ගතේ ලෙඩට බෙහෙත් බිව්වට මොකද හිතේ ලෙඩටනම් කෝපි කෝප්පෙකුත් හොඳයි

0
5


ඉස්සර මම පුංචි දේටත් හිතින් ගොඩක් කඩන් වැටුන කෙනෙක්. රෑ තිස්සේ අඬ අඬා නිදියගත්තු ප්‍රශ්න එක්ක තමයි උදේටත් මම ඇහැරුණේ. එහෙම දවස්වලට උදේට කණ්ණාඩියෙන් මගේ මූණ දකිද්දී මටම ලොකු අපහසුවක් දැනුණා. ඒ කාලේ මං මගේ සතුට අමතක කරලා, අංශුමාත්‍රයක්වත් මගේ සතුට ගැන හිතන්නේ නැති අයව සතුටින් තියන්න උත්සාහ කළා. ඒක හරි අසාර්ථක උත්සාහයක් කියලා පස්සේ තමයි තේරුම් ගියේ. මොකද අනිත් අයව සතුටු කරන්න හැදුවට ඒකෙන් මට සතුටක් ලැබිලා තිබුණේ නෑ. ඒ ඇරුණම මම ඔක්කොම වැඩ එකම දවසේ කරන්න ගියා. ඒ විතරක් නෙවෙයි මටම එක එක නීති දාගෙන මාවම හිරකරන් හිටියා. සමහර වැඩ හිතපු දවසේ හිතපු වෙලාවට ඉවර කරන්න බැරි වුණොත් ඒවා මට ආපහු කරන්න බෑ කියලයි මට හිතුණේ. ඒ නිසා කායිකව වගේම මානසිකවත් මං මාවම පීඩාවට පත් කරගත්ත අවස්ථා වැඩියි.

ඒ අතරේ මට පාලනය කරන්න බැරි දේවල් ගැන මං ඕනවට වඩා හිතුවා. ඒවා පාලනය කරන්න එක එක උපක්‍රම පාවිච්චි කළා. ඒවාගෙන් මං හෙම්බත් වුණ එක විතරයි වුණේ. මට උත්තර නැති ප්‍රශ්න ගැන රැයක් දවාලක් නැතුව කල්පනා කළා. සමහර මිනිස්සු ගැන පුදුමාකාර තරහකින් මගේ හිත පුරවගෙන හිටියා. මාව හිතින් වට්ටපු, හිතට වේදනා දුන්න අය ගැන කළකිරීමක් එක්ක තිබුණේ නොසංසිඳෙන තරහක්. ඒත් ඒ කිසිදේකින් කිසිම හොඳක් වුණේ නෑ. තවත් හිත හිත, කල්පනා කර කර මනසින් වැටුන එක විතරයි වුණේ.

එහෙම වෙද්දී මගේ ජීවිතේ වටිනාම පැත්ත ටික ටික විනාශ වෙනවා කියලා මට තේරුණා. ඒ තමයි මගේ පවුල. මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මං විඳින්න ඕන කාලය මං නැති කරගන්නවා කියලා මට හිතුණා.

දහම් මට දවසක් කිව්වා රෝසි ඔයාට පාලනේ කරන්න බැරි දේවල්, උත්තර නැති ප්‍රශ්න ඔලුවට දාගෙන විහින් විවන්න එපා. ඒකෙන් හිතට නිදහසක් නැතිවෙන එක විතරයි වෙන්නේ. පුළුවන් තරම් එහෙම දේවල්වලින් ඈත්වෙලා ඉන්න. ඔයාට සතුටින් ඉන්න පුළුවන් දේවල් කරන්න. ඔයා සතුටින් ඉන්න තරමට අපේ පවුලේ සතුට රැකෙනවා කියලා.

ඉතින් මම ටික ටික ඒ වැරැද්ද හදාගත්තා. මං තේරුම්ගත්ත ලොකුම දේ තමයි මාව සතුටින් තියන්න පුළුවන් එකම කෙනා මං කියන එක. හිතෙන්, මනසෙන් වැටෙන තැනයි මං ශක්තිමත් වෙන්න ඕන තැන කියලා මම තේරුම්ගත්තා. ඊටපස්සේ මම කළේ මට පුළුවන් වැඩ කොටස විතරයි. ඊට වඩා එහාට වැඩ කරන එක මං නතර කළා. ඒකෙන් මගේ හිතට ලොකු සැනසීමක් දැනුණා. රෑට මං නිදියද්දී දවසේ වුණ සතුටුම සිදුවීම ආයෙම මතක් කරගත්තා. ඒ නිසා මං සතුටින් නින්දට ගියා විතරක් නෙවෙයි පහුවදා සතුටින් ඇහැරුණා. අනිත් අයගේ සතුට ගැන මම හිතුවේ මගේ සතුටට මූලිකත්වය දෙන ගමන්. මේ දේ මේ දවසට අනිවාර්යයෙන් කරන්න ඕනේ කියලා දාගෙන තිබුණ නීති මංම අයින් කරලා මාව නිදහස් කරගත්තා. ඒ නිසා මානසිකව වගේම කායිකවත් මට ලොකු පහසුවක් දැනුණා.

මගේ හිත තරහෙන් පුරවපු හේතුවලට සම්බන්ධ අයට ඉල්ලුවත් නැතත් මං හිතින් සමාව දුන්නා. එතකොට හිතට දැනෙන නිවීම කියන්න වචන නෑ. හිතේ පුපුරණ තරහට වඩා සමාව හිතට ගේන සැනසීම ජීවිතේ දිහා ලස්සනට බලන්න ලොකු උදව්ක් වුණා.

සමහර ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් අපි ගොඩක් හිතින් කඩන් වැටෙනවානේ. මට එහෙම වෙලා තියෙනවා. ඔයාටත් අනිවාර්යයෙන් වෙලා ඇති.  එහෙම වෙලාවට මං හොඳ කෝපි එකක් හරි, තේ එකක් හරි බොනවා. නැත්තම් එදා දවසේ මං කරන හැම වැඩක්ම නතර කරලා ටිකක් හොඳට නිදාගන්නවා. මට අඬන්න ඕන නම් මං ඇතිතරම් තනියෙන් අඬනවා. නැත්තම් පොතක් කියවනවා. ඒ පුංචි දේවල්වලින් උත්තර නැති ප්‍රශ්නවලට හිනාවෙලා මූණදෙන්න තරම් ලොකු ආත්මශක්තියක් එනවා. ඒ වෙලාවට මගේ මූණේ මං දකින හිනාව තමයි මං තවත් ශක්තිමත් කියලා මටම ඔප්පු කරන්නේ.

හිතින් වැටුණාම ඒ ගැනම හිත හිත එක තැන පල්වෙන එක නෙවෙයි කරන්න ඕනේ. එතැනින් ඔලුව උස්සන් ඉස්සරහට අඩියක් තියන්නයි උත්සාහ කරන්න ඕනේ. මගේ සතුට මට තරමටම මගේ පවුලේ සතුටට බලපානවා කියලා තේරුණාම ලේසියෙන් ඒ අඩිය ඉස්සරහට තියන්න මට පුළුවන් වුණා.

අපි කොච්චර ප්‍රශ්නවලට මූණදුන්නත් හිතින් වැටෙන අවස්ථා ඕනතරම් එනවා. ඒත් පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න නොගිහින් ඒවාට මූණ දීලා අත්දැකීමක් අරගත්තානම් අපි නොදැනුවත්වම පරිණත වෙනවා.

ඒ නිසා හිතින් වැටෙන හැම මොහොතකම මේක මට ජීවිතේ තේරුම්ගන්න ලැබුණ හොඳම අවස්ථාවක් කියලා ස්තූතිවන්ත වෙන්න.

හෂිණී මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here