ජීවිතය එපා කරවන බෙල්ලේ කැක්කුම

0
10

බෙල්ල ආශ්‍රිතව ඇති වන වේදනාවන් අප කාටත් අත්දැකීම් තිබෙනවා. බෙල්ලේ පමණක් නොව මේ වේදනාව උරහිස, අත දිග සහ හිසේ පැත්තක් දක්වාම විහිදෙන අන්දමින් ඇති වීමට පුළුවන්. ඒ වගේම බෙල්ලේ වේදනාව ගැන සඳහන් කරනවා නම් ඒ වෙනුවෙන් එක් හේතුවක් නිශ්චය ලෙසින් දක්වන්න අපහසුයි. විවිධ හේතූන් නිසා බෙල්ල ආශ්‍රිත වේදනාවන් ඇතිවීමට පුළුවන්.

බෙල්ලේ වේදනාවන් ඇතිවීමට හේතු…

මාංශ පේශි ආශ්‍රිතව ඇතිවන වෙහෙස (strain) විශේෂයෙන් එකම ඉරියව්වක පැය ගණනාවක් සිටින විට මාංශ පේශි විඩාවට පත් වෙනවා. ඒ නිසා බෙල්ල ආශ්‍රිතව වේදනාවන් ඇති වීමට පුළුවන්. උදාහරණයක් ලෙස ඇඳකට වී පොත් පත් කියවන අවස්ථාවන්හිදී ඔබ විසින් පවත්වා ගෙන යන වැරදි ඉරියව් නිසා බෙල්ලේ වේදනාවන් ඇතිවනවා.
වයස්ගත වීම සමග අස්ථි ගෙවීම සහ කැල්සියම් තැන්පත් වීම නිසා හන්දිවල පැවැතිය යුතු නම්‍යශීලී බව අඩුවීම. ඒ නිසා බෙල්ල වැනි නැමෙන අවයවයන්හි ඇතිවන තද ගතිය නිසා වේදනාවන් ඇතිවීම.
කශේරුකා අතර ඇති Diskවල ඇති ජෙල් වැනි ලිහිසි ශ්‍රාවයන් පිටට පැමිණීම නිසා අස්ථි අතර ගැටෙන විට එය වේදනාවක් ලෙසින් දැනීම.
මානසික වෙහෙසකර තත්ත්වයන්හිදී බෙල්ල පිටුපස මාංශ පේශිවල තද ගතියක් ඇතිවීම.
වාහනයක ගමන් ගැනීමේදී පිටුපසින් වෙනත් වාහනයක් ගැටීමෙන් සිදුවන අනතුරු නිසා.
පිළිකා, මෙනින්ජයිටස් වැනි රෝග තත්ත්වයන් නිසා බෙල්ල වේදනාව ඇතිවීම. මෙවැනි අවස්ථාවන්හිදී බෙල්ලේ වේදනාවට අමතරව හිරි වැටීම සහ දැවිල්ල වැනි තත්ත්වයන්ද ඇතිවනවා.

බෙල්ලේ වේදනාව වළක්වා ගැනීම…

බෙල්ලේ වේදනාව වැනි අපහසුතාවන් අපේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලට අපහසුතා ඇති කරනවා. ඒ නිසා අපේ එදිනෙදා කටයුතුවලදී බෙල්ල වේදනාවක් ඇති නොවන අන්දමින් අපේ ජීවිතය කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.
මුලින් සඳහන් කළ අන්දමට වැරදි ඉරියව් නිසා බෙල්ලේ වේදනාවන් ඇතිවන බැව් අපි දන්නවා. ඒ නිසා නිතරම නිවැරදි ලෙසින් ඉරියව් පවත්වා ගැනීමට උනන්දු වීම වැදගත්. උකුල් අස්ථිවලට සමාන්තරව උරහිස සෘජුව තබාගැනීම වගේම උරහිස් දෙකම එකම තලයක පිහිටන සේ තබාගන්න.
දුරකථනය සමග කටයුතු කරන විටත් එය ඇස් මට්ටමින් තබාගැනීම වැදගත්. හිස පහළට නැවෙන සේ තබා ගැනීම සුදුසු නැහැ.
ඒ වගේම ඔබ යම් කාර්යයක එක දිගටම යෙදී සිටිනවා නම් ඒ අතරමැද විවේකයක් ගන්න. මේ විවේකයේදී දිගැදුම් (streach) ව්‍යායාමයක නිරත වීම සුදුසුයි.
ඔබ පරිගණකය සමග කටයුතු කරන විට නිතරම මොනිටරය ඇස් මට්ටමින් තබාගන්න උකුලට වඩා පහළින් දණහිස් තබාගන්න.
ඉරියව් පවත්වා ගැනීමේදී වගේම ඔබේ යම් යම් ගති පුරුදු බෙල්ල ආශ්‍රිත වේදනාවන්ට බලපානවා. විශේෂයෙන් සඳහන් කරනවා නම් දුම්පානය නිසා අස්ථිහායනය වීම වේගවත් වෙනවා. ඒ තත්ත්වය බෙල්ලේ වේදනාවට බලපාන තවත් හේතුවක් ලෙස සලකන්න පුළුවන්.
අද වන විට බොහෝ පුද්ගලයන් ඔරොත්තු නොදෙන බර සහිත back-pack පිටේ දරා ගෙන කටයුතු කිරීමත් බෙල්ලේ වේදනාවට හේතුවක්. විශේෂයෙන් පාසල් දරුවන්ගේ පොත් බෑග නිසා අනාගතයේදී දරුවන් අතර බෙල්ල ආශ්‍රිත වේදනාවන් ගැන පැමිණිලි ලැබීම වැඩි වෙනවා.
නිදන ඉරියව් බෙල්ලේ වේදනාව ඇති වීමට හේතුවක්. නින්දේදී කොට්ටය ඇද වීම නිසා ඇතිවන බෙල්ලේ වේදනාවන් ගැන නිතරම අසන්න ලැබෙනවා. මෙය ඉතා සුලබව සිදුවන්නක්. නමුත් ඔබ නිදාගැනීමේදී හිස උඩට හෝ පැත්තට තබාගැනීමට පුරුදු වෙන්න. හිස, බෙල්ල සහ එක මට්ටමකින් තබාගන්න. කොට්ට ගොඩක් මත හිස තබා ගැනීමත් බෙල්ල වේදනාව ඇති වීමට හේතුවක්.
නින්දෙන් ඇතිවන බෙල්ලේ වේදනාවන්ට විකල්ප ලෙස ඔබ උඩබැලි අතට නිදාගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම දණහිස යටින් කොට්ටයක් තබාගැනීමත් යෝග්‍යයි. නමුත් බඩ යටට සිටින සේ නිදා ගැනීමත් සුදුසු නැහැ.
මෘදු කොට්ටයක් බෙල්ල වටා තබාගන්න.
ඔබ ව්‍යායාම කරනවා නම් ඒ වෙනුවෙන් නිසි උපදෙස් ලබා ගැනීමත් වැදගත්. ඇතැම් අවස්ථාවලදී ව්‍යායාමවල වෙහෙසකර බව නිසා බෙල්ලට පීඩනයක් ඇති වීමට පුළුවන්. එබැවින් ව්‍යායාම කිරීමේදී ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අමතක කරන්න එපා.
ස්නායු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති විටත් ව්‍යායාම කිරීමේදී වැඩි ප්‍රවේසමක් අවශ්‍යයි.

බෙල්ල ආශ්‍රිත වේදනාවන්ට ප්‍රතිකාර…

බෙල්ල ආශ්‍රිත වේදනාවන් ඇති වූ විට අපි සාමාන්‍යයෙන් නිවසේදී ඒ වෙනුවෙන් යම් ප්‍රතිකාර කරනවා. වේදනා නාශක ලබාගැනීම හෝ අයිස් තබා සම්බාහනය කිරීම, වේදනාව සමනය කරන ආලේපනයන් භාවිත කිරීම වැනි සරල ප්‍රතිකාර අනුගමනය කරනවා. සාමාන්‍ය බෙල්ලේ වේදනාවක් නම් මෙම ප්‍රතිකාර මගින් සුවය ලැබෙනවා. නමුත් දින කීපයක් පවතින සහ ඉහතින් සඳහන් කරන ලද සරල ප්‍රතිකාර මගින් නිදහස් නොවන බෙල්ලේ වේදනාවක් නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්.

බෙල්ලේ වේදනාවට ලබා දෙන ප්‍රතිකාර මොනවාද?

බෙල්ල ආශ්‍රිත වේදනාවන් ගැන රෝගියා ඉදිරිපත් කරන රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයාට ඒ ගැන යම් අනුමානයක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ රෝග ඉතිහාසය සහ රෝගියා විසින් ඉදිරිපත් කරන තොරතුරු අනුව රෝග විනිශ්චය ගොඩනගා ගැනීමට පුළුවන්.

බෙල්ලේ වේදනාව සමග තද උණ ගතියක් ඇත්නම් එය මෙනින්ජයිටිස් රෝග තත්ත්වය නිසා විය හැකියි. සමහර විට රුමටොයිඩ් රෝග තත්ත්වය නිසාත් බෙල්ල වේදනාව ඇති වෙනවා. ඒ නිසා රෝග නිශ්චය සඳහා වෛද්‍ය පරීක්ෂණ කීපයක් ලබාගැනීමට රෝගියාව යොමු කරනවා.

ලබාගන්නා වෛද්‍ය පරීක්ෂණ මොනවාද?

රුධිර පරීක්ෂණ වාර්තාව
එක්ස්රේ පරීක්ෂණ වාර්තා
මීට අමතරව වැඩි දුරටත් අවශ්‍ය වුණොත් CT සහ MRI පරීක්ෂණ වාර්තාවන් ලබාගැනීමට සිදුවනවා.

මෙම පරීක්ෂණ වාර්තා අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුවනවා. බොහෝ විට ඖෂධීය ප්‍රතිකාර ලබාදීම සිදුවන අතර අස්ථි අතර වෙනස්කම් වැනි තත්ත්වයක් ඇතොත් ඒ වෙනුවෙන් ශල්‍යකර්ම නිර්දේශ කරන අවස්ථාවන් තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here