ජනපති අනුර නව පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ සම්පූර්ණ කථාව

0
22


අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක්. එම ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අප රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මේ ජනවරම ලබාදී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්. මේ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මේ ජනවරම තුළ තිබෙනවා. ඒ දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ආදී සියලු පළාත්, සියලු ජන කණ්ඩායම් මෙම ජන වරමට දායක වී තිබෙනවා.

ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ

දීර්ඝ කාලයක් අප රටේ දේශපාලන ව්‍යුහය, දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණේ ඇතැම් විට පළාත් ලෙස දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණා. සමහර අවස්ථාවල ජාතිකත්වය අනුව, අදහන ආගම් අනුව දේශපාලන කඳවුරු ගොඩනැඟී තිබුණා. එනිසා එවැනි දේශපාලන බල කඳවුරුවල අවසන් ප්‍රතිඵලය වන්නේ, ජනතාව එකිනෙකා අතරින් දුරස්වීම, එකිනෙකා අතර සැකය, අවිශ්වාසය වර්ධනය වීමයි.
ජාතිවාදය යම් දේශපාලන කඳවුරක න්‍යාය පත්‍රයක් බවට පත් වෙනවා නම් එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එයට එරෙහිව නැවත අනිත් පාර්ශ්වයෙන් ජාතිවාදයක් පෝෂණය වීම. ජාතිවාදය එක තැනක පවතින්නේ නැහැ. එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදයක් පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් තිස්සේ අප රටේ දේශපාලනයේත්, සමාජයේත් අප අත්විඳ තිබෙනවා. නමුත් සියලු ජන කණ්ඩායම්, සියලු පළාත්වල වෙසෙන ජනතාව අප කෙරෙහි විශ්වාසය තබාගෙන අපට බලය ලබා දී තිබෙනවා.

ඒ විශ්වාසය තැබූ ජනතාවට පළමුව අපගේ ගෞරවය, ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය නොතැබුවත්, වෙනත් දේශපාලන ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තැබූ ජන කණ්ඩායම් සිටිනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවයයි. තනි පක්ෂයක් වටා, තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශී කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි.

බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කරනවා

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විවිධ මතවාද දරන දේශපාලන කඳවුරු පැවැත්මයි. විවිධ ආර්ථිකමය දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන කඳවුරුවල පැවතීමයි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අප අපේක්ෂා කරන්නේ නැහැ. බහු පක්ෂ දේශපාලනයේ ප්‍රතිපත්තිය අප පිළිගනු ලබනවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here