කාන්තාවන්ව හිංසනයට ලක්කරන ලෝකයේ අමානුෂික චාරිත්‍ර 7ක් – Sri News

0
3

ලංකාවේ කාන්තාවක් ගත්තොත් මල්වර වීමකදී, විවාහ මංගල්‍යයකදී වගේ අවස්ථාවල ඇයට නොයෙකුත් චාරිත්‍ර ක්‍රම වලට අනුකූලව හැසිරෙන්න සිද්ධ වෙනවා. මේවා සමහරක් තරමක් කම්මැලි සහගතයි වගේ දැනෙන එක ඇරෙන්න වෙන ලොකු කරදරයක් නම් ඒ වැනි චාරිත්‍ර හරහා අත්විඳින්න වෙන්නෙ නැහැ. සමහරුන්ට මේවා අනුගමනය කරන එක ඉතාම ප්‍රීතිජනක අත්දැකීමකුත් වෙනවා.

ලංකාවේ අපේ තත්ත්වය එහෙම වුණාට ලෝකයේ හැම කාන්තාවක්ම ඒ තරම් වාසනාවන්ත නැහැ. සමහර රටවල සහ ජන කොට්ඨාස වල තියෙන වර්තමානයට නොගැලපෙන සමහර චාරිත්‍ර නිසා කාන්තාවන්ට විඳින්නට වෙන දුක් ගැහැට අපමණයි. අපි මේ ගෙන එන්නේ කාන්තාවන්ව හිංසනයට ලක් කරන ඒ විදිහේ අමානුෂිකම චාරිත්‍ර ක්‍රම කිහිපයකුයි.

 

දකුණු සුඩානයේ ජීවත් වෙන ලටුකා ගෝත්‍රිකයන් අතර විවාහ සිද්ධ වෙන්නෙ මහ අමුතු ක්‍රමයකට. එහෙදී තමන්ගේ හිත ගත්ත තරුණියගේ අත පතාගෙන දෙමවුපියන්ගේ අවසර ගැනීමක් මුලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මුලින්ම කරන්නේ මනමාලයා විසින් හිත ගත් තරුණියව පැහැර ගන්න එකයි. ඉන් පස්සේ තමයි තරුණියගෙ දෙමවුපියන්ගෙන් අවසර ඉල්ලන්න යන්නේ. මෙතැනදී දෙමවුපියො විවාහයට කැමති වුණොත් කොහොමත් විවාහය සිද්ධ වෙනවනෙ. හැබැයි ඒ අය අකමැති වුණා කියලත් මහ ලොකු වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැලු. බොහෝ වෙලාවට පැහැරගත්ත තරුණියව දිගටම අඹුකමේ තියාගෙන ඉන්න පැහැරගත් තැනැත්තා කටයුතු කරනවලු. සමහර අවස්ථා වලදී පැහැරගත්තට පස්සෙ තරුණිය සමග බලහත්කාරයෙන් ලිංගිකව එකතුවෙන්නටත් ඔහු කටයුතු කරනවලු. කාන්තාවන් හිංසාවට ලක්කරන, ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නා මේ අමානුෂික විවාහ චාරිත්‍රය පවතින්නේ ලටුකා ගෝත්‍රිකයින් අතර විතරක් නෙමෙයි, රුවන්ඩාව, ඉතියෝපියාව, කිරිගිස්ථානය වගේ රටවල ජනයා අතරත් මේ චාරිත්‍රය යම් යම් වෙනස්කම් ඇතිව සිද්ධ වෙනවලු.

 

වයඹ දිග අප්‍රිකානු රටක් වන මොරිටේනියාවේ කාන්තාවන්ට පිරිපුන් සිරුරු පැවතීම වාසනාවක් හැටියට තමයි සැළකෙන්නේ. මේ කියන්නේ සාමාන්‍ය මහතකට වඩා තරබාරු පැත්තට බර සිරුරක් ගැනයි. මස් එල්ලෙන, ස්ට්‍රෙච් මාක්ස් පිරුණ, අධික තරබාරු කාන්තාවන්ව සෞභාග්‍යයේ සංකේතයක් හැටියටයි මොරිටේනියානුවන් සළකන්නේ. මේ නිසාම එවැනි කාන්තාවන්ට ඉතාම පහසුවෙන් විවාහයට මනාලයෙක් හොයාගන්න අවස්ථාව ලැබෙනවලු. මේ හේතුව හින්දා මොරිටේනියානු ජාතිකයින් තමන්ගේ දියණියන්ට කුඩා අවදියේ ඉඳන්ම අධික කැළරි ප්‍රමාණයක් තියන ආහාර විශාල වශයෙන් ගිල්ලවන්න පුරුදු වෙලා ඉන්නවා. අවුරුදු හතර පහේ දැරියකට පවා ඔටු කිරි, කුස් කුස් වගේ ආහාර විශාල ප්‍රමාණ වලින් නොනවත්වාම බලෙන් කන්නට දීම සිදු කෙරෙනවා. ආහාර ගන්න ප්‍රතික්ෂේප කළොත් ඒ දැරියන්ට අමානුෂික විදිහට දඬුවම් දෙනවා. අධික කැළරි ප්‍රමාණයක් නිරන්තරයෙන් ශරීරගත වීම නිසා මොරිටේනියානු දැරියන් ඉතාම ඉක්මනින් මල්වර වෙනවා, ඒ වගේම අඩු වයසින්ම විවාහ ජීවිතයට එළඹෙනවා. නමුත් මේ සෞඛ්‍යයට අහිතකර ආහාර දීම් නිසා ඒ අය බහුතරයකට මැදි වියට එළඹෙන්නටත් කළින්ම නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා දුක් විඳින්න සිද්ධ වෙලා තියනවා.

 

කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියේ යම් යම් අංග කපා ඉවත්කිරීම සමහර සංස්කෘතීන් සතුව පවතින සම්ප්‍රදායක්. අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල් වල තමයි මේ ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය බහුලවම දකින්නට ලැබෙන්නේ. ස්ත්‍රී යෝනි සුන්නත් කිරීම නමිනුත් මේ ක්‍රියාවලිය හඳුන්වනවා. මේ අංග ඡේදනය සිද්ධ වෙන ආකාර කීපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙයින් අරමුණු කරන්නේ කාන්තාවන්ගේ ලිංගික ආශාව පහත හෙළීමයි. මේ මගින් කාන්තාව තවත් උසස් සහ පාරිශුද්ධ මට්ටමකට ළඟා කරවීමට හැකියි කියලා තමයි මේ චාරිත්‍රය අනුගමනය කරන අය විශ්වාස කරන්නේ. කොහොම වෙතත් බොහෝ රටවල දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ වෙන අමානුෂික ක්‍රමවේදයක් වුණත් මේ අංග ඡේදනයන් අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතාම අඩු වයසේ දැරියන්ට පවා මේ කටුක වේදනාබර අත්දැකීමට මුහුණ දෙන්නට සිද්ධ වීම අවාසනාවක්. නිසි වෛද්‍ය සුදුසුකමක් නොමැති පුද්ගලයන් අතින්, සෞඛ්‍යාරක්ෂිත නොවන උපකරණ භාවිතයෙන් සිද්ධවෙන ඇතැම් ප්‍රජනන අංග ඡේදනයන් නිසා අසරණ කාන්තාවන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ධ වූ අවස්ථා පවා වාර්තා වෙලා තියනවා.

 

මේ කියන්න යන චාරිත්‍රයත් පුරුෂයින් විසින් තමන්ගේ වාසියට තනාගත්ත චාරිත්‍රයක්දැයි සැක හිතෙනවා. මේ විකාර සහගත සහ අමානුෂීය චාරිත්‍රය සිද්ධ වෙන්නෙ ටැන්සානියාව, උගන්ඩාව, සැම්බියාව සහ කෙන්යාව වගේ අප්‍රිකානු රට වලයි. මේ චාරිත්‍රයට අනුව අලුතින්ම මල්වර වූ යුවතියන්ව සහ වැන්දඹු වූ කාන්තාවන්ව ලිංගිකව පවිත්‍රකරණයට ලක් කෙරෙනවා. එහෙම සිදු කරන්නේ තවත් පුරුෂයෙක් සමග ලිංගිකව එකතුවීමට සැලැස්සීම මගිනුයි. වැන්දඹුවක් නම් බොහෝ විට මියගිය සැමියාගේ සොහොයුරා හෝ ඥාතියෙක් සමග තමයි ලිංගිකව එකතු කරවන්නේ. අලුත් මල්වර වූ තරුණියක් නම්, ඇයව විවාහ කරගන්න සිටින තරුණයෙක් හෝ ලිංගික එක්වීම සඳහා කුළියට ගන්නා ලද පුද්ගලයෙක් සමග ලිංගික කාර්යයේ යොදවනවා. මෙසේ කිරීම මගින් මල්වර සහ වැන්දඹු කාන්තාවන්ගේ දොස් දුරුවී යහපත් සෞඛ්‍යය උදාවෙනවා කියල කිවුවත්, අනාරක්ෂිතව සිද්ධ වෙන මේ ලිංගික ක්‍රියාවන් හේතුවෙන් බොහෝ වෙලාවට එච්. අයි. වී වැනි භයානක සමාජ රෝග ඔවුන්ට වැළඳීමත් සිද්ධ වෙනවා.

 

ඉන්දුනීසියාවේ ජීවත් වෙන ගෝත්‍රික පිරිසක් වන ඩැනී ගෝත්‍රිකයන් මරණයක වේදනාබර සමුගැනීම වෙනුවෙන් කරන වේදනාබර චාරිත්‍රයක් තියනවා. ඒ තමයි තමන්ගේ පවුලේ ඥාතියෙක් මිය ගියහම තමන්ගේ ඇඟිල්ලකින් කොටසක් කපාගන්න එක. හැබැයි මේ විදිහට ඇඟිලි කපන්නේ කාන්තාවන්ගේ විතරලු. මියගිය කෙනාට ගෞරවය ප්‍රකාශ කරන්නත්, තමන් ඒ මරණයෙන් වේදනා විඳින බව සංකේතවත් කරන්නත් තමයිලු මේ අමුතුම චාරිත්‍රය ඉටු කරන්නේ. තරුණ මහලු වෙනසක් නැතිව සෑම කාන්තාවකටම ඉටු කරන්න වෙන මේ චාරිත්‍රයේදී ඇඟිල්ලට නූලක් ගැටගහලා ලේ ගමනාමනය අවහිර කරලා ඉන් පස්සේ ඇඟිල්ල කැපීමත්, පසුව ඒ ඇඟිල්ල පිළිස්සීමත් සිද්ධ වෙන බවයි පැවසෙන්නෙ. මේ අමුතුම චාරිත්‍රය නිසා ඩැනී කාන්තාවකට ජීවිත කාලයක් තුළදී ඇඟිලි කිහිපයක්ම අහිමි කරගන්නට සිද්ධ වෙනවා.

 

පියයුරු කියන්නේ කාන්තා අඟ පසඟ අතරින් පුරුෂයින් වඩාත් ප්‍රිය කරන අංගයන්ගෙන් එකක්. මේ නිසාම සුන්දර පියයුරු වලට හිමිකම් කීම යම්කිසි අවදානමක් හැටියට දකින පිරිසකුත් ඉන්නවා. කැමරූන් ජාතිකයින් එහෙම පිරිසක්. කුඩා දැරියන්ගේ පියයුරු ඉදිරියට නෙරා ඒමත් එක්ක ඒ අය කෙරෙහි පිරිමින් ආකර්ෂණය වෙලා ලිංගික අඩන්තේට්ටම් සිදුවේවිය කියලා කැමරූන් රටේ මවුවරුන් දැඩි බියකින් තමයි පසුවෙන්නේ. තරුණ වියට නිසියාකාරව එළඹෙන්නත් කලින් සිද්ධ වෙන ලිංගික ගනුදෙනු සහ ගැබ්ගැනීම් නිසා තමන්ගේ පවුලට අපකීර්තියක් එක්වෙනවටත් ඔවුන් බයයි. ඒ හින්දා ඔවුන් කරන්නේ වැඩෙන වයසේ දියණියන්ගේ පියයුරු වර්ධනයට බාධා එල්ල කිරීමයි. විවිධ ලී කැබලි, රත් කළ යකඩ සහ ගල් වැනි දේ භාවිතයෙන් කුඩා දැරියන්ගේ පියයුරු තද කර, ඒවා වර්ධනය වීම වැළැක්වීමට මේ මවුවරුන් කටයුතු කරනවා. දැරියන්ව ලිංගිකව පොළඹවාගැනීමට ඇති අවදානම කෙසේ වෙතත්, පියයුරු නිසා ඔවුන්ට ඉතාම ලාබාල කාලයේදීම විඳින්නට වෙන්නේ දැඩි වේදනාවක්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here