කොල්ල කල්ලි වෙඩි තැබීමෙන් පසු මීගොඩ ආර්ථිකේ තොග වෙළෙඳාම් නවතී

0
4

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබාදෙන තෙක් තොග වෙළෙඳාමෙන් ඉවත් වීමට මීගොඩ වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක් තුළට පෙරේදා (පෙබ. 11) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ඉල්ලා සිටිය ද මෙතෙක් එම ආරක්‍ෂාව නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව වෙළෙඳ සංගමයේ සභාපති චමින්ද රෝහණ කුමාර ‘මව්බිම’ ට පැවසීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පොලිස් මුරපොළක් පිහිටා තිබුණ ද ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවද පෙරේදා සිද්ධිය මීට හොඳ ම උදාහරණය බව ද වෙළෙඳ සංගම් සභාපතිවරයා පවසයි.

සවස 2.00 සිට උදෑසන 5.00 දක්වා ආර්ථික මධ්‍යස්ථානයට ආරක්‍ෂාව සලසන ලෙස ඉල්ලීමක් කළද දැනට ආරක්‍ෂාව සැලසෙන්නේ සවස 6.00 සිට අලුයම 3.00 දක්වා පමණක් බව ද පවතින වාතාවරණය තුළ එම ආරක්‍ෂාව කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව ද ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව, පෙරේදා දින ගෙනැවිත් ඇති එළවළු සිල්ලර වෙළෙඳාම සඳහා පමණක් යොදා ගත්ත ද ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබාදෙන තෙක් තොග වෙළෙඳාමෙන් ඉවත් වීමට වෙළෙඳ සංගමය පියවර ගෙන ඇත. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලකට ඊයේ අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා බියවද්දා එම සේවා මධ්‍යස්ථානයේ තිබූ මුදල් කොල්ලකා පළා ගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසයි.

සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අලුයම 1.30ට පමණ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ආර් 39 වෙළෙඳසැලට ඇතුළු වී එම සේවා මධ්‍යස්ථානයේ සේවිකාව හා සේවකයා බියවද්දා පහර දී මුදල් කොල්ලකා පලා යද්දී සැකකරුවන් අතැතිව තිබූ ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකොට පළා ගොස් ඇත. වෙඩි තැබීමෙන් එම වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සේවිකාවක් තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සේවිකාවගේ තත්ත්වය බරපතළ නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වෙළෙඳසැලේ මුදල් කොපමණ තිබුණ ද යන්න මෙතෙක් ගණන් බලා නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද රෝහණගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීමෙන් මෙවැනි සිදුවීම්වලට නිරන්තරයෙන් මුහුණපෑමට සිදු විය හැකි අතර පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගෙන් පමණක් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන අතර මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවන තෙක් ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම වෙළෙඳුන් සිය වෙළෙඳාම්වලින් ඈත්ව විරෝධතාව ප්‍රකාශ කර සිටින බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ගේ ආරක්ෂාව පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි වෙළෙන්දෝ අපේක්ෂා කරති.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here