කූනිස්සො සුවඳට කටට කෙල උනන කරත්ත කඩල හදමු… – Sri News

0
9

මේ දවස් වල හවසට වහිනව නේද?

වැහි පොද වැටෙන වෙලාවට පාරෙ කඩල කරත්තෙන් එන කටට කෙළ උනන සුවඳ මතක් වුනත් ඇති නේද? 

කඩල ගොට්ටක් එක්ක තේ කෝප්පයක් බොද්දි හිතට දැනෙන අපූරු හැඟීමට කැමති ඔයාල වෙනුවෙන්ම ඔන්න අද පාරෙ කඩල කරත්තෙ සුවඳටම කඩල හදාගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපි සූදානම් වෙන්නෙ. 

තේ වෙලාවට, උදේ හෝ රාත්‍රි කෑමකට වගේම යාළුවො එකතු වුන පුංචි සාදෙකටත් හරියටම ගැළපෙන පෝෂණය, රසය වගේ සුවඳ පිරුණු කරත්ත කඩල මේ විදිහට හදල බැලුවොත් ඒ රස කවදාවත් ඔබට අමතක වෙන එකක් නෑ. 

ඔබේ අතින් පිරිසිදුව නිවසේදීම හදන නිසා පොඩ්ඩන්ට වුනත් දෙන්න බය වෙන්න ඕන නෑ කියලත් ඔන්න අපි මුලින්ම මතක් කරනවා. 

එහෙනම් බලමු අපිට ඕන කරන දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

බෙරි නොවන සේ තම්බාගත් කඩල 250 g ක් 

පිරිසිදු කර වතුර ඉවත්කර ගත් කූනිස්සන් 50 g ක් 

සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩියක් 

කුඩාවට කපාගත් වියළි මිරිස් කරල් 02 ක් 03 ක් 

කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 02 ක් 

කරපිංචා ඉති දෙකක කොළ

රම්පා කැබැල්ලක්

අඹරාගත් ඉඟුරු සුදුලූණු මේස හැන්ඳක් 

අබ තේ හැන්ඳක්

සූදුරු තේ හැන්ඳක් (සූදුරු කුඩු යොදා ගන්නත් පුළුවන්)

සිහින්ව කපාගත් කැරට් අලයක්

රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු සහ කහ කුඩු ස්වල්පයක්

තෙල් 

සිහින්ව ලියාගත් අමු පොල් මද කාලක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක්කර ගන්න. 

තෙල් රත්වන විට එයට අබ එක්කර අබ පුපුරන තෙක් බැඳ ගන්න. 

අබ පුපුරා අවසන් වූ පසු සූදුරු සහ පිරිසිදු කරගත් කූනිස්සන් දමා කූනිස්සන් රන්වන් පාට වනතුරු බැඳගන්න. 

දැන් එයට අඹරාගත් සුදුලූණු ඉඟුරු, කරපිංචා, ලොකු ලූණු, අමු මිරිස්, වියළි මිරිස්, පොල් කැබලි, රස අනුව මිරිස් කුඩු, ලුණු කුඩු සහ කෑලි මිරිස් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

මේ සියල්ල මඳක් බැඳෙන තුරු විනාඩියක් දෙකක් තබා භාජනයේ පියන වසා ගන්න. 

විනාඩි 05 කට පමණ පසු පියන විවෘත කර තම්බාගත් කඩල ටික එකතු කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 02 ක් පමණ තබා සිහින්ව ලියාගත් කැරට් (ඔබ කැමති නම් ලීක්ස්) එකතු කර හොඳින් කලවම් කරගෙන විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවතට ගන්න. 

ඔබ ලීක්ස් ගහේ සුදු පැහැ කොටස ගන්නවා නම් එය කඩල ටික එකතු කිරීමට පෙර ලොකු ලූණු සමඟත් ලීක්ස් ගහේ කොළ පාට කොළ ගන්නවා නම් ඒව කැරට් එකතු කරන්න කලිනුත් එක්කර ගන්න පුළුවන්.

ලීක්ස් කොළ වල කොළ පැහැය නැතිවී යාමට පෙර යන්තම් මැලවී ගෙන එන විටම කැරට් එකතු කර කලවම් කර ගැනීමෙන් හොඳ පාටක් කඩල වලට එකතු කරගන්න ඔබට පුළුවන්. 

රස කාරක, සෝස් වර්ග මොනවත් නැති පෝෂණය පිරුණු මේ කඩල තෙම්පරාදුව හදල කාල බැලුවොත් පාරෙ ගන්න තියෙන කඩල වල රස පරාදයි කියල ඔබට හිතෙයි. 

එහෙනම්, මේ වගේ රස ගුණ පිරුණු තවත් කෑමක් අරගෙන නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. 

ඔබට සුව දවසක් වේවා !

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here