Home හරිත යාය කෘෂි රසායන තහනම් කිරීම සහ වකුගඩු රෝගය – Sri News

කෘෂි රසායන තහනම් කිරීම සහ වකුගඩු රෝගය – Sri News

0
11


කෘෂිරසායන වර්ග කීපයක් තහනම් කිරීමට මෙරට පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා 2014 දෙසැම්බර් 22 දින කටයුතු කළ බවට පසුගිය දිනවල පුවත්පත් වාර්තා කර තිබිණ. එම කෘෂි රසායන නම්, ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කොලොපයිරිෆොස් සහ කාබොෆියුරාන් ය. (Glyphosate, Propanil, Carbaryl, Cholopyrifos and Carbofuran) එම නිවේදනයේ තවත් කරුණක් සඳහන් ය.

එනම්, එම තහනම ක‍්‍රියාත්මක වන්නේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත‍්‍රික්කවල සහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගන, රිදීමාලියද්ද, කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පමණක්
බව ය.

වැඩිදුර විශ්ලේෂණයකට යාමට පෙර එම පුවත් වාර්තාවල සඳහන් කරුණු කීපයක් ඔබගේ අවධානයට යළි යොමු කිරීමට අදහස් කරමි.

‘‘පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් මෙම තීරණය ගනු ලැබ ඇත්තේ මහජන සුබසිද්ධිය ගැන සලකා බලා ය. රජරට බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගය සහ වල්නාශකයක් වන ග්ලයිපොසේට් සහ අනෙකුත් කෘෂි රසායන අතර සම්බන්ධය විද්‍යාත්මකව ඔප්පු කරනු ලැබ ඇත.

1990 ගණන්වල මෙම වකුගඩු රෝගය මුලින් ම හඳුනාගත් අතර ඊ ළඟ දශක දෙක තුළ තවත් රටේ අනෙකුත් ගොවි කලාපවලට ද පැතිරී යන්නට පටන් ගත්තේ ය. එම කාලය තුළ එම ප‍්‍රදේශවල ජනගහනයෙන් 15% ක්, එනම් 400000කට රෝගය වැළඳී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඉන් 20000ක් පමණ මරණයට පත් වී ඇත.”
(http://www.news.lk/news/business/item/5317-sri-lanka-bans-use-and-sale-of-five-active-pesticide-ingredients)  (http://www.adaderana.lk/news/29180/sri-lanka-bans-pesticides-contAining-5-chemicals)

පාරිසරික පර්යේෂණ සහ මහජන සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ (International Journal of EnvironmentAl Research and Public Health) ප‍්‍රසිද්ධ කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව කිවුල් ජලයට කැඞ්මියම් වැනි බැර ලෝහ මුසු වූ විට ග්ලයිපොසේට් ඉතාමත් විෂ සහිත තත්ත්වයකට පත් වේ.

පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් විසින් මුලින් ම 2014 අපේ‍්‍රල් මාසයේ දී ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කරනු ලැබුවත් මැයි මාසයේ දී යළි එම තහනම ඉවත් කරන ලදී. මේ එම වල් නාශකය ‘තහනම්’ කරනු ලබන දෙවන හෝ තෙවන වතාව ය.

මෙම තීරණය ගැනීමට හේතුව වකුගඩු රෝගය සහ කෘෂිරසායන අතර ඇති සම්බන්ධය විද්‍යාත්මකව ඔප්පු කිරීම නිසා බව දෙපාර්තමේන්තුව පිළිගැනීම හොඳ ප‍්‍රවණතාවකි. එසේ පිළිනොගන්නේ නම් මෙම තීරණයට දෙපාර්තමේන්තුව නො එළඹෙනු ඇත. එහෙත් තාමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනාගේ තර්කය වනුයේ් එම සම්බන්ධතාව විද්‍යාත්මකව ඔප්පු නො කළ බවයි. නමුත් ඒ කිසිදු තර්කයක්, අකාලයේ අහිමිව ගිය කිසිදු මිනිස් දිවියකට වග කීවේ නැත.

මෙම තීරණය ඉතා කාලෝචිත එකක් බව මතු පිටින් පෙනුන ද එය එසේ නො වේ. මා එසේ කියන්නේ මේ නිසා ය. මෙම තීරණය වැරදි නිගමනයන් රාශියකට ඉඩ සකසා ඇත.

1 ඉන් පළමුවැන්න නම් වකුගඩු රෝගය ඇතුළු තවත් රෝග ගණනාවකට හේතු වන කාරණාව ඉහත සඳහන් කෘෂිරසායන වර්ග පහ පමණක් ම යැයි ගොවි ජනතාව අතර මතවාදයක් ඇති වීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයේ වකුගඩු රෝගයට හේතු විය හැකි තත්ත්වයන් ගැන මෙසේ ද සඳහන් වේ. ‘දියවැඩියාව සහ අධිරුධිර පීඩන තත්ත්වයන් වකුගඩු රෝගයට මූලික හේතු වුව ද අප කළ අධ්‍යයනයේ දී එම ප‍්‍රදේශවල පසෙහි අධික කැඞ්මියම්, ඊයම් සහ ආසනික් ප‍්‍රතිශතයක් දක්නට ලැබුණි. මෙයට හේතුව කෘෂිකර්මයේ දී අධික රසායන පොහොර සහ කෘෂි රසායන යෙදීම ය. පානීය ජලය දුෂණය වී තිබිණ. අධික සංඛ්‍යාවක් වකුගඩු රෝගවලට මෙය හේතුවක් විය හැක.’ (මහාචාර්ය මෙන්ඩිස් – ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යයන කණ්ඩායම් ප‍්‍රධානී).

රසායනික පොහොර ලෙස යොදන ටි‍්‍රපල් සල්ෆර් පොස්පේට්වල (Triple Sulphur Phosphate) අධිකව කැඞ්මියම් අඩංගු වන අතර ගොවිබිම් සහ ජලය කැඞ්මියම්වලින් දූෂණය විමට එය ප‍්‍රධාන ම හේතුව ය. මෙරට නිපදවිය හැකි රොක් පොස්පේට්වල කැඞ්මියම් බැර ලෝහය අඩංගු නො වේ. එහෙත් පොහොර ආනයනයේ දී ලැබෙන බලවත් වාසි තත්ත්වයන් නිසා දේශීය පොස්පේට් නිපදවීමට කිසිවකු උනන්දුවක් දක්වන බවක් නො පෙනේ. එසේ හෙයින් ඇතැම් කෘෂි රසායන වර්ග කීපයක් පමණක් තහනම් කිරීමෙන් ගොවීන් වකුගඩු රෝගයෙන් මුදවා ගන්නට හැකිදැයි සැකයක් මතු වේ.

2 දෙවැන්න නම් මෙම තහනම ක‍්‍රියාත්මක වන්නේ ඇතැම් ප‍්‍රදේශවලට පමණක් බව කීම ය. එක් වරට ම කෙනෙකුට සිතට එන්නේ මහියංගණයට, අනුරාධපුරයට හිතකර නොවන කෘෂි රසායන, හම්බන්තොටට හෝ පුත්තලමට හිතකර වන්නේ කෙසේදැයි යන්න ය. කාලාන්තරයක් තිස්සේ භාවිත කරන ලද අධික කෘෂි රසායන නිසා ඉහත සඳහන් දිස්ත‍්‍රික්කවලට බහුජාතික සමාගම් මගින් දායාද කරන ලද වකුගඩු රෝගය ඇතුළු තවත් රෝග ගැන පිළියම් යෙදීමට යම් උත්සාහයක් හෝ ගැනීම පැසසුම් කළ යුතු ය. එම රසායනික භාවිතය තහනම් නො කරන ලද අනෙකුත් ප‍්‍රදේශවල වකුගඩු රෝගය දක්නට නැති ද? මඳ වශයෙන් රෝගය දක්නට ලැබීම සතුටට පත් විය හැකි කරුණක් ද? රෝගයට හේතුකාරකය හඳුනාගෙන තිබියදීත් එම රසායනික භාවිත කිරීමට ඉඩ දීම වරදක් නො වන්නේ ද? වසංගත මට්ටමට එම රෝගය පැතිරෙන තාක් කල් බහුජාතික සමාගම්වලට තව දුරටත් එම රසායනිකයන් විකුණා ගන්නට ඉඩ දෙනවා ද?

කෘෂි රසායන භාවිතයෙන් ඇති වන වකුගඩු සහ අනෙකුත් රෝග ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රදේශ කීපයකට පමණක් සීමා වූ එ්වා නො වේ. රජරට වාරිමාර්ග පද්ධතිය ආශ‍්‍රිතව වකුගඩු රෝගය සංඛ්‍යාවෙන් ඉතා විශාල ලෙස වර්ධනය වූ බව සැබෑවකි. එහෙත් රටේ අනෙකුත් ප‍්‍රදේශවල එම රෝගය නොමැති බවක් ඉන් කියැවෙන්නේ නැත. රජරට ප‍්‍රදේශවල රෝගය එක් වර ම වසංගත මට්ටමට වැඞී ආවා නො වේ. එය දිගු කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයකි. ඇතැම් විට කෘෂි රසායනවලට වසර 20ක් -30ක් නිරාවරණය වීම නිසා ඇති වූ තත්ත්වයකි.

මෙම තත්ත්වය අප තේරුම් ගත යුතු ය. රටේ අනෙක් ප‍්‍රදේශවල වකුගඩු රෝග මූලික අවස්ථාවේ සිටින අය තව කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වනවා ඇත. හඳුනාගත් හේතු කාරකය තව දුරටත් එම ප‍්‍රදේශවල තිබෙන්නට හැරීම එම ප‍්‍රදේශවල ජනතාවට කරන අයහපතක්, අසාධාරණයක් නො වන්නේ ද?

3 කෘෂි රසායන රෙජිස්ට‍්‍රාර්වරයාගේ ප‍්‍රකාශයේ සඳහන් වන්නේ ඉහත සඳහන් කෘෂි රසායන වෙළඳාම සඳහා දැනට නිකුත් කර ඇති බලපත‍්‍ර එ් අනුව සංශෝධනය කරන බව ය. සංශෝධනය කුමක් ද? එනම් ඉහත සඳහන් කෘෂි රසායන නම් කරන ලද ප‍්‍රදේශවල විකිණීම තහනම් බව ය.

අපට පැහැදිලි වන දෙය නම් මෙම තීරණය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ නො හැකි බව ය. ශ‍්‍රී ලංකාව බඳු කුඩා රටක දිස්ත‍්‍රික්කයක්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයක් සීමා කොට භාණ්ඩ වෙළඳාම සීමා කිරීම කෙතරම් ප‍්‍රායෝගික ද? මනුෂ්‍යයන්ගේ සුබසාධනය නොව ආර්ථික ලාභාපේක්ෂාව එ්කායන ඉලක්කය කර ගත් බහුජාතික සමාගම්වලට ඉහත තීරණයෙන් අල්ප මාත‍්‍ර බලපෑමක් වන්නේ නැත. එ්, තහනම් කරන ලද හෝ නො කරන ලද ද්‍රව්‍ය විකිණීමේ ක‍්‍රමවේද ඔවුන් හොඳින් ප‍්‍රගුණ කර ඇති බැවිනි. කලකට පෙර දිස්ත‍්‍රික්ක අතර සහල් ප‍්‍රවාහනය තහනම් කරන්නට මෙරට තිබූ මාර්ග බාධක (සහල් පොලූ) මගේ මතකයට නැගේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එබඳු කෘෂිරසායන මාර්ග බාධක සැලසුම් කර තිබේදැයි කෙනෙකුට විමසිය හැකි ය.

මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ තාමත් මෙරට කෘෂි රසායන සම්බන්ධයෙන් නිසි ප‍්‍රතිපත්තියක් නැති බව ය. හරිත විප්ලවය අපට දායාද කළේ ආහාර ස්වෛරීත්වය නො වේ; බහුජාතික සමාගම්වල ලාභාපේක්ෂාව නිසා කිසිදු සුරක්ෂිත බවක් තහවුරු නො කළ වස විස සහිත ආහාර පද්ධතියකි. බහුජාතික සමාගම් සතුටු කිරීම වෙනුවට ජනතාවගේ ආහාර ස්වෛරීත්වයට ප‍්‍රමුඛතාව ලබා දිය යුතු බව මෙරට කෘෂි අධිකාරීනට නොතේරීම කණගාටුවට කරුණකි.

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here