ක්ෂණික කාලගුණික වෙනස්වීම් හඳුනාගෙන අනාවැකි දෙන මිතුරු යන්තරේ – Sri News

0
4


ලංකාව ලස්සන රටක්. අපිට හිම වැටෙන්නේ නෑ. අධික ශීතල නැහැ, ගිණිකඳු නැහැ, භූමිකම්පා නැහැ. ඒත් අපිට ගංවතුර සහ නාය යෑම් අනතුරු දැඩිව තියෙනවා. අධික වර්ෂාපතනයක් වැටෙන රටක් විදියට වර්ෂයකට එක පාරක් හරි අපිට ගංවතුර සහ නාය අනතුරු වලට මුහුණදෙන්න සිද්ද වෙනවා. ගංවතුර ගලන කාලෙට, නාය යන කාලෙට ඒ සඳහා කරන්න ඕනි මොනවද කියලා හැම මාධ්‍යයකම වගේ කතා වෙනවා.

 

1. අපේ කාලගුණ කතිකාවත්

Image Source – dailynews.lk

ගංවතුරකින්, නායයාමකින් සති කිහිපයක් ගියාට පස්සේ ඒ ගැන ලොකු කතාවක් නැහැ. ආයේ ඊළඟ අවුරුද්දේ ගලලා, නාය ගිහින් පළාතක් සෙත්තපෝච්චි වුනාම ඔන්න ආයෙම කරන්න ඕනි දේවල්, කළ දේවල් ගැන කතිකාවතක් ඇති වෙනවා. අද කාලෙදි අපි දුර පළාතක කන්දක් නගින්න හරි වෙන වැඩකට හරි යනවා නම් ඒ පැත්තේ ඉන්න යාලුවෙක්ට, නෑයෙක්ට කතා කරලා විස්තර ටිකක් අහගන්නවා. ”අඩේ මචං වහිනවද ඔය පැත්තට?” කියලා කෙලින්ම අහල අපිට දැනගන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙලා. ඉතින් ඒ තරම් තාක්ෂණය දියුණු වුනත් තවමත් ඉහළ පළාත්වලට තදින් වැස්සම පහල පළාත් යටවෙනවා. මේකට විසඳුමක් සිසුන් පිරිසක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ගැන බලමු.

 

2. මීටර් ලොගර් යන්තරේ

Image Source – youtube.com

Meter Logger කියලා තමයි මේ යන්ත්‍රය හඳුන්වා දීලා තියෙන්නේ. මේ හරහා වර්ෂාපතනය, උෂ්ණත්වය, සුලඟේ වේගය, සුලං දිශාව දියුණු විදියට ගණනය කරන්නට හැකියාව තියෙනවා. කාලගුණ වාර්තා ලබාගන්න ඕනි කරන සියලුම දත්ත ටික එකම යුනිට් එකකින් ගන්න හැකියාව මීටර් ලොගර් එකට තියෙනවා. ඒක හරහා දත්ත මොබයිල් නෙට්වර්ක් එකකට යනවා. එයින් පස්සේ ඒ දත්ත එකතු කරලා අනාවැකි කියන්නට හැකියි. මේ ක්‍රමයෙදි සෑම විනාඩි 5කට වතාවක්ම කාලගුණික දත්ත දුරකථන ජාලයක් ඔස්සේ GPRS තාක්ෂණයෙන් වෙබ් සර්වර් එකකට ලබා දෙනවා. ඉන් පසු යම් පළාතක වර්ෂාපතනය සුලඟ අනුව අනාවැකි කියන්න හැකියාව ලැබෙනවා.

 

වැඩකරන ආකාරය

 

3. දැන් තියෙන ක්‍රමය මොකක්ද?

Image Source – stormgeo.com/ thoughtco.com

දැන් පාවිච්චි වෙන ක්‍රමය හැටියට ඔන්න පරණ විදියට වර්ෂාමානය තියෙනවා. ඕක කවුරුහරි බලන්නට ඕනි. ඉන් පස්සේ ඒකේ තියෙන දත්ත දවසකට වතාවක් එකතු කරගන්නවා. සුලඟේ වේගය, සුලං දිශාව ආදිය බලාගන්නත් වෙන වෙනම උපාංග තියෙනවා. මේ යන්ත්‍ර ජාලගත වෙලා නැහැ. ඒ ඒ පළාත්වල, ඒ ඒ තැන් වලින් තමයි දත්ත එකතු වෙන්නේ. ඒත් මේ සිසුන් යෝජනා කරපු ක්‍රමවේදය හරහා කෙලින්ම කවුරුවත් හිටියේ නැතත් ඉබේම කාලගුණ දත්ත එකතු වීම සිදු වෙනවා.

 

4. අලුත් යන්ත්‍රය කාගේ වැඩක්ද?

Image Source – srilankamirror.com

රුහුණු විශ්ව විද්‍යාලයී‍ය ඉංජිනේරු පීඨයේ නිමන්ත මධුෂාන්, ශාවින්දි ජයරත්න, කෞශලා ගංගානි කියන සිසුන් තිදෙනා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක බැලූ බැල්මට බොහොම කදිම උපකරණයක්. එහෙත් කඩෙන් ගිහින් වොෂින් මැෂිමක් හෝ ශීතකරණයක් මිලදී ගන්නවා වගේ මේ සිසුන්ට මේ යන්ත්‍රය හමු වුනේ නැහැ. ඔවුන් ඒ ඒ දත්ත පරීක්ෂා කරලා, සුදුසු අමුද්‍රව්‍ය ආදිය තෝරලා, දත්ත සම්ප්‍රේෂණ ක්‍රමවේද හොයලා, ඒ වගේම අවසාන වශයෙන් ඒ සෑම අදියරකදීම පර්යේෂණ කරලා තමයි සිසුන් මේ උපකරණය හදලා තියෙන්නේ. සාමාන්‍ය ක්‍රමයට පාවිච්චි කරන දත්ත මනින උපකරණ වලට වඩා ඩිජිටල් දත්ත ලබා දෙන ආකාරයට වැඩිදියුණු කළ වර්ෂාමාන, උෂ්ණත්වමාන සහ සුලං වේග මාපක සිසුන් මේ සඳහා පාවිච්චි කරලා තියෙනවා.

 

ක්‍රියාවලිය සැකෙවින්

https://www.youtube.com/watch?v=KztKZ4uE5Z4

 

5. කොහොමද මේකෙන් අනාවැකි කියන්නේ?

Image Source – youtube.com

පසුගිය කාලේ ඇතිවුන ගංවතුර සහ නාය යෑම් ගැන අනාවැකි කලින් ලැබුන අවස්ථා අඩුයි. පසුගිය මහ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් වලදී ඒ අදාළ පළාත්වලට කුඩා කාලයක් තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් වැටිලා තිබුනා. ඒ වර්ෂාපතනය එකපාරටම වැඩි ප්‍රමාණයක් පතිත වුනොත් ඒක මනින ක්‍රමයක් අපේ කාලගුණ පද්ධතියෙ තවමත් නැහැ. ඒ නිසා මේ ආකාරයට විනාඩි පහෙන් පහට දත්ත එකතු වන ක්‍රමයක් මගින් ක්ෂණික වර්ෂා තත්ත්වයන් අඳුනාගෙන ඒ අනුව ගංවතුර නායයාම් අනතුරු ගැන දැනුම් දෙන්නට හැකියාව ලැබෙනවා. මෙය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සාම්ප්‍රදායික ක්‍රමයට වඩා සැබැවින්ම සාර්ථක දියුණු ක්‍රමවේදයක්.

Image Source – youtube.com

6. පර්යේෂණ කටයුතු

Image Source – youtube.com

රුහුණු ඉංජිනේරු පීඨයේ මෙම මීටර් ලොගර් සැදූ සිසුන් එය අත්තනගලු ඔය අඩවියේ පරීක්ෂණයට භාජනය කොට තිබුනා. එහිදී සාර්ථක පරිදි අනාවැකි කියන්නට මේ උපකරණය සමත් වෙලා තිබුනා. ලංකාවේ බොහෝ විට ගංගා සහ ඔයවල් පටන් ගන්නේ මධ්‍ය කඳුකරයෙන්. මේ කඳුකරයට පතිත වෙන ජලය ගංගා සහ ඔය මගින් මුහුදට ගලා යනවා. නිසියාකාර පද්ධතියක් සවි කොට, මධ්‍ය කඳුකරයේ ගංගා පෝෂක පෙදෙස් ආශ්‍රිතව ස්ථාපනය කරන්නට හැකි නම්, ඒ තුළින් ගංවතුර තත්ත්වයන් කලින්ම හඳුනාගන්නට හැකියාව ලැබෙනවා.

 

7. බලය ලබාගැනීම සහ දත්ත එකතු කිරීම

විදුලිය ජාතික සැපයුමෙන් ලබාගැනීම මෙම උපකරණයට ගැලපෙන්නේ නැහැ. යම් ලෙසකින් අයහපත් කාලගුණ අවස්ථාවක විදුලි බලය නැතිවුනොත් මේ උපකරණයෙන් වැඩක් ගන්නට බැරි වෙනවා. ඒ නිසා සූර්යකෝෂ මගින් මේ උපකරණය පණගන්වන්නට සිසුන් ක්‍රියාකරලා තියෙනවා. සැටලයිට් හරහා දත්ත සම්ප්‍රේෂණ කටයුතු වඩාත් විශ්වාසනීය වුවත් සැටලයිට් සම්ප්‍රේෂණ කටයුතු වලට වැඩි වියදමක් යනවා. ඒ වගේම වැඩිපුර විදුලි බලයකුත් වියදම් වෙනවා. මොබයිල් ටවර් මගින් රටේ වැඩි කොටසක් ආවරණය වී ඇති නිසා GPRS තාක්ෂණයෙන් දත්ත සම්ප්‍රේෂණය වඩාත් සාර්ථක ක්‍රමයක් වේවි කියලා සිසුන් විශ්වාස කරනවා.

 

8. තවත් එකතුවෙන්න ඕනි මොනවාද?

මේ යන්ත්‍රය මගින් හැකි වන්නේ කාලගුණික දත්ත එකතු කිරීමත්, ඉන් පසු ඒවා තැනකට එකතු කිරීමත් පමණයි. අනාවැකි කියන්නට නම් යාවත්කාලීන සාර්ථක දත්ත පද්ධතියක්ද අවශ්‍ය වෙනවා. නාය යෑම් සඳහා නම් භූ විද්‍යා කාර්යාංශය මගින් මෙවැනි එක් එක් වර්ෂාපතනයන් හීදී නාය යා හැකි කඳු ගැන සිතියම් සකස් කොට තිබෙනවා. උදාහරණයක් ලෙස නිල්වලා ගඟ ගතහොත් නිල්වලා ගඟ පිටාර යන්නේ මාතරට වැස්ස විට නෙමෙයි. පිටබැද්දර, දෙණියාය, ඌරුබොක්ක, අකුරැස්ස වගේ පළත් වලට සැරටම වැස්සොත් පැයකින් දෙකකින් මාතර නිල්වලා ගඟෙ වතුර මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ දත්ත කලින් සැලසුම් කරගෙන, පරිගණක ගත කොට තිබුනොත් තමයි නිසි ආකාරයෙන් අනාවැකි කියන්නට හැකි වන්නේ.

 

9. අපිට ගලපගන්නේ කොහොමද?

Image Source – youtube.com

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කියලා කුමාරතුංග මුණිදාස ශූරින් කියා තිබෙනවා. අද තාක්ෂණය සමග නිමැවෙන හැමදේම අපිට රටින් ගෙන්වන්න අවශ්‍ය නැහැ. තාක්ෂණය උපයෝගී කරගෙන නවතම මෙවලම් තනා, නවතම අන්දමින් අපේ පද්ධතියක් ස්ථාපනය කරගන්න ලංකාවට හැකියාව තිබෙන්නට ඕනි. ඉන්දියාවේ කේරළයේ Munnar (මුනාර්) කියන්නේ කඳු පළාතක්. ඒ පළාත නාය යනවා වැස්සට. ඒ පළාතේ විශ්ව විද්‍යාල සිසුන් සහ රජය එකතු වෙලා වර්ෂාව අනුව නාය යෑම් අවදානම දක්වන්න පද්ධතියක් ස්ථාපනය කරලා තියෙනවා. ඒ තුළින් නාය යෑම් හෝ වර්ෂාව අඩු කරගන්නට බැහැ. ඒත් නායයෑම් නිසා සිදුවන ජීවිත හානි සහ දේපල හානි අවම කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා.

මේ කාලගුණික දත්ත එකතු කරන පද්ධතිය සම්පූර්ණ වැඩ කරන එකක්. එය රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු සිසුන් විසින් පරික්ෂා කරලාත් තියෙනවා. තවත් යම් වැඩිදියුණු කිරීම් තියෙනවා නම් ඒවාත් වර්ධනය කරලා මෙය ප්‍රායෝගිකවම පාවිච්චියට ගන්න මට්ටමට දියුණු කරන්නට හැකියි. මේ ඉංජිනේරු සිසුන්ගේ පර්යේෂණ වලින් අපිට, අපේ කාලගුණයට, අපේ රටට ගැලපෙන පද්ධතියක් හදලා ඒවා නඩත්තු කරගතහොත් අනතුරු අවසානයේ විශාල පොල් ගෙඩි ඉලක්කම් වලින් පත්තරවල දැක්වෙන ජීවිත හානි අවම කරගන්න අපිට හැකි වේවි.

Cover Image Source – news.trust.org

 

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here