ගිනිතිවුවත්, ගැහුවත්, එලෙවුවත් අපි මිනිසුන්ට වැඩ කරන එක නතර කරන්නෑ..

0
13

ගෙවල් ගිනි තබා දේපළ විනාශ කර තර්ජනය කොට අපේ දේශපාලන ගමන නතර කළ නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා සදහන් කරන්නේ කළගුණ දන්නා මිනිසුන් ගම්පහ සිටිනතුරු තමන් අඩියක්වත් පස්සට යන්නට සුදානම් නොමැති බවයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේ මිනුවන්ගොඩ කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල්වල පාසල් දූ දරුවන් 1,200 කට පොත් කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. උඩුගම්පළ සතිපොළ භූමියේදී මෙම උත්සවය පැවැත්විණි.

මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විසිනි. මෙම එක පොත් කට්ටලයක මිල රුපියල් 7,500 ක් පමණ වේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මම මහ ඇමතිවරයා ලෙස සිටි කාලයේ අපි සරුදම් අරුණැල්ල පටන් ගත්තේ දරුවන්ට අධ්‍යාපනය මෙන්ම දහම් අධ්‍යාපනයත් ලබා දීලා රටේ සංස්කෘතියට ගැලපෙන ලෙස වැඩිහිටියන්ට සලකන දරුවන් සමාජයට බිහිකරන්න අවශ්‍ය නිසයි. පළාත් සභාවේ දායකන්වය මත එම වැඩසටහන හරහා අපි දහම් පාසල්, පන්සල්, පල්ලි, කෝවිල් හැමඑකටම උදව් කලා. සෑම දරුවෙකුම දහම් අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා ඒ කාලයේ අපි නීතියකුත් ගෙනාවා.

අද අපේ හාමුදුරුවන්ගේ දේශනාව අවසන් වුනාම මේ හැමෝම අත්පුඩි ගැහුවා. අපි දරුවන්ට පාසල්වල, දහම් පාසල්වල උගන්නන්නේ එහෙම කරන්නද? සංස්කෘතිය පිරිහෙන්න පසුගිය කාලයේ මොකද වුනේ? මිනිසුන්ගේ මානසිකත්වය ගැන හිතන්න මම මේක උදාහරණයක් විදිහට ගත්තා. දෙම්පියන්ගෙන් මම ඉල්ලීමක් කරනවා සෑම දරුවෙක්ම දහම් පාසලට යවන්න කියලා. දහම් පාසල් ගියාම ශිෂ්‍යත්වය, O/L , A/L විභාග සමත් වෙනවද කියලා හිතන අයත් ඉන්නවා. සමත් වීම අසමත් වීම සමාජයට යන දරුවන්ගේ ක්‍රියාකාරකම් තුළින් ඔප්පු වෙනවා.

අපි දරුවන්ව සමාජයට අරින්න හදන්නේ ගෙවල් ගිනි තියන, මීනි මරන, දෙමාපියන්ට ගහලා වැඩිහිටි නිවාසවලට දමන සමාජයකට නම් අපි ඒ කරන්නේ හරි දෙයක්ද? අපිට අවශ්‍ය වෙන්නේ වැඩිහිටියන්ට සලකන, තවත් කෙනෙකුට උදව් උපකාර කරන, සමාජයට බරක් නොවි ජීවත් වන පිරිසක් හදන්නද? නැතිනම් අර වගේ ගිනි තියන ගහන බනින මැරයෝ ටිකක්, කාන්තාවෝ දූෂණය කරන ළමා අපචාර කරන අයව හදන්නද? අපි ඒක ගැන හොදින් හිනන්න ඕන.

රෙජි රණතුංග මගේ පියාත් එදා ඉදන් හැමදාම වැඩිපුර මුදල් වෙන් කලේ දහම් අධ්‍යාපනයටයි සාසනාරක්ෂක බලමණ්ඩලවලටයි. අපි ඒක හැමදාම කරා. දරුවන්ගේ ගුණධර්ම වර්ධනය කිරීම සදහා පාසල තුළිනුත් යම් වෙනසක් ඇති විය යුතුයි. රටේ පාරවල්, ගොඩනැගිලි හදනවට වඩා දරුවන් වෙනුවෙන් හොද දෙයක් කළොත් ඒ අය රටට වැඩක් කරයි කියන විශ්වාසය අපි තුළ හැමදාම තියෙනවා.

ගෙවල් ගිනි තියලා අපිට ගහලා අපිව ගමෙන් යවන්න හැදුවට අපි ඊට වඩා ශක්තිමක් වෙනවා. මේ දේවල් 77 දී මගේ පියාටත් සිදු වුණා. ගෙවල් ගිනි තියලා අපිව දේශපාලනයෙන් ඈත් කරන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම්, අපි මිනිසුන්ට වැඩ කරන එක නතර කරයි කිලා හිතනවා නම් ඒක එහෙම වෙන්නෑ. මගේ පියාගේ කාලයේ ඉදන් මේ ගමට වැඩක් කරා නම් ඒ කරේ අපේ මැදිහත් වීම මතයි. කළගුණ දන්න මිනිස්සු මිනුවන්ගොඩ ඉන්නකම් අපි අඩියක් පස්සට ගන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.

පාසල් දූ දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහන් මිනුවන්ගොඩ ආසනය තුළ දීර්ඝ කාලයක සිට ඇමතිවරයා විසින් ක්‍රියාත්මක කරන අතර පසුගිය කාලයේ රටේ පැවති කොවිඩ් වසංගතය, අරගලය වැනි විවිධ හේතු නිසා එම කටයුතු අඩාල විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් අරුණි ද සිල්වා යන මහත්ම මහත්මීන්, දෙමාපියන්, දූ දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ප්‍රදීප් අනුර කුමාර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here