ජපන් සංස්කෘතියෙන් ලෝකයටම කියා දෙන පාඩම් – Sri News

0
4

ජපනා හපනා ය. පුංචි කාලේ ඉඳන්ම අපි අහපු මේ කතාවත් එක්ක ජපානය කියන රට අපි දකින්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් වැඩ්ඩෝ ඉන්න, කම්මැලි නැති, සුපිරි වාහන හදන, තාක්ෂණය උපරිමේට පාවිච්චි කරන නොම්මර එකේ රටක් විදියට. ඒ තැනට එන්නට ජපනාගේ හපන්කම වගේ ම සංස්කෘතියෙන් ලබාගත් දේවලුත් වැදගත් වෙලා තියනවා. අනික අද කොච්චර නවීන ලෝකෙට එයාලා හැඩගැහිලා හිටියත් තමන්ගේ සංස්කෘතිය අමතක කරන ජාතියක් නම් නෙවෙයි. ලෝකයේ අනික් රටවලට ඒ සංස්කෘතියෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් බොහොමයි.

 

මේක ජපනෙක් මුහුණට මුහුණ හමුවුණ මොහොතේම දකින්න පුළුවන් දෙයක්. නැමිලා ගෞරව කරන්න ආය හිත හිතා ඉන්නේ නැහැ. ඒ වගේම තමයි තවකෙක්ට කතා කරද්දී san, sansei, kun, chan වගේ යෙදුමක් නමට පස්සේ භාවිත කරනවා. ඒක මහත්තයා, මහත්මිය වගේ ගරු කරලා කතා කරන එකට සමානයි. සාමාන්‍ය හමුවක දී විතරක් නෙවෙයි කාර්යාලයක හෝ මොකක් හරි සේවාවක් ලබාගන්න විට එහි වැඩ කරන අයත් තමන්ගෙන් සේවාව ලබාගන්න පුද්ගලයාට උපරිම ලෙස ගෞරව කරනවා. ජපන් සංස්කෘතියේ කොඳු නාරටිය තමයි මේ ගෞරවය.

 

ජපානය එක අතකට දැන් කොන්ක්‍රීට් වනාන්තරයක් තමයි. හැබැයි එහෙමයි කියලා පරිසරයට දක්වන ආදරය අඩු වෙලා නැහැ. සකුරා මල් පිපෙන වසන්ත කාලෙටත්, ඒ මල් කොළ බිමට හැලෙන ගිම්හාන කාලෙටත් මිනිස්සු පරිසරයේ අසිරිය විඳින හැටි හරිම පුදුම සහගතයි. මේ කාලවලට අනුරූප විදියට එක එක සංස්කෘතික උත්සව පවා නිර්මාණය වෙලා තියනවා. අනික පරිසරයට දක්වන ආදරය දකින්න පුළුවන් ජපන් කවියෙනුත්. Wabi-Sabi කියන සංකල්පය භාවිත කරලා ගෙවල් දොරවල් නිර්මාණය කිරීමත් මේකේම කොටසක්. සෙන් උද්‍යානවලිනුත් පිළිඹිබු වෙන්නේ මේ ආදර කතාව තමයි.

 

ලෝකයේ දිනකට කොයි තරම් නම් ආහාර ප්‍රමාණයක් නිස්කාරණේ අපතේ යනවද? ජපන් සංස්කෘතිය තමයි මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම. බෙදාගෙන තියෙන කෑම ප්‍රමාණයක් තියෙනවා නම් හොඳින් බැරි නම් නරකින් ඒ ඔක්කොම කන්න ඕනි. කෑම ඉතුරු කරනවා කියන්නේ කෑමවලටයි ඒවා හදපු කෙනාටයි කරන අගෞරවයක්. අපේ රටවල වගේ එළවළු තෝරලා කෑමකුත් නෑ. කෑම කන්න කලින් වගේම පසුවත් ඒ සම්බන්ධයෙන් ගෞරව පෙරදැරි ප්‍රකාශ ඉදිරිපත් කරනවා. තතමි පැදුරුවල වාඩිවෙලා මෙයාලා කාපු විදිය ඔෂින් බලපු කට්ටියට මතක ඇති.

 

ජපානයේ ආගන්තුක සත්කාරය කැරකෙන කොන්සෙප්ට් එකට කියන්නේ Omotenashi කියලා. ආගන්තුකයාට ආගන්තුකයි ද කියලාවත් දැනෙන් නැති විදියට පරිසරයක් හදන එකයි මෙතන දී වෙන්නේ. අනික කතා කරන්නෙත් පුදුමාකාර ගෞරවයක් ඇති කරවන විදියට. තව දෙයක් මෙහේදී ටිප් බලාපොරොත්තු වෙන්නෑ. දුන්නත් ගන්නේ නැහැ. ජපනාට ආගන්තුකයෙක් කියන්නේ දෙයියෙක්. ඇත්තටම හෝටල් ආශ්‍රය කරගෙන විතරක් නෙවෙයි පොදු වැසිකිළියක පවා මේ සංකල්පය තියෙනවා. ආගන්තුකයාට අවශ්‍ය මොනවාද කියන එක ඔහු වචනයෙන් කියන්න අවශ්‍යතාවක් නෑ, ජපනා ඒක කලින්ම හඳුනාගන්නවා. පොදු වැසිකිළිවල තියෙනවා කිව්වේ හීට් කරපු ටොයිලට් සීට් එහෙම.

 

අපේ රටේ කන්තෝරුවකට ගියාම ඒකේ වැඩ කරන අක්කලාගේ රැස් බලනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඒත් ජපානයේ එහෙම නෙවෙයි. සේවාවක් ලබාගන්න පරක්කු වුණෝතින් එහෙම ඒවා සපයන අය සමාව ඉල්ලනවා එවෙලෙම. වෙන මොකක් හරි කඩේකට ගිහින් පෝලිමක ඉන්න වුණොත් අඩුම තරමේ ඒ වෙනුවෙන් කූපන් එකක් හරි ලැබෙනවා. ටැක්සි රියදුරන් වුණත් හරිම ආචාරශීලියි. අපේ ත්‍රීවීලර් අයියලත් කවදා හරි අපිත් එක්ක මනුස්සකමින් ගමනක් යයි කියලා හිතන්න අපිට පුළුවන් නම්…

 

අනික් රටවල මිනිස්සුන්ට තමන්ගෙම කියලා වාහනයක් ගන්න පුදුමාකාර උණක් තිබ්බට ජපනුන් පොදු ප්‍රවාහන සේවයට ගොඩක් ආදරේ කරනවා. සබ් වේ වගේම ඉතාම කාර්යක්ෂම දුම්රිය සේවාවක් ඔවුන්ට තියෙනවා. ට්‍රැෆික් ප්‍රශ්නය මේ නිසා සාපේක්ෂව අඩුයි. අනික් කාරණේ තමයි ජපන් ජාතිකයන් ෆුට් බයිසිකල්වලට දක්වන කැමැත්ත. මෙච්චර වාහන හදලා ලෝකෙටම බෙදන රටේ තත්ත්වේ මෙහෙමයි. පොදු ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් වෙනවා වගේම රට ඇතුළේ ප්‍රශ්නත් මේකෙන් අඩු වෙනවා. අනික් කාරණේ මේ සේවා සපයන පුද්ගලයන්ගේ තියෙන හැදියාව. හැමෝම යුනිෆෝම් එකක් අඳිනවා. ඒ වගේම මහජනතාවට බොක්කෙන්ම සර්විස් එක දෙනවා.

 

ජපානය කියන්නේ ආයු කාලය වැඩි රටවල් අතරින් එකක්. විශේෂයෙන්ම වැඩිම ආයු අපේක්ෂාව ඇති කාන්තාවන් ඉන්නේ එහේ. එයාලා කන්නේ කැලරි අඩු ආහාර. විශේෂයෙන්ම පලතුරු සහ තම්බාගත් එළවළු. තේ බොන එක අපි ආතල් එකට කරාට ජපානය ඒකට වෙනම තැනක් දීලා සංස්කෘතියේ අනිවාර්ය අංගයක් කරලයි තියෙන්නේ. ඒ තේ පානයත් ඔවුන්ගේ නිරෝගී බවට හේතුවක්. පාසල් යන්න සහ වැඩට යන්න හැකි තරම් පයින් යන්නයි පෙළඹෙන්නෙත්. බඩ බෝල පැටව් ජපානයේ නැත්තේ පුංචි කාලේ ඉඳන් මේ නිරෝගී පැවැත්ම හුරු කරවන නිසයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here