ඩිජිටල් ලෝකෙන් මිදිලා තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගනිමුද? – Sri News

0
4


අද වෙනකොට අපේ ජීවිත වල සෑහෙන්න දේවල් ඩිජිටල්කරණය වෙලා කියන එක බොරුවක් නෙවෙයිනේ. සමහර වෙලාවට අපි වැඩකටයුතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඩිජිටල් ලෝකෙක හිරවෙලාද ඉන්නේ කියලත් හිතෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි දවසකට කොයි තරම් කාලයක් ෆේස්බුක් එකේ හරි, ඉන්ස්ටග්‍රෑම් එකේ හරි, ටික්ටොක් එකේ හරි අපි කොයිතරම් කාලයක් ගත කරනවද? හැබැයි ඒ කාලය කොයි තරම් දුරට ඵලදායී දෙයකටද යෙදවෙන්නේ? එහෙම නැතිනම් අපි නිකම්ම සොම්බිලා වගේ සෝෂල් මීඩියා වල සැරිසරනවා නෙවෙයිද? අපි ඒ ගැන ඇත්තටම හිතලා බලන්න ඕන.

 

ඒ ඇරෙන්න අපි දැන් කාලේ රැකියා වල යෙදීම එහෙම ගත්තත්, සමාජ සම්බන්ධතා පැවැත්වීම ගත්තත් සෑහෙන්න දුරට ඩිජිටල් ලෝකය තුළ තමයි හැසිරෙන්නේ. හැබැයි අපිට ඒක වුණත් ඇතිවෙන්නේ නැද්ද? එක මොහොතකදී මේ ඩිජිටල් ලෝකෙන් මිදිලා ගිහින් ඇත්ත ලෝකේ ඉඳන් ඇත්ත හුස්මක් ගන්න ඕන කියලා හිතෙන එකක් නැද්ද? එහෙම කවදාක හරි හිතිලා තියෙනවා නම්, ආන්න ඒ වෙනුවෙන් තමයි මේ උදවුවක් දෙන්න හදන්නේ.

 

1. නෝටිෆිකේෂන් අඩු කරන්න

සාමාන්‍යයෙන් අපිට ස්මාට්ෆෝන් එකකින් දවසකට නෝටිෆිකේෂන් කීයක් එනවද? ඒක හිතාගන්නත් බැරි තරම් ප්‍රමාණයක් නේ? සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලින් බර ගාණක්. ඊමේල්ස් එහෙම එනකොට ඒත් සෑහෙන්න. ඔය නිව්ස් ඇලර්ට්ස් වලින් එහෙමත් සෑහෙන්න. ඒ ඇරෙන්න ඉතින් නෝටිෆිකේෂන් මියුට් කරල නැති ඇප්ස් වලින්, මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර් අනං මනං තුන් ලෝකේ තියෙන හැම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන්ම නෝටිෆිකේෂන් එනවා. හරි, ඒක වළක්වන්න බෑ. විශේෂයෙන්ම ගෙදර ඉඳන් ගොඩක් දෙනා වැඩ කරන මේ කාලේ ප්‍රධාන කොන්දේසියක් වෙන්නේ සම්පූර්ණයෙන්ම කනෙක්ට් වීම. ඒ කියන්නේ මොකක් හරි ඩිජිටල් ආකාරයකින් අපි වෙත ලඟා වෙන්න අනික් අයට පුළුවන් වෙන්න ඕන. ආන්න ඒක වැඩ කරන වෙලාවේ එහෙම තියෙන එක හොඳයි.

 

හැබැයි දැන් අපි දවසේ වැඩ අවසන් කළාට පස්සෙත් ඔය තරම් නෝටිෆිකේෂන් කන්දරාවක් අවශ්‍යයිද? නෑ. ආන්න ඒ නිසා, තමන්ගේ ස්මාට්ෆෝන් එකේ ප්‍රොෆයිල් අඩුම තරමින් දෙකක් හෝ හදාගන්න. පළවෙනි එක දවසේ වැඩ කරන වෙලාවට. ඒ වෙලාවට අපිට අවශ්‍ය සහ අදාළ නෝටිෆිකේෂන් ඔක්කොම එනවා. හැබැයි වැඩ ඉවර වුණහම අනික් ප්‍රොෆයිල් එක ඇක්ටිවේට් කරගන්නවා. ආන්න ඒකට නෝටිෆිකේෂන් එන්නෙ නැති තරම්. ආන්න එහෙම තියෙනකොට දැනෙයි ඇත්තටම නිදහස කියන්නේ මොකද්ද කියලා.

 

2. ස්මාට්ෆෝන් ආචාර විධි

ස්මාට්ෆෝන් ආචාර විධි වල තියෙනවා, තමන් කෑම කන්න කෑම මේසෙට ගියහම ස්මාට්ෆෝන් එක එතනට අරගෙන යන්නෙ නැහැ කියලා. ඒක ඉතාම හොඳ කාරණාවක්. අන්න ඒ නිසා අපි කියනවා, තමන් ස්මාට්ෆෝන් එක යන යන තැන අරගෙන යන්න අවශ්‍ය නැහැයි කියලා. කෑම මේසෙට අරගෙන යන්න අවශ්‍ය නෑ. තමන් ලව් කරන කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඩේට් අවුට් එකකට යනකොට ස්මාට්ෆෝන් එක සයිලන්ට් කරගන්න. ලෙක්චර් එකක ඉන්නකොට ස්මාට්ෆෝන් එක අල්ලන්නෙවත් නැතුව, ඒ දිහා බලන්නෙවත් නැතුව ඉන්න පුළුවන් හැකියාව ඇති කරගන්න.

 

දැන් කාලේ අපි ස්මාට්ෆෝන් එකට කොයි තරම් ඇබ්බැහි වෙලාද කිව්වොත්, අපිට ඒක පැයක් සයිලන්ට් කරලා තියන්න බයයි අත්‍යාවශ්‍ය මෙසේජ් එකක්, කෝල් එකක් මිස් වෙයි කියලා. ඒකට සිස්ටම් එකක් හදාගන්න. කෙනෙක්ට අතිශය හදිසි අවශ්‍යතාවයකට අපිව සම්බන්ධ කරගන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න පුළුවන් “හදිසියක්” කියලා. එතකොට අපිට කෑම කාලා මේසෙන් නැගිට්ටට පස්සේ අවශ්‍ය අංක වලට කෝල් බැක් කරන්න පුළුවන්. මෙන්න මේ විදියට පොඩ්ඩක් ස්මාට්ෆෝන් එකෙන් වෙන් වෙලා, හැබැයි ඒක ගැන හිත හිතා ඉන්නෙ නැතුව ඉන්න පුළුවන් හැකියාව හදාගන්න පුළුවන් නම් මරු.

 

3. ඔන්ලයින් ටු ඩූ ලිස්ට්

අපි මොකක් හරි දෙයක් හොයන්න ඔන්ලයින් ගියා කියන්න. ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි අපිට හොයන්න ගියේ මොකද්ද කියලා දන්නෙම නැතුව අමතක වෙන එක. ඒ වෙනුවට අපි ෆේස්බුක් එකට යනවා, වෙන වෙන අනං මනං ආතල් එව්වා හොයන්න යනවා. එක ආතල් සීන් එකකින් තව ආතල් සීන් එකකට යනවා. අන්තිමට දන්නෙම නැතුව හොයන්න ගියපු එක තියෙද්දී ඔහේ ඉන්ටර්නෙට් එකට වෙලා අපි කාලෙ කාලා.

 

ඒක වළක්වා ගන්න කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඉන්ටර්නෙට් එකේ අපිට හොයාගන්න ඕන මොනවද කියලා ටු ඩූ ලිස්ට් එකක් හදාගන්න එක. නිකම් සටහන් පොතේ ලියාගන්න අපිට සර්ච් කරල කරුණු හොයාගන්න ඕන මොනවා සම්බන්ධයෙන්ද කියලා. ආන්න දැන් ඒ ලිස්ට් එකේ තියෙන කරුණු විතරක් සර්ච් කරමින් හොයන්න. එක කරුණක් හොයනකොට ඊට සම්බන්ධ තව කරුණකට, ඒකට සම්බන්ධ තව කරුණකට යනකොට හිතලා බලන්න මේ කරුණු ගැන හොයන එක අදාළද කියලා. අදාළ නැතිනම් කෙලින්ම ආයෙමත් ලිස්ට් එකට යන්න.

 

4. වාරණ සීමා

මේ ගැන නම් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වාරණ සීමා කියන්නේ සමස්තයක් විදියට අපි අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය වලට හෝ සම්බන්ධ වෙලා ඉන්න කාලවේලාව සීමා කිරීම ගැන. මේකට ඉතින් තමන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් වෙන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි අධිෂ්ඨාන කරගන්නවා පැය බාගයක් එක දිගට මේ වැඩේ කරලා බ්‍රේක් එකක් ගන්නකල් ෆේස්බුක් එක පැත්ත පළාතේ යන්නෙ නෑ කියලා. ඒ ඇරෙන්න යම් යම් උපක්‍රම පාවිච්චි කරන්නත් ඕන. ඒකට උදාහරණයක් කිවුවොත්, අපිට පුළුවන් ෆේස්බුක් ඇප් එකෙන් ලොග් අවුට් වෙන්න. ඒක ඕන නම් අන්ඉන්ස්ටෝල් කරලම දාන්න. එතකොට අපිට ෆේස්බුක් යන්න අවශ්‍ය වුණත්, බ්‍රවුසරේට ගිහින් ලොග් වෙලා තමයි යන්න වෙන්නේ. ආන්න ඒ වගේ ඩිජිටල් ලෝකයත් එක්ක දවසක් ඇතුළේ කරන ගනුදෙනු සීමා කරන්න තමන්ටම වාරණයන් කීපයක් පනවා ගන්න එකත් වටිනවා.

 

5. ඇත්ත ලෝකේ විනෝදාංශ

ඇත්තටම දැන් කාලේ ගොඩක් දෙනෙක්ට සැබෑ ලෝකේ විනෝදාංශ අඩුයි. සමහරුන්ට නම් විනෝදාංශ නැති තරම්. අන්න ඒ නිසා, ඩිජිටල් ලෝකෙන් බ්‍රේක් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඩිජිටල් ලෝකෙන් එහාට ගියපු විනෝදාංශයක් දෙකක් ඇතිකරගන්න. කෑම්පින්ග්, හයිකින්ග් වගේ විනෝදාංශ මරු. ඒ වලට ඩිජිටල් ලෝකේ අවශ්‍යම නැහැ. එතකොට මුද්දර, කාසි අනං මනං එකතු කරන එක එහෙමත් හොඳ විනෝදාංශ. හැබැයි සමහර තව විනෝදාංශ වලට අන්තර්ජාලය එහෙම අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට රෙසින් වලින් ආභරණ එහෙම හදන එක ගොඩක් වෙලාවට ඔය යූටියුබ් එකේ එහෙම වීඩියෝ වලින් තමයි ඉගෙන ගන්න වෙන්නේ. ගැටළුවක් නෑ. යන්න උඩ කියපු තුන්වෙනි කාරණාවට. දැන් ඒ හරහා වැඩේ ඉගෙනගෙන, ඊට පස්සේ එන්න ක්‍රාෆ්ටින් වලට.

 

6. විකල්පයන් භාවිතා කරන්න

මේ විකල්පයන් භාවිතා කරන්න කියන්නේ හරිම සරල කාරණාවකට. හැබැයි ඉතින් මේකට ගොඩක් දුරට මුදල් ආයෝජනයක් කරන්න වෙනවා. දැන් අපි ස්මාට්ෆෝන් එක ගත්තොත්, ඒක භාවිතා කරන්නේ කෝල්ස් ගන්න, මැසේජ් ගහන්න විතරක් නෙවෙයි. වෙලාව බලන එකේ ඉඳලා පීඩීඑෆ් කියවන එක දක්වා වැඩ අපි ඒකෙන් ගන්නවා. ඇත්තටම ස්මාට්ෆෝන් එකක් නිර්මාණය කරලා තියෙන්නෙම බහුකාර්ය උපාංගයක් විදියට. ආන්න ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න අපි උත්සාහයක් ගමුද? උදාහරණයක් විදියට, අපි අත්ඔරලෝසුවක් බඳින්න හුරු වෙමු. එතකොට අපිට වෙලාව බලන්න ෆෝන් එක එළියට ගන්න ඕන වෙන්නෙ නෑ. ඒ වගේම පොත් කියවන්න කරන්න ෆෝන් එක කරදරකාරී විකල්පයක් විතරයි. ඒ වෙනුවට ඊ-රීඩර් එකකට ආයෝජනය කරන එක කිසිසේත්ම පාඩුවක් නෙවෙයි. ස්මාට්ෆෝන් එකකට හෝ ටැබ් එකකට වඩා සාර්ථකව වැඩේ කරගන්නත් පුළුවන්. 

 

7. ශිෂ්ටාචාරයෙන් ඈත් වුණු දවස් කීපයක්

ඇත්තටම අපිට ශිෂ්ටාචාරයෙන් දුරස් වෙලා දවස් කීපයක් ඉන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න අපි යනවා කඳුකරයේ කෑම්පින් ට්‍රිප් එකක්. අපි යනකොට තීරණය කරනවා ශිෂ්ටාචාරයෙන් ඈත් වෙනවා මොහොතකට කියලා. කොහොමද ඒක කරන්නේ? අපේ ලඟම ඉන්න සමීපතම අයට අපි කියනවා ආයෙ කෝල් ගන්න, මැසේජ් ගහන්න එපා, වැඩක් නෑ, ෆෝන් එක ඕෆ් කියලා. ඊට පස්සේ ඔෆිස් වැඩ එහෙම ඔක්කොම ඉවර කරලා, ඉමර්ජන්සි එකක් වුණත් හැන්ඩ්ල් කරන්න අයව පත් කරලා, ඒ අයටත් කියනවා මේ කතන්දරේ. මෙහෙම අපි ගැන හොයාබලන්න ඕන නිසා හෝ අපිව සම්බන්ධ කරගන්න ඕන නිසා හෝ කෝල්ස් ගන්න, මැසේජ් ගහන අයව දැනුවත් කළාට පස්සේ අපිට ෆෝන්ස් ඕෆ් කරගෙන වුණත් ඉන්න පුළුවන්. දැන් තියෙන්නේ ෆෝන් වලට, ටැබ් වලට අනං මනං ඩිජිටල් ලෝකෙට සම්බන්ධ කිසිම දේකට අතක් නොතියා, නිදහසේ සොබාවදර්මේ එක්ක බැඳුණු දවස් කීපයක් ගත කරන එක. මේක කාලෙකට සැරයක් ගන්න ඉතාම හොඳ අත්දැකීමක්.

 

දැන් මේ පියවර කියවලා බැලුවට, ඇත්තටම කරන්න ගියහම මේ එකක්වත් හරියට කෙරෙන්නෙ නෑ නෑ වගේද? ආන්න එහෙමනම් අපි සෑහෙන්න දුරට ඩිජිටල් ලෝකෙට ඇබ්බැහි වෙලයි ඉන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. හැබැයි අධිෂ්ඨානයෙන් ඒ ඇබ්බැහිය කඩාගත්තොත්, ආයෙමත් ඩිජිටල් ලෝකෙට ආවත්, ඇත්ත ලෝකේ සහ ඩිජිටල් ලෝකේ කියන දෙකේම බැලන්ස් එකකින් යුතුව ජීවත් වෙන්න පුළුවන් වේවි.





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here