ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනය කර වසර 35 යි !

0
14


1943 ජුලි 14 වන දින මාතර කෝට්ටේගොඩ ඉතා දිළිඳු පවුලක උපත ලද ඔහුගේ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ය. ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර වූ අතර මව නැසිනෝනා වික්‍රම කළතොට විය. ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. 1960 දී රුසියාවේ ලුමුම්බා මිත්‍රත්වය සරසවියෙන් ලද ශිෂ්‍යත්වයක් මත වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුසියාව බලා පිටව ගිය ඔහු රුසියාවේදී වෛද්‍ය විද්‍යාව මෙන්ම දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව ද හැදෑරුවේ ය.

රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට එක්වූ අතර නිවාඩුව අවසන්ව නැවත රුසියාව බලා යාමට සැරසෙන විට ඔහුගේ වීසා අවලංගු කිරීමට මෙරට සෝවියට් තානාපති කාර්යාලය කටයුතු කර තිබිණි. ඉන් අනතුරුව කොමියුනිස් පක්ෂයේ චීන පිලේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ විජේවීර පසු කලෙක එය තුළ ප්‍රති කණ්ඩායමක් ගොඩනැඟීමට කටයුතු කළ අතර එයින් පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ බිහි කළේය.

ඉතා සුළු පිරිසකගෙන්, ඉතා දුෂ්කර තත්වයන් යටතේ ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමයෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අතර 1971 අසාර්ථක වූ කැරැල්ලෙන් අනතුරුව රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය විසින් අපරාධ යුක්ති කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමග විජේවීර ඇතුළු සියල්ලන් නිදහස් වූ අතර ඔවුහු නැවතත් දේශපාලනයේ නිරත වූහ. 1980 වසරේදී රෝහණ විජේවීර මොරටුව විල්ලෝරවත්තේ පදිංචි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග විවාහ වූයේය. ඔවුන්ට දරුවන් සය දෙනෙකි.

1983 කළු ජූලියෙන් පසු ජවිපෙ ඇතුළු පක්ෂ කිහිපයක් තහනම් කිරීමට ජේ. ආර්. ජයවර්ධන රජය කටයුතු කළ අතර ජවිපෙ ඉන් අනතුරුව රහසිගත දේශපාලනයට අවතීර්ණ විය.1987 ඉන්දු – ලංකා ගිවිසුමත් සමග ජවිපෙ නැවතත් සන්නද්ධ දේශපාලනයට පිවිසුණු අතර ආණ්ඩුව ද ඊට එරෙහිව දැඩි මර්දනයක් දියත් කළේය.

1989 නොවැම්බර් මාසයේදී ගම්පොල, උලපනේ වතු යායකදී අත් අඩංගුවට ගත් රෝහණ විජේවීර කොළඹට රැගෙන පැමිණ, ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රූපවාහිනී විකාශයක් සඳහා ප්‍රකාශයක් ද ලබාගෙන වෙඩිතබා ඝාතනය කර බොරැල්ල කනත්තේදී සිරුර ද පුළුස්සා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here