ගාසා ගැටුමෙන් ශ‍්‍රී ලංකාව වැනි රටවලට බරපතළ ගැටුම්කාරී තත්වයක්..

0
5

පලස්තීනය සම්බන්ධ යෝජනාව ආදී ජාත්‍යන්තර ගැටළු හමුවේ ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයක් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට විශාල කාර්යභාරයක් ඇති බව ය.

ඉන්දියානු සාගරයේ අපේ පිහිටීමත් සමග, මහ බලවතුන් අතර අපත් ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් සුහුරු බලයක් හැටියට නැගී සිට යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් කර ගත යුතු බව ද, හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“ලෝක ඉතිහාසය දිහා බලන කොට, විශේෂයෙන් මේ විසි එක්වැනි සියවස දිහා බලන කොට මෙතෙක් කාලයක් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ, මේ ලෝකයේ තිබූ සාමකාමී වටපිටාව වෙනස් වෙලා යුද ගැටුම් සහිත නව සාමාන්‍ය තත්ත්වයක් ලෝකය පුරා ගොඩනැගෙමින් තිබෙනවා. එක පැත්තකින්, බටහිර ආසියාවේ, මැදපෙරදිග, ඒ ඇතිවෙලා තියෙන ඊශ්‍රායෙල් හමාස් ගැටුම. අනිත් පැත්තෙන් රුසියාව හා යුක්‍රේනය අතර නැගෙනහිර යුරෝපයේ ඇතිවෙලා තියෙන මේ ගැටුම විසින් අද මුළු ලෝකය ම නව යුද ගැටුම් සහිත සාමාන්‍යයකට ලක් වෙලා තියෙනවා. මේ ලෝක ඉතිහාසය දිහා බලන කොට අපට පේනවා ලෝකය විශේෂයෙන්ම පසුගිය අවුරුදු හයසීයක පමණ කාලය පුරා එක බලගතු රාජ්‍යයක් පසු කර යන්නට තවත් බලගතු උත්සාහ කරන අවස්ථාවල දී මේ වගේ අසාමාන්‍ය ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙමින් තිබෙනවා. දේශපාලන විද්‍යාඥයින්, තුසිඩයිඩ් උගුල, එහෙම නැත්නම් Thucydides Trap, කියලා මේක හඳුන්වන්නේ. දෙවැන්නා පළමුවැන්නා, ඉස්සර කරන්න යාම.

අද වසර ගණනාවක්, විශේෂයෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ, විශේෂයෙන්ම, 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පස්සේ, ලෝකයේ තනි ආර්ථික, දේශපාලන යුද බලවතා හැටියට හිටපු ඇමරිකා එක්සත් ජනපදයට දැන් ඒ හැම බලගතු අභියෝගයක් ආසියාවෙන්, විශේෂයෙන්ම චීනයෙන් එල්ල වෙලා තිබෙනවා. ඒ වගේ ම රුසියාවෙන් එල්ල වෙලා තිබෙනවා. මේ ගැටුම් හරහා, අපට පේනවා ඒ යටින් යන ඒ සීතල යුද්ධය දැන් විවෘත ක්‍රියාවලියකට මග පාදලා තියෙන බව. ඒ වගේම මේ අරගලයෙන් ලංකාව හුදකලා වෙලා නැහැ. මේ අරගල දෙක නිසා ලෝකයේ සැපයුම් ජාල වලට බොහෝ ආඩම්බරයෙන් ප්‍රකාශ කරපු ගෝලීයකරණය පිළිබඳ කාරණාවලට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ආහාර වලට පොහොර වලට ඒ වගේම විශේෂයෙන්ම ඉන්ධන වලට විශාල බලපෑමක් මේ කලාපයේ අපි හැමෝටම එල්ල වෙලා තිබෙනවා.

ඒ නිසා මේක තවදුරටත් හුදකලා ගැටලුවක් නෙවෙයි. පලස්තීන ගැටලුවක් පමණක් නෙවෙයි. මේක මුළු ලෝකයම වෙලා ගත්ත විශේෂයෙන්ම අපි වැනි රාජ්‍යයන්ට ලොකු බරපතළ ගැටුම්කාරී තත්වයක් උදා වෙන තත්වයක්. ඉතා වාසනාවන්ත විදිහට කිසියම් දුරකට යටින් සිදු වෙච්ච දේශපාලනික ක්‍රියාවලියක් නිසා ඉරානය හා ඊශ්‍රායෙලය අතර ඇතිවෙන්න ගිය සෘජු ගැටුම නැවතිලා තිබුණත් තාමත් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම ඒ රටවල සම්පත් රුසියාවේ සම්පත්, ඉරානයේ සම්පත් මේවා අනෙක් රටවල් වලට විවෘතව ලබා ගැනීමට විශාල බාධාවක් මේ ගෝලීයකරණය ගැන කතා කරන අතරේ විශාල බාධාවක් අපි වගේ පොඩි රටවල් වලට ඇවිල්ලා තියෙනවා.

දැන් ඉරානයේ චාබර් වරාය ඉන්දියාවෙන් පාලනය කරනවා. කිසිම සම්බාධකයක් නැහැ. නමුත් අපි තෙල් ගල් මොකක් හරි ගෑස්, එහෙම නැත්නම් වෙනත් දෙයක් අපි ලබාගන්න ගියාම, අපට බලගතු ප්‍රශ්න බටහිර ලෝකෙන් මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා බලගතු ජාතීන්ට තමන්ට රිසි විදියට හැසිරෙන්න ඉඩ ලැබිලා තියෙනවා. අපි වැනි කුඩා ජාතීන්ට මේ ගැටුමෙන් විශාල පීඩාවන් වලට ලක් වෙන්න වෙලා තියෙනවා.

ලෝකයේ සැපයුම් ජාල මූල්‍ය ගලා යෑම් ගෝලීයකරණය අවහිර වෙලා අද වෙනකොට කිසියම් බලවතුන් විසින් හසුරුවන ක්‍රියාවලියක් ඇති වෙලා තියෙනවා විතරක් නෙවෙයි. ලෝකයේ ඇති කරගෙන තිබුණු අන්තර්ජාතික ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණ වගේ දේවල්, මහා විහිළුවක් බවට පත්වෙලා තියෙනවා. මොකද අපිට බොහොම පැහැදිලිව පේනවා මේ සිදුවූ සිදුවීම් ජාලයේ, ඝාතන ජාලයේ, අනාත වීම් ඉදිරියේ මේ ආයතන ඉතාම අක්‍රීය විදිහට කටයුතු කරපු බව.

අපි, කැමතියි යෝජනා කිහිපයක්, අපේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here