ගෙදර වැඩ කරන්න බැරි උනාම ටිචර්ලාට කියපු බොරු මතකද..? – Homework excuses – Sri News

0
4

ගෙදර වැඩ කරගෙන නොගියාම අපි කියන හේතු දවසින් දවස වෙනස් වෙනවා. කට්ටියට මතක ඇතිනේ ඉතින් ඉස්කෝලේ යන කාලෙ තමන් ඒ වෙලාවට කියන බොරු. අතට අහුවෙන බොරු කියන අය වගේම නිර්මාණශීලී බොරු කියන අයත් අපට ඉස්කෝලෙදි මුණගැහෙනවා. බලන්න ඔබත් ඉස්කෝලේ යන කාලේ මේ වගේ බොරු කිවුවද කියලා.

 

මේ වගේ බොරු ගොඩක් දුරට කියන්නේ සිකුරාදා දුන්න ගෙදර වැඩ සඳුදට කරගෙන නොආවම. ඇයි ඉතින් ටීචර්ලා පටන් ගන්නෙම “දවස් දෙකක්ම ගෙදර වැඩ කරන්න තිබ්බා” කියාගෙන නේ. දවස් දෙකකට තමන් හිරවුණා කියල පෙන්නන්න හොඳම වැඩේ තමයි මල ගෙදරක් ගැන හරි දානේ ගෙදරක් ගැන හරි කියන එක. මල ගෙදරක් නම් කිසිම බයක් සැකක්, දුකක් නැතුව ගෙදර කවුරුහරි වයසක මනුස්සයෙක් මරන්න දෙවරක් හිතන්නේ නෑ අපේ කට්ටිය. ඇයි ඉතින් සමහරවෙලාවට බැලුවම දානේ ගෙදර දීල තියෙන්නේ ජීවතුන් අතර ඉන්න මනුස්සයෙක් වෙනුවෙන්. මොකක් උනත් මේක හරි සංවේදී බොරුවක්. ටිචර්ලගේ හදවතේ පතුලටම මේ වගේ බොරු කිඳා බහිනවා. බනින්නෙත් නෑ. “හෙට කරන් එන්න” කියල ඒක අත අරිනවා.

 

ලෙඩ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දවස් දෙකක් තුනක් තියෙන ලෙඩ. අර කිවුව වගේ සිකුරාදා දවසක දුන්න ගෙදර වැඩක්නම් ආයේ ඉතින් “උණ හැදුණා ටීචර්” කියනවා ඇරෙන්න වෙන හොඳ බොරුවක් තියේද මං අහන්නේ. අනික් ලෙඩ වර්ගේ තමයි හදිස්සි ලෙඩ. ඊයෙ දුන්න ගෙදර වැඩක් අද බලනවානම් තමයි මේවා පාවිච්චි කරන්නේ. “ටීචර් ඊයේ රෑ බඩේ අමාරුවක් හැදුණා.. රෑම බෙහෙත් ගෙනල්ලත් හොඳ උනේ නෑ.. උදේ තමයි හොඳ උනේ..” ඔහොම කිවුවම ටීචර් තුත් ටිකක් සැලකිලිමත් වෙනවා ඉතින්. ඇයි ඉතින් ඉස්කෝලේ වෙලාවේ ඇතුලත මූ ලෙඩ වෙන්නත් පුළුවන්නේ. හැබැයි ඉතින් මේ බොරු දෙකම ඉතින් බොරු බව ටීචර්ලා ගොඩක් දන්නවා. බොරුව කියන විදිහ අනුව තමයි ඉතින් ඒක බොරුද ඇත්තද කියල ටීචර්ලා තීරණය කරන්නේ.

 

මේක ටිකක් අලුත් බොරුවක්. මේකත් භාවිත වෙන්නේ ඊයේ දුන්නු ගෙදර වැඩක් අද බලනවානම් තමයි. නෑදෑයෝ ආව කියන්නැතුව “පුංචිල ආව.. නැන්දලා ආව..” වගේ නෑදෑයගේ නමත් එක්ක කිවුවම බොරුව තවදුරටත් තාත්වික වෙනවා. ඕනනම් නෑදෑයෝ ආපු හේතුව කියන්නත් පුළුවන්. “පුංචි රට ඉඳල ආව ටීචර්” වගේ කිවුවම බොරුව ගොඩක් තාත්විකයි. හැබැයි ඉතින් මේ බොරුව කිවුවට පොඩි බැණුමක් ටිචර්ගෙන් අහන්න වෙනවා අනිවාර්යයෙන්. “නෑදෑයෝ ගෙදර වැඩ කරලා දෙනවද ළමයෝ” කියල ටීචර්ලා අහන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා මේ අවස්ථාවේදී.

 

මේ නෑදෑයෝ ටිකක් ආව කියන එකේ විලොමීය බොරුව. ඒකෙ වෙන්නේ එන එක. මේකේ වෙන්නේ යන එක. “නෑදෑ කෙනෙක්ගේ ගෙදර ගියා.. අම්මයි තාත්තයි එක්ක පාටි එකකට ගියා..” වගේ බොරු මේ ගණයට වැටෙනවා. තුන් වෙනි එකේ වගේම මේකෙදිත් බැනුමක් නම් අහන්න වෙනවමයි. මේ කොටසේදී ටීචර්ලා කියන්නේ “මොන ගමන ගියත් අනිත් දවසේ ගෙදර වැඩ ටික කරලා යනවා” කියලා.

 

මේක තමයි පොදු බොරුව. මෙච්චර වෙලා කිවුවේ ගෙදර වැඩ නොකරන්න හේතු වුණු හේතු නේ. මේ හේතුවෙන් කියන්නේ ගෙදර වඩාත් කළා. ඒත් ගේන්න අමතක උනා කියලා. ඒ කියන්නේ අපේ උං ගෙදර වැඩ නොකරපු බවවත් පිළිගන්න සුදානම් නෑ. හැබැයි ඉතින් ටිචර්ලත් මේක බොරු බව දන්නවා. එහෙම දන්නා ටීචර්ලා කියන්නේ “කෝ බෑග් එක ගේනවා බලන්න” කියල. එතකොට ඉතින් පොත තිබ්බොත් ඉවරයි. හරියට බොරුව කියන්න සුදානම් වුණු එවුන් නම් පොතත් හංගලා තමයි බොරුව කියන්නේ.

 

මේවා කියන්නේ නිර්මානශීලි පොරවල්. උං කාලෙන් කාලෙට වෙනස් වෙනස් බොරු කියනවා. “අලුත් අවුරුදු කාලෙට නෑදෑයෝ ආව කියනවා.. වෙසක් කාලෙට දන්සල් වඳින්න ගියා කියනවා.. මල්ලි ගෙදර වැඩ ටික උඩ බලි ඇන්ද කියනවා.. මල්ලි පොත ඉරපු හන්ද බලාගන්න බැරි උනා කියනවා.. පොත ඉවර වෙලා තිබුණේ. ඊයෙ අලුත් පොතක් ගන්න බැරි උණා කියනවා..” පේනවනේ බොරු වල හැටි. හරිම නිර්මාණශීලියි වගේම ටිකක් දුරට හිතලත් තියෙනවා බොරුව කියන්න කලින්.

ඉතින් ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. ඔබත් අනන්තවත් මේ විදිහට බොරු කියල ඇති. සමහරවිට ඒවා මීටත් වඩා නිර්මාණශීලී ඇති. ඉතින් මේ ලිපිය කියවල ඔබ කියපු බොරුවකුත් සඳහන් කරලම අනිත් අයටත් බලන්න මේ ලිපිය Share කරන්න.

 
Cover Image Source – time.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here