ජාත්‍යන්තරයේ නම රැන්දූ ලංකාවේ එකම සුපර් මොඩ්ල් – පෙරීන් ෆර්නැන්ඩෝ – Sri News

0
3

ලංකාව කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු තරම් ඉදිරියෙන් තියෙන රටක්. ලෝකේ අනෙක් සුපිරි මට්ටමේ ෆැෂන් කැපිටල් වල ආසන්නයේ ලංකාව නැතිවෙන්න පුලුවන්. ඒත් ලංකාවේ ෆැෂන් ඩිසයිනර්ස්ලා සහ ලංකාවේ ප්‍රොෆෙෂනල් මොඩ්ල්ස්ලා සමස්තයක් විදියට ගත්තොත් හොඳ තැනක ඉන්නවා කියලා කියන්න පුලුවන්. හැබැයි එහෙම කිවුවට ගොඩක් වෙලාවට ඇහෙන මැසිවිල්ලක් තමයි ලංකාවේ සුපර් මොඩ්ල්ස් ලා නැහැයි කියන එක. සුපර් මොඩ්ල් කෙනෙක් කියන්නේ ජාත්‍යන්තරව මොඩ්ල් කෙනෙක් විදියට ප්‍රසිද්ධියක් තියෙන, ජාත්‍යන්තර මට්ටමෙන් ඉතාම ඉහළ ගෙවීමක් ලබන, ඉතා උසස් විලාසිතා සහ වෙළෙඳ ලකුණු වෙනුවෙන් පෙනී ඉන්න මොඩ්ල් කෙනෙක්ට. එහෙම අය ලංකාවේ නැහැයි කියලා අපි හිතාගෙන හිටියට, ලංකාවේ ඉන්න ප්‍රවීණතම මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වෙන සේනක ද සිල්වා කියනවා අපිටත් සුපර් මොඩ්ල් කෙනෙක් ඉන්නවා කියලා. සේනක ද සිල්වා කියන විදියට ඇගේ නම තමයි පෙරීන් ෆර්නැන්ඩෝ. මේ පෙරීන් ගැන විස්තර ටිකක්.

 

සාමාන්‍යයෙන් මොඩ්ලින් ගැන ඒ තරම් උනන්දුවක් නැති කෙනෙක් වුනත් ලංකාවේ ඉන්න මොඩ්ල්ස්ලාගෙන් කීප දෙනෙක්ව හරි නමින් දන්නවනේ. හැබැයි පෙරීන් ෆර්නැන්ඩෝ කියන්නේ ඒ තරම් හුරුපුරුදු නමක් නෙවෙයි. ඒකට හේතුවක් තියෙනවා. පෙරීන් කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවක්. බය නැතුව ලංකාවෙන් බිහිවුණු එකම සුපර් මොඩ්ල් කියන්න පුලුවන් කෙනෙක්. ලන්ඩන්, පැරිස්, මිලාන් වගේ ලෝකේ තියෙන ෆැෂන් කැපිටල් වල මෝස්තර නිරූපණය කරනවා දකින්න පුලුවන් පෙරීන් ජාත්‍යන්තර තරුවක්. දශක ගණනාවක් පුරා ජාත්‍යන්තර මට්ටමේ මෝස්තර නිරූපණ අංගයන් වල සුපිරි තරුවක් වුණු ඇය තවමත් ඒ තරු ගුණයෙන් යුක්තයි. ඈ තවමත් සුපිරි නිරූපිකාවක්.

 

බදුල්ලේ උපත ලබපු පෙරීන්ගේ පියා වතු වැවිලිකරුවෙක්. පෙරීන්ගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක්ට සහ සහෝදරියක් අතර බාලයා වුණේ ඈ. හැබැයි ගොඩක් සම්මුඛ පරීක්ෂණ වලත් කියලා තිබුණු විදියට පෙරීන් කුඩා කාලේ ඉඳන් පවුලේ හුරතලී වුනත් කොල්ලෙක් වගේ තමයි ඉඳලා තියෙන්නේ. පාසල් වැඩ වලට අමතරව ක්‍රීඩා කටයුතුත් කරපු පෙරීන්ගේ ප්‍රියතම ක්‍රියාකාරකම් වෙලා තියෙන්නේ ගස් නැගීම, බයිසිකල් පැදීම වගේ දේවල් තමයි. ඈ සුන්දර ළමා කාලයක් ගෙවපු බවට තව සාක්ෂි මොනවටද! ඇය කවදාහරි සුපිරි නිරූපිකාවක් වෙයි කියලා ඇයවත්, ඇගේ දෙමාපියන්වත් ඒ කාලේදී හිතන්න ඇතිද? ඒක සැක සහිතයි.

 

පෙරීන් බදුල්ලෙන් කොළඹට ඇවිත් ඇතුළත් වෙන්නේ මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකාවට. පාසැලේදී පෙරීන් ක්‍රීඩා වලට විශිෂ්ට දක්ෂතාවයන් දක්වනවා. විශේෂයෙන්ම ජවන හා පිටිය තරඟ තමයි පෙරීන්ගේ විශේෂත්වය වෙන්නේත්. කොහොම වුනත් වයස අවුරුදු 17 දී සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ පෙරීන් වැඩිදුර ඉගෙනීම් කටයුතු සඳහා කොළඹ අත හැරලා ස්විට්සර්ලන්තයට යනවා. විශේෂත්වය වෙන්නේ මේ වෙනකලුත් පෙරීන් මෝස්තර නිරූපණ ලෝකයට විවෘත නොවීම. ඒක එහෙම වුනත් මේ වෙනකොට අඩි 5 අඟල් 11ක උසක් සහ දු‍ටුවන් හැරී බලන තරමේ අති විශිෂ්ට සුන්දරත්වයක් පෙරීන් අත්පත් කරගෙන තිබුණු බවත් කිව යුතුමයි.

 

ස්විට්සර්ලන්තයේ ඉන්න කාලයේදී පෙරීන් නිරූපිකාවක් වීම ගැන නිකමට හිතලා බලනවා. ඒ යහළුවෙකුගේ පෙ‍රැත්තය මත. පෙරීන් තමන්ගේ ඡායාරූප කිහිපයකුත් සමගින් යන්නේ Model Team නමින් හැඳින්වුණු කුඩා ප්‍රමාණයේ ස්විස් නිරූපණ ඒජන්සියකට. ශ්‍රී ලංකාවෙන් පැමිණි පෙරීන්ගේ තියෙන විදේශික සුන්දරත්වයත්, මනා පෞරුෂත්වයත්, ලගන්නා ස්වභාවයත් නිසා ඉක්මනින්ම ඇයට කැමති වෙන ඒ නිරූපණ ශිල්පීන්ගේ ඒජන්සිය ඇයට ඔවුන්ගේ ඊළඟ අංගයේම ඉඩක් ලබාදෙනවා. හරියට බලනවා නම් මේ තමයි පෙරීන්ගේ නිරූපණ ජීවිතයේ ආරම්භය. කොහොම වුනත් ඒ වෙනකොට පෙරීන් නිරූපණ ශිල්පිණියක් විදියට මේ ‍රැකියාව කරන්නේ විනෝදයටත්, ඉගෙන ගන්නා කාලය අතරතුරදී අතට පොකට් මනී හොයාගන්නත් විතරයි.

 

කොහොම වුනත් වෙළෙඳ දැන්වීම් සඳහා පැරීසියෙන්, මිලාන් වලින් කැඳවා ගෙන ආපු නිරූපණ ශිල්පිණියන් අතර වැඩකරපු පෙරීන්ව සේයාරුවට නගන්නේ ජාත්‍යන්තරව පිළිගත් ස්විස් ජාතික ෆැෂන් ෆොටෝග්‍රැෆර් කෙනෙක්, මේ නිරූපණ ජීවිතයේ ආරම්භයත් එක්ක පෙරීන් ඉක්මනින්ම වටහා ගන්නා දේ වෙන්නේ තමන්ට නිරූපණ ශිල්පිණියක් විදියට විලාසිතා ලෝකයේ ගමනක් යන්නට හැකියාව තියෙන බව. මේ හැඟීම පෙරීන්ට ආත්ම විශ්වාසය ඇති කරවනවා. පෙරීන් ෆර්නැන්ඩෝ කියන සුපර් මොඩ්ල් බිහිවෙන්න එතැනින් අඩිතාලම වැටෙනවා

පෙරීන් අදටත් පිළිගන්න දෙයක් තමයි මෝස්තර නිරූපිකාවක් විදියට ඇගේ ජීවිතයේ ගුරුවරයා වුණේ ඒ ජාත්‍යන්තර ඡායාරූප ශිල්පියාය කියන එක. නිරූපිකාවක් විදියට දැනගෙන ඉන්න ඕන කැමරා කෝණයන්, ලබාදිය යුතු ඉරියව් ආදිය සම්පූර්ණයෙන්ම ඇයට කියාදෙන්නේ ඔහු. එතැනින් එහාට මෝස්තර නිරූපණ ජීවිතයේ හැම දෙයක්ම පෙරීන් ඉගෙන ගන්නේ අත්දැකීමෙන්…

 

මේ වෙනකොට නව නිරූපිකාවන් සොයන පැරීසියේ ප්‍රමුඛතම මොඩ්ල් ඒජන්සියකින් පෙරීන්ව දකිනවා. ඇයව පැරිස් ෆැෂන් ෂෝ එක සඳහා ඔවුන් ‍තෝරාගන්නේ ඇගේ සමස්ත පෙනුමත්, නිරූපිකාවක් විදියට ඇගේ පසුබිමත් නිසායි. මේ ඒජන්සිය අනූව දශකයේ සුපිරි නිරූපණ ශිල්පිණියන් ගණනාවක් හඳුන්වා දීලා තියෙන බව කියන්නට වුවමනායි. කෙසේ හෝ අනූ ගණන් වලදීම පැරිස් ෆැෂන් වීක් එකේ එක් සීසන් එකකදී පෙරීන් 17 වතාවක් පමණ පැරිස් ෆැෂන් ෂෝ එකට නිරූපණ ශිල්පිණියක් විදියට ඉදිරිපත් වෙනවා. එතකොට 12 වතාවක් මිලාන් වල ෆැෂන් වීක් එකේ පෙනී ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, නිරූපණ ශිල්පිණියක් විදියට මේ වෙනකොට විශාල ඉල්ලුමක් සහිත වන පෙරීන් අතිශයින්ම කාර්යබහුල වෙනවා. මේ වනවිටත් ඇය සුපිරි නිරූපණ ශිල්පිණියක් බවට පත්වෙලා අවසානයි.

මේ වෙනකොට පෙරීන් ලෝකය පුරා නිරූපණ ශිල්පිණියක් විදියට වැඩ කරමින් සංචාරය කරලා තියෙනවා විතරක් නෙවෙයි, Yves Saint Laurent, Christian Dior, Giorgio Armani, Anushka Hemple, Paul Castello, Versace, Karl Lagerfeld, Guy Laroche, Mariella Burani, Louis Feraud, Balmain, Nina Ricci, Lanvin වගේ ජාත්‍යන්තර නාමයන්ගේ සුපිරි මෝස්තර නිර්මාණකරුවන් එක්කත් වැඩ කරලා තියෙනවා. ඉක්මනින්ම පෙරීන් කියන සුපර් මොඩ්ල්, ලන්ඩන්, නිව් යෝර්ක්, ටෝකියෝ, මිලාන් වගේ ෆැෂන් කැපිටල් වල ෆැෂන් වීක් වලදී දකින්න ලැබෙනා තරුවක් බවට පත් වෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here