ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් “හොඳ කොල්ලා” පොයින්ට්ස් ලබාගන්නේ කොහොමද? – Sri News

0
4

කෙල්ලන්ට තියනවාය කියන මායිම් 64න් උපරිම ඵල නෙලාගන්න පුළුවන් නම් ඉතින් අන්න කොල්ලෝ. අද කාලෙට මොඩිෆයි වෙච්චි ඔය මායම් අතරේ “හොඳ කොල්ලා” කියන නාමයෙන් තමන්ගේ ප්‍රේමවන්තයාට සංග්‍රහ කරන එකත් ඉස්සරහින්ම තියෙනවා. ඉතින් ඕක ලබා ගන්නේ කොහොමැයි? ඒකට ඉතින් කෙලි පැටික්කිගේ මනදොළ සපුරන්න වෙනවා. එහෙනම් වෙන්ඩ හොඳ කොල්ලනි, පිළිවෙතින් පෙළගැසෙමු.

 

කවුද ඉතින් නොහිතන නොපතන ආසා හිතෙන දේවල් වෙනවට අකමැති! විශේෂයෙන්ම ඔය අංශයෙන් කෙල්ලෝ ඇඹලයෝ වගේ. උන්දැලට පුංචි දෙයත් ඇති ජිවිත කාලේම මතක් කර කර සතුටු වෙන්න. පුදුම කරවනවා කියලා දෙන්නගේම බෙල්ලට තොණ්ඩුව වැටෙන විදියේ ගොන්පාට් කරන්න යන්නේ නැතුව පුංචි පුංචි දේවල් කරන්න පුළුවන්. යහළුවන් එක්ක එකතු වෙලා හොරෙන් බර්ත්ඩේ සප්‍රයිස් එකක් දෙන එක, කලින් දැනුම් දෙන්නේ නැතුව ඇයව හමු වෙන්න යන එක, ඩේට් එකකට ඉටිපන්දම් එළියයි මූදු හුළං පාරකුයි සෙට් වෙන විදියට වැඩ කටයුතු සලසන එක වගේ දේවල්.

 

මේක එකදාස් නවසිය බර ගණන්වල ඉඳන්ම එන ටෙක්නික් එකක්. ඉතාම හොඳ ප්‍රේමවන්තයෙක් නම් උපන්ගෙයි කවිකාරයෙක් වෙන්නම ඕනි. පදයකින් දෙකකින් තමන්ගේ කෙල්ලගේ රූ සොබාව බැරි නම් වෙන ඕනි සොබාවක් ගලපාගන්න බැරි නම් ඇත්තටම වැඩක් නැහැ. ආදරේ දී කවි ලියන එක හරිම ආසා හිතෙන වැඩක්. ඒ වගේ දේකට තමන් වස්තු විෂය වුණා කියලා දැනුණාම කෙල්ලට එන සතුට විඳගන්න නම් කවියක් දීලාම බලන්න ඕනි.

 

කොල්ලෙක් තියාගන්න ඕනි වැදගත්ම දෙයක් තමයි අරක තරම් ආදරෙයි, මේක තරම් ආදරෙයි, පැලෙන්න ආදරෙයි කිව්වට ආදරය සම්බන්ධයෙන් කෙල්ලගෙන් කොල්ලට හිමි වෙන්නේ දෙවෙනි තැන කියන එක. ඒ කිව්වේ පළවෙනි තැන හිමි වෙන්නේ තමන්ගේ පවුලටයි කියන එක. අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට පස්සේ තමයි කොල්ලට ආදරේ ලැබෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඇයට ජීවිතයක් තරම් වටිනා මිනිස්සු අමතක කර දාලා ඇගෙන් හොඳ නමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පිස්සෙක්.

 

වෙලාව නැතිකම සහ අම්බානෙකට බිසී කියන හේතු ඇත්තටම නිදහසට කාරණා. මොන තරම් වැඩ ගොඩක හිර වෙලා හිටියත් ඇය වෙනුවෙන් වෙලාව හදාගන්න පුළුවන් නම් ඇත්තටම හොඳ පට්ටම ලබාගන්න සුදුසුයි. එතකොට තමයි ඒ ළමිස්සිට හිතෙන්නේ මේ යකාට මං ගැන මොකක් හෝ කැක්කුමක් තියනවා කියන එක. 8-5 රස්සාවට ගිහින් ඇවිත් ගුඩ් නයිට් ටෙක්ස්ට් එකක් දාලා නිදාගන්න ගියොත් වැඩේ වරදී මලේ.

 

කොල්ලා කොල්ලා කියලා කොල්ලගේ භූමිකාව විතරක් කරන්න ගත්තම ඕක එපා වෙලා යනවා. එතනින් මිදිලා යාළුවෙක් විදියට ඉන්නත් පුළුවන්කමක් තියනවා නම් හරි වටිනවා. සමාජයේ පිළිගත්තු විහිළුවක් තියනවනේ කෙල්ල එක්ක ෂොපින් ගියාම කොල්ලා බුදු කට්ටක් කනවා ය. අනේ පව් ය වගේ ගොන් පාට්. මේවට අහු නොවී ඇය ෂොපින් කරනවා නම් මිතුරෙක් වගේ ඒකට සම්බන්ධ වෙන්න. එතකොට දෙන්නම ආසාවෙන් ඇඳුම් තෝරනවා, හැඩ බලනවා. නරකට තියෙයි.

 

කියන දේ අහන්න කියන එකෙන් කිසිම විටකින්වත් ඇඟවෙන්නේ නැහැ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා එකිනෙකා දාගන්න සීමා ගැන නම්. කෙල්ල විදියට තමන්ගේ කොල්ලව යහමගට ගන්න එහෙමත් නැත්නම් ඉන්න මට්ටමින් තව පොඩ්ඩක් හරි උඩට යවන්න මොකක් හරි ඔවදනක් ලැබෙනවාමයි. ඒ වෙලාවට බකපණ්ඩිත නොවී ඒ කියන දේ අහන්න. කියන දේ ඇහුවම කාටත් හොඳ ළමයා කියන නාමය ලැබෙනවා. හැබැයි ඕක කෙල්ලගෙන් එනකොට අමුතු කික් එකක් තියෙනවනේ.

 

මේක කියන එකෙන් හොඳ කොල්ලා නාමය එක්ක තව නම් සෙට් එකක්ම බෝනස් විදියට ලැබෙනවා. ඉතාම ආදරණීය විදියට කියන පිස්සා, මැට්ටා, බූරුවා, මෝඩයා ඉන් කිහිපයක්. නිතරම ආදරේ කියන එක තනිකර බොළඳ වැඩක් කියලා හිතනවා නම් ඉතින් මේකට එන්ටර් වෙලා වැඩක් නැහැ. බොරුවට ඕක රිපීට් කරන්න ගියාම අහු වෙනවා. බොළඳ කමේ තියෙන දාර්ශනික සුවේ විඳින්න පුළුවන් හැම විටම ඒ ආදරය ඇයට කියන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here