ග්‍රාම නිලධාරී සේවයේ ගැටළුවලට කඩිනමින් විසඳුම්

0
23

රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසයි.

දින කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ ග්‍රාම නිලධාරීන්ගේ වැටුප්, දීමනා සහ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටළු මෙන්ම වැටුප් තලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳ  මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් ව තිබෙනවා.

මෙහිදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දී ඇත්තේ ග්‍රාම නිලධාරී සේවයේ උසස්වීම් පිළිබඳව ගැටළු රැසක් මතුවී ඇති බැවින් ඒවා විසඳමින් සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බවයි.

දැනට කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිපත් කරන ලෙස සාගල රත්නායක මහතා එහිදී දැනුම් දුන්නා.

මේ අතර වැටුප් විෂමතා කඩිනමින් විසඳීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනයට අදට දින 29ක්.

මේ හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ අවම පහසුකම් යටතේ හෝ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.මේ අතර අධ්‍යපාන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට පසුගිය සඳුදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here