නිවසේ නොමැති වෙන කෙටි වෙලාවක් වුනත් වෙන සාමාජිකයෙක් නිවසින් බැහැර වුනාම දැනෙනවාට වඩා විශාල වෙනසක්, පාළුවක් දැනෙනවා. ඒ අපි හැමෝම මේ ආදරණීය කාන්තා චරිතේ වටා බැඳිලා ඉන්න නිසා. නිවසේ හැමෝගෙම හිත් කියවන මේ චරිතයට හැකියාව තියෙනවා හැමෝගෙම හිත් සතුටු කරන්නත්. ඉතින් මේ හොයලා බලන්න හදන්නේ තමන්ගේ දරු පවුලේ සතුට වෙනුවෙන් ගෘහණියකට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් කිහිපයක් ගැන…

 

සමහර වෙලාවට අපේ ගෘහණියන්ට සිද්ධ වෙනවා දවසේ වැඩි කාලයක් නිවසේ කුස්සියේම ගතකරන්න. ඉතින් මේ වෙන මහන්සිය එක දවසකට ටිකක් වෙනස් කරලා, හැමදාම ගෙදර ඉදෙන බත් සහ එළවළු වෙනුවට නිවසේ වැඩි දෙනෙක් ආසාවෙන් රස විඳිනවා කියලා දන්න යම් විශේෂ කෑමක් සකසා, ඒකාකාරී ආහාර රටාවට වෙනසක් එක් කරන්න අපේ ආදරණීය ගෘහණියට හැකියාව තිබෙනවා. හදිසියේම කරන මේ වගේ දෙයකින් මිල කළ නොහැකි තරමේ සතුටක් නිවසේ සියල්ලන්ටම ලබා දෙන්න ගෘහණියකට පුළුවන්.

 

පවුලේ සතුට රඳවාගන්න ආදරණීය කාන්තාවන්ට තිබෙන හැකියාව හරිම ඉහළයි. නිකමට හිතන්න ඔබ තරහා වෙලා බුම්මාගෙන වගේ හැසිරෙන වෙලාවට මුළු පවුලේම සාමාජිකයන් හැසිරෙන්නේ ඊට සමානව. සතුටින්, සහයෝගයෙන් හැසිරෙන වෙලාවට ගෙදර හැමෝම හරිම සතුටින්. ඉතින් අපේ ආදරණීය ගෘහණියට හැකියාව තියෙනවා තමන්ගේ මහත්තයාත්, දරුවනුත් දෙගොල්ලෝගෙම සතුටට කාරණාවක් වෙන දෙයකින් මේ සතුට තවත් වැඩි දියුණු කරන්න. පවුලේ හැමෝටම එකතුවෙලා බලන්න පුළුවන් චිත්‍රපටියක් නරඹන්න, හැමෝවම එකතුකරන් කරන්න පුළුවන් පොඩි සෙල්ලමක් කරන්න කට්ටියවම උනන්දු කරන්න, නිවසේ හැමෝම ආදරය කරන අමුත්තෙක්ට ආහාර වේලකට ආරාධනා කරන්න (ඔහු හෝ ඇය සමග ගතකරන කාලය නිවැසියන්ට විශාල සතුටක් වේවි), පසුගිය ජීවිතයේ සිදුවූ රසමුසු තැන් යළි සිහිපත් කරන්න, කුඩා දරුවන් සිටින නිවසක් නම් සැමියා සමග එකතු වී දරුවන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට උනන්දු කිරීම හා අගය කිරීමක් කරන්න (ගීත ගායනා කරමින් විනෝද වීම) වගේ පවුලේ සමගිය වැඩෙන පුංචි පුංචි දේවල් මගින් ගෘහණියකට පුළුවන් පවුලේ සතුට රැකගන්න කටයුතු කරන්න.

 

සමහර වෙලාවට අපේ ආදරණීය ගෘහණියෝ නිවසින් පිටවෙලා ඇවිදින්න කරන්න යන්න ඒ හැටි කැමැත්තක් නැති වෙලාවලුත් තියෙනවා. ඒ නිසාම නිවසින් ටිකක් බැහැර වෙලා ගෙදර කට්ටියටම විනෝදයෙන්, සතුටින් කාලය ගත කරන්න තියෙන අවස්ථාවන් අහිමි වී යාමක් සිදුවෙන්න පුළුවන්. ඉතින් අපේ ආදරණීය ගෘහණියට පුළුවන් සති අන්තයේදී වගේ මහත්තයාත්, දරුවනුත් සමග කෙටි ගමනක් යොදාගන්න. මුහුදු වෙරළක ඇවිදින්න යන්න, පුංචි පැටව් ඉන්න ගෙදරක් නම් ළමා උද්‍යානයකට පොඩ්ඩොන්ව රැගෙන යන්න වගේ හැමෝගෙම  සතුටට හේතු වෙන පොඩි ගමනක් සූදානම් කරගන්න. ටිකක් වෙනස් පරිසරයක සති අන්තය ගතකරන්න සැලසුම් කරගන්න හැකි නම් තවත් අගනේයි.  එසේ නොවුනත්, වැඩි දුරක නැතත් අඩුම ගණනේ නිවසින් තරමක් බැහැර ස්ථානයකට හෝ නිවසේ සාමාජිකයන් සමග ගොස්, ඒකාකාරී බවෙන් මිදී සතුටු වීමට ඉඩක් සලසාගන්න හැකි නම්, එය පවුලේ සියල්ලන්ගේම සතුටට හේතු වේවි.

 

තෑගි කියන්නේ ගැහැණු පිරිමි භේදයක් නැතුවම අපි කවුරුත් ප්‍රිය කරන දෙයක්නේ. මානසිකව පුද්ගලයෙක් සතුටින් පුරවන්න සමත්වෙන අපූරු ක්‍රමයක් තමයි ඒ පුද්ගලයා තමන්ට වටිනා කෙනෙක් බව ඇඟවීම. ඉතින් අපේ ආදරණීය මහත්වරු හරිම කැමැතියි තමන්ගේ බිරිඳට තමන්ව විශේෂ බව දැනෙන එකට. එහෙම ආදරණීය බැඳීමක්, අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති බව දෙදෙනාටම වැටහෙන එක ඇත්තටම පවුලක ශක්තිමත් පැවැත්මට හරිම වැදගත්. ඉතින් පවුලේ ඒකාකාරී ජීවන රටාවට පුංචි පුංචි අලුත් දේවල් එකතු කරලා සැබෑ නැවුම් වෙනසක් ඇති කරන්න අපේ ආදරණීය ගෘහණියට හැකියාව තියෙනවා. බිරිඳගේ අතින්ම හදපු පුංචි තිළිණයක් මහත්තයාට තෑගි කරන්න විශේෂ හේතුවක් අවශ්‍යම නැහැ. තෑග්ගක කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න නිසා එකවරම ලැබෙන මේ තිළිණ මානසිකව ඔහුගේ සතුටට විශාල හේතුවක් වේවි. ඔහු ඒ තුළින් ලබන සතුට පෙරළා ඔබටත් විශාල මානසික සුවයක් වේවි. මවුපියන්ගේ මේ සතුට නිවසේ දරුවන්ගේද සතුටට සොඳුරු මග පෙන්වීමක් වේවි. ඉතින් බලන්න පුංචි දෙයකින් වුනත් මොනතරම් සතුටක් නිවසේ හැමෝගෙම ජීවිත වලට අරගෙන එන්න ගෘහණියකට මොනතරම් හැකියාවක් තියෙනවාද කියලා.

 

එදිනෙදා ජීවිතය ඔහේ සුපුරුදු විදිහටම ගෙවිලා යන එක ඇත්තටම හරිම ඒකාකාරීයි නේද? නිවසක මේ ඒකාකාරී බව නැති කරන්න බිරිඳට නැත්නම් මවට තමයි විශාලම හැකියාවක් තියෙන්නේ. ඇත්තටම ප්‍රීතිමත් බිරිඳක්, මවක් සිටින නිවසක වටපිටාව හරිම නැවුම්. අපේ ආදරණීය ගෘහණියන්ට පුළුවන් මේ නැවුම්බව ඇති කරන තවත් එක් ක්‍රමයක් විදිහට නිවසේ සාමාජිකයන්ගේ පුංචි පුංචි ජයග්‍රහණ, විශේෂ අවස්ථාවන් පොඩියට සමරලා ඔවුන්ව තවත් සතුටට පත්කරන්න, දිරිමත් කරන්න වගේම අගය කරන්න. බිරිඳ, මව විසින් සිදුකරන මේ අගය කිරීම, බලාපොරොත්තු නොවන තරමේ නැවුම් වෙනසක් පවුල තුළට එක් කරාවි.

උදාහරණ ලෙස බැලුවොත් සැමියාගේ වැටුප් දිනයට ඔහු කැමැතිම විශේෂ කෑමක් සූදානම් කර තිබීමෙන් කෑම මේසය දකින විටම ඔහුගේ හිත සතුටින් පිරෙනවා. ඔහුගේ වෙහෙස මහන්සිය බිරිඳ අගයන බව ඔහුට වැටහෙනවා. ඔහුගේ හදවතේ ඇතිකරන මේ නැවුම් බව දෙදෙනාගේ බැඳීම තව තවත් ශක්තිමත් කිරීමට මග කියන්නක් වෙන්නේ නොදැනීමයි.  විවාහ සංවත්සර, දෙදෙනාගේ මුල්ම හමුවූ දිනය ආදී විශේෂ දින සැමරීම වගේම, වැඩි අවධානයක් යොමු නොවුන අවස්ථාවන් පවා සමරන්න හේතුවක් කරගෙන බිරිඳට පුළුවන් ඒ අවස්ථාවන් විශේෂ කරගන්න.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here