කැත්තට පොල්ල වගේ හිටියොත් දීගෙට ආයුෂ අඩුයි

0
6


නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙන තැනට එනකල් හිටියොත් සමහරවිට ජීවිතේ ගොඩක් වටිනා දේවල් අපිට අහිමිවෙන්න පුළුවන්. ලෙඩක් දුකක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි පවුල් ජීවිතේටත් ඒ කතාව අදාළයි. සමහර පුංචි ප්‍රශ්නවලට කලින්ම විසඳුම් හොයාගත්තේ නැත්නම් පවුලේ සම්බන්ධකම්, ආදරය, විශ්වාසය විතරක් නෙවෙයි එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවය වුණත් නැතිවෙලා යන්න පුළුවන්.

සමහර වෙලාවට නිහඬව ඉන්න ඕන තැන්වල සීමාවක් නැතුව කියවන්න යන එකෙන් විතරක් නෙවෙයි කතා කරන්න අවශ්‍යම තැන්වල නිහඬව ඉන්න එකෙනුත් අපි පවුල් ජීවිත අවුල් කරගන්නවා. පුංචි අනවබෝධයක් දුරදිග ගිහින් ඒක දබරයකට පෙරළිලා, පස්සේ මහා රණ්ඩුවකින් පවුල් ජීවිත දෙකඩවෙන අවස්ථා ඕනතරම් තියෙනවා. සමහරවිට ඒ හැමදේම වෙන්න හේතුවෙලා තියෙන්නේ පුංචිම පුංචි වැරදි වැටහීමක්. ඉතින් මං මේ කියන්නෙත් එහෙම දෙයක් ගැන. හැමදාම වගේ මගේ අත්දැකීමක්මයි මෙතැනදීත් උදාහරණෙකට ගන්නේ.

ඉස්සර ගොඩක් වෙලාවට මගේ තිබුණ ලොකුම වැරැද්දක් තමයි කවුරු මොනවා කිව්වත් මගේ මතයේම ඉන්න එක. මොනම හේතුවක් නිසාවත් මම මගේ මතය වෙනස් කරන්න කැමැති වුණු කෙනෙක් නෙවෙයි. ඒ කාලෙ දහම් එක්ක පොඩි පොඩි බහින්බස්වීම් වැඩිපුරම ඇතිවුණේ මේ හේතුව නිසා. දහම් කොච්චර තේරුම් කරන්න උත්සාහ කළත් මං හැමවෙලේම ‘නෑ ඒක එහෙම නෑ, එයා එහෙම නෑ, ඒක මේ විදියයි, ඒක මෙහෙම කරාමයි හරියන්නේ’ කියන මගේ මතයේම හිටියා.

ඒ නිසා මට සමහර තැන් වැරදුණා. ඒ වගේම සමහර දේවල් මගහැරුණා. එහෙම මගහැරුණ සමහර  තැන් අදටත් මට හදාගන්න අමාරුවෙලා තියෙනවා. ඒ අත්දැකීම නිසාම මම කියනවා, පවුල් ජීවිතේ ඇතුළේ තනි මතයක ජීවත්වෙනවාට වඩා දෙන්නගේම අදහස්වලට ගරු කරන එක ඉතාම වැදගත් කියලා. ඒ විදියට තමන්ගේ මතය වෙනස් කරන්න අකමැති කෙනෙක්ගේ චරිතය දිහා හොඳට බැලුවොත් තේරුම්ගන්න පුළුවන් ඒ අය නිහතමානී නෑ. තව කෙනෙක් පෙන්වලා දෙන හොඳ හෝ නරකක් දකින්න බැරි ඒකයි. ඉතින් මගේ ගාවත් ඔය වගේ දේවල් අඩු වැඩි වශයෙන් තිබුණා. හැබැයි කාලයත් එක්ක ලැබුණු විවිධ අත්දැකීම්වලින් මම තේරුම්ගත්තා මං දකින, මට පේන හැමදේම නිවැරදි නැති වග.

එහෙම කතාවකට එක උදාහරණයක් කියන්නම්. මං ඕනම කෙනෙක්ව ඉක්මනින් විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීම නිසා තව කෙනෙකුට බොහොම පහසුවෙන් මාව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දහම් මට හැමවෙලේම ඕක ගැන කියනවා. එයා අලුතෙන් අඳුරගන්න මනුස්සයෙක්ව විශ්වාස කරන්නේ අඩුම ගානේ අවුරුදු දහයක්වත් ආශ්‍රය කරලා. එහෙම කරලත් මිනිස්සු අඳුනගන්න අමාරුයිනම් මං කොහොමද එකපාර පිටස්තර මිනිස්සු විශ්වාස කරන්නේ කියලා එයා මගෙන් අහනවා. හැබැයි ඒ කියපු විදියට කිසිම කෙනෙක්ව ඕනෑවට වඩා විශ්වාස කරන්න නරකයි කියන එක පිළිගන්න මුලදී මම කැමැති වුණේ නෑ. ඒත් එහෙම අනවශ්‍ය විදියට විශ්වාස කරපු මිනිස්සු නිසා ලැබුණු අමිහිරි අත්දැකීම්වලින් පස්සේ මම තේරුම්ගත්තා, මට නොපෙනෙන පැත්තක් තවත් කෙනෙකුට පේන්න පුළුවන් බව.

ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. සමහර වෙලාවට අපේ නිහතමානීකම හෝ අහිංසකකමෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන මිනිස්සු ඒ අයගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්න හිතාගෙනත් අපිට හරි වැරදි පෙන්වන්න එනවා වෙන්න පුළුවන්. එහෙම අය හරි දේ වැරදි විදියට පෙන්වලා, වැරදි දේ හරි විදියට පෙන්වලා අපිව නොමඟ යවන්නත් පුළුවන්. ඒ වගේ තැන්වලත් ප්‍රවේසම් වෙන්න ඕන.

ඇත්තටම බාහිර පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරන අවස්ථාවලට වඩා වැඩියෙන් මේ ගැන හිතන්න ඕන ස්වාමියා හා බිරිඳ සම්බන්ධ කාරණාවලදී. පවුල් ජීවිතේ ඇතුළේ දෙන්නම කැත්තට පොල්ල වගේ තනි මතයක ඉඳගෙන වැඩ කරන්න ගියොත් එහෙම දීගෙකට ආයුෂ අඩුයි. හොඳ රස්සාවක්, ගෙයක් දොරක්, යානවාහන මේ මොනවා තිබුණත් එකිනෙකාට ඇහුම්කන් දෙන්නේ නැති ගෙදරක, අනෙකාගේ මතයට ගරු කරන්නේ නැති ගෙදරක, යටහත්පහත් බව කියන එක දුර්වලකමක් විදියට දකින ගෙදරක සතුට රැඳෙන්නේ නෑ කියන එකයි මගේ විශ්වාසය.

මම පවුල් ජීවිතයක් ගතකරන්න අරගෙන තාම අවුරුදු 10යි. මට හිතෙන්නේ තාමත් මං පවුල් ජීවිතේට ආධුනිකයි කියලා. ඒ නිසා පවුල් ජීවිතය සාර්ථක කරගන්න උපදෙස් දෙන්න මට පුළුවන්කමක් නෑ. හැබැයි මට මගේ අත්දැකීම් බෙදාගන්න පුළුවන්. ඒ අත්දැකීම් තමන්ගේ ජීවිත කතාවලට ආදේශ කරගෙන තවත් කෙනෙකුට ඒ වගේ වැරදුණු තැන හදාගන්න පුළුවන්. බිරිඳක්, මවක් විදියට මේ ලිපියෙන් මා බලාපොරොත්තු වෙන එකම දේත් ඒකයි.

 

හෂීණී මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here