ජීවිත සුරකින මහා පුස්තකය – Sri News

0
13


පිරිසිදු වූ චිත්ත බලය උපයෝගී කරගනිමින් මෙලොව විවිධ සම්පත් ලබා ගන්නා බුද්ධ මන්ත්‍රයක් වශයෙන් පිරිත හැඳින්විය හැකිය. එය අද බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනා තම ජීවිතයේ විවිධ ගැටලු නිරාකරණය කර ගන්නා ශාන්ති කර්මයක් වශයෙන් භාවිතා කරති.

පිරිත යන්නෙහි දැක්වෙන අදහස ඉතා වැදගත්ය.

“පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං”

යනුවෙන් හාත්පසින් ම ආරක්ෂාව සලසා දෙන හෙයින් පරිත්ත හෙවත් පිරිත යනුවෙන් ව්‍යවහාර කරන බව එහි දැක්වෙයි.බාහිරව සිදුකෙරෙන සියලු උවදුරු වලින් ආරක්ෂා කරන හෙයින් ද පිරිත යැයි හඳුන්වන බව අටුවාව තවදුරටත් පෙන්වා දෙයි.

එහෙත් කර්ම විපාකයක් අනුව යම් විපතක් වූ විට පිහිට වීමට අපහසු බව

“කම්ම විපාක ජානං පණ සබ්භේසජ්ජානිපි සබ්බපරිත්තා නිපි නාලං පටිඝාතාය ”

යන අටුවා පාඨයෙන් පෙන්වා දෙයි. එහි කම්ම විපාක වශයෙන් බලගතු ගරුක කර්ම සලකන්නට ඇතැයි සිතිය හැකිය. සාමාන්‍ය අකුසල කර්මවල බලපෑම පිරිතේ බලයෙන් හීන කර ගත හැකි බව දීඝායු කුමාර කතාවෙන් පැහැදිලි වෙයි.

ත්‍රිපිටකයත් මහානුභාව සම්පන්න සූත්‍ර සමූහයක් එක් තැන් කොට පිරිත් පොත සකසා ඇත. එය බණවර හතරකින් යුක්ත බව ප්‍රසිද්ධ කරුණකි. බණවර යනු කවරේදැයි ධර්ම ග්‍රන්ථ මගින් පැහැදිලි කොට දී ඇත. පූර්වාචාර්යවරුන් ගේ මතය අනුව අකුරු අටකින් යුක්ත ව සෑදෙන්නේ පදයකි. එවැනි සතර පදයක් ග්‍රන්ථයක් හෙවත් ගාථාවක් සේ ගැනුණි. ගැනුනි එබඳු ගාථා 250 ක් එකතු වූ විට එක් බණවර යක් සේ සැලකූහ. මෙහි සඳහන් කළ ක්‍රමය අනුව එක් බණවරයකට සාමාන්‍යයෙන් අකුරු අටදහසක් පමණ ඇතුළත් වෙයි.

පිරිත් පොතෙහි ආරම්භයේ ඇති දස ධම්ම සූත්‍රයෙන් පටන්ගෙන ධජග්ග සූත්‍රයෙන් අවසන් කෙරෙන ප්‍රථම බණවරට සූත්‍රය 11 ක් ඇතුළත් වෙයි. මහා කස්සපතෙර බොජ්ජංග කස්සප ථෙර බොජ්ඣංග සූත්‍රයෙන් පටන්ගෙන ඉසිගිලි සූත්‍රය න් අවසන් වන දෙවන බණවරට සූත්‍ර පහක් ඇතුළත් වෙයි.

තුන්වන බණවරට දේවභාෂිතආටානාටිය සූත්‍රය සිව්වන වරට බුද්ධ භාෂිත ආටානාටිය සූත්‍රය අයත් වෙයි. එහෙත් පිරුවාණා පොත් එහි අන්තර්ගත ධම්මචක්ක මහා සමය පරාභව ආලවක අග්ගික භාරද්වාජ කසීභාරද්වාජ සච්චවිභංග යන සූත්‍ර දේව ප්‍රසාදය සහ ශ්‍රාවක ක්‍රියාකාරීත්වය තුළින් අභිවෘද්ධි ළඟාකර ගන්නා විශේෂ ශක්තියක් ඇති දේශන සමූහයකි .එය විශේෂ බණ වරක් සේ සැලකීම වරදක් නොවේ. මේ අනුව පිරිත් පොත තුළ ඇති සූත්‍ර සංඛ්‍යාව 25 කි.

ත්‍රිපිටකය තුළ පැවැති මහානුභාව සම්පන්න සූත්‍රය එකතු කොට පිළියෙල කොට ඇති පිරිත් පොතට බෞද්ධ ජනතාව දක්වනුයේ අසීමිත ගෞරවයකි. වහන්සේ යන ගෞරවාචී පදය එකතු කොට පිරුවානා පොත් වහන්සේ යනුවෙන් ව්‍යවහාර කිරීමෙන් ඒ බව ප්‍රකට වෙයි. ජාතක පොතට ද ජාතක පොත් වහන්සේ යනුවෙන් යොදා තිබීමෙන් ද පැහැදිලි වන්නේ ගුණාත්මක සමාජයක් බිහිකිරීම සඳහා එම ග්‍රන්ථය ද මහත් සේ බලපා ඇති බවයි. ප්‍රාග් බෞද්ධ යුගයේ ජීවත් වූ අය තමන්ට එල්ල වූ රෝග ආදී විවිධ උපද්‍රවයන් කෙරෙහි උපද්‍රවයන්ට පුදුම එළවන ගුප්ත බලයක් ඇතැයි සිතූහ .

ඒවායින් මිදීමට විවිධ යාගහෝම සහ බලි බිලි පැවැත්වීමට ද පුරුදුව සිටියහ. එවැනි අමනෝඥ ක්‍රියා වලින් ජනතාව මුදාගැනීමට බුදුහු …
ඥාති බලි
අතිති බලි
රාජ බලි
දේවතා බලි සහ
පුබ්බපේත බලි යන පංච බලි ඉදිරිපත් කළහ.

සෑම සූත්‍රයකින් ම විවිධාකාර ශාන්තියක් අභිවෘද්ධියක් ළඟා කිරීමේ ශක්තියක් පවතී.

මහත් ආනුභාව සම්පන්න තත්ත්වයන් ඇතැයි සලකා මංගල රතන හා කරණීය යන සූත්‍ර බෙහෙවින් භාවිතා කරති. රතන හා ධජග්ග සූත්‍ර මහත් ආනුභාව ඇති එහෙත් සුමංගල විලාසනි අටුවාව අනුව පෙනී යන්නේ මෙත්ත, රතන හා ධජග්ග සූත්‍ර මහත් ආනුභාව ඇති දේශනා වශයෙන් සැලකූ බවයි.

බුද්ධ කාලයේ සිට ඉෂ්ටාර්ථ සිද්ධිය බෙහෙවින් සලසන දේශනාවක් වශයෙන් රතන සූත්‍රය පිළිගෙන තිබුණි. එහි බුද්ධ රත්නයේ ගුණ ප්‍රකාශ ගාථා තුනක්ද ධර්ම රත්නයේ ගුණ ප්‍රකාශ ගාථා දෙකක්ද සංඝරත්නයේ ගුණ පැවසෙන ගාථා හතක්ද දැක්වෙයි. ඒ සියල්ලෙන්ම තිස් පස් ආකාරයකින් තෙරුවන් ගුණ පෙන්නා දී ඒතේන සච්චේන සුවත්ථි හෝතු යනුවෙන් මේ සත්‍ය කරණ කොටගෙන සියලු සත්ත්වයින්ට සැපතක් වේවායි ආශීර්වාද කරයි.

මේ රතන සූත්‍රය හැර ත්‍රිපිටකයේ කිසිදු සූත්‍රයක මෙවැනි ගාථාවක් පාසා කෙරෙන ප්‍රාර්ථනයක් දක්නට නොලැබේ. ආනන්ද හිමියන් විසින් විශාලා මහනුවර දින හතක් නොකඩවා මෙය දේශනා කිරීමෙන් සියලු රෝග දුර්භික්ෂ හා අමනුෂ්‍ය බිය පහ වීමෙන් පැහැදිලි වන්නේ එම සූත්‍රය තුළ ඇති විශ්මිත බලය යි.

තවත් සූත්‍රයක් වශයෙන් දජග්ග සූත්‍රය හැඳින්විය හැකිය. ඈත කාලයේ සිට මහත් ආනුභාව සේ සැලකූ දෙවිවරුන්ගෙන් නියම ආරක්ෂාව සලසා දීම අපහසු බව පෙන්වා දී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ත්‍රිවිද රත්නය විද්‍යාමාන වන අප්‍රමාණ ගුණයන් හේතුකොට සියලු උපද්‍රවයන් පහකොට සැපත සලසා ගත හැකි බව මේ සූත්‍රය හරහා පෙන්වා දෙයි.

දසධම්ම මංගල මිත්තානිසංස පරාභව අග්ගිභාරද්වාජ කසීභාරද්වාජ ආදි සූත්‍ර ධර්මයන්හි ඇතුළත් කරුණු තම තමන් විසින් ක්‍රියාත්මක කිරීමෙන් ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විය හැකිය.

එසේම සර්ප ආදී විෂ කුරු සතුන්ගෙන් ආරක්ෂා වීමට ඛන්ධ පරිත්ත යත් මෙලොව උසස් ප්‍රතිඵල දහයක් ලබාදීමටත් උසස් තැනක උත්පත්තිය ලබා ගැනීමටත් මෙත්තානිසංස සූත්‍රය මග පෙන්වයි.
සිව් ඉරියව්වේ දී ම ආරක්ෂාව ලබා ගැනීමට මෝර පරිත්ත භාවිත කිරීම හේතුවෙයි. චන්ද හා සූරිය සූත්‍ර මගින් දෙවි දේවතාවුන් කිපීමෙන් ඇතිවන උපද්‍රව වළකාලයි.

බාහිර පරිසරයේ පවතින විෂ බීජ ආදියෙන් එල්ල වන විවිධ තර්ජනයන් වළක්වා ආරක්ෂාව හා සැපත සලසා දීමේ පුදුම ශක්තියක් බොජ්ජංග සූත්‍රය භාවිතාව තුළින් ලබා ගත හැකි වේ. ඒ බව මහා කාශ්‍යප හා මොග්ගල්ලාන ගිරිමානන්ද යන රහත් හිමිවරු පමණක් නොව බුදුරජාණන්වහන්සේ පවා රෝගී වූ කල්හි බොජ්ඣංග ධර්මයන් දේශනා කරවාගෙන සුවය ලැබීමෙන් පැහැදිලි වෙයි. බුදුරජුන් ගේ ආශිර්වාදය ලැබීම සඳහා ඉසිගිලි සූත්‍රය ද භාවිතාවට හේතුවේ.

බුදුරජුන්ගෙත්, උන්වහන්සේ අවබෝධ අවබෝධකොට ගත් ධර්මය විශිෂ්ටත්වය ප්‍රකට කොට ආශිර්වාද ලබා දෙන දම්සක් පැවතුම් සූත්‍රය හැරුණු විට මහා සමය සූත්‍රය ජනතාවට ප්‍රබල ලෙස දේවාශිර්වාදය ලබා දෙයි .ආටා නාටිය හා ආලවක සූත්‍රය යක්ෂ ආදී සියලු අමනුෂ්‍ය උපද්‍රව පහ කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ වශයෙන් බලය පෙන්නුම් කරයි. බණවර වලට ඇතුලත් නොවූ විවිධ උපද්‍රවයන් පහකොට ශාන්තිය උදාකරන බොහෝ දෙනා විසින් ප්‍රබල ශක්තියක් ඇති බව විශ්වාස කරන වැසි ,ජය ,ගිනි ,අටවිසි ,අංගුලිමාල අභිසම්භිදාන, ආදී පිරිත් සූත්‍රයන් රාශියක් ම පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් ව පවතී.

බුද්ධ දේශිත අන් ධර්මයන් ට වඩා කෙනෙකු මෙලොව එළිය දැකීමටත් පෙර ජීවිතයට සම්බන්ධ වන පිරිත, හුස්ම හෙළීමෙන් ද අවසන් නොවී….දේහයක් ගිනි දල්වාලූ බවට පත්වීමේ අවස්ථාව දක්වා බලපාන බව විමසිලිමත්ව බලන විට පැහැදිලි වෙයි. ඒ අනුව මව් කුසේ සිටියදී ශාන්තිය සඳහා අංගුලිමාල පිරිත ප්‍රමුඛ පිරිත් සූත්‍ර දේශනා කරවා ගැනීම බහුල සිදුවීමකි. එයින් නොනැවතී ඉඳුල් කටගෑම අකුරු කියවීම යුග දිවිය ආරම්භ කිරීම වැනි මංගල අවස්ථාවන්හිදී අපල උපද්‍රවවලට දුක් බාධක ඇති වූ විටදී ද වාසය සඳහා අවශ්‍ය ගෙයක් සෑදීමට මුල් ගල තබන විට මෙන්ම ගෙවදීම වැනි අවස්ථාවලදී ද පිරිතෙන් ආරක්ෂාව ලබා ගැනීමට බොහෝ අය පුරුදුවී සිටිති. ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම භික්ෂූන් වහන්සේ විසින් දේශිත පිරිත් පිහිට ලබාගන්නා පිරිත කෙළවර වන්නේ සොහොනෙහි තබා ඉතිරි වූ ඇටකටු ටික ද පිරිත් පැන් ඉසීමෙනි.

යම්කිසි රටක යම් කිසි ජාතියක් ආරම්භ කෙරෙන ප්‍රසිද්ධ අවස්ථාවක ඔවුන් සතු වූ ආගමේ ආශිර්වාදය ලබා ගැනීමක් පිළිබඳව මුළු ලෝක ඉතිහාසයම සඳහන් වන්නේ එක් අවස්ථාවක පමණි. එනම් බුද්ධ පරිනිර්වාණයත් සමඟ හෙවත් ක්‍රිස්තු පූර්ව 543 දී අප අයත් ආර්ය ජාතියේ ආරම්භක පාලකයා වූ විජය කුමාරයා ඇතුළු පිරිසට මනුෂ්‍ය වේශයෙන් පැමිණි උපුල්වන් දෙවියන් විසින් පිරිත් පැන් පිරිත් නූල් ගැට ගසා ආරක්ෂාව ලබා දීම පිළිබඳව වංශ කතාවෙන් එළිකරන පුවතයි . මේ රටේ ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් සිදුවීමට තිබූ සියලූ උවදුරු එතුලින් පහකොට පාලන බලය අල්ලා ගැනීමටත් එතැන් පටන් ශ්‍රී ලංකාව අභිවෘද්ධිය කරා මෙහෙයවීමටත් විජය කුමාරයාට හැකි විය.

මහින්දාගමනයෙන් වැඩි කලක් ගතවීමට පෙර ශ්‍රී ලංකාවේ පිරිත් දේශනය ශීඝ්‍රයෙන් පැතිරෙන්නට වූ බව සාධක රාශියකින් දක්නට ලැබුණි. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයෙිණි දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයෙහි ධාතු නිධානෝත්සවය අවස්ථාවෙන් පිරිත් කිය වූ බව වංශ කතා වල පැහැදිලිව සඳහන් කරයි. උපතිස්ස රජතුමා මේ රටේ පැවැති බලගතු දුර්භික්ෂ පහ කර ගන්නා ලද්දේ දැඩි භක්තියකින් රතන සූත්‍රය දේශනා කරවා ගැනීමෙනි. පොළොන්නරු යුගය වන විට පිරිත් දේශනා කිරීම බහුල ලෙස පැතිරුණි. පළමුවන පරාක්‍රමබාහු රජතුමා පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදීමට විශේෂ ශාලා කිහිපයක්ම කරවූ බව වංශ කතා වල පෙන්වාදෙයි. සුවිශේෂ කලා නිර්මාණයක් වූ ලතා මණ්ඩපය නිශ්ශංකමල්ල රජතුමා විසින් ඉදිකරන ලද්දේ පිරිත් පැන් බෙදා දීම උදෙසා බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි .

පිරිත් මණ්ඩපයක් තුළ සිදුකරන උපචාර පූජා ක්‍රම ද බෙහෙවින් අර්ථවත් බවක් පෙන්නුම් කරයි. මණ්ඩපයේ එල්ලන බුලත් කැනිති වල ගුණ දහතුනක් ඇතැයි පැරණි ග්‍රන්ථ පෙන්වා දෙයි. වාතයෙන් ,සෙමෙන් සහ පණුවන්ගෙන් හටගන්නා විවිධ රෝග නස්සලීමේ විශේෂ ශක්තියක් ඒ තුළ පවතී .බුලත් මෙන්ම නාදළු පුවක් මල් ආදියෙහි වාතය පිරිසිදු කිරීමේත්, වෙන් වූ දේ එක් කිරීමේත්, ජීව ගුණයක් පවතින බව වෛද්‍ය ශාස්ත්‍රය පවා පෙන්වා දී ඇත. මණ්ඩපය දෙපස තබන පොල් මල් යෙදූ පුන්කලස් වලින් සශ්‍රීකත්වය සංකේතවත් කරයි. අඳුර පහකරමින් ආලෝකවත් කරන පහනින් අපිරිසිදු වාතය දවා පරිසරය ශුද්ධ පවිත්‍රයට හා ප්‍රාණවත් භාවයට පත් කරයි.

මණ්ඩපයක් තුළ ඉන්ද්‍රකීලය නම් කණුවක් සවි කිරීමත් එයට සම්බන්ධ කොට යුගාසන පැනවීමත් පැරණි චාරිත්‍රයකි .ඉන්ද්‍ර යනු දෙවියන් අතර ප්‍රධාන වූ සත්වයා හඳුන්වන නමයි .ඒ සමඟ ඉන්ද්‍ර යන්නට ප්‍රධාන අර්ථය ද ගෙන දෙයි. සූරිය වැනි පළ කළ හැකි ඇද නැති දණ්ඩක් ඉන්ද්‍රකීලය සඳහා ගැනීම සිරිතයි .එම ලීයෙහි වටා පතක් සේ සාදා ගත් සුදු කපු වස්ත්‍රයක් බැඳ එතීම සම්ප්‍රදායයි. සධාතුක කරඬුවක් පිරුවානා පොත් වහන්සේත් පිරිත් පැන් කලයත් සම්බන්ධකොට මණ්ඩපය වටා ඇදගන්නා නූල ඉන්ද්‍ර කීලයෙහි ගැටගසා එයට සම්බන්ධ කොට ගත් තවත් නූලක් මණ්ඩපයෙන් බැහැර සිටින දායක පක්ෂයට ලබා දීම අතීතයේ සිට පැවත එන සිරිතක්.

පිරිත් දේශනයකින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි එනම් ….

දේශක හා ශ්‍රාවක පක්ෂයේ පිරිසුදු භාවයත්

සැදැහැවත් බවත්

මනාව දේශනා කිරීමත් ය .

පිරිත් දේශනා කරන අය මෙන්ම ශ්‍රවණය කරන අය ගතින් වතින් මෙන්ම සිතින් ද පිරිසිදු වී සිටීම අත්‍යවශ්‍යය. පස්පව් දස අකුසල්වලින් තුරන් විය යුතුය. ඇත කාලයෙහි තම ගේ දොර පමණක් නොව අවට පරිසරය ද මැනවින් පිරිසිදු කොට ගැනීම පමණක් නොව විවිධ කිලි වලින් ආරක්ෂා වීමත්, මත්වතුර හා දුම්වැටිවලින් සම්පුර්ණයෙන් තුරන් වීමත් වඩා වැදගත් බව පැහැදිලි වෙයි .

තුනුරුවන් කෙරෙහි ප්‍රසාදයක් විශේෂයෙන් පිරිත කෙරෙහි විශ්වාසත් එයින් ගුණ ලැබීම සඳහා අත්‍යවශ්‍ය විය. සූත්‍රයෙහි දැක්වෙන අල්පප්‍රාන මහප්‍රාණ සංවෘත විවෘත අකුරු
මනාව උච්චාරණය කිරීම දේශකයන්ට භාරවූ කාර්යයෙකි. එසේම විශාලා මහනුවර තුන් බිය නැති කිරීම සඳහා ආනන්ද හිමියන් කාරුණිකව රතන සූත්‍රය දේශනා කරන ලද සේ ජනතාව කෙරෙහි කරුණාවෙන් පිරිත් දේශනා කරන මෙන් බුදුහු භික්ෂූන් වහන්සේට නියම කළහ.

මෙසේ අංග සම්පූර්ණව පවත්වන පිරිත් දේශනාවක් තුළින් පෙර කරන ලද කර්මයන්ගෙන් විපාක පවා හීන කිරීමටත්, ග්‍රහ දෝෂ මෙන්ම ඇස් වහ කට වහ දෝෂ දුරු කිරීමටත්, සියලු හිරිහැර බාධක නැතිකොට සැපත හා අභිවෘද්ධිය සැලසීමටත් ,හැකි වෙයි.

උසස් ප්‍රතිඵල ලබාදෙන පිරිතෙහි ඇති අගය එයට සම්බන්ධ උපචාර හා දේශනා විධි පිළිවෙළෙහි පෞරාණික සම්ප්‍රදායන් ගැඹුරින් අවබෝධ කොට ගෙන පිරිත් ඇතුළු විවිධ විචිත්‍ර දේශනා සැදැහැ බැතියෙන් පැවැත්වීමෙන් නිරෝගී සැප චිර ජීවනය සහ ආශිර්වාදය නිරන්තරයෙන්ම උදා කර ගත හැකිය.

නිරන්තරයෙන් දහම් කරුණු ඔබ වෙත සැදැහැ සිතින් ගෙන එමු…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here