කාබන් 14: මුලු ලොවක් වෙනස් කළ සමස්ථානිකයේ කතාව

0
5




කාබන් 14: දෛවෝපගත ආරම්භය

මාර්ටින් කාමෙන් නැමති ඇමරිකානු රසායනවිද්‍යාඥයා තම විද්‍යාගාරය තුළ දින තුනක් තිස්සේ නිදිවරමින් යම් කාර්යයක නියලෙමින් සිටියේය.ඔහු සහ ඔහුගේ සගයා වූ සෑම් රූබන් ගේ සමස්ත අවධානය යොමු වී තිබුණේ අනුපරමාණුක අංශුවලින් සමන්විත මිනිරන් කුට්ටියක රසායනික ක්‍රියාකාරීත්වය කෙරෙහිය. ඔවුන් තම පර්යේෂණයේ අගට පැමිණෙමින් සිටියහ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ප්‍රායෝගිකව භාවිතයට ගත හැකි නවකාබන් ආකෘති කිහිපයක් නිර්මාණය කිරීමය.

මාර්ටින් කාමෙන්
මාර්ටින් කාමෙන්. US National Archives Public Domain Archive

දවස් ගණනක් තිස්සේ එකදිගටම විද්‍යාගාරය තුළ හිඳීම නිසා අතිමහත් වෙහෙසට පත් කාමෙන් 1940 පෙබරවාරී 27වන දින කැලිෆෝනියිවේ බර්ක්ලි හි පිහිටි තම විද්‍යාගාරයෙන් එළියට පැමිණියේ යම් විවේකයක් ලබා ගැනීමටය. හරිහමන් කෑමක් සහ විවේකයක් නොමැති විම නිසා ඔහුගේ පෙනුම විශාල වශයෙන් වෙනස්ව තිබිණි. සැබවින්ම ඔහුට එකී ස්වාභාවය නිසාම අනපේක්ෂිත අභාග්‍යකට මුහුණදෙන්නට සිදුවුයේ මෙවන් පසුබිමකය.

එම දිනයේදී මිනිමැරුම් කිහිපයක් සිදුකළ අපරාධකරුවෙකු හඹාගිය බර්ක්ලි පොලීසියට මහමගදී කාමෙන් මුණ ගැසෙන අතර පොලිස් නිළධරයන් විසින් ඔහු එම අපරාධකරුබවට සැකකරමින් අත්අඩංගුවට ගෙන තම පොලිස් රිය තුළම දමාගෙන යන අතර සැකකටයුතු මිනිමරුවෙකු ලෙස සලකා ඔහුව නොයෙක් වදබන්ධනයට ලක්කළේය.

මේ ආකාරයෙන් පසුගිය ශතවර්ෂය තුළ අවසන්කරන්නට නියමිතව තිබූ අග්‍රගණ්‍ය සහ විප්පලවිය පර්යේෂණයක් එකී පර්යේෂණයේ නියලුන ප්‍රධාන පර්යේෂකයා මිනීමරුවෙකු ලෙස සලකා දඩුවම් පැමිණුවේ නම් ආරම්භයේදීම අවසන්වන්නට ඉඩ තිබිණ. එහෙත් ඇසින් දුටු සාක්ෂිකරුගේ මැදිහත් විමෙන් පසුව කාමෙන්ට පොලිසීයෙන් පිටව යන්නට හැකිවිය.

ඔහු සහ සෑම් රූබන් නැවතත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විකිරණශීලී විද්‍යාගාරයට පැමිණෙන විට එහි තබාගිය මිනිරන් කුට්ටිය විකිරණශීලී ක්‍රියාවලියකට පාත්‍ර වෙමින් පැවති බව ඔවුහු අවබෝධකරගත්හ.

ඔවුන් දෙදෙනාට ඔවුන් විසින් ඉතා අග්‍රගණ්‍ය ගුණවලින් යුත් ද්‍රව්‍යක් නිර්මාණය කර ඇති බව තේරුම් ගැනිමට එතරම් කාලයක් ගියේ නැත. එය අනාගතයේදී විවිධ විද්‍යාත්මක ක්ෂෙත්‍රයන් විපරිනාමයට ලක්කිරීමටත්, ප්‍රධාන ගණයේ සොයාගැනීම් කිරීමට ලොවපුරා සිටින විද්‍යාඥයින්ට සහය වීමටත් නියමිතව තිබිණි. සත්‍යවශයෙන්ම මිණිරන් කුට්ටිය විකිරණශීලී ක්‍රියාකාරීත්වයට භාජනය කිරීමෙන් ඔවුන් විසින් කාබන් 14 සමස්ථානිකය නිර්මාණය කොට තිබිණි. එහෙත් දෛවයේ සරදමකට මෙන් එකී පර්යේෂණ ඔවුන් අතින් සම්පූර්ණත්වයට පත්වුයේ නැත.

කාමෙන් සහ රූබන් යන දෙදෙනා විසින් මෙකී පර්යේෂණය සිදුකරමින් සිටියේ දෙවන ලෝක යුද්ධය ලොව පුරා ඇවිලෙමින් ගිය සමයකය.ලිතුවේනියානු සහ බෙලරුසියානු සංක්‍රමණික පවුළකින් පැවත ආ කාමෙන් පිළිබඳව, දෙවන ලෝක යුද්ධය සඳහා ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වීමෙන් අනතුරුව එකී ආරක්ෂක අංශ විසින් සැක පහළ කළ අතර ඔවුන් ඔහු පිලිබඳ ඔත්තු බැලීමට කටයුතු කරමින් සිටියදී ඔහු වරක් සෝවියට් තානාපති නිළධාරීන් සමඟ භෝජන සංග්‍රහයකට සම්බන්ධ වී සිටිනු දුටුවේය. එම සිදුවීමේන් පසුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරෙයෙහි ඔහු දැරූ ධූරයෙන් ඔහුව ඉවත් කළ අතර ඔවුන් විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂක අංශ භාරයට ගත්තේය.

ඔහු ඉන්පසුව එනම් 1948 වර්ෂයේදී ඇමරිකාවේ House Un-American Activities Committee ඉදිරියට පැමිණවීමේන් අනතුරුව සෝවියට් වරුන්ට රාජ්‍ය රහස් ලබාදිම සම්බන්ධයෙන් චෝදනාවට ලක්විය. එහෙයින් මෙම පසුබිම තුළ විසිවන ශතවර්ෂයේ අගවන තෙක් ඔහු විසින් කළ සොයාගැනිම සම්බන්ධ නිසි ගෞරවයට ඔහුව ප්‍රාත්‍ර නොකිරීමට ඇමරිකානු බළධරයෝ කටයුතු කළහ.

රූබන්ගේ ඉරණම ඊටත් වඩා අන්ත වූ අතර ජපන් ජාතිකයන් විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමෙන් පසුව, ඔහු, රසායනික අවියක් වූ ෆෝසෝන වායුවේ (phosgene gas) භෞතවේදිමය බලපෑම් පිළිබඳ අධ්‍යනය කිරීමට පටන්ගත් අතර එක් පර්යේෂණයක් අතර තුර රසායනික ද්‍රව්‍ය බහා තිබූ භාජනය පිපිරීමෙන් ෆෝසෝන වායුවට ඔහු විරාවරණය වීමෙන් පැය කිහිපයකට පසුව මරණයට පත්විය.

මෙනයින් කාබන් 14 සමස්ථානිකය සොයා ගැනිම විසිවන සියවස තුළ මිනිසා විසින් කළ අති සුවිශේෂ සොයාගැනීමක් වන අතරම ඒ සඳහා ප්‍රාරම්භක පියවර තැබූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට අත්වූ අවාසනාවන්ත ඉරණම ඔවුන් දිවිගෙවූ ව්‍යාකූල කාලය පිළිබඳවද චිත්‍රයක් ලබාදෙයි.

නමුත් 1940 පෙබරවාරී 27 සීතල රාත්‍රියේ සිට හිමිදිරිය දක්වා වූ කාලය තුළ කායිකවිද්‍යාව, ජීවරසායන විද්‍යාව,පුරාවිද්‍යාව, භූවිද්‍යාව, ජෛවවෛද්‍ය ක්ෂේත්‍රය, සාගරවිද්‍යාව, පුරාදේශගුණික විද්‍යාව මෙන්ම න්‍යෂ්ටික රසායානික විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවල විප්ලවක් සිදුවීමට පටන් ගත් බව ඉතිහාසයෙන් කිසිදා වසන් කළ නොහැකි සත්‍යකි. සැබවින්ම පෘථිවි තළය තුළ මේදක්වා සොයාගෙන ඇති ජීවය සඳහා ඇති වටිනාම සමස්ථානිකය එම රැයේ ඉපදිණ.
සැබවින්ම මෙලොව පවතින ජීවී සියල්ලක්ම සකස් වී ඇත්තේ කාබන් පරමානු මගිනි. සැබවින්ම ජීවය යනු කාබන්මය. එය අප මෙලොව දිවි ගෙවන ආකාරය පිළිබද තීරණාත්මක සාධකයක් බවට පත්වෙයි.

එනම් මෙලොව සත්ව ජනාවාසය සහා සුදුසු පරිසරයත් නිර්මාණය විම සඳහා පමණක් නොව ජීවය සම්බන්ධ සියලුම පාර්ශ්වයන් කෙරෙහි එය බලපායි. දිගුකල් පවතින ජිවකාලයක් සහිත කාබන් සමස්ථානිකය සොයා ගැනිමත් සමඟ එය මෙම මිහිතලය මත ජීවයේ පැවැත්ම සම්බන්ධ සියලුම පාර්ශ්වයන් මෙන්ම මෙන්ම ඇතැම් විට විශ්වයේ පැවැත්ම ද අවබෝධ කරගැනීමට හැකි ඉතා අඟනා මෙවලමක් බවට පත්විය.

කාබන් 14 යනු කුමක්ද?

යම් මූලිකාංගයක න්‍යෂ්ටිය සැකසි ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන උප පරමාණුක අණු මඟිනි. යම් මූලිකාංගයක න්‍යෂ්ටියේ ඇති ප්‍රොටෝන ප්‍රමාණය එහි රසායනික චර්යාව නිර්වචනය කරයි. එහෙත් එකම මූලද්‍රව්‍යක ඇති පරමාණු තුළ ඒවායෙහි න්‍යෂ්ටි තුළ විවිධ ප්‍රමාණයේ නියුට්‍රෝන ගණනාවක් අන්තර්ගත විය හැකිය. මෙම විවිධ ආකෘති සමස්ථානික වශයෙන් හඳුන්වනු ලබයි.

කාබන් මූලද්‍රව්‍යට ප්‍රධාන සමස්ථානික 03 ක් ඇත. එනම් කාබන් 12, කාබන් 13 සහ කාබන් 14 යනාදි වශයෙනි. පළමුව සඳහන් කරන ලද සමස්ථානික ද්විත්වය ස්ථිතිකව පවතින අතර කාබන් 14 සමස්ථානිකය විකිරණශීලීව ක්ෂය වෙයි.

කාබන් 14 තුළ එහි න්‍යෂ්ටිය වටා ප්‍රෝටෝන අනු හයක් සහ නියුට්‍රෝන අනු අටක් ඇත. අපගේ ශරීරය තුළ සහ පිටත ලෝකය තුළ බහුලව ඇති කාබන් වන, කාබන් 12 තුළ මෙයට වෙනස්ව ඇත්තේ ප්‍රෝටෝන හයක් සහ නියුට්‍රෝන හයකි. මෙහිද ඉතා වැදගත් කරුක් වන්නේ කාබන් 14 තුළ ඇති වැඩිපුර තිබෙන නියුට්‍රෝන යුගල එකී කාබන් 14 පරමාණුවේ න්‍යෂ්ටිය අස්ථායිකරණ අතර එහෙයින් එය විකිරණශීලි ලෙස නයිට්‍රජන් පරමාණුවක් බවට හායනය වීමයි.වඩා වැදගත් කරුණ නම් මෙම ක්ෂයවීමේ ක්‍රියාවලිය සාපෙක්ෂව යම් දීර්ඝකාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක් වන අතර එනිසා එමඟින් වසර දසදහස්ගණනක් පැරණි කාබනික නියඳියක් තුළ සිදුවන වෙනස්කම් මැනබැලීමට හැකිය.

කාබන් 14 දිනනීර්ණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

අනතරීක්ෂයේ ඇති කිරණ පෘතිවියේ ඉහළ වායුගෝලය මග ගැටෙමින් ඒවා තුළ දරා සිටින නියුට්‍රෝන වාතය හරහා රැලිති ධාරා වශයෙන් මුක්ත කරයි. මෙකී පරමාණු පෘථිවි වායුගෝලයේ සංයුතියේ ඇති ප්‍රධානම අංගය වන නයිට්‍රජන් මූලද්‍රව්‍යෙය් ඇති පරමාණු සමඟ ගැටෙන අතර එයින් කොටසක් කාබන් 14 පරමාණු බවට පරිවර්තනය කරයි.පෙරලා මෙම මෙම පරමාණු ඔක්සිජන් සමඟ සංයෝග වී විකිරණශීළී කාබන් ඩයොක් සයිඩ් නිර්මාණය කරයි.එකී කාබන්ඩයොක්සයිඩ් ශාක මඟින් අවශෝෂණය කරන අතර ඉන් පසුව සතුන් විසින් ආහාරයට ගනු ලබයි. මේ අනුව මෙම මිහිතලය තුල සිටින සියලුම ජීවී ඒකකයක්ම තරමක් හෝ විකිරණශීලී භාවයට පත්වෙයි.

කාබන් 14 කාල නිර්ණයේ පදනමග උපුටා ගැනීම - Guardian graphic පරිවර්ථනය - කලංගි රොඩ්‍රිගෝ
කාබන් 14 කාල නිර්ණයේ පදනමග උපුටා ගැනීම – Guardian graphic පරිවර්ථනය – කලංගි රොඩ්‍රිගෝ

ඕනෑම නියඳියක ඇති කාබන් 14 පරමාණු ප්‍රමාණයෙන් අඩක් ක්ෂය වීමට වසර 5730 කාලයක් ගතවන බව ගණනය කර ඇත.

එනම් යම් ජීවියෙකු මිය ගිය පසුව විකිරණශීලී කාබන් යම් නිශ්චිත රටාවක් ඔස්සේ ක්ෂය වීමට පටන් ගනී. කාබන් 14 සමස්ථානිකය වැනි විකිරණශීලී සමස්ථානිකයක ඇති පරමානු වලින් අඩක් ක්ෂය වීමට ගතවන කාලය සමස්ථානිකයක අර්ධ ජීවකාලය (half-life of the isotope) යනුවෙන් හඳුන්වයි. ඒ අනුව කාබන් 14 සමස්ථානිකයේ අර්ධජීව කාලය වසර 5730 ක් ලෙසට ගණනය කර ඇත.

සමස්ථානිකයෙන් සමස්ථානිකයට එහි අර්ධ ජීව කාලය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස, යුරේනියම්-238 සමස්ථානිකයේ අර්ධජීව කලාය වසර මිලියන 4500 ක් වන අතර නයිට්‍රජින්-17 සමස්ථානිකයට ඇත්තේ තත්ත්පර 4.173 ක ජීව කාලයකි. පහත සඳහන් වගුව දෙස බැලීමෙන් සියයට සියයක් විකිරණශීලී කාබන් ඇති බවට උපකල්පනය කළ නියඳියක ඇති එකී විකිරණශීලී කාබන් සංයුතිය වසර 5730 ක අවෑමෙන් හරි අඩකින් අඩුවන බව අවබෝධ කරගත හැකිය. එමෙන්ම වසර 11.460 ක අවෑමෙන් ඉන් හරි අඩක් ද වශයෙන් එය දිගින් දිගටම ක්ෂය වී යයි.

කාබන් 14 සමස්ථානිකය කාලයට සාපෙක්ෂව ක්ෂයවන ආකාරය
කාබන් 14 සමස්ථානිකය කාලයට සාපෙක්ෂව ක්ෂයවන ආකාරය.මෙහි ‘Y‘ අක්ෂයෙන් සමස්ථානිකය සතු කාබන් සංයුතියද ‘X‘ අක්ෂයෙන් කාලයද දැක්වෙයි. උපුටා ගැනීම – https://www.parks.ca.gov/?page_id=24000

විලාර්ඩ් ලිබීගේ කාර්යභාරය

කාබන් 14 සමස්ථානිකය සොයා ගැනීමේ ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේදී වර්තමානය තුළ සිටින මානව ප්‍රජාව සඳහා එමඟින් අත්පත්කර ගත හැකි වාසි ගණනාවක් ඇති බව විද්‍යාඥයින් විසින් ඉතා ඉක්මනිනිම අවබෝධ කර ගත්තේය. මාර්ටින් කාමෙන් සහ සෑම් රූබන් විසින් කාබන් 14 සමස්ථානිකය පිළිබඳ ආරම්භ කරන ලද මූලික පර්යේෂණවලින් අනතුරුව, චිකාගෝ විශ්වවිද්‍යාලයේ විලාර්ඩ් ලිබී නම් රසායනවිද්‍යාඥයා ද කාබන් 14 සමස්ථානිකය පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්බ කළේ එවන් පසුබිමකය. එහිදී කාබන් 14 සමස්ථානිකය වඩාත් ඵලප්‍රයෝජන සහිත කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බව ඔහුට අවබෝධ විය. ලිබී අවබෝධ කරගත්තේ යම් ප්‍රාණියෙකු මිය ගිය පසුව එමඟින් කාබන් 14 ඇතුළ අනෙකුත් කාබන් සමස්ථානික අවශෝෂණය කර ගැනීම නවතා දමන බවය.

විලාර්ඩ් ලිබී විසින් 1960 වර්ෂයේදී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය.
විලාර්ඩ් ලිබී විසින් 1960 වර්ෂයේදී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය. උපුටා ගැනීම – Bettmann Archive

එමෙන්ම එම ජීවී ඒකකය තුළ ඇති කාබන් 14 සමස්ථානික ඉතා සෙමින් ක්ෂය වීමට පටන් ගන්නා බවය. එහෙයින් යම් ජීවී ඒකකයකින් ලබා ගන්නා නියඳියක ඇති විකිරණශීලීතාව ගණනය කිරීමෙන් එහි පවතින කාබන් 14 සමස්ථානික සංයුතිය ගණනය කළ හැකි බව සහ එය මිය ගිය දිනය මැන ගත හැකි බව එමගින් තහවුරු කර ගත්තේය. පුරාවිද්‍යාවේ විද්‍යාව සහ පාෂාණධාතු විද්‍යාව(paleontology ) වැනි විෂය ක්ෂේත්‍ර විප්ලවීය වෙනසක බඳුන් වූයේ මෙම සොයාගැනීමත් සමඟය.

එහෙත් ලිබීට විසඳා ගැනීම සඳහා යම් පෙහෙළිකාවක් පැවතිණ එනම් මෑකතදී මිය ගිය සතුන්ගේ සහ ශාකවල පටක වල කාබන් 14 සමස්ථානික සංයුතිය ඉතා අඩු මට්ටමක පවැතීමයි.එනම් කාබන් පරමාණු ට්‍රිලියනක් අතුරින් කාබන් 14 සමස්ථානික ඇත්තේ එකක් පමණක් වීමයි. මෙයින් පැහැදිලිව වෙනස්ව ස්වාභාවික පරිසරයේ විකිරණශීලීබව එනම් පාෂාණ සහ අනෙකුත් මූලාශ්‍රවල ඇති තෝරියම් සහ යුරේනියම් වලින් සිදුවන විකිරණශීලිතාව ඉතා ඉහළ මට්ටමකි පවතී. විද්‍යාඥයින් ස්වාභාවික පරිසරය තුළ පවතින මෙවැනි අධිකතර ක්‍රියාවලියක් තුළ කාබන් 14 සමස්ථානිකයේ දුර්වලසංඥා වෙන්කොට ගන්නේ කෙසේද? .

ලිබී මෙම ගැටලුව විසඳාගැනීමට ඔහුගේ අනාවරකයන් ඉතා සුපරීක්ෂාකාරීව සකසමින් සහ ඔහුගේ උපකරණයෙහි බිත්ත මතට සංවේදී වන පරිදි ඕනැම වර්ගයක විකිරණයක් සුසරකිරීම සඳහා වූ ක්‍රම වර්ධනය කරමින් කටයුතු කළේය. ඔහු ඉන්පසුව මීතේන් වායුව දෙසට හැරිණි. එකිනෙකට වෙනස් මූලාශ්‍ර දෙකකින් ලබාගත් නියඳි දෙකක් සංසන්ධනය කරමින් ඔහුගේ උපක්‍රමය අවසන් වශයෙන් වලංගුභාවයට පත්කිරීම සඳහා අවශ්‍ය කාබන් සංයුතුයක් එතුළ තිබිණි.

ඔහු ඒ සඳහා භාවිතා කළ නියැඳි දෙකින් එක් නියැදියක් ලබාගත්තේ දශක ගණනකට පමණ පෙර තම කාබන් 14 සමස්ථානික ක්ෂය වීමට ලක්වූ ෆොසිල ඉන්ධනයක් වූ ස්වාභාවික වායු මඟිනි.දෙවැනි නියැදිය ලබාගත්තේ බැල්ටිමොර් නඟරයේ මළ අපද්‍රව්‍ය පද්ධතියකින් වන අතර මනුෂ්‍යෙයකුගේ මළ අපද්‍රව්‍යවලින් එය ලබා ගත්තේය. ලිබි එම නියැදිය පිලිබඳ විද්‍යාත්මක හේතු දැක්වීම වශයෙන් එය මිනිසුන් විසින් මෑතකදී නිෂ්පාදනය කර ඇති නිසා කාබන් 14 සමස්ථානිකවලින් පොහොසත් වනු ඇති බව සඳහන් කළේය.

සැබවින්මඑය ඔහුට ප්‍රත්‍යක්ෂ වශයෙන් සොයා ගැනීමට හැකිවිය. අතීත මීතේන් වායුව තුල කාබන් 14 සමස්ථානික හමු නොවීය. මෙයින් වෙනස්ව මානවයින්ගෙන් මළ අපද්‍රව්‍යවලින් අලුතින්ම උකහාගත් මීතෙන් මට්ටම , සමස්ථානික තුළ බහුලව තිබිණි. සැබවින්ම මළ අපවහන පද්ධිතයෙන් සොයාගත් වැදගැම්මකට නැති මළ සාම්පළකින් විද්‍යාවේ නවමු පියවරක් තැබීම සඳහා අඩිතාලමක් දැමුවේය.

ඉන්පසුව ලිබී ඔහුගේ විකිරණශීලීතාව මැනගැනීමෙන් දිනනීර්ණ කිරීමේ ක්‍රමයේ, අවසන් ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් කාලවකවානු හොඳින් දන්නා පුරාතන නියැඳි මාලාවක් ලබා ගත්තේය. එයට තුන්වන සිසොස්ට්‍රිස් නම් ඊජිප්තු පාරාවෝගේ සොහොනේ ගැබ තුළින් හමුවූ නෞකාවේ කොටසක්, මළ මුහුදෙන් හමුවූ ලේඛන ඔතා තිබුණු ලිනන් රෙදි කැබැල්ලේ කොටසක් සහ පොම්පේ නුවර ගිනිකදු පිපිරීමේ මොහොත තුළ පිසූ පාන්කැබැල්ලක් යනාදිය විය. සැබවින්ම ඔහුට ලැබුණු දිනනීර්ණයන් ඒ පිළිබඳව සඳහන් ඓතිහාසික දිනවාකවානු සමඟ කදිමට ගැලපිණි.

එය සැබවින්ම අද්විතීය සොයා ගැනීමක් වූයෙන් 1960 වර්ෂයේදී විලාඩ් ලිබීට රසායන විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිවිය. එහෙත් ඔහු එක් අන්තයතික් තරමක් අවාසනාවන්ත විය. මක් නිසාද යත් ලිබී උපකල්පනය කළේ වායුගෝලය තුල කාබන් 14 නිෂ්පාදනය වීමේ අනුපාතය පසුගිය වසර දසදහස මුලුල්ලේ නියතව පැවති බවය. සත්‍ය වශයෙන්ම එය ඊට වඩා වෙනස් මට්ටමින් උච්චාවචනය වී ඇත.

එනම් සූර්ය ලප වල ක්‍රියාකාරීත්වය (sunspot activity), වායුගෝලය තුළ සිදුකළ න්‍යෂ්ටික බෝම්බ පිපුරුම් පරීක්ෂාවන් සහ ෆොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට මුදාහැරෙණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් ඉහළයාම නිසා මෙකී උච්චාවචනයන් ඇතිවී ඇත. එහෙත් විද්‍යාඥයින් විසින් පිළිගනු ලබන්නේ විකිරණශීලී දිනනීර්ණ ක්‍රියාවලියේ මූල පදනම ශක්තිමත් වුවද සැබවින්ම දිනනීර්ණ ක්‍රියාවලිය තුළදී මෙකී තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුව තිබූ බවය.

AMS දිනනීර්ණ ක්‍රමය භාවිතයට පැමිණෙයි ( accelerator mass spectrometry – ත්වරක ස්කන්ධ වර්ණාවලිමිතිය)

වඩාත් මැතකදී, විකිරණශීලී -කාබන් දිනනීර්ණ ක්‍රමය කාබන් 14 න්‍යෂටියකින් මුක්ත කරනු ලබන විකිරණශීලීතාව මැනගැනීමේ සරල ක්‍රියාවලියේ සිට නියඳියක ඇති සමස්ථානිකයේ පරමාණු ප්‍රමාණය සෘජුවම මැන ගැනිම දක්වා පරිවර්තනය වී ඇත. මෙය සිදු කරනු ලබන්නේ ත්වරක ස්කන්ධ වර්ණාවලිමිතිය accelerator mass spectrometry (AMS) නම් තාක්ෂණය භාවිතා කරමිනි. එමඟින් විදයාඥයින්ට ඉතාම කුඩා ප්‍රමාණයේ නියැඳියකින් අස්ථි, මානවකෘති කාබන් සංයුතිය සහිත වෙනත් අංග දිනනීර්ණය කිරීමට ඉඩ හසර ලබා දුන්නේය. සැබවින්ම මෙය ද විප්ලවිය පියවරක් විය. යම් දිනයක් සොයා ගැනිම සඳහා කාබන් ග්‍රෑම් ප්‍රමාණයක් වෙනුවට ඒ සඳහා අවශ්‍ය වුයේ යම් කාබන් මිලිග්‍රෑම් ප්‍රමාණයක් පමණි.

මේ අයුරින් AMS ක්‍රමය සංවර්ධනය කළ විද්‍යාඥයින් 1960 දශකයේ සිට විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය තුළ විප්ලවයක් සඳහා මගපෑදුවේය. එය එවක වර්ධනය වෙමින් පැවති “ නව පුරාවිද්‍යාවේ“ උපනතිය සඳහාද විශාල දායකත්වයක් සැපවූයේය. මෙම තාක්ෂණය භාවිතයෙන් එවකට සංස්කෘතික ඓතිහාසික පුරාවිද්‍යාව විසින් ස්ථාපිත කොට පැවති උපන්‍යාසයන් ගණනාවක් විද්‍යාත්මකව බැහැර කිරීම සඳහා පුරාවිද්‍යාඥයින්ට සහය විය.

ඉන් එක් ප්‍රධාන දායකත්වයක් නම් අතීත යුරෝපීය සංස්කෘතීන් මැදපෙරදිග ආරම්භ වූ භාවිතයන් සහ අදහස් මත යැපෙමින් ක්‍රමයෙන් කෘෂිකාර්මික ව්‍යාප්තියත් සමඟ බටහිර දෙසට පැතිර ගියේය යන අදහස බැහැරකිරීමට දායක විමයි. විකිරණශීලී දිනිනීර්ණ ක්‍රමයෙන් පෙන්වා දුන්නේ මිට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් වන අතර එමඟින් බ්‍රිතාන්‍යෙය්. ප්‍රංශයේ සහ මධ්‍යම යුරෝපයේ පැවති නියොලිතික සංස්කෘති ස්වාධීනව වර්ධනය වූ බව පැහැදිලි කළේය .

පසුකාලීනව මෙම තාක්ෂණය බ්‍රිතාන්‍යයේ. සුවිස්ටර්ලන්තයේ සහ එක්සත් ජනපදයේ විද්‍යාගාර මඟින් භාවිතයට ගත්තේය. එහිදී සිදුවූ කැපීපෙනන සොයා ගැනිමක් නම් ටියුරින් මෘත ආවරණය(Turin shroud) යනුවෙන් හඳුන්වන ලද ඇතිරිල්ල මැසීම සඳහා භාවිතා කළ හනකෙඳි දිනනීර්ණය කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතයට ගැනීමයි. මෙම රෙදි කැබැල්ල මත දිගුරැවුලක් සහි කිසියම් ත පුද්ගලයෙකුගේ මුහණක සෘණ ඡායාවක් සිතුවම් කොට තිබිණි. එය ඒ වන විටත් බොහෝ දෙනෙකු විසින් විශ්වාස කළේ කුරුසයේ ඇණ ගැසීමෙන් අනතුරුව ඉන් මුදාගෙන පහළට ගත් අවස්ථාවේ යේසූ ස්වාමි දචරුවන්ගේ ශ්‍රී දේහය ආවරණ කිරීම සඳහා භාවිතා කළ රෙදි කැබැල්ල එය බවය. එම රෙද්දේ කුඩා කොටස් කිහිපයක් පමණක් භාවිතා කරමින් විද්‍යාඥයෝ එය ක්‍රි.ව 1260 – 1390 ත්අතර නිර්මාණය කරන ලද්දක් බවට දිනනීර්ණය කළහ.

ටියුරින් මෘත ආවරණය(Turin shroud)
ටියුරින් මෘත ආවරණය(Turin shroud) උපුටා ගැනීම – Photograph Jorge Guerrero AFP Getty Images

පසුගිය වසර ගණනාව මුළුල්ලේ කාබන් 14 විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය මඟින් ලබාගන්නා ඵලප්‍රයෝජන ඉපැරණි මානවකෘති දිනනීර්ණය කිරීමෙන් ඔබ්බට ගොස් ඇත. විවධ ඖෂධ වර්ග කාබන් 14 සමග එකට ගලපා පානය කිරීමට සලස්සවා එකී ඖෂධ ශරීරය හරහා ගමන් කරවීමෙන් එවායේ ඇති සුරක්ෂිතබව සහ සඵලතාව මැන ගැනීමට කටයුතු කර ඇත. එපමණක් නොව පර්යේෂකයන් විසින් මෙකී සමස්ථානිකය ශාක, කාබන් ඩයොක්සයිඩ් සීනී බවට පර්වර්තන වන ක්‍රමය පරීක්ෂාකර බැලීම සඳහාද භාවිතා තර ඇති අතර එමඟින් ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය තුළ පවතින ඉතා සංකීර්ණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමටද උත්සහ දරා ඇත.

මේ ආකාරයට මිනිසාගේ අතීතය සහ ඔහු විසූ පරිසරය ගැන පමණක් නොව ස්වාභාවික සංසිද්ධීන් ගැනද ප්‍රමාණික අවබෝධයක් ලබා ගැනීමට මෙකී ක්‍රමය හරහා අපට හැකියාව ලැබී ඇත.

විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය පුරාවිද්‍යාව තුළ භාවිතා කිරීම

ප්‍රධාන වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථලයන් දිනනීර්ණය කිරීම සඳහා ප්‍රධාන විධික්‍රම දෙකක් පවතී. එනම් සාපෙක්ෂ දිනනීර්ණ ක්‍රමය සහ නිරපේක්ෂ දිනනීර්ණ ක්‍රමයයි.

සාපක්ෂ දිනනීර්ණ ක්‍රමය ලෙස සලකුනුයේ යමකට සාපෙක්ෂව යම් දෙයක් පරණ හෝ අලුත් ලෙස කාලික ඇගයීමට ලක්කිරීමයි. පුරාවිද්‍යාත්මක තැන්පතුවක් වැනි ස්තරීභූත සංදර්භයක භූමියේ මතුපිට පෘෂ්ටයට ආසන්න වස්තූන් කාලනුරූපීව ඉන් යට ඇති වස්තු වලට වඩා මෑතකාලීන සංසිද්ධිවලට අයත් බව සලකනු ලබයි. සාපෙක්ෂ කාල නීර්ණ ක්‍රමය ඇතැම් ප්‍රෙද්ශවල මැනවින් භාවිතයට ගත හැකි වුවද එය අදාළ කරගැනීමේදී ගැටලු ගණනාවක් පැණ නඟී. උදාහරණයක් වශයෙන් මූසික පවුලට අයත් සතුන් යම් පුරාවිද්‍යාත්මක ස්තලයක තැන්පතුවක ඇති වස්තූක් තිබෙන තැන සිට වෙනත් තැනකට රැඟෙන යාම හරහා එකී වස්තුවේ තත්‍ය සංදර්භය වෙනස් වෙයි. එපමණක් නොව ගංවතුර වැනි ස්වාභාවික විපත් නිසා පුරාවිද්‍යාත්මක ස්තලයක ඇති මතුපිට පස් ස්තර සෝදායාම සිදුවෙයි.

නිරපේක්ෂ කාලනීර්ණය හරහා දක්වන්නේ වර්තමානයට පෙර එකී වස්තුවේ නිරපේක්ෂ ජීව කාලයයි. ඓතිහාසික ලේඛන සහ දිනදර්ශන එවැනි නිරපේක්ෂ දිනයන් සොයාගැනීම සඳහා භාවිතා කළ හැකිය. නමුත් එවැනි ලිඛිත සාධක සොයාගත නොහැකි කාල වකවානු තුළ සිදූ මානව චර්යාව සදහා දිනනීර්ණයන් ලබා ගැනීමේදී නිරපේක්ෂ කාලනීර්ණ ක්‍රමයක් ලෙස විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය පිහිටට පැමිණෙයි.

පුරාවිද්‍යාත්මක නියැඳි සඳහා දිනනීර්ණ ලබා දීමේදී විවිධ කාලරාමු ගණනාවක ගැටලු මතුවෙයි. උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානී කාල රාමු ක්‍රමය ආරම්භය වශයෙන් සලකා බලනුයේ ජේසු ස්වාමී දරුවන් ඉපදුන වර්ෂය වන අතර එය ක්‍රි.ව 1 හෙවත් AD 1 (Anno Domini) ලෙස හඳුන්වනු ලබයි.එමෙන්ම ජේසු ස්වාමී දරුවන්ගේ ඉපදීමට ප්‍රථමව සිදුවූ සියල්ලක්ම හඳුන්වනු ලබන්නේ ක්‍රි.පූ හෙවත් BC (Before Christ) ලෙසිනි. ග්‍රීකයන් මුලින්ම ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ කරන ලද ක්‍රි.පූ 776 තම ආරම්භක වර්ෂය වශයෙන් සලකනු ලැබුවේය.

ඉස්ලාම් ජාතිකයන් විසින් මක්කමෙන් නබිනායක තුමන් පිටව ගිය ක්‍රි.ව 662 වර්ෂය තම වර්ෂ ක්‍රමයේ ආරම්භය ලෙස සලකනු ලබයි. එපමණක් නොව මායානු දිනදර්ශනය තම යොමු වර්ෂය වශයෙන් සලකා බලනුයේ ක්‍රිතපූ 3114 යි. එමෙන්ම බෞද්ධයන් විසින් සලකා බලනු ලබන බුද්ධ වර්ෂ ක්‍රමය ගෞතම බෞද්ධ පරිනිර්වාණය සිදු වූ වර්ෂය වන ක්‍රි.පූ 543 ලෙස සලකා බලනු ලබයි.

ඓතිහාසික කාල පරිච්චේදයක් පිලිබඳව සඳහන් කිරීමේදී ඉහත ඒනෑම වර්ෂ ක්‍රමයක් භාවිතා කළ හැකි වුවද ශාස්තාලීය ප්‍රජාව තුල පොදුවේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය භාවිතා කිරීමට වැඩි කැමත්තක් දක්වන අතර ඓතිහාසික නොවන එනම් ලිතිත ඉතිහාසයට පෙර කාල පරිච්ඡේදයන් දැක්වීමේදී විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය යටතේ ලබාගත් දිනනීර්ණයන් භාවිතා කරණ අතර එහිදී යොමු වර්ෂය වශයෙන් සලකනු ලබන්නේ 1950 වර්ෂය වන අතර පොදුවේ මෙහිදී සඳහන් කළ යුතු කරුණක් නම් ඓතිහාසික ලේඛන සොයා ගත නොහැකි විශේෂයෙන්ම ප්‍රාග්ඓතිහාසික ස්තලයක් දිනනීර්ණ කිරීමේදී පුරාවිද්‍යාඥයින් මහත් අභියෝගයකට මුහුණ පෑවද යම් පුරාවිද්‍යාත්මක ස්තලයක කාබනික අවශේෂ සොයාගැනීමට හැකිවනතාක් විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය යනු ලොව ඕනෑම පුරාවිද්‍යාත්මක ස්තලයක් දිනනීර්ණය කිරීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමයකි.

එය අදින් වසර 50000 ක සිට අදින වසර 400 දක්වා වූ කාල පරාසයකට අයත් අතීතය දිනනීර්ණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමයක් ද වෙයි.

කාබන් 14 දිනනීර්ණ ක්‍රමය යටතේ දිනනිර්ණය කළ හැකි ද්‍රව්‍ය

පුරාවිද්‍යාත්මක ස්තලයකින් හමුවන සියල්ලක්ම පාහේ අපට විකිරණශීලී කාබන් දිනනිර්ණය සඳහා යොදාගත නොහැකිය. එහෙත් එහිදි හමුවන කාබනික සංයුතියක් සහිත බොහෝ ද්‍රව්‍ය එසේත් නැතිනම් සියලුම ද්‍රව්‍ය එකී ක්‍රමය යටතේ දිනීර්ණයට ලක්කළ හැකිය. ඇතැම් අකාබනික ද්‍රව්‍යයන්ද. විශේෂයෙන්ම බෙලිකටුවක ඇති ඇරගනයිට් (aragonite)  සංඝටක එකී ඛනිජද්‍රවය සැකසීම සඳහා  වායුගෝලය සමඟ සමතුලිත වෙමින් කාබන් 14 සමස්ථානිකය රාශීභූත වනතෙක්  එකී ද්‍රව්‍ය දිනිනීර්ණයට  ලක්කළ හැකිය.

විකිරණශීලී දිනිනීර්ණ ක්‍රමය භාවිතයට පැමිණි පසුව බහුලව දිනීර්ණය සඳහා භාවිතා කළ ද්‍රව්‍ය අතරට අඟුරු, බීජ, අස්ථි, බෙලිකටු, සම්, වගුරු මඩ, වැව්මඩ, පස්, හිසකෙස්, මැටිවළං, පරාග. බිතුසිතුවම්. කොරල්පර, රුධිර අවශේෂ, රෙදි වර්ග, කඩදාසී, ලාටුවර්ග, ජලය වැනි ද්‍රව්‍ය භාවිතා කර ඇත.

මෙම ද්‍රව්‍ය වල ඇති විකිරණශීලී කාබන් සංයුතිය විශ්ලේශනය කිරීමට පෙර  ඒ මත ඇති අපරිසිදුකාරක ද්‍රව්‍ය (contaminants) ඉවත් කිරීම සඳහා භෞතික සහ රසායනික  පෙර පිරියම් කටයුතු සිදු  කරනු ලබයි.

විකිරණශීලී සමස්ථානික පිළිබඳ කථා කිරීමේදී හමුවන වචන පැහැදිලි කිරීමක්



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here