ගුවන් ලෝකය වෙනස් කළ බෝයිං 737 – Sri News

0
3

ලෝකයේ ගුවන් ගමන් සේවාවන් කියන්නේ කොවිඩ් නිසා දැඩි ලෙස පසුබෑමට ලක් වුණ ක්ෂේත්‍රයක්. ගුවන් ගමන් නැවතීම නිසා ගුවන් යානා ගුවන්තොටුපළ අංගනවල දුක සේ ගාල්කර තබන්නට වුණා. පසුගිය 2019 වසරේ ගුවන් සේවාව කැළඹූ සිද්ධියක් වුණේ ඉතියෝපියානු ගුවන් යානා කඩා වැටීම. බෝයිං සමාගමේ 737-8 මැක්ස් ගුවන් යානාව කඩා වැටීම නිසා බෝයිං සමාගමත් එහි 737 මාදිලියත් පොදුවේ අපකීර්තියට පත් වුණා. ඒත් බෝයිං 737 කියන අංකය ලෝකයේ ගුවන් ගමන් සේවාවන් උඩු යටිකුරු කළ සාර්ථක ගුවන් යානා මාදිලියක්. අපි අද ඒ ගැන විස්තර ටිකක් දැනගමු.

 

බෝයිං 737-8 මැක්ස් ගුවන් යානය පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේ ගුවන් යානය තොග පිටින් ගුවන් සමාගම් වලින් ඉවත් කරනු ලැබුවා. හේතුව වුණේ ගුවන් අනතුරු දෙකකින් මහා විනාශයක් වීමට මේ ගුවන් යානා මාදිලිය හේතු වීම. ඉන්දුනීසියානු ලයන් එයා ගුවන් යානයක් 2018 ඔක්තෝම්බර් මාසයේදීත් ඉතියෝපියානු ගුවන් යානයක් 2019 මාර්තු මාසයේදීත් අනතුරට ලක් වෙලා, ඒ යානාවල ගමන් ගත් සියළුම අය මරණයට පත් වුණා. ඒ එක්ක බෝයිං 737-8 මැක්ස් ගුවන් යානාව ගුවන් සේවාවන් වලින් ඉවත් කළා. ඒ ගුවන් අනතුරු වලට හේතු වුණේ ගුවන් යානයේ සැකසුම සහ එහි මෘදුකාංග වල තිබුණ දෝෂයක්. ගුවන් යානයේ තිබූ මෙම දෝෂ තවමත් හරිහැටි නිරාකරණය කරගෙන නැති නිසා මේ මාදිලිය බෝයිං ඉතිහාසයට වගේම බෝයිං 737 නමටත් කළු පැල්ලමක් එකතු කළා.

 

මුලින්ම බෝයිං 737 යානාවක් ගුවන් ගතවුණේ 1967 ජනවාරි 17 වෙනිදා. එවකට එම ගුවන් යානාව නිකුත් කරන විට ගුවන් සමාගම් 17කින් බෝයින් යානා සඳහා ඇනවුම් ලැබී තිබුණා. මුල්ම බෝයිං 737 ඕඩරය ලැබුණේ ජර්මානු ගුවන් සේවාවක් වන ලුෆ්තන්සා ගුවන් සේවාවෙන්. එවකට තිබුණ ගුවන් යානා අතුරින් බෝයිං 737 ශක්තිමත් කල්පවතින නිමාවකින් යුතු එකක් බවට ලොව නම්දැරූ ගුවන් යානා ඉතිහාසඥයින් ප්‍රකාශ කර තියෙනවා. මේ ගුවන් යානා මිලදී ගත් සමාගම් විසින් එවකට දිනකට පැය 18-20ක් තරම් වැඩි කාලයක් මේ ගුවන් යානා ගැටළුවකින් තොරව ධාවනය කළ බව සඳහන් වෙනවා.

 

එවකට ජනප්‍රිය වෙලා තිබුණ BAC-111 සහ DC-9 ගුවන් යානා වල එන්ජින් තිබුණේ වලිගයේ. ඒ නිසා කැබින් එකේ පිටුපස කොටසේ මහ සද්දයක්, දෙදරීමක් නිබඳවම තිබුණා. ඒත් බෝයිං 737 වර්තමානයේ බොහෝ ගුවන් යානා අනුගමනය කරන තටුවේ යට එන්ජින් සවි කළා. මේ නිසා ගුවන් යානාව කලින්ට වඩා පහත් වුණා. ගුවන් යානයට බඩු පැටවීමත්, බඩු බෑමත් එනිසා ලේසි වුණා. ඒ වගේම මේ ගුවන් යානාවට තෙල් ගැහීමත් එවකට තිබුණ අනෙක් යානා වලට වඩා පහසු වුණා. මේ කටයුතු නිසා අනෙක් ගුවන් යානාවකට වඩා බෝයිං ගුවන් යානාවට මගීන්, බඩු පැටවීම සහ බෑම සඳහා ගතවන කාලය විනාඩි 90 සිට 40 දක්වා අඩු කරගන්නට පුළුවන් වුණා.

 

බෝයිං 737 එන්නට පෙර තිබුණ ගුවන් යානා වලට ගුවන් යානා ඉංජිනේරුවකු සහ තවත් පයිලට්වරු ගුවන් ගමනේදී සහාය වුණා. ඒත් බෝයිං 737 යානාවේදි ගුවන් නියමුන් දෙදෙනෙක් පමණක් ගුවන් ගමනකට එකතු කරගන්නා නව කඩඉමක් සම්පූර්ණ කරගත්තා. මුල් කාලීනව ගුවන් යානා වලට නැවිගේටර් එහෙම නැතිනම් ගුවන්යානයේ මාර්ගය සොයාගන්නා අයෙකුත් ඇතුළත් වුණා. ඒත් තාක්ෂණයේ දියුණුව සමග 1970 කාලයේ ජනප්‍රිය වුණු බෝයිං 737 යානා වලදී ඒ කටයුතු යන්ත්‍රානුසාරයෙන් සිදුවුණා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here