කාල කළමනාකරණය ප්‍රශ්නයක් ද? එහෙමනම්, මේ පිස්සු හැදෙන කාල කළමනාකරණ ට්‍රික්ස් කීපය ඔබ වෙනුවෙන්මයි! – Sri News

0
12


සාමාන්‍යයෙන් කාලය සම්බන්ධයෙන් ගත්තහම අපි ඕනම කෙනෙක්ට විකල්ප දෙකක් තියෙනවා. ඒ තමයි, කාලය කනවද, එහෙම නැතිනම් කාලය කළමනාකරණය කරගන්නවද කියන විකල්ප දෙක. සාමාන්‍යයෙන් කාලය කියන එක කිසිම කෙනෙක් වෙනුවෙන් නතර වෙලා තියෙන්නෙ නැහැනේ. අන්න ඒ නිසා, අපි හැමෝම ඉගෙන ගන්න ඕන මූලිකම කාරණයක් තමයි, කොහොමද කාලය කියන එක හරිහැටි අපේ එදිනෙදා වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න යොදාගන්නේ කියන එක. මෙතනදී අපේ ඉගෙනුම් වැඩ කටයුතු එහෙම නැතිනම් වෘත්තිමය වැඩ කටයුතු වගේම, එදිනෙදා කරන්න තියෙන මූලික වැඩකටයුතු, පෞද්ගලික කටයුතු, සමාජමය කටයුතු කියන හැමදෙයක්මත් ඇතුළත් වෙනවා.

 

දැන් සමහර වෙලාවට අපිට හිතෙන්න පුලුවන් පැය 48 ක් දවසකට තිබුණත්, දවසේ වැඩ කටයුතු ටික හරියාකාරව කර ගන්න මදි කියලා. හැබැයි සමහර අතිශයින්ම කාර්යබහුල මිනිස්සු ඉන්නවා, තමන්ගේ තියෙන හැම දෙයක්මත් සාර්ථකව කරගෙන, ඊට පස්සේ රිලැක්ස් එකේ ආතල් එකක් අරගෙන ඉන්නත් වෙලාව හොයාගන්න මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ටත් තියෙන්නේ අපිට තියෙන කාලයමනේ. එහෙමනම් කොහොමද එහෙම කරන්නේ? ආන්න ඒකට තමයි කාල කළමනාකරණය අවශ්‍ය වෙන්නේ. අපි මීට කලින් කතා කරලා තියෙනවා කොහොමද ජීවිතයේ ඵලදායීත්වය ඉහළ නංවා ගන්නේ කියන කාරණාව. අන්න ඒකට මේ කාල කළමනාකරණ ට්‍රික්ස් ටිකකුත් එකතු කරගත්තොත්, අපිට තියෙන වෙලාව උපරිමයෙන් භාවිතා කරගන්න පුලුවන්!

 

01. අලුතෙන් හිතන්න

ඇත්තටම අපි ඉන්නේ ටිකක් අසීරු කාලෙක. ඔය දේශපාලනේ බලවතෙක් එහෙම නෙවෙයි නම්, ගොඩක් දුරට අපිට ඔය පවර් කට් වලට එහෙම මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ වෙලාවෙදී. දැන් එතකොට අපි පවර්කට් එකේදී මොකෝ කරන්නේ? ඒ වෙලාව නිකම් උඩ බලාගෙන ඉන්න වියදම් කරන එක නම් සම්පූර්ණ පාපයක් ඉතින්. හැබැයි අපිට පුලුවන් ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ ටික කරගන්න අන්න ඒ වෙලාව එක්කෝ යොදාගන්න. ඒ කියන්නේ ඊමේල්ස් චෙක් කරන්න, ඊමේල්ස් යවන්න වගේ වැඩ ෆෝන් එකෙන් කරගන්න බැරි නැහැනේ. එතකොට අපිට ලියන්න කියන්න මොනවා හරි තියෙනවා නම්, ඒවා ගූග්ල් ඩොක් එකක වගේ ලිව්වොත්, කරන්ට් ගියපු වෙලාවට වුණත් ෆෝන් එකෙන් ඇක්සස් වෙලා වැඩේ සම්පූර්ණ කරන්න පුලුවන්. එතකොට ඔය බස් එකේ යන එන වෙලාව තියාගන්න පුලුවන් ඔෆීෂියල් මැසේජ් කරන ඒවා එහෙම කරන්න. එතකොට මොනව හරි ලියන්න තියෙන දේකට අවශ්‍ය රිසර්ච් එක කරන්න. අන්න ඒ වගේ, අපි වැඩක් නොකර නිකම් ඉන්න වෙලාව ඵලදායී වැඩකට යොදාගන්නේ කොහොමද කියලා හිතලා බැලුවොත්, අපිට ක්‍රම සහ විධි හොයාගන්න පුලුවන්.

 

02. පොමොදෝරෝ ට චීට් කරන්නෙපා

දැන් අපි කලින් කිහිප වතාවකදීම ආටිකල් වලදී කියලා තියෙනවා පොමොදෝරෝ ටෙක්නික් එකට වැඩ කිරීම ගැන. ඒක ෆෝකස් වැඩ කරන්න තියෙන ක්‍රමයක්. විනාඩි විසිපහක් එක දිගට කිසිම බාධාවකින් තොරව වැඩ කරනවා, විනාඩි පහක විවේකයක් ගන්නවා, ආයෙමත් විනාඩි විසිපහක් එක දිගට වැඩ කරනවා, ආයෙ විනාඩි පහක විවේකයක් ගන්නවා. ඔන්න ඔය විදියට හතරක් විතර ගිහින්, පැය බාගෙක විතර ලොකු විවේකයක් ගන්නවා. ඕක තමයි ක්‍රමය. හැබැයි ඇත්තටම කාර්යක්ෂම විදියට කාලය කළමනාකරණය කරගන්න ඕන නම්, මේ පොමොදෝරෝ ටෙක්නික් එකට වංචා නොකර වැඩේ කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ, ඔය ෆෝන් එකේ තියෙන පොමොදෝරෝ ඇප් එකක වුණත්, විනාඩි විසිපහේ ෆෝකස් ටයිම් එක අවශ්‍ය නම් පොඩ්ඩක් නවත්තන්න පුලුවන්. හැබැයි අපි ඒක යොදාගන්න ඕන හදිසිම හදිසි අවස්ථාවකදී විතරයි. වෙන ඕනම වෙලාවකදී ෆෝකස් ටයිම් එක වෙලාවේ කිසිම විදියකින් චීට් කිරීමක්, වෙන වැඩ කිරීමක් කරන්න බෑ, එච්චරයි.

 

03. වැඩ කරන සහ නිදාගන්න වෙලාවල් හරියට

සාමාන්‍යයෙන් අපිට කණ පැලෙන්න වැඩ තියෙන වෙලාවකදී අපි මොකද කරන්නේ? කොහොම හරි ගේමක් ගහලා, නිදි මරාගෙන වැඩ කරලා ඒ වැඩ ටික ගොඩදාන්න ට්‍රයි එකක් දෙනවා. එහෙම නේද? හැබැයි එහෙම නිදිමරාගෙන වැඩ කළාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ දවසේ ගොඩක් වෙලාවට වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට අපි කියමු අද කණ පැලෙන්න වැඩ තිබිලා, හෙටත් වැඩ ලෝඩ් එකක් තියෙනවා කියලා. එතකොට වෙන්න පුලුවන් දේ තමයි හෙට වැඩ ලෝඩ් එක හරියට නොවෙන එක. ආන්න ඒක නිසා, ටයිම් මැනේජ්මන්ට් වලදී අපිට වැඩ කරන වෙලාව සහ නිදාගන්න වෙලාව හරියට වෙන් කරලා හඳුනගන්න වෙනවා. ඒක පළවෙනි කාරණාව.

 

දෙවෙනි කාරණාව තමයි වැඩ කරන වෙලාවේ පොඩි නින්දක් දැමීම, නිදාගන්න වේලාවේ පොඩ්ඩක් ෆේස්බුක් එකේ රවුමක් යෑම වගේ අමතර ක්‍රියාකාරකම් තියා නොගන්න එක. මොකද, වැඩ කරන වෙලාවේ පොඩි නින්දක් දාන්න ගියාට පස්සේ, වැඩේ ඉවර වෙන්නේ පැය කීපයක් නින්ද ගිහින් වෙන්න පුලුවන්. නිදාගන්න වෙලාවේ ආයෙමත් ෆෝන් එක අතට ගන්නවා කියන්නේ, නිදාගන්න වෙලාව අඩු වෙන එක. ආන්න ඒ නිසා මේ වෙලාවල් පැහැදිලිවම වෙන් වෙන් වශයෙන් යොදාගන්න ඕන.

 

04. මල්ටිටාස්කින් ලිමිට් කරන්න

මල්ටිටාස්කින්ග් කියන්නේ වැඩ කරන්න හොඳ ක්‍රමයක් කියලා සමහරු හිතනවා. එතකොට ඔය සමහර ජොබ් වලදිත් කියනවා මල්ටිටාස්කින් අනිවාර්යයි කියලා. හැබැයි අද වෙනකොට ලෝකේ පොදුවේ තියෙන මතය තමයි, වැඩ කරද්දී මල්ටිටාස්කින් ඒ තරම් හොඳ නැහැයි කියන එක. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මල්ටිටාස්කින් නිසා බොහොම ලේසියෙන් වැඩකට දෙන්න ඕන පූර්ණ අවධානය නැතිවෙලා යනවා. වැඩිපුර වැරදි වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, මල්ටිටාස්කින් කියන්නේ ඔළුවටත් වැඩිපුර පීඩනයක්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි මල්ටිටාස්කින් අවශ්‍ය වෙලාව පැහැදිලිවම හඳුනාගන්න එක. ඒ වගේම, සීමාසහිත වෙලාවක් මල්ටිටාස්කින් වලට තියාගන්න එක. ඒ වෙලාවේ ඇරෙන්න, අනික් වෙලාවෙදී එක් එක් වැඩකට පූර්ණ අවධානය දීලා වැඩ කරන එක තමයි කරන්න ඕන.

 

05. ප්‍රැක්ටිකල් ටයිම් ලිමිට්ස්

අපිට කරන්න තියෙන වැඩ ඇතුළත් ටු-ඩූ-ලිස්ට් එකක් හදාගන්න පුලුවන් කියන එක අපි කලිනුත් කියලා තියෙනවනේ. ඔන්න ඔය ටු-ඩූ-ලිස්ට් එකට නිකම්ම වැඩ ටික විතරක් දාගන්නේ නැතුව, යම් කිසි කාල සීමාවකුත් දාගන්න පුලුවන් නම් ඒක වඩාත් ප්‍රායෝගිකයි. ඒ කියන්නේ, දවසේ ටු-ඩූ-ලිස්ට් එක ගත්තොත්, අපිට දවසේ වැඩ කරන පැය ගාණ අරගෙන, ඒ ඒ වැඩේ මෙන්න මේ වෙලාවට කලින් ඉවර කරනවා කියලා ඩෙඩ්ලයින් එකකුත් ඒ ලිස්ට් එක ඇතුළේ සඳහන් කරගන්න පුලුවන්. හැබැයි එකක් මතක තියාගන්න, එතනදී අර ඔක්කොම ඉවර කරන්න ඕනෑවට ෆැන්ටසි ඩෙඩ්ලයින්ස් දාගෙන හරියන්නෙ නෑ. උදාහරණයක් විදියට අපිට වචන දාහක් පැය බාගෙකින් ලියන්න පුලුවන්ද? පුලුවන්, හැබැයි ලියන්නේ මොනවද කියන එක ගැන කලින් හොයලා බලලා තියෙනවා නම්. එහෙම නැතිනම් ඒක ප්‍රැක්ටිකල් ටයිම් ලිමිට් එකක් නෙවෙයි. එහෙම ප්‍රැක්ටිකල් ටයිම් ලිමිට්ස් තිබුණේ නැතිනම්, කාලය සාර්ථකව කළමනාකරණය වෙනවා වෙනුවට, කාලය නාස්ති වෙන්න පටන් ගන්නවා! 

 

06. මෝස්ට් ඉම්පෝර්ටන්ට් ටාස්ක්ස්

දැන් අපි කාලයත් එක්ක වැඩ කටයුතු ඉවර කරගන්න රේස් එකක ඉන්නවා කියමුකෝ. එහෙම අවස්ථා එනවා. අන්න එතකොට අපිට තේරුම් ගන්න වෙනවා අපිට ඇත්තටම ලිමිට්ස් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි සුපර්මෑන් නෙවෙයි සුපර් ස්පීඩ් එකෙන් ඔක්කොම කරලා ඉවර කරන්න. ආන්න ඒ නිසා අපි ප්‍රමුඛතාවයන් ටික හදාගන්න ඕන. ඒකට තියෙනවා ටූල් එකක්. අයිසන්හවර් මෙට්‍රික්ස් නැතිනම් ප්‍රයෝරිටි මෙට්‍රික්ස් කියන එක වැදගත් වෙන්නේ එතනදී.

 

ප්‍රමුඛතාවයන් එක්ක වැඩ කරන්න තියෙන අයිසන්හවර් මෙට්‍රික්ස් එක නම දැක්කම බය හිතුණට, ඇත්තටම සරල සිස්ටම් එකක්. අපි හදාගමු කොටස් හතරක වගුවක්. මේ ඉහලින් පෙන්නලා තියෙන විදියට. මුලින්ම තියෙන්නේ වැදගත් සහ හදිසි වැඩ. අන්න ඒවා ටික තමයි ප්‍රමුඛත්වය ලැබෙන්න ඕන, අපි දැන්මම කරන්න ඕන වැඩ ටික. ඊළඟට තියෙන්නේ වැදගත්, හැබැයි හදිසි නොවෙන වැඩ ටික. අන්න ඒවා ටික දැන් කරන්න ඕන නෑ. හැබැයි කරන්නේ කවදද කියලා ෂෙඩ්‍යුල් එකක් හදාගන්න. උඩ කියපු ප්‍රැක්ටිකල් ටයිම් ලිමිට්ස් ඒකට උපයෝගී වෙයි. ඊළඟට තියෙනවා වැදගත් නොවෙන, හැබැයි හදිසි වැඩ. ආන්න ඒවා පුලුවන් තරම් වෙන අයට පවරන්න. ඒ ගැන අපි ඉස්සරහට කියනවා. ඊළඟට වැදගත් නොවෙන, හදිසිත් නොවෙන වැඩ. අන්න ඒවා මේ මොහොතේ තමන්ගේ ලිස්ට් එකෙන් අයින්ම කරලා දාන්න. ඕන නම් වෙනම ලිස්ට් එකකට දාගන්න පස්සේ දවසක කරනවද, නැද්ද කියලා හිතලා බලන්න. මෙන්න මේ සිස්ටම් එක ඇතුළට තමන්ගේ වැඩ ටික දාගන්න පුලුවන් නම්, අපිට අපේ ප්‍රමුඛතාවයන් සාර්ථකව සෙට් කරගෙන, වැඩ ටික ඉවර කරන්න පුලුවන්.

 

07. තමන් හැමදේම කරන්න ඕන නෑ!

අපි උඩිනුත් කියපු විදියට අපිට කරන්න තියෙන හැමදේම  කරන්න තිබ්බා අපි සුපර්මෑන් නං. හැබැයි එහෙම බෑ. අපිට සීමාවන් තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. ඒ වගේම, අපි හැමදෙයක්ම කරන්න ඕන නැහැයි කියන එකත් තේරුම් ගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් කාලේ ගොඩක් දෙනෙක් වැඩි වශයෙන් ගෙදර ඉඳන් වැඩ කරනවනේ. අන්න එතකොට අපිට ඔෆිස් වැඩ වගේම ගෙදර දොරේ වැඩත් තියෙනවා. හැබැයි ඔය ඔක්කොම අපිම කරන්න ඕනෙද? ගෙදර තව සාමාජිකයෝ ඉන්නවා නම්, ඒ වැඩ බෙදාගන්න ඕන. අපිට පුලුවන් අනික් අයට කරන්න පුලුවන් වැඩ අනික් අයට දෙන්න. එතකොට ඔෆිස් එකේ වැඩ ගත්තත් එහෙමයි. ඔක්කොම අපිම කරලා ගොඩදාන්න ඕන කියලා නියමයක් නෑ. උඩ කියපු විදියට අපිට අනික් අයට පවරලා කරගන්න ඕන වැඩ මොනවද කියලා තීරණය කරගන්න පුලුවන්. හැබැයි ඒ වැඩ අනික් අයට පවරන්න, ඔලුව හදාගන්න එක අපි කරන්න ඕන දෙයක්. ඕන නම් අපිට අධීක්ෂණ කටයුත්ත කරන්න පුලුවන්. ඒ කියන්නේ හදිසි ඒත් වැදගත් නොවෙන වැඩ අනික් අයට පවරලා, ඩෙඩ්ලයින් දීලා, වැඩ  ටික සම්පූර්ණ වුණහම ඒක හරියටම වෙලාද කියලා චෙක් කරලා බලන්න වෙලාවක් දාගන්න. ඇත්තටම මෙතනදී අවශ්‍ය වෙන්නේ, තමන් කළේ නැතිනම් වැඩේ වෙන්නෙ නැහැයි කියන මානසිකත්වය නිවැරදි කරගන්න එක තමයි. ආන්න එතකොට අපිට කාලය සාර්ථකව කළමනාකරණය කරගන්න පුලුවන්!





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here