Home හරිත යාය කල් – යල් බලා වගා කිරීම – Sri News

කල් – යල් බලා වගා කිරීම – Sri News

0
11


හෙළ ගොවිතැන් තාක්‍ෂණයේ ප‍්‍රධාන ම තැනක් ගන්නේ ‘කල්යල් බලා වගා කිරීම’ ය. ‘කල්යල් බලා ගොවිතැන් කළොත් වරදින්නේ නැහැ’ යැයි අප ගේ වැඩිහිටි ගොවි මහතුන් තවමත් විශ්වාස කරන බවත් ඒ අනුව වැඩ කර ප‍්‍රතිඵල ලබන බවත් අත්දැකීමෙන් දනිමි.

හෙළ ගොවියා, තම ගොවිතැන් තාක්‍ෂණය ඉගෙන ගැනීමේ දී ගුරු කොට ගත්තේ ස්වභාව ධර්මය බව අවධාරණය කළා ඔබට මතක ඇති. ඕනෑ ම බෝගයක් වසරේ ඕනෑ ම කාලයක වගා කර සාර්ථක ප‍්‍රතිඵලයක් අත්කර ගැනීමේ හැකියාවක් නො මැති බව සොබා දහම මනා ව අධ්‍යයනය කිරීම තුළින් කවරකුට වුව ද තේරුම් යන්නා වූ සත්‍යයකි.
බෝගයක වර්ධනයට අව්ව, වැස්ස, සුළ`ග, උණුසුම, සීතල, ආලෝකය, අඳුර යන මේ ස්වාභාවික සංසිද්ධි අඩු, වැඩි වශයෙන් බලපායි. ඇතැම් බෝග හිරු එළිය ප‍්‍රිය කරන අතර ඇතැම් ඒවා සෙවණට කැමති ය. සීතල ප‍්‍රිය කරන බෝග උණුසුම් පරිසරයේ දී ප‍්‍රතිඵල ලබා දෙන්නේ නැත. වර්ධනයේ ඇතැම් අවස්ථාවල දී සීතලත්, ඇතැම් අවස්ථාවල දී උණුසුමත් එක ම බෝගයට වුව ද අවශ්‍ය ය. බෝග තෝරා ගැනීමේ දී මෙන් ම ඒවා වගා කළ යුතු කාලය තීරණය කිරීමේ දී ද පරිසරය හා කාලගුණය ගැන මනා අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවය ඉතා පැහැදිලි ය.

කල්යල් බලා වගා කිරීමේ තාක්‍ෂණයේ වැදගත්ම කරුණු අපට මෙසේ දැක්විය හැකි ය:

1. කරනු ලබන ගොවිතැනෙහි ස්වභාවය වී ගොවිතැන ද? (වාරිමාර්ග යටතේ ද? අහස් වැස්සෙන් ද?), වෙනත් බෝග ද? (හේන් වගාව ද? එළවළු වගාව ද?) ආදී වශයෙන් මනා ව තේරුම් ගැනීම.
2. එක් එක් බෝගවල පරිසර අවශ්‍යතාවන් මොනවා ද? (ජලය, උණුසුම, සීතල, සෙවණ ආදී වශයෙන්) එම පරිසර තත්වයන් බෝගවලට වුවමනා කුමන වර්ධන අවස්ථාවල දී ද?
3. ඒ ඒ බෝගවල ඵල ලබන කාලය, (උදා: වී වර්ග නම් අස්වනු ලබන්නට ගත වන කාලය, මාස 3, 4, 41/2 ආදී වශයෙන්* වෙනත් බෝග නම් ඵල හට ගැනීමට ගත වන කාලය / අස්වනු නෙළා ගැනීමට හැකි කාලය.
4. පරිසරයේ යථාර්ථ තත්වය, අවට සිටින සතුන්, කෘමීන්, ඇති සහ ඇති විය හැකි රෝග තත්වයන් සම්බන්ධ මනා අවබෝධය.
5. ඉදිරියේ දී ඇති විය හැකි කාලගුණ තත්වය සම්බන්ධ ව තක්සේරුවක් කිරීමේ හැකියාව.
ඉතා සරල ව දක්වනවා නම් කල්යල් බලා වගා කරන්නට අප හෙළ ගොවියා පෙළඹුණේ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම මෙන් ම පරිසරයට අනුගත ව වගා කිරීම මඟින් රෝග සහ කෘමි හානි වළක්වා ගනිමින් ධාර්මික රැුකියාවක් බවට ගොවිතැන පත් කර ගැනීමට ය.

කල්යල් බලා වගා කිරීමේ තාක්‍ෂණයේ වැදගත් ම අංගය වන්නේ කාලගුණය පිළිබඳ ව සාර්ථක අනාවැකි පළ කිරීමේ හැකියාව ය. වැසි වසින කාලය හරියට ම දැන ගත හැකි නම් බියෙන්, සැකෙන් තොර ව බිම් වගාව පටන් ගත හැකි ය. පාරම්පරික ව දැනුම හා අත්දැකීම්වලින් පරිපූර්ණ වූ හෙළ ගොවියා එම`ගින් කාලගුණය පිළිබඳ ව නිවැරදි පෙර දැනුමක් ලබා ඒ අනුව වගාව සැලසුම් කර ගත්තේ ය. කාලගුණයේ යම්කිසිි රටාවක් ඇති බව පෙණුන ද එහි අවිනිශ්චිත බව හා අක‍්‍රමවත් බව ගොවියාගේ වගා කාල සටහනට දැඩි බලපෑමක් කරයි. මෙම වෙනස්කම් කල් තබා දැනගත හැකි නම් වගා කාල සටහන ගොවියාට ඒ අනුව සකසා ගත හැකි ය.

ඔහු කාලගුණය දැන ගත්තේ පරිසර සාධක මනා ව නිරීක්‍ෂණය කොට ලද දැනුමෙනි. ගස්වල මල් පිපීම, සතුන් ගේ හැසිරීම, සුළඟ හමන දිසාව, වලාකුළුවල හැඩය ආදිය නිරීක්‍ෂණය කොට වැසි ලැබීම පිළිබඳ ව නිගමනයන්ට ඔහුට එළඹිය හැකි විය. කාලගුණ අනාවැකි දැකීම ගොවියාට ම අනන්‍යය වූ ශාස්ත‍්‍රයක් විය.

‘දෙපෙති වේද නියඟය ළඟ එය ඉඳුරා මල්පල දේ ද වැහිඵල සරුවෙයි නුදුරා ඉර හඳ මල දැකගං බිජුවට අතුරා මොරමල් පිපෙයි වැහිඵල එනු දැක සිකුරා’

අමු ගස්වල වේයන් බැඳීම, ඇටි කුකුළා උදෙන් ම හැඬීම වැස්සක පෙර ලකුණු බව ගොවියා දැන සිටියේ ය. වැදගත් කොට සැලකිය යුත්තේ වැසි ලැබීම ම පමණක් නො ව, වැසි ලැබීමේ තීව‍්‍රතාවය, විහිදීම, ප‍්‍රමාණය හා රටාව වැනි තොරතුරු ය. වැදගත් වන්නේ මෙම සංසිද්ධි හඳුනා ගැනීමේ සංවේදීතාවක් ගොවියාට තිබිය යුතු වීම ය.

මෙම තොරතුරු ගොවියාට වැදගත් වන්නේ කෙසේ දැ යි අප උදාහරණ මඟින් මඳක් විමසා බලමු.

නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දෙනු ලබන්නේ, වී වගාවට බලපාන පලිබෝධක කෘමි ග‍්‍රහණයේ වර්ධනය සීත දේශගුණය ත් සම`ග ම වැඩිවන බව ය. පෑයීම එනම් උෂ්ණත්වය වැඩි වීම සම`ග කෘමි ග‍්‍රහණයේ අඩු වීමක් සිදු වේ. වර්ෂාව ත් සමඟ ම කෘමි ග‍්‍රහණය වැඩිවීම මේ අනුව පැහැදිලි ය.

හෙළ ගොවියාට මෙම දැනුම ඉතා ගැඹුරින් තිබූ අතර ඔහු එය ප‍්‍රායෝගිකව ද භාවිත කළේ ය. වත්මන් නවීන ගොවිතැනෙහි මෙන් නො ව හෙළ ගොවියා වගාවේ බෝග හා ශාඛ විවිධත්වය පවත්වා ගෙන ආ හෙයින් වැසි කල දී වුව ද, එසේ වර්ධනය වන කෘමීන් ස්වාභාවික අන්දමින් ම පාලනය විය. වර්ෂාව අවසන පෑවිල්ල දැඩි වන විට පලිබෝධ කෘමීන් ග‍්‍රහණය අඩුවන හෙයින් වගාවට විනාශකාරී තත්වයක් උදාකරන උන් ගේ වැඞීම අඩුවන්නට පටන් ගනී. මෙම කාලයේ දී අස්වැන්න නෙලා ගැනීමේ අවස්ථාවට පත් කර ගත හැකි නම් පලිබෝධ හානි අවම හෙයින් අස්වැන්න ඉහළ මට්ටමක පවතී.

මෙලෙස අස්වැන්න ලබන අවස්ථාව ප‍්‍රශස්ථ අවස්ථාවක් කර ගැනීමට නම් ගොවියා තම වගා බිම සැකසීම, වැපිරීම ආදී කටයුතු ඊට ගැළපෙන ලෙස කල්යල් බලා සැලසුම් කර ගත යුතු නො වේ ද?

එම කරුණ වඩාත් පැහැදිලි වීමට තවත් උදාහරණයක් ගනිමු:

පරිසරයේ උෂ්ණත්වය සහ අස්වැන්න අතර ඍජු සබඳතාවක් ඇති බව නවීන විද්‍යාව මහත් පර්යේෂණ රැුසකට පසු කියා සිටී. ගොයම සංවේදී අවස්ථාවේ දී පරිසර උෂ්ණත්වය අංශක එකකින් වැඩි වුව හොත් වී වගාවේ අස්වැන්න සියයට දහසයක (16%) තරම් මට්ටමකින් අඩු විය හැකි බව ඔව්හු කියති. අස්වැන්නට දැඩි බලපෑමක් ඇති වන තරමට ගොයමට අදාළ සංවේදී අවස්ථාව වන්නේ ගොයමේ මහ බණ්ඩි අවස්ථාවේ සිට පැහුම් බර වන අවස්ථාව යි. අප රට සීතල අධිකම කාලය වන්නේ දෙසැම්බර් අග සිට පෙබරවාරි මැද දක්වා කාලය යි. විශේෂයෙන් ම රාත‍්‍රි කාලයේ සීත අධිකම කාලය මෙය යි.

වගා කාල සටහන සකසා ගැනීමේ දී බිනර කළුවට හාරමස් වී සහ වප් කළුවට තුන්මසක් වී වගා කළ යුතු යැයි හෙළ ගොවියා තීරණය කළේ ඇයි දැයි දැන් ඔබට තේරුම් යා යුතු ය. ඒ අනුව ගොයම පීදෙන්නේ ජනවාරි මැද දී ය. ගොයමේ ඉතා සංවේදී අවස්ථාවේ දී ඊට ඉතා ම උචිත පරිසර තත්වයන් පවතින විට දී ය.

වර්තමානයේ දී නවීන යැයි කියා ගන්නා ගොවියා දෙසැම්බර් අග හෝ ජනවාරියේ දී වගා කළ ගොයම පීදෙන්නේ, ලංකාවේ රාත‍්‍රී උෂ්ණත්වය වැඩි ම කාලයේ දී ය. අස්වැන්න අඩු වීම පමණක් නො ව සියලූ පලිබෝධ හානිවලට භාජනය වීම මේ අනුව පුදුමයක් නො වේ.

හෙළ ගොවියා ගේ වගා තාක්‍ෂණයේ කල්යල් බලා වගා කිරීම ඉතා වැදගත් වූයේ මෙලෙස ය.

මෙය වී වගාවට පමණක් සීමා වූවක් නො වේ. හේන් ගොවිතැන ගැන බැලූව හොත් එය මුළුමනින් ම රඳා පැවතුණේ වර්ෂා රටාව පිළිබඳ ව ගොවියා තුළ ඇති වූ අවබෝධය මත ය.
කල්යල් බලා වගා කිරීම මා ඉහත සඳහන් කළ කෙටි පැහැදිලි කිරීම්වලට වඩා සංකීර්ණ ය. එය තව තවත් සොයා බැලිය යුතු ගැඹුරු ශාස්ත‍්‍රයකි. එම දැනුම බොහෝ විට ඇත්තේ ඔබ අවට සිටින අත්දැකීම් බහුල ගොවීන් අත ය.

මා ඉහත සඳහන් කළ උදාහරණවලට අදාළ කර ගත්තේ ලංකාවේ වියළි කලාපයේ ගොවිතැන් රටාව පිළිබඳ අත්දැකීම් ය. ඔබ වගා කරන පෙදෙස අනුව දේශගුණ රටාවේ වෙනස්කම් ඇති බැවින් ඔබ පෙදෙසේ අත්දැකීම් ඇති ගොවි මහතුන් සම`ග දැනුම හුවමාරු කර ගෙන ඔබ පෙදෙසට ගැළපෙන කල්යල් බලා ගොවිතැන් කිරීමේ කාල සටහනක් සකසා ගැනීම වඩා උචිත ය.

පෘථිවි ගෝලය උණුසුම් වීම හා දේශගුණ වෙනස් වීම වැනි වත්මන් සංසිද්ධි හේතු කොට ගෙන, වර්ෂා රටාවේ ඇතැම් වෙනස්කම් සිදු ව ඇති බැව් සත්‍යයකි. එම වෙනස්කම් ස`දහා බොහෝ දුරට හේතු වූයේ ද නවීන යයි කියා ගන්නා වත්මන් කෘෂිකර්මයේ අනිසි බලපෑම බව අප අමතක නො කළ යුතු ය. එසේ ම හෙළ ගෙවියා දැනට දශක කීපයකට පෙර භාවිත කළ තාක්‍ෂණය ඒ අයුරින් ම භාවිතාවට ගත නො හැකි බව ද සත්‍යයක් විය හැක. එහෙත් වෙනස් වන පරිසරය වුව ද මනා ව තේරුම් ගෙන කල්යල් බලා වගා කිරීම වැනි ඉතා දියුණු තාක්‍ෂණයක් අදට ගැළපෙන ලෙස ගළපා ගැනීමට අප දක්‍ෂ විය යුතු ය.

ගොවිතැන යළි දැහැමි රැකියාවක් බවට පත් කර ගැනීමේ දී ‘කල්යල් බලා වගා කිරීමේ’ වටිනාකම අප තේරුම් ගත යුතු ය. කෘමීන් නැසීම වෙනුවට එයින් කෙරෙනුයේ සොබා දහම තේරුම් ගැනීම තුළින් පලිබෝධ කෘමි හානි වළක්වා ගැනීමේ හා අස්වනු වැඩිකර ගැනීමේ විද්‍යාත්මක ප‍්‍රවේශයක් පෙන්නා දීම ය.

ගොවිතැන යළි දැහැමි රැකියාවක් කරගැනීමේ උතුම් චේතනාව ඔබටත් පහළ වේවා!

මහාමේඝ 2011 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here