ගෙවත්තේම වගාකරගත හැකි ගොඩ බෝග කිහිපයක් වගාකරගන්නා හැටි – Sri News

0
5

එළවලු ගන්නට මාකට් ගිය විට වර්තමානයේ ඇතැම් කාලවල එළවලු මිල අපේ ඇස් උඩ ඉන්දවීමට සමත් වේ. එළවලු ගොවියා නම් රජකරන පාටක් නැතත්, එළවලු මිල නම් කලක සිට තරමක් වැඩි අගයක් ගනී. එළවලු ටිකක් ගෙදර වගාකරගන්නට සිතුවද, ඒ සඳහා ආසාවක් තිබුනද, කොහොමද කරන්න පටන් ගන්නේ කියා හැමෝටම ඇත්තේ ගැටළුවකි. එළවලු වගාවකදී මුලින්ම කළ යුතු දෙයක් නම් නිසි බීජ ටිකක් සොයාගැනීමයි. බීජ සොයාගත් පසු කුඩා පර්චස් එකක භූමියක වුවද කුඩා වගාවක් දමා ගැනීමට අපිට හැකිය. උදෑසන හිරු එළිය වැටෙන බිමක් නම් එළවලු වගාවට වඩාත් යෝග්‍ය වේ. පස බොරලු සහිත වැඩිමනක් පෝෂණය නොමැති එකක් නම් ගෙදර එකතු වෙන කුණු වලින් කොම්පෝස්ට් සාදා කෙමෙන් කෙමෙන් එළවලු වගාවට යෙදීමෙන් ඒ වවන පස සරුකරගත හැකිය.

 

ආධාරක ඔස්සේ ඇදෙන වැල් මතින් ඵල ලබාදීම කරවිල පතෝල සහ වැටකොළු වලදී සිදු වේ. පතෝල සහ වැටකොළු එකම බිමේ එකම මැස්සේ සිටවීම ගැටළුවක් නොවුනත්, වැටකොළු සහ කරවිල එකට වගාකිරීම ගැලපෙන්නේ නැත. අද වෙළඳපොලේ සුලභ තායිලන්ත, මැලේෂියා බීජ වලින් මෙම කරවිල, පතෝල වැටකොළු වල ඵලදාව සති කිහිපයකින්ම ලබාගත හැකිය. කුඩා ඉඩක වුවත් ආධාරකයක් හෝ මැස්සක් තිබීම මෙම බෝගයන්ට අනිවාර්ය වේ. අඩි එකහමාරක් දිග පළල සහ උස වලක් කපා, එයට පස් පුරවා, අඟල් හයක් පමණ කුඩා පාත්ති සාදා පාත්තියකට ඇට දෙක තුනක් සිටුවීම කළ යුතුය. විශාල මැස්සක් ගැසීම අපහසු නම් ලී කෝටු සිටුවා, කුඩාවට සැකැස්මක් සාදා එළවලු වැල් යෑමට සැලැස්විය යුතුය.

පලිබෝධ හානි තරමක් වැඩි මෙම බෝග වලට කෘමිනාශක යොදන්නේ නැතිනම් කොහොඹ තෙල්, දර අළු වැනි ප්‍රතිකර්ම හෝ සිදු කළ යුතුය. වල සකස් කිරීමේදීද පොහොර යොදන අතර, අස්වනු නෙලන කාලයේදී රසායනික එළවලු පොහොර මිශ්‍රනයක් යෙදීම වඩාත් යෝග්‍ය වේ. කරවිල සාමාන්‍යයෙන් සතියකට වරක් ඵලදාව නෙලිය හැකි වන අතර, ඉතිරි වැටකොළු සහ පතෝල සතියට දෙවරක් අස්වනු නෙලාගත හැකිය.

 

බටු, මිරිස් සහ තක්කාලි යන බෝග තුනම කුඩා ඉඩක වගාකළ හැකි බෝග වේ. අවශ්‍යනම් කුඩා බඳුනක, පෝච්චියක වුවද මෙම බෝග වගාකළ හැකිය. ඇට ටිකක් සරු පස් ඇති කුඩා බඳුනක දමා කුඩා පාත්තියක් දමාගෙන, ඉන් පසු ලොකු වූ පැළ භූමියේ හෝ විශාල බඳුනක සිටුවීම කළ යුතුය. බටු, මිරිස්, තක්කාලි භූමියක සිටවූයේ නම් ටික දිනකින් පස් ටිකක් කිට්ටු කර කඳ ශක්තිමත්ව ඉහළට යෑමට ඉඩ සැලැස්විය යුතුය. ඇතැම් තක්කාලි විශේෂයන් ආධාරක ඔස්සේ බොහෝ දුර යෑමට කැමතිය. ඒ තක්කාලි විශේෂයන්ට කෝටු සිටුවා හෝ ආධාරක ඇතිකර ගමන් කිරීමට ඉඩ දිය යුතුය. මාස තුන හතරක් තරම් දීර්ඝ කාලයක් අස්වනු නෙලිය හැකි බටු, මිරිස්, තක්කාලි ගස් දෙක තුනක් වවාගත්තද නිවසේ පාවිච්චියට එය සෑහේ.

 

ගෙවත්තක වගා කළ හැකි බෝග අතුරින් බණ්ඩක්කා ජනප්‍රිය බෝගයකි. බොහෝ ගෙවතු වල බණ්ඩක්කා ගස් දෙක තුනක් හෝ සිටුවාගැනීමට වගාකරුවෝ පෙළඹෙති. භූමිය මතම පස් ගොඩක් තනා, එය තුනීකර පාත්ති සාදා, බණ්ඩක්කා සිටුවිය හැකිය. සිටවූ තැන් සිට සීඝ්‍රයෙන් වැඩෙන බණ්ඩක්කා ගසට ද කාබනික හෝ රසායනික පොහොර යෙදීමෙන් අස්වනු වැඩිකරගත හැකිය. බණ්ඩක්කා සෑදුනු පසු දින දෙකෙන් දෙකට අස්වනු නෙලිය යුතු වේ. අස්වනු නෙලන්නේ නැතිව ගස් වල බණ්ඩක්කා වේලෙන්නට දීම ඵලදාව අඩු වීමට සෘජුවම හේතු වේ.

 

වට්ටක්කා සහ අලුපුහුල් බෝග දෙකම අඩි කීපයක් ඈතින් ඈතින් පාත්ති පිහිටුවිය යුතු බෝගයෝ වෙති. මන්ද වට්ටක්කා සහ අලුපුහුල් වැල් බිම සිසාරා ඔබ මොබ ඇදී තැනින් තැන විශාල ගෙඩි ඵලදාව ලෙස ගොවියාට ලබා දේ. වට්ටක්කා සහ අලු පුහුල්ද එක් පාත්තියකට ඇට තුනක් හතරක් බැගින් සිටුවා, ඉන් පසු මදක් වැඩුන පසු පස් ටිකක් පැළ ටික ළඟට කිට්ටු කර දිය යුතුය. ඒ පස් අල්ලන අවස්ථාව වර්ෂාව අවස්ථාවක් නම් වඩාත් සුදුසු වන අතර එම අවස්ථාවේදී පෝර ටිකක්ද යෙදිය හැකිය. වට්ටක්කා අලුපුහුල් වැනි බෝග හොඳින් වැඩුනු පසු සාත්තුවක් එතරම්ම අවශ්‍ය නොවන අතර, අස්වනු නෙලීම දෙතුන් වතාවකට සීමා වේ.

 

ගස්ලබු සහ දෙහි දොඩම් වැනි පළතුරු බෝග එකිනෙකට වෙනස් වුවද සිටුවීම සිදුවන්නේ එකම ආකාරයකටය. අඩි දෙකක් දිග පළල සහ ගැඹුර වලක් කපා එහි පතුළට හොඳ පොල් ලෙලි තට්ටුවක් පස් සමග යෙදීමෙන් ගස් වියලි කාලවලදී ආරක්ෂා කරගත හැකිය. වල පතුළට පොල් ලෙලිද ඉන් පසු කොම්පෝස්ට් සහ පස්ද යොදා ගොඩකරගෙන, ඒ ගොඩකළ පසේ පැළ සිටුවිය හැකිය. පළතුරු බෝග වලදී ගස් තරමක් විශාලව වැඩෙන බැවින් සිටුවන වලවල් එකිනෙකට අඩි 8ක්වත් ඈතින් සිටුවාගත යුතුය. දෙහි දොඩම් වැනි ශාඛ වලට නිතරම වතුර දැමීම උවමනා නැති අතර, මද නියං කාලයක් සඳහා ඒ ශාඛ නිතැතින්ම ඔරොත්තු දේ.

 

එදා පුරාතනයේ ගොවියා කුඹුරු ගොවිතැන, එළවලු කොටු ගොවිතැන මෙන්ම ඉඳහිට අලවර්ග වගාවද සිදුකරන ලදී. බතල නම් පාත්තිවල සිටුවන අතර මඤ්ඤොක්කා දඬු නම් විශාල වලක් කපා, එය සම්පූර්ණයෙන්ම පොහොර පසින් ගොඩ කර, ඒ මත සිටුවිය හැකිය. කොඬොල්, රාජ අල වැනි අල වර්ග වල පැළවෙන මොටියක් සොයාගෙන එය පුරවන ලද වලක සිටුවීම වඩාත් යෝග්‍ය වේ. මඤ්ඤොක්කා සහ බතල ඌරන්, ඉත්තෑවුන්, ඌරු මීයන් ආදී සතුන්ගේ ප්‍රියතම බෝගයන් වේ. සාමාන්‍යයෙන් පලිබෝධ නාශක අවශ්‍ය නොවන මෙම අල වර්ග සිටුවීමේදී බොහෝ පළාත්වල ගොවීන් සහ ගෙවතු වගාකරුවන් මුහුණපාන ප්‍රශ්නයක් වන්නේ අලය ගොඩදාගැනීමට පෙර සතුන් විසින් එය සාරාගෙන කා දමා තිබීමයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here