ජීවිත කාලයේදී තමන් විසින්ම ඉගෙනගන්න පාඩම් – Sri News

0
4

ඔබ දන්නවා ද? ජීවිතයේ එක කාලයකදී තමන් විසින්ම ගොඩනගා ගත් උගත් පාඩම් කොමිසමක් හරහා යාමට ඔබට සිදුවන බව? දන්නේ නැත්නම් දැන් දැනගන්න. අම්මලා, ගුරුවරු, අනික් වැඩිහිටියෝ කට කැඩෙනකන් හැදියන් කියලා කිව්වත් ඕවා ගණන් ගත්තේ එහෙමත් එකෙක් තමයි. බහුතරයක් ඒ කියපු කිසි දෙයක් ගණන් නොගෙන හොම්බෙන් ගියපු අය. ඒ විදියට හොට බිම ඇනගත්තට පස්සේ තමන් විසින්ම ජීවිත පාඩම් කීපයක් ඉගෙනගන්නවා. මේ එහෙම දේවල් ටිකක්.

 

මේක අදාළ වෙන්නේ බෝ පැල වගේ ඩයල්වල්ට විතරයි. ඒ අහිංසකයෝ හිතනවා තමන් ආශ්‍රය කරන හුදී ජනයාත් තමන් වගේම අහිංසක, අවංක, සෘජු මිනිස්සු කියලා. ඒ නිසා ඉතින් දීගෙන ඉන්නවා. අන්තිමට මේ හුදී ජනයා යන්න යන්නේ බෙල්ලට තොන්ඩුව දාලා ගැටෙත් තදවෙන්නම බැඳලා දාලයි. ඕනිම වෙලාවක අනික් අයට දෙපාරක් හිතන්නැතුව උදව් කරන්න යන මනුස්සයට තමන්ට අවශ්‍ය වුණාම බලු මැක්කෙක් නැහැ. ඒ වෙලාවට කෝ පුතේ යාළුවො කියලා අම්මා ඇහුවොත් හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ. කලාතුරකින් ඉතාම හොඳ පුද්ගලයන් මිනිස්සුන්ට මුණ ගැහෙනවා. හැබැයි එයාලත් 100%ක් ම ඔබ වගේ ආදරණීයයෙක් කියලා හිතන්න නම් යන්න එපා.

 

මිනිස්සුන්ට කෙළවෙන්නේම අනික් උන්ව විශ්වාස කරන්න ගිහිල්ලා. අද හිරේ විලංගුවේ ඉන්න බොහෝ දෙනෙක් ඇත්තටම වරදකරුවෝ නෙවෙයි. එයාලා කරපු එකම වරද මිනිස්සුන්ව ගොඩක් විශ්වාස කරන්න ගියපු එකයි. ලෝකයා ගොඩක් ආත්මාර්ථකාමීයි. අම්මා මත දිව්රලා නො කියන්නම් කියපු දේවලුත් අවස්ථාවට අනුව මේ විශ්වාසයේ මුර දේවතාවුන්ගේ කටෙන් පිට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳම යාළුවන් විදියට දකින අය තමයි සතපහකට විශ්වාස කරන්න නරක. ඕවා අවබෝධ වෙනකොට පරක්කු වැඩියි. හැබැයි ඔහොම මොකක් හරි වෙන්නම ඕනි ඒක තමන්ටම තේරෙන්න. එතකන් ඉතින් අන්ධයෙක් තමයි. ප්‍රේම සම්බන්ධවලදී පෙම්වතා පෙම්වතියට පිහියෙන් අනිනකොට ඇයට තේරෙනවා විශ්වාසය තමන්ට කොරපු හරිය. ඒත් ඒ ගැන කාට හරි කියන්නවත් හුස්ම පොදක් ඉතුරු වෙන්නේ නැහැ.

 

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු රික්තයක් තියෙන බව ඇත්ත. ඒත් ගොඩ යන්න නම් ඔය අධ්‍යාපනේ හරිම වැදගත්. මේ රටේ හැමෝම සල්ලිභාගේ තියන උදවිය නෙවෙයි. තමන් වෙනුවෙන් එහෙම වියදම් කරන්න කවුරුත් ඉන්න අය නෙවෙයි. හැම දරුවම බිස්නස් කරන තාත්තෙක්ගේ පුතෙක් නෙවෙයි. බිස්නස් එකක් පටන් ගන්න ආයෝජනයක් තියන අය නෙවෙයි. ඒත් මේ හැමෝටම භේදයක් නැතුව අධ්‍යාපනයේ නිදහස උරුමයි. ඒ කාලේ ඉගෙනගන්නේ නැතුව නන්නස්තාර වුණාම පස්සේ හූල්ලනවා ඉගෙනගත්තා නම් මෙහෙම වෙන්නේ නැති බවට. ඒ තමන් විසින් ම අවබෝධ කොරගත්තට පස්සේ. එතකොට ඉතින් රෝලක් ගහලා පෞද්ගලික අධ්‍යාපන කටයුතුවලට යොමුවෙනවා. ඔය මොන හත්තිලව්වක්වත් නෑ හරියට ඉගෙනගත්තා නම්. දැන් ට්‍රෙන්ඩ් එකක් යනවා ඉගෙනගන්න එක ම නෙවේ ජීවිතේ කියලා. ඒක අදාළ වෙන්නේ බොහොම ටික දෙනාටයි.

 

බුදුබණේත් කිව්වට වැඩක් වුණේ නැහැ කඩචෝරු කකා තප්පදෝරුවා වගේ නිදාගත්ත එක විතරයි කරේ නිසා. ටිකෙන් ටික යමක් කමක් තේරුණ වයසට ආවම තමයි ලොරි බොඩිය වගේ තියෙන ඇඟ කෙට්ටු කරගන්න ජිම් යන්න ඕනි කියලා කල්පනා වෙන්නේ. පලා මැල්ලුමක් කන්න කියලා අම්මලා කිව්වට නාහපු අය පස්සේ හරක් වගේ කොළ කන්නේ. දවසට දෙපාරක් දත් මදින්න තියා දත්බුරුසුවක්වත් ගෙදර නොතිබ්බ නිසා දත්වල අලි හිල්. ඉතින් ඕකේ ආදීනව තේරෙන්නේ හින්නි ඇටයක් තරම් දතකට දහස් ගණනක් වියදම් කරන්න වුනාමයි. මේ කිසි දෙයක් වයිමා ඇවිත් කිව්වත් කරන්නේ නැහැ. මොකක් හරි නස්පැත්තියක් වෙන්නම ඕනි.

 

පුංචි කාලේ කාටද අම්මයි තාත්තයි එක්ක පොඩි හරි තරහක් නොතිබුණේ! පොඩියි කිව්වේ ඉතින් අර නව යෞවන කාලේ. ඔය කාලේ දී ගෙදර මිනිස්සුන්ට වඩා අනික් හැම මනුස්සයාම ලොකුයි. සුදු අම්මිලා සුදු තාත්තිලාට තියෙන ආදරය ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි දෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඒ දෙන්නා තමන් වෙනුවෙන් කරපු දේවල් එකින් එක මතක් වෙන්නේ කාලය ටිකක් ඉස්සරහට ගියාමයි. සමහරුන්ට නම් ඕක බොක්කටම වැදෙන්නේ තමනුත් දෙයියනේ කියලා අම්මලා තාත්තලා වුණාම තමයි. නමුත් ඊටත් කලින් ඕක තේරුම් ගන්නවා. කොහොම හරි දෙමව්පිය ආදරයත් අවබෝධ කරගන්නේ තමන්මයි.

 

ක්ලාස් යන්න කියලා ගෙදරින් දුන්න සල්ලිවලින් වෙන වෙන ආතල් ගැනීමේ වේදනාව විඳින්න එන කාලයක් එනවා. අන්න එදාට මම ඇයි මෙහෙම දෙයක් කරේ කියන තුවාලෙට ඩෙටෝල් ගැලුමක් හැලුවත් හරි යන්නේ නැහැ. ඉස්සර අපේ අවශ්‍යතාවන් හැම එකක් ම අම්මයි තාත්තයි බලාගත්තා. ඒත් ටිකෙන් ටික ලොකු වෙද්දී අවශ්‍යතාවන් වැඩි වෙනවා. ඒවා අම්මටයි තාත්තටයි කියලා පිරිමහගන්න පුළුවන් අවශ්‍යතා නෙවෙයි. අනික හම්බ කරන්න පටන් ගත්තම පඩිය අතට ආපු දිනට පස්සේ දවසේ ඕවා වාෂ්ප වෙනවා. පවතින්න නම් මුදල් අවශ්‍යයි. ඒකට කළයුතු කැපකිරීම් අපරිමිතයි කියලා තේරුම් ගන්නෙත් අපි අපිමයි.

 

මොන කැටයම දැම්මත්, තමන් මොන තරම් හොඳ පුද්ගලයෙක් වුණත්, මොන තරම් දක්ෂයෙක් වුණත් සමාජය අනික් අතට විවේචනය කරන්න රෙඩි වෙලා ඉන්නේ කියන එක දැනගෙන ඉන්නවා නම් හිත රිදවීම් අඩුයි. අපිට කවුරු හරි හොඳ දෙයක් කිව්වම අඩි හැට හැත්තෑව උඩින් යන්න පුරුදු වෙලා තියෙන්නේ මේ සත්‍යතාව අවබෝධ කරගන්න බැරි වුණ නිසයි. සාරධර්ම අතින් පිරුණු සමාජය වුනත් අනෙකාගේ දියුණුව දැකලා පැසව පැසවා තමයි ඉන්නේ. ඕක අවබෝධ වෙන්නේ සාරය ඉවර වුණ චුයින්ගම් හපයක් තරමට සමාජෙන් කතා අහගෙන පැත්තකට වුණාට පස්සෙයි. හැබැයි ඒක තමන් කැමති ඕනෑම දෙයක් කරගන්න ලොකු පන්නරයක්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here