ගෙදරක කසළ කළමනාකරණය කරන්නේ කොහොමද? මෙන්න අපෙන් සරළ උපදෙස් – Waste Management at Home – Sri News

0
6

ආණ්ඩුවලට කඩේ යනවා නෙවේ. ඒත් ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ හැම දේම ආණ්ඩු කරලා දානකන්. රටේ උන්නතියට හරි මොකක් හරි එකකට අපිටත් දායක වෙන්න පුළුවන් නේද කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? අඩුම ගානේ තමන්ගේ ගෙයි හතර මායිමේ ටික ගැනවත් හිතන්න පුළුවන්කමක් තියනවා නම් කොච්චර දෙයක් ද? කුණු නිසා ලංකාවේ පහුගිය කාලේ වුණ අකරතැබ්බ ගැන වුණත් දැන් මතකය අඩුයි. කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් නිවැසියන් විදියට අපි මොකක් කරන්න ඕනිද?

 

කුණු විසි කරන්න බලාගෙන ඉන්නේ තමන්ගේ ගෙදර ඉඩක් නැති අයම නෙවේ. සැපපහසු කාර්බාර්වලින් නෝනලා මහත්තුරු ඇවිත් පාරට කුණු දාලා ගියාට ගෙවල්වල කුණු වලක් කපාගන්න ඕනි තරම් ඉඩම්. කුණු වල කියන්නේ කසළ කළමනාරකරණය සම්බන්ධයෙන් ගත් ආදි කාලීන, ඒත් අදටත් පවතින ක්‍රමයක්. නිවසේ එළියේ ඉඩ ඇති තැනක ගැඹුරට වළක් හාරලා එයට කුණු දාලා පස් තට්ටුවකින් යළිත් වසා තබනවා.

 

නගර සභාවෙන් කුණු ලොරිය ආවාම ඒකට ගෙදර තියෙන සේරොම කුණු ටික එක්කහු කරගෙන එක පාරට රෝල අතෑරියාම නගර සභා සේවකයාටත් අවුල්. නිවසේ කුණු කොටස් තුනකට බෙදන්න පුළුවන්. දිරාපත්වන ද්‍රව්‍ය, නොදිරන ද්‍රව්‍ය සහ ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් ද්‍රව්‍ය විදියට කොටස් තුනකට බෙදලා තිබ්බාම කුණු ටික අරන් යන්න ලේසී. ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් ද්‍රව්‍ය විකුණලා පුංචි ගතමනාවකුත් හම්බ කරන්න පුළුවන්.

 

කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම පුංචි කාලයේ පටන් ඉගෙනගත්ත දෙයක් වුණාට එය ක්‍රියාත්මක කරන්න ගොඩක් අය පෙළඹුනේ නෑ. ඒකට හේතුව ඒ දවස්වල කොම්පෝස්ට් සම්බන්ධයෙන් තිබුණේ වළ ක්‍රමයයි ගොඩ ක්‍රමයයි පමණක් නිසා. ඒත් දැන් කොම්පෝස්ට් බඳුන් වෙළඳපොළට ඇවිත් තියෙනවා. ප්ලාස්ටික් සහ සිමෙන්තිවලින් හදපු මේ බඳුන් තුළට දාන්න පුළුවන් දිරාපත් වෙන දේවල් විතරයි. නිශ්චිත කාලයක් අවසානයේ හොඳ කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් මේ හරහා ලබාගන්න පුළුවන්.

 

කසළ කළමනාකරණයේදී වඩාත් වද දෙන්නේ ප්ලාස්ටිකුයි පොලිතීනුයි තමයි. එක පාරක් පාවිච්චි කරපු පොලිතීන් බෑග් විසි කරන්නේ නැතුව තමන්ගේ ළඟ තියාගන්න පුළුවන් වුණොත් ඒක ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අලුතින් පොලිතීන් බෑග් කඩපිළෙන් ගේන්න නම් හිතන්නවත් එපා. ඒ හරියන්නේ නැත්නම් පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් නතර කරන්න ඕනි. පන් බෑග් සහ අනික් රෙදි බෑග් භාවිත කරලා කසළ කළමනාකරණ ක්‍රියාවලියෙදී වැදගත් කාර්‍යභාරයක් අපිට නිවසේ ඉඳන්ම කරන්න පුළුවන්.

 

තමන්ගේ ගෙවත්තේ පොඩියෙන් හරි වගාවක් පටන් ගත්තා කියන්නේ හැම අතින්ම නව දැක්මක්. අද කාලේ එළවළු විකුණන්නම නෙවෙයි මිනිස්සු ඒවා වවන්නේ. නගරාශ්‍රිතව කඩෙන් මිලදීගෙන කන්නෙත් පට්ටම වස. එතකොට මේක කසළ කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ දිරාපත් වෙන කසළ සහ කොම්පෝස්ට් පොහොර මල් පැළවලට දාලා ඉතාම සශ්‍රීක කුඩා ගෙවත්තක් හිමි කරගන්න පුළුවන් නිසා.

 

තුන් වේලට උයද්දී මහා හැලිවලට උයනවට වඩා ඉන්න කීප දෙනාට පමණක් ඇති වෙන්න ඉව්වම ඉඳුල් ඉතුරු වෙන්නේ පොඩ්ඩයි. ඒ ටිකත් කොම්පෝස්ට් බඳුනට දැම්මම වැඩේ කොලෝස්. ඉවිල්ල පැත්තකින් තිබ්බොත් කන්න බැරි තරමට බෙදාගන්න එකත් නිවසේ කුණු පිටතට යන්න හේතුවක්.

 

විදුලි උපාංග, පත්තර, පොත්, ඇඳුම් සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩු එන්න එන්න ගෙවල්වල ගොඩ ගැහෙන විදියේ දේවල්. කාලාන්තරයක් ගියාට පස්සේ මේවා පුද්ගලයන් හට දුන්නත් නොදුන්නත් ප්‍රශ්නයක් නැහැනේ ඉතින්. පරිත්‍යාග නොකෙරුවොත් නිරපරාදේ නිවෙස්වල ගොඩ නැගෙන මේ කසළ නිසා ගෙවල් ජරාජීර්ණ වෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here